කථානාද සිනමාවට 75යි චිත්‍රපට සංස්ථාවට 50යි

චිත්‍රපට දැක්මක් ඇතුළු වැඩසටහන් මාලාවක් ජනවාරි 10 වැනිදා සිට
ජනවාරි 6, 2022

 

ලාංකේය කථානාද සිනමාවට වසර 75 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සැමරුම් උලෙළක් සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවක් ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධානය කර ඇති බව පසුගියදා (03) ජාතික චිත්‍රපට සංස්ථාවෙහිදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් නිවේදනය කර ඇත. ජ්‍යෙෂ්ඨ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය, ජාතික චිත්‍රපටි සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රවී ප්‍රසාද් කළුපහන, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික දිසානායක යන මහත්වරු මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.

ඒ අනුව ජනවාරි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා තරංගනී සිනමා ශාලාවෙදී චිත්‍රපට උලෙළක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. වසර 75ක සිනමා ගමන්මඟ නියෝජනය කරන සංධිස්ථානගත චිත්‍රපට හතක් මෙහිදී ප්‍රදර්ශනය කිරීම සඳහා තෝරාගෙන ඇත. එම චිත්‍රපට පහතින් දැක්වේ.

 

ජනවාරි 10 - ගොළු හදවත (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්)

ජනවාරි 11 - විරාගය (ආචාර්ය තිස්ස අබේසේකර)

ජනවාරි 12 - වල්මත්වූවෝ (වසන්ත ඔබේසේකර)

ජනවාරි 13 - සිකුරුලියා (එච්.ඩී. ප්‍රේමරත්න)

ජනවාරි 14 - ගැහැනු ළමයි (සුමිත්‍රා පීරිස්)

ජනවාරි 15 - සුද්දිලාගේ කතාව (ධර්මසිරි බණ්ඩාරනායක)

ජනවාරි 16 - බඹරු ඇවිත් (ආචාර්ය ධර්මසේන පතිරාජ)

 

2022 ජනවාරි 21 වැනිදා සැමරුම් උලෙළේදී දේශීය සිනමාවට වසර 75ක් සැපිරීම නිමිත්තෙන්

"ලාංකේය සිනමාවේ එදා මෙදාතුර ගමන් මග" පිළිබඳව සිනමාවෙදී ජැක්සන් ඇන්තනි දේශනයක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 50 සපිරීම නිමිත්තෙන් "ජාතික චික්‍රපට සංස්ථාවේ ගමන් මඟ" පිළිබඳ දේශනයක් ප්‍රවීණ රංගනවේදී විජේරත්න වරකාගොඩ මහතා පැවැත්වීමට නියමිතය.

එහිදී ජාතික සිනමාව අතික්‍රමණය කරමින් ජගත් අවධානයට සම්ප්‍රාප්ත වූද , කැලණිය විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධියෙන් (ච්.තඪබ) පිදුම් ලැබූවා වූ සිනමාවේ කිවිඳීය ලෙස විරුදාවලි‍ය ලත් සුමිත්‍රා පීරිස් මහත්මියට විශේෂ ඇගයීමක් කිරීමට නියමිතය. එමෙන්ම දේශීය සිනමාවට වසර 75ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට මෙහිදී කටයුතු සූදානම් කර ඇත.

ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්පීන් විසිපස් දෙනෙකු සඳහා නව විශ්‍රාම වැටුප් ප්‍රදානය සහ ජාත්‍යන්තර ඇගයීමට ලක් වූ ජාතික චිත්‍රපට සංස්ථා සිනමාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ නවක සිනමාකරුවන් ඇගයීමට ලක් කිරීම මෙදිනට සිදුකිරීමට නියමිතය.

ලාංකේය කථානාද සිනමාවට වසර 75 ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජනවාරි මස 21 වැනිදා සිනමා ග්‍රන්ථ ප්‍රකාශන 04ක් ජනගත කිරීමට නියමිතය. එම කෘතීන් පහත පරිදි වේ.

 

චිත්‍රප‌ට සඟරාව විශේෂ කලාපය

පශ්චාත් නූතන සිනමාව - කථිකාචාර්ය ප්‍රභාත් අංගම්පොඩි

සිංහලයේ මහා සිනමා වංශය (2 වන කාණ්ඩය) ආතර් යූ. අමරසේන

සිනමාව පිළිබඳ විමර්ශිත ශාස්ත්‍රීය සංග්‍රහය

 

මෙම සැමරුම් උලෙළට සමගාමීව සරසවි චිත්‍රාගාරය තුළ වැඩසටහන් කීපයක් පැවැත්වීමට සංවිධානය කර ඇති අතර සරස්වතී පූජාව පැවැත්වීම, සරසවි චිත්‍රාගාරයේ කෞතුකාගාරය විවෘත කිරීම, දෙබස් පටිගත කිරීමේ මැදිරිය විවෘත කිරීම එම වැඩසටහන් වේ.

ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50 සපිරීම නිමිත්තෙන් 2022-01-13 දින සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වීම සහ පසුදින සාංඝික දානය පිළිගැන්වීමට කටයුතු සූදානම් කර ඇත.

සිනමාවේ 75 වන සංවත්සරයට සමගාමීව සිනමා ප්‍රේක්ෂක ප්‍රවර්ධන වැඩමුළු දීප ව්‍යාපත්ව සිදු කිරීම සහ සිනමා අධ්‍යයනය ප්‍රවර්ධනය උදෙසා චිත්‍රපට තිරරචනය, සිනමා රංගනය , කැමරාකරණය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමටද චිත්‍රපට සංස්ථාව විසින් කටයුතු සූදානම් කර ඇත. චිත්‍රපට සංස්ථාවෙන් නිකුත් කරනු ලබන "චිත්‍රපට" සඟරාවෙහි විශේෂ කලාපයක්ද එදිනට නිකුත් කිරීමට නියමිතය.