හැම ගැහැනියක් පිටුපසම යෝධ ශක්තියක් තියනවා

සිනමාපට තුනක් භාරගෙන තියෙනවා
ජුනි 16, 2022

 

 

මෙරටින් බිහි වෙන පළමු සිනමා කැමරා අධ්‍යක්ෂවරිය

 

මධුනි අලහකෝන්

 

 

මිනිස් සිත තුළ උපදින ආශාවන් පසුපස හඹායන්නේ ඒ අතරින් කිහිප දෙනකි. ගමන කොපමණ දුර වුවත් ජයග්‍රහණය පමණක් ඒ සියලු දෙනාගේ ඉලක්කය වෙයි. ඉරිතලා වේළුණු පොළවට වැටේන ජල බිදුවක් පොළව සිපගන්නේ සියලු දුක ඉවරයි කියමින්ය. ඇයත් ඒහා සමානය. ඇය මුලික අධ්‍යාපනය මාතලේ විජය විදුහලෙන් සහ ගම්පහ යසෝධරා ද රත්නාවලි බාලිකාවෙන් ද කලා විෂය ධාරාවෙන් උසස් පෙළ‍ට හදෑරුවාය. කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රී පාලි මණ්ඩපයෙන් ප්‍රසංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය හිමි කරගත්තාය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ පළමු කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස රන් අකුරින් මුල් අංකය සටහන් කරමින්ය. ඇය නමින් මධුනි අලහකෝන්ය. මේ ඈ ආ ගමන්මඟ ගැන සරසවියට තැබු සටහනයි.

 

අලුත් තොරතුරු මොනාද?

ජිවිතය ජය ගන්න මිනිස්සු ජයග්‍රහණය ගැන හිතනවා. මගේ වාසනාව හැමවිටම මගේ ළඟ ඉන්නවා කියලා මම හිතනවා. මට අද D.O.P කෙනෙක් වෙන්න පුළුවන් වුණා. ගොඩක් අත්දැකීම් මේ සිනමාපටයෙන් මට ලැබෙනවා. ඒ සියලු දේම අනාගතය වෙනුවෙන් පරිස්සමට මතක පොතේ සටහන් කරගන්නවා. Bombei doll  සිනමාපටයේ රූපගත කිරීම් 18 වැනිදා අවසන් වෙන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

 

D.O.P කෙනෙක් වෙන්න ඕන කියලා හිතුවේ ඇයිද?

අප්පච්චිගෙන් ලැබුණු ආභාසය මට ගොඩක් පිටිවහලක් වුණා. මගේ අම්මගෙන් ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. දෙන්නාම පොත්පත් කියවන්න හරිම රුචියි. ඒ නිසා ඒ පොත්පත්වල තියෙන රූප රාමු පින්තූර මගේ ඇසේ නිතර ගැටෙන්න ගත්තා. මම එහි තිබෙන වර්ණයන් සොයන්න ගත්තා. පොත්පත්වල තියෙන එකිනෙකට වෙනස් රූප රාමු වෙනස් වෙන්නේ ඇයි කියලා මම හිතුවා. වයස අවුරුදු පහළොවේදී විතර තමයි මේ දේවල් සිදුවෙන්න පටන් ගත්තෙ. මගේ සීයා නිතර international documetary  බලනවා. Discovery චැනල්වල යන documentary  සහ shot film  බලලා මටත් කියන්න ගත්තා. මේ වගේ දෙයක් කරන්න කියලා මමත් ඉන්පසු නිතර වාර්තාමය වැඩසටහන් සහ කෙටි චිත්‍රපට බලන්න පටන් ගත්තා. ඒ ආසාව එන්න එන්නම වැඩි වුණා. ඉන් පස්සෙ මගේ අප්පච්චි මට පොඩ් කැමරාවක් ගෙනත් දුන්නා. ඒ කැමරාවෙන් විවිධ දේවල් රුපගත කළා. ඒ දේවල් දකින ගොඩක් අය මට විහිළු තහලු කරන්න ගත්තා. ගෑනුන්ට පුළුවන්ද කැමරාවක් එල්ලගෙන ඔය වැඩේ කරන්න කියලා. අම්මා නම් මේ ගමනට තදින්ම විරුද්ධවයි හිටියේ. කොටින්ම කියතොත් මගේ මල්ලි මට හිනා වුණා. ඒත්, මගේ උත්සාහය අතෑරියෙ නැ. මගේ අප්පච්චි පස්සෙන් ඉඳලා මාව මෙතනට තල්ලු කළා. හැම ගැහැනියක් පිටුපසම යෝධ ශක්තියක් තියනවා කියනවානේ මට ඒහෙම තිබුණා.

 

පවුල් පසුබිම කොහොමද ?

මගේ පවුලේ මමයි, මල්ලියි දෙන්නා විතරයි. අප්පච්චි විශ්වවිද්‍යාල කථිකාචාර්ය වරයෙක්. අම්මා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවය කළේ. දැන් විශ්‍රාම ගිහිල්ලා ඉන්නේ. එයාගේම කියලා දැන් පොත් ප්‍රකාශන ආයතනයක් කරගෙන යනවා. කසුන් පුස්සවෙල සමග මම විවාහවෙලා ඉන්නේ ,කසුන් මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ. අපි හරිම සතුටින් ජිවත්වෙනවා.

 

S.L.I.T.T ආයතනය සමග තිබෙන බැඳීම මොකක්ද? සිනමා කැමරා අධ්‍යක්ෂණය ඉගෙනගන්නේ කොතැනින්ද?

විශ්ව විද්‍යාලයේදි සිනමා ඉතිහාසය ඉගෙන ගන්නේ අපි අරුණ ගුණරත්නයන් යටතේ. ඉන්පසු මුලින්ම S.L.I.T.T ආයතනයේ රංජන් ගුරුසිංහ යටතේ කැමරා අධ්‍යක්ෂණය සහතික පත්‍ර පාඨමාලාව හැදෑරුවා. ඩිප්ලෝමා පාඨමාලාව ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂක දෙපළක් වන ඩොනල්ඩ් කරුණාරත්න සහ චන්ද්‍රලාල් මනමේන්ද්‍ර යටතේද, ඩිජිටල් ෆිල්ම් ඇකඩමියේ වසර තුනහමාරක් වෘත්තිමය කැමරා ශිල්පි පාඨමාලාව හැදෑරුවා. ඒ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරුන් වන එම්. ඩි. මහින්දපාල සහ ධනුෂ්ක ගුණතිලක යටතේයි. ඒ වසර තුනහමාරක් තුළ ඉගෙන ගත්ත තැනින් තමයි මම වෘත්තීයමය කැමරා ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට එන්නේ.

විශ්ව විද්‍යාලේ යන කාලෙදී 2013 වසරේදි දි ඊ.ඍ.ඊ ආයතනයේ රවීන්ද්‍ර ගුරුගේ යටතේ සහ අජිත් රාමනායක දෙපළගෙන් සංස්කරණය පිළිබඳ ප්‍රයෝගික පුහුණු වෙනවා. නැවත 2014 දි කොළඹ ෆිල්ම් ෆෙස්ටිවල් එකේ ස්වේච්ඡා කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා.

 

ක්ෂේත්‍රයේ ප්‍රායෝගික පුහුණුව ලබාගන්නේ කොහොමද?

පූර්ණිමා මුහන්දිරම් කියන්නේ අපට ඉන්න ඇදුම් නිර්මාණ ශිල්පිනියක් ඇගේ සහය ඇඳුම් නිර්මාණ ශිල්පිනිය ලෙස කටයුතු කළා. නිෂ්පාදිකා ඉරන්ති අබේසිංහගේ අන්තර්ජාතික වැඩ කිහිපයක්ම මට කරන්න අවස්ථාව හිමිවුණා.

ක්ෂේත්‍රයේ ඉන්න සියලුදෙනාත් එක්කම වැඩ කළේ මගේ අරමුණ වෙනුවෙන් ගමන් කිරිමටයි. දර්ශනතලයට ගිය හැම මොහොතේම ඇස රඳවාගෙන හිටියේ කැමරාවක ලෙන්ස් මාරු කරන විදියයි. කැමරා ඈන්ගල්, ආලෝකකරණය කරන්⁣නේ කොහොමද, කැමරා අධ්‍යක්ෂකවරයා කැමරාව හසුරුවන අයුරු , එහි ක්‍රියාකාරීත්වය මොන ආකාරයෙන් සිදු වනවාද, කැමරා department එකේ සියලු දෙනාට පැවරෙන වගකීම මොනවාද, සහාය කැමරා අධ්‍යක්ෂකවරයාගේ වගකිම මොකක්ද, අධ්‍යක්ෂවරයා සමඟ කැමරා අධ්‍යක්ෂකවරයාගේ ගනුදෙනුව මොන ආකාරයෙන්ද සිදුවෙන්නේ මේ දේවල් පිළිබඳ මට පූර්ණ අවබෝධයක් අවශ්‍ය වුණා. ඒ නිසා මම ඒවා හොයාගෙන ගියා.

 

ඔබේ පළමු කැමරා අධ්‍යක්ෂණය මොකක්ද ?

නයනී චන්ද්‍රසිංහ අධ්‍යක්ෂණය කළ music video එකක්. මේක පෞද්ගලික ආයතනයකට කළේ. ඊට අමතරව පොඩි පොඩි වැඩ කළා' ඉන් පසු මම

ලෙබනන් බීරුට්වල සහාය කැමරා අධ්‍යක්ෂවරිය ලෙස වැඩකටයුතු කළා. මගේ පළමුවැනි වෙළෙඳ දැන්වීම කළේ නන්දා නන්දි ජයකොඩි හා භාරත ගිහාන් හෙට්ටිආරච්චි දෙපොළ සමඟ කළේ. පස්සේ තමයි මට ඉන්ට ෆිල්ම් එකෙත් වැඩ කරන්න පුළුවන් වෙන්නේ.

 

අද ක්ෂේත්‍රය තුළ ඉන්න තැන ගැන සෑහීමට පත් වෙනවාද ?

සමහර අය කියනවා පිරිමින්ට පමණයි මේ වෘත්තිය කරන්න පුළුවන් කියලා. පිරිමි සහ ගැහැනු කියලා භේදයක් මේ ක්ෂේත්‍රය තුළ නැහැ කියලා මම හිතනවා. ලෝකෙ කිසිම තැනක එහෙම දෙයක් ලියලත් නෑ. කවුරුත් කියලත් නෑ. කෙනෙකුට ජීවිතයට ජය ගන්න ඕන දෙයක් ආශාවෙන් කරන්න ඕනෑ නම් ඒ දේ ලබා ගත යුතුයි. තමන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව පුර්ණ අවබෝධයකින් හොඳ ඉගෙන ගැනිමක් අත්‍යවශ්‍යයි. ගැහැනු සහ පිරිමි ලෙස වර්ගීකරණය කරන්න මම නම් කොහෙත්ම කැමැති නෑ. දක්ෂතාවය තුළ අදාළ ස්ථානය හිමි වෙනවා. ඒ ගැන බිය විය යුතු නැහැ. ගැහැනුන් මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවා කියන එක මැජික් එකක් නෙවෙයි. මම හරි සතුටින් ඉන්නේ අද ඇවිත් ඉන්න තැන ගැන.

