කථානාද සිනමාවේ 75ට “මිදුණු විශ්වය” ජනවාරි 21

අගෝස්තු 5, 2021

මෙරට සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා පටය වන "මිදුණු විශ්වය" ලාංකේය කථානාද සිනමාවට 75 වසරක් සපිරෙන 2022 ජනවාරි මස 21 වැනිදා තිරගත වීමට නියමිතය.

ජයන්ත චන්ද්‍රසිරිගේ සයවැනි සිනමා වියමන වන "මිදුණු විශ්වය" තුළින් අතීතය සහ අනාගතය යන කාල වකවානු දෙකක ජීවත්වන කිසිදා භෞතිකව හමුනොවන චරිත දෙකක් අතර ගොඩනැඟෙන අපූර්ව ආදරයක් පිළිබඳ රසවත් වෘත්තාන්තයක් සෞන්දර්යාත්මකව පිළිබිඹු කරයි. මිදුණු විශ්වය චිත්‍රපටය සිනමා ඉතිහාසය තුළ රූපණය නමැති විෂයය මුළුමනින්ම ප්‍රස්තුත කොට ගෙන නිර්මාණය වන පළමු චිත්‍රපටය වශයෙන් සැලකේ.

උදාරි වර්ණකුලසූරිය, උද්දික ප්‍රේමරත්න එහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර චුලක්ෂි රණතුංග, බුද්ධික ජයරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, කුසුම් රේණු, දමිතා අබේරත්න, උදිත ගුණරත්න, ගාමිණි ජයලත්, දිමුතු චින්තක, දිලීප අබේසේකර ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරති.

මිදුණු විශ්වය කැමරාකරණය ප්‍රවීන් ජයරත්න වන අතර සංගීතය නවරත්න ගමගේ විසිනි. අංග රචනයෙන් ඉන්දික උදාර ලංකා ද සහාය අධ්‍යක්ෂණයෙන් නිමල් ෆ්‍රෑන්සිස්, සරත් සේනාරත්න හා තිස්ස ගුණතිලක ද නිෂ්පාදන කළමනාකරණයෙන් ප්‍රසන්න ඉත්තෑපාන ද රේඛිය නිෂ්පාදනයෙන් නිමල් විජේසිරි සහ රූ සිනමා වෙනුවෙන් රුවන් ජයසිංහ ද මෙම නිර්මාණය සඳහා දායක වී ඇත.