හොරා අංකල් මංගල දර්ශනය ඉතාලියේදී මහේන්ද්‍ර පෙරේරා ප්‍රධාන චරිතයට

ජුනි 16, 2022

 

හර්ෂණ වික්‍රමසිංහගේ කුලුඳුල් චිත්‍රපටය 'හොරා අංකල්' ළමා චිත්‍රපටයේ මංගල දැක්ම ජූනි 25 වැනිදා ඉතාලියේ මිලානෝ නගරයේ සෙන්ට්‍රෝ ඇස්ට්‍රියා සිනමා ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත. එයින් අනතුරුව 'හොරා අංකල්' චිත්‍රපටය ඉතාලියේ තවත් නගර ගණනාවකම ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත.

ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ටද ආදර්ශයක් ගෙන එන ලෙස නිර්මිත 'හොරා අංකල්' ත්‍රාසය, විනෝදය , කුතුහලය එක්කල පවුලේ සැමට එක්ව නැරඹිය හැකි සම්ප්‍රදායෙන් බැහැර වූ සුන්දර ළමා චිත්‍රපටයකි. මෙහි රංගනයෙන් මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමාර තිරිමාදුර, ජනක කුඹුකගේ, උමයංගනා වික්‍රමසිංහ, සෙනුල්‍යා දන්තනාරායන, නෙත්ප්‍රිය මධුභාෂිත, දෙව්මි සතිස්කා ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක්වී සිටිති.

කැමරා කරණයෙන් සුරේෂ් ධම්මික, අංග රචනයෙන් මනනුවන් රූපසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංස්කරණය, ශබ්ද පරිපාලනය සහ වර්ණ සංයෝජනයෙන් ඩිලාන් ගුණවර්ධන, රේඛීය නිෂ්පාදනයෙන් දේශබන්දු නිශාන් සේනාරත්න, සංගීත අධ්‍යක්ෂණයෙන් නවරත්න ගමගේ, ගීත ප්‍රබන්ධනයෙන් බන්දුල නානායක්කාරවසම් සමගින් හර්ෂණ වික්‍රමසිංහ, ගීත ගායනයෙන් ලක්ෂ්මන් විජේසේකර සහ පාරමී ආලෝකා ද එක්වී ඇත. නිහාල් පීරිස් ගේ තිර රචනයක් වූ 'හොරා අංකල්' දේශබන්දු සමන් ධර්මවංශ සමගින් ආචාර්ය සුමින්ද ලෝව් නිෂ්පාදනය කර ඇත. ඉතාලියේ ප්‍රදර්ශන සම්බන්ධීකරණය නූන් කල්බ් මිලානෝ වෙනුවෙන් උපාලි චන්ද්‍රකුමාර සහ රංග අලහාකෝන් ගෙනි. ඉදිරියේදී එංගලන්තය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවකදී 'හොරා අංකල්' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.