ද ගේම් කල් යයි

මැයි 19, 2022

 

'ද ගේම්' (The Game)චිත්‍රපටය ලබන 20 වැනිදා දිවයින පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුණද රටේ පවතින තත්ත්වය හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවූ බව චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සරසවියට පැවසීය. රටේ පවතින ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව සමඟ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීමට අපහසුවීම මෙන්ම ඇතැම් සිනමාහල් සතු විදුලි ජනක යන්ත්‍ර නොතිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් නුදුරේදීම 'ද ගේම්' චිත්‍රපටය තිරගත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

'ද ගේම්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ රන්ජන් රාමනායක විසිනි. ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, තරින්දි ප්‍රනාන්දු, තුෂිනි ප්‍රනාන්දු, ගීතිකා රාජපක්ෂ, ආරියසේන ගමගේ, බුද්ධික ජයරත්න, වසන්ත කුමාරවිල, ටිරෝන් මයිකල්, ලාල් කුමාර, ලක්ෂ්මන් අමරසේකර, සුදේශ් වසන්ත පීරිස්, නිල්මිණි කෝට්ටගේ ඇතුළු පිරිසක්ද මෙහි රංගනයෙන් දායක වී සිටිනි. 'ද ගේම්' තිර රචනය සුරංග ද අල්විස් සහ නිශාන්ත වීරසිංහ ගෙනි.

කැමරා අධ්‍යක්ෂණය ගාමිණි මොරගොල්ලාගම, සංස්කරණය රුවන් වීරසිංහ, කලා අධ්‍යක්ෂණය ඇහැලියගොඩ සෝමතිලක, චන්ද්‍ර සුගත් කුමාර අංග රචනය සටන් අධ්‍යක්ෂණය සමන්ත මායාදුන්න, ඇඳුම් නිර්මාණය ප්‍රියාන් අනුර ශ්‍රී, නිශ්චල ඡායාරූපකරණය අනුර ශාන්ත, නිෂ්පාදන කළමනාකරණය දර්ශන දිසානායක සහ සම්පත් අල්විස්, විධායක නිෂ්පාදනය නිශාන්ත වීරසිංහ සහ සරත් ද අල්විස් සංගීත අධ්‍යක්ෂණයෙන් 'ද ගේම්' චිත්‍රපටය වෙනුවෙන් දායක වී ඇත. උරේෂා රවිහාරි, මාරියෝ ආනන්ද සහ සංඛ දිනෙත් ගීත ගායයෙන් එක් වී සිටී. 'ද ගේම්' සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.