අද මේ වන විට ලෝකයේ සිනමා කැමරාකරණයට පාවිච්චි කරන කැමරා වර්ග ගොඩයි ඒ අතර ඇරි ඇලෙක්ස්, රේඩ්, සහ සෝනි යන වර්ග තුනේම මේතාක් ආපු සියලුම කැමරාවලින් මම රුපගත කරනවා.

 

අද ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය ගැන මොනාද කියන්නේ?

 

අපේ නියොජනයේ සියලු දෙනාටම මං ගරු කරනවා. ඔවුන් නිසා තමයි අද මටත් මෙතැනට එන්න ලැබිලා තියෙන්නෙ. ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ සිට මේතාක් අධ්‍යක්ෂකවරියන් නිෂ්පාදකවරියන්, ශබ්ද පරිපාලකවරියන්, හා වේෂ නිරූපණ. ඇඳුම් නිර්මාණ, නර්තන,සංගිතය,කලා අධ්‍යක්ෂකවරියන් ඇතුළු විශාල පිරිසක් විවිධ අංශ යටතේ මේ ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්නවා. මේ සියලු දෙනාගේම කැප කිරිම මම දකින්නේ ජයග්‍රහණයක් ලෙසයි.

 

නවයුගා කුගරාජා මේ සිනමාපටයට ඔබව දායක කරගන්නේ කොහොමද ?

මම කරපු වැඩවලින් වැඩියෙන්ම මට ලැබිලා තියෙන්නෙ දෙමළ වැඩයි. මම හිතන විදියට එයට හේතුව වෙන්න ඇත්තෙ මගේ ආලෝකකරණය පිළිබඳ ඔවුන්ට හොඳ පැහැදීමක් ඇති වෙලා තියෙනවා. මේ නවයුගා කුගරාජා අධ්‍යක්ෂකවරිය සමඟ මම 2019 වෙළෙඳ දැන්වීමක් රූපගත කළා. ඒ‍කත් එක් හේතුවක් වෙනවා කියල මම හිතනවා. අනික මේ බොම්මෙයි ඩොල් සිනමාපටයෙ වැඩි පිරිසක් ඉන්නෙ කාන්තාවන්. ඔවුන් සියලු දෙනා උරෙන් උර එකට බැදිලා වැඩ කරනවා. පවුර වැඩිවෙන තරමට ශක්තිමත්භාවය වැඩියි. එනිසා මේ නිර්මාණය විශිෂ්ට නිර්මාණයක් වෙයි කියලා මම හිතනවා.

 

කසුන්ගෙන් සහ පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කළොත්?

ඒයා තමයි හැම දෙයක්ම කරන්නේ.හොඳ සහයෝගයක් ලැබෙනවා . සෙට් එකට ඇවිත් සොයා බලන තැන ඉදන් කෑම බීම බෙහෙත් ටික පවා කසුන් තමයි ගෙනත් දෙන්නේ. අම්මයි, අප්පච්චියි, මල්ලිත් හොඳ යෝගයක් ලබාදෙනවා.

 

බොම්මෙයි ඩොල් සිනමාපටයෙන් පසු ඉදිරි නිර්මාණ මොනවාද ?

සිනමාපට තුනක් භාරගෙන තියෙනවා. දෙමළ සිනමා පටයක් සහ සිංහල සිනමාපට දෙකක්. ථභඵඪජ වීඩියෝ කීපයක් සහ වෙළෙඳ දැන්වීම්ද ඒ අතර තියෙනවා. විශේෂයෙන් මතක් කළ යුතුම දෙයක් තියෙනවා මට ශිල්පය උගන්නපු ගුරුවරුන්ටත්,මාව විශ්වාස කරලා වගකීම පැවරූ මාව තෝරාගත් අධ්‍යක්ෂකවරුන් හා මේතාක් කලාවේ වැඩ කළ ජ්‍යෙෂ්ඨ කාන්තාවන්ට සහ වර්තමානයේ වැඩ කරන සියලුම දෙනාටත් මට උදව් උපකාර කළ සියලුම දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය පළ කළ යුතුයි.