‘සම්මානය විකිණේ’ මුහුරත් උලෙළ දා

මැයි 13, 2021

 

එස්.රාජ් අධ්‍යක්ෂණය කරන ‘සම්මානය විකිණේ’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා මොරගහහේන ටස්කර් ස්ටුඩියෝ හිදී පැවැත්විණි. හොරණ, ඉංගිරිය ඔලබොඩුව ප්‍රදේශයන් හි දී මෙහි රූපගත කිරීම සිදුකිරීම ජුනි මස ආරම්භ කිරීමට නියමිතය.

රාජ් ෆිල්ම් ප්‍රඩක්ෂන් ප්‍රථම නිෂ්පාදනය වන මෙම චිත්‍රපටයේ නුවන් විජය ශී‍්‍ර, මානෙල් චන්ද්‍රලතා, සැනට් දික්කුඹුර, රූපා ගෝමස්, කුමුදුනී අධිකාරී, ධර්මපාල සුදුමල් කන්ද, නිලංගනී පෙරේරා, උදය කුමාර ඇල්පිටිය, චන්ද්‍රිකා දිලාරි, ටිරෝන් ඉන්දික, නිමේෂ පි‍්‍රයදර්ශන රාජු සහ හඳුන්වාදෙන සුමුදු ජයවර්ධන රංගනයෙන් දායක වෙති.

කලාශූරී ලතාවල්පොල, සිරිල් සුසන්ත ගීත ගායනයෙන් ද, විශාරද චාමික නිල්මි රණසිංහ පසුබිම් සංගීතයෙන් ද හේම ශ්‍රී ද අල්විස් ගේය පද රචනයෙන් ද, ස්ටැන්ලි එච්. ප්‍රනාන්දු, ටියුලින් ජයරත්න ගී සංගීතයෙන් ද, සිරිල් සුසන්ත ඇඳුම් නිර්මාණයෙන් හා කලා අධ්‍යක්ෂණයෙන් ද නුවන් විජය ශ්‍රී පිටපත් රචනයෙන් ද, ‘සම්මානය විකිණේ’ චිත්‍රපටය සඳහා සම්පත් දායකත්වයෙන් එක්වෙති.