මම නැවත උපදින්නට කැමැතියි ඒ ඔබේම තාත්තා හැටියට

ගාමිණි කී වදනක් පුත් දම්මිත් ෆොන්සේකා සිහිපත් කරයි
සැප්තැම්බර් 30, 2021

 

අදට හරියටම සිංහල රිදී තිරයේ මහා නළු ගාමිණි ෆොන්සේකා දිවි සිනමාවට සමු දී දාහත් වසරක් ගෙවී ගොසිනි. එහෙත් අපේ හෙළ සිනමාවේ වීරයා ගැන කතා කරන්නට ඒ නමට ඉහළින් තැබූ නමක් තවමත් නැත. අදටත් ඒ රංග පෞරුෂය අබිබවා යන තරම් ප්‍රතිරූපයක් බිහි වී නැත. චිත්‍රපට රසිකයන්ගේ සන්තානයේ ප්‍රමුඛව රැඳුණු 'ගාමිණි ෆොන්සේකා' තවමත් ජීවමානයැ'යි අපට හිතෙන්නේ ඒ නිසාය. පවතින වසංගත තත්ත්වය හමුවේ වුව ඔහු වෙනුවෙන් විවිධ පරම්පරාවල නියෝජනයෙන් කෙරෙන සැමරුම් සුළුවෙන් හෝ පවත්වන්නෙත් ඒ නිසාය. සරසවිය පුවත්පත ආරම්භයේ සිට වසර පනස් නවයක් පුරා මෙන්ම පළමුවැනි සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය වූ ගම්පෙරළියේ සිට ඔහුගේ ඇවෑමෙන් පසු වුව මේ දක්වා පැවැති සම්මාන උලෙළවල ඔහුගේ නම සඳහන් නොවුණු වාරයක් නැති තරම් වේ. අද සිනමාවේ මෙන්ම පුවත්පත් කලාවේ තාක්ෂණය වෙනස් වී ගියද, කොරෝනාව නිසා විද්‍යුත් පුවත්පතක් ලෙස පිටවන සරසවිය ජාතික සිනමා කලා පුවත්පතේ වුව 'ගාමිණි ෆොන්සේකා' නමට මේ තරම් පිටු සංඛ්‍යාවක් වෙන් කෙරෙන්නෙත් හෙළ සිනමාව, ගාමිණි ෆොන්සේකා සහ සරසවිය යනු එක අරමුණක් වෙනුවෙන් එකට ගමන් කරන තිදෙනෙකු බඳු වන නිසාය. එවන් වූ 'ගාමිණි ෆොන්සේකා' නම් රංගවේදියා පිළිබඳ ඔබ නොදත් දෙයක් නැති තරම් බව ද දනිමි. ඒත් අප කොතරම් දන්නා දේ ගැන වුව නොදන්නා කුමක් හෝ තිබිය හැකිය. එය දන්නා කවුරුන් හෝ සිටින්නටත් හැකිය. පියකු, පුතකු ගැන දන්නා තරමටම නොවුව ද පුතෙකු තම පියා ගැන පිටස්තර අපට වඩා දන්නා දේ බොහෝය. මහා නළුවකු මතු නොව දේශපාලනඥයකු, මිත්‍රයකු, පියෙකු, සීයා කෙනකු වූ ගාමිණි ෆොන්සේකා පිළිබඳ සිය පුතු දම්මිත් ෆොන්සේකාගේ මතකයෙන් බිඳක් ඔබට ගෙනෙන්නේ ඒ 'අභිමානවත් මනුෂ්‍යයා' ගැන ඔබ දන්නා කතාවේ හිස් තැන් වේ නම් පුරවාලන්නටය...

අවුරුදු දාහතක් 'තාත්තා' නැතිව ගෙවී ගිහින්? මම ආරම්භය ගත්තෙමි.

ඔවු. අදට (සැප්තැම්බර් මස 30 වැනිදාට) හරියටම තාත්තාගේ 17 වැනි අනුස්මරණය යෙදෙනවා. කාලය බොහොම ඉක්මනට ගෙවිලා ගිහින්. අද පවතින තත්ත්වය යටතේ අපි අට දෙනකුට පමණ සීමා වුණ පිරිසක් එල්ෆින්ස්ටන් රඟහල ඉදිරියේ ඇති ගාමිණි ෆොන්සේකා ප්‍රතිමාවට පුෂ්පෝපහාර කරනවා. එයට නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්ධන සහ තවත් තෝරාගත් කලාකරුවන් කිහිපදෙනකු සහභාගී වනවා.

කොවිඩ් -19 තත්ත්වය මත පවුලේ සාමාජිකයන් සීමා සහිත පිරිසකගේ සහභාගීත්වයෙන් රත්මලානේ ගෙදර සුපුරුදු පින්කම සිදු කෙරෙනවා.

පුවත්පතක කුඩා පින්තූරයක් සහිත සැමරුම් ප්‍රවෘත්තියකට පමණක් සරිලන තොරතුරු සපයා ඔහු නිහඬව බලා සිටියි. ඒ බැල්මේ ඇත්තේ යම් සාංකාවක සේයාවකි. නිතැතින්ම එය ඒ මොහොතේ ඔහුගේ දෑස් මත ඇඳීය යුතුම හැඟීම නොවේදැ'යි මට සිතේ. මගේ සිතිවිලිවලට දුර යන්නට නොදී ඔහු යළිත් පවසයි.

2004 සැප්තැම්බර් 30 නෙ තාත්තා නැති වුණේ. ඊට අවුරුද්දකට විතර කලින් ඉඳන් අපට තේරුණා තාත්තාගේ කටයුතු ඉදිරියට කරගෙන යන්න යම් විධිමත් පියවරක් ගන්න ඕනෙ, 'ගාමිණි ෆොන්සේකා පදනමක්' ඇති කළ යුතුයි කියලා. සිහිවටන වාර්ෂික සැමරුම් සහ නිර්මාණ සංරක්ෂණ කටයුතුවලට මුල්තැන දෙන්න අපි පදනමෙන් යෝජනා කළා. ඒත් සංරක්ෂණය සඳහා හරි තාක්ෂණයක්, දැනුමක් සොයාගන්න බැරුව වසර කීපයක් ගත වුණා. ඊට පස්සේ තමයි මට ෆිල්ම් හෙරිටේජ් ෆවුන්ඩේෂන් එකට සම්බන්ධ වෙලා ෆෙඩරේෂන් ඔෆ් ෆිල්ම් ආකයිව්ස් එකෙන් දැනුම ලබා ගන්න පුළුවන් වුණේ.

ඒ දැනුම තාත්තාගේ චිත්‍රපටවලට පමණක් නොවේ විනාශ වෙමින් යන සිංහල චිත්‍රපට සංරක්ෂණයටත් හේතු වුණා. මුලින්ම හිතුවේ තාත්තගේ චිත්‍රපට පහක් සංරක්ෂණය කළ යුතුයි කියලා. ඒ වෙද්දිත් නිධානය සංරක්ෂණය කර තිබුණේ. මට ලොකු ආශාවක් තිබුණා සරුංගලේ, පරසතු මල් වගේ චිත්‍රපට සංරක්ෂණයට. ඒක අදටත් කෙරී නැතත් චිත්‍රපට සංස්ථාව සමඟ කළ සංරක්ෂණ වැඩසටහන නිසා පුළුවල් ව චිත්‍රපට සංරක්ෂණයට ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුවේ සිනමා අංශය සමඟ සම්බන්ධීකරණය කරමින් කරගෙන යන වැඩපිළිවෙළේ අඩුපාඩු ටික හදාගෙන අදටත් කරගෙන යනවා.

චිත්‍රපට සංරක්ෂණය කියන්නේ හරි පහසු දෙයක් කියලා සමහරු සැහැල්ලුවෙන් ගන්නේ. ඒත් අධ්‍යයනය කරද්දි තේරුණේ මෙය සියුම්ව කළ යුතු බරපතළ කටයුත්තක්. ටෙලිවිෂන් සඳහා සංරක්ෂණය අමාරු නැහැ. ප්‍රිසවේෂන්, ඩිජිටල් රෙස්ටොරේෂන්, කොන්සර්වේෂන් කියන පියවරවලින් තමයි එය කළ යුත්තේ. එදා පෙන්වූ පුළුල් තිරයේ ගුණාත්මක බව සහ ශබ්දවල ගුණාත්මක බව ලබාගන්න පුළුවන් වන්නේ එවිට.

බොහෝ අය කිව්වේ ඩීවීඩී කළාම සංරක්ෂණය හරි කියලා. දැනුම තිබුණට සම්පත් මඳකම නිසාත් ආකල්ප නිසාත් කටයුතු කල් යනවා තමයි. ඒත් චිත්‍රපට සංස්ථාවේ වගේම රජයේ චිත්‍රපට අංශයේත් නිදහසට පෙර පවා කළ නිවුස් රීල්ස්, වාර්තා ආදිය සංරක්ෂණ කටයුතු මේ ලබාගත් