‘බඹසර දැහැන’ ළඟදීම

නොවැම්බර් 10, 2022

රක්තා, සාරංගා, මැණික් මාළිගා, දූ දරුවෝ හා ඉදිරියේ තිරගතවීමට නියමිත යකඩ දියණියෝ, සඳ දඩයම, රුවන් තාරකා යන සිනමාපට නිර්මාණය කළ චිත්‍රපට අධ්‍යක්ෂ ගාමිණි හේවාවිතාරණගේ නවතම සිනමා නිර්මාණය වන ‘බඹසර දහැන’ හි වැඩකටයුතු සුභ මොහොතින් පිළියන්දල පිහිටි ඔහුගේ නිවසේදී ආරම්භ කෙරිණි.

මත්ද්‍රව්‍ය නිසා අපේ තරුණ තරුණියන් අත්දකින තවත් අත්දැකීමක් පාදක කරගෙන බඹසර දැහැන කතාව ලියැවී තිබේ. මෙම විෂ මත්ද්‍රව්‍යවලට විශේෂයෙන් තරුණයන් ඇබ්බැහිවීම නිසා තරුණියන් තම විවාහය සඳහා වයස්ගත පුද්ගලයින් තෝරා ගැනීමත් ඒ නිසා ඇතිවන පවුල්වල ගැටලු මෙම කතා පුවතේ අන්තර්ගතවී ඇත. මෙම සිනමාපටයේ රංගනයෙන් දායක වනුයේ සනත් ගුණතිලක, ශි‍්‍රයාණි අමරසේන, ක්ලීටස් මෙන්ඩිස්, තාරුකා වන්නිආරච්චි, සරත් දික්කුඹුර, නිමල් පල්ලේවත්ත, මේධා ජයරත්න, මේනුක ප්‍රේමරත්න, ෂෙරින් එදිරිසිංහ, රයන් වැන්ඩ්‍රොයිඩ්, නයනා හේමන්ති, වින්ධ්‍යා විජේසිංහ, කුමාරි දිසානායක, රධිකා ගුණවර්ධන, දසුනි සිනෙත්මා, රෝහණ විජේසේකර යනදිහුය.

‘බඹසර දැහැන’ සිනමාපටය ගංගානිද සිල්වාගේ නිෂ්පාදනයකී. සම නිෂ්පාදනය මංගල මඩුගල්ලගෙනි.

මෙහි තිරරචනය සරත් දිික්කුඹුර, කැමරාඅධ්‍යක්ෂණය මංජුල සූරියආරච්චි, සංස්කරණය තනුෂ්ක කහඳවල (ARC සිනමා), කලා අධ්‍යක්ෂණය බන්දුල වීරසිංහ, වේශ නිරුපණය ගාමිණි කොස්තා හා සංගීත අධ්‍යක්ෂණය අනුරාධ අබේසේකරගෙනි. මේ චිත්‍රපටයෙන් සුභානි හර්ෂණී චිත්‍රපට ගීත ගයනයට එක්වන්නීය. ඉන්දික ලියනගේ ද මෙහි ගීත ගායනා කිරීමට නියමිතය. රූගත කිරීම් ළඟදීම ආරම්භ කෙරේ.

ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු