“සුනාමි” යළි සම්මාන දිනයි

ආචාර්ය සෝමරත්නට නිරංජනීට සම්මාන
ඔක්තෝබර් 28, 2021

ආචාර්ය සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද රේණුකා බාලසූරිය විසින් නිෂ්පාදනය කළ “සුනාමී” චිත්‍රපටයට පසුගිය 24 වැනි දා අවසන් වූ නයිජීරියාවේ බයෙල්සා අන්තර්ජාතික සිනමා උලෙළේ දී හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නිළිය යන සම්මාන දෙක හිමිවිය. ආචාර්ය සෝමරත්න දිසානායක හොඳම අධ්‍යක්ෂක ලෙසද ප්‍රධාන නිළි නිරංජනී ෂන්මුගරාජා හොඳම නිළිය ලෙසද මෙහිදී සම්මාන දිනාගත්හ. චිත්‍රපට එක්දහස් තුන්සියය ගණනක් අතරින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම ළමා රංගනය, හොඳම සහාය නළුවා, උලළේ හොඳම චිත්‍රපටය හා ජනප්‍රියම නිළිය යන සම්මාන නවය සඳහා සුනාමි චිත්‍රපටය මෙම උළලේදී නිර්දේශ වී ඇත.

මීට ඉහතදී භූතනයේ ඩුරෙක්ස් අන්තර්ජාතික සිනමා උලළේ දී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම කැමරාකරණය සහා හොඳම නිළිය යන සම්මානද පිකාසෝ අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානයද මුන්වයිට් අන්තර්ජාතික සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය සඳහා වන සම්මානයද ලන්ඩන් රේන්බෝ අන්තර්ජාතික සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මානය ද ඇතුළුව සුනාමි චිත්‍රපටය සඳහා මේ වන විට අන්තර්ජාතික සම්මාන නවයක් ලැබී ඇත. තවත් අන්තර්ජාතික සිනමා උලෙළ රැසකට සුනාමි සිනමාපටය තෝරාගෙන ඇත.

2020 වසරේ මෙරට මහජන ප්‍රදර්ශනය ආරම්භ කළ සුනාමි චිත්‍රපටය ඉතා සාර්ථකව ප්‍රදර්ශනය වෙමින් තිබියදි පවතින වසංගත තත්ත්වය හමුවේ ප්‍රදර්ශන කටයුතු නවතා දැමීමට සිදු වූ අතර සිනමා ශාලා යළි විවෘත වීමත් සමඟ නැවත මහජන ප්‍රදර්ශනය සඳහා මුදා හරින බව චිත්‍රපට නිර්මාණකරුවෝ පවසති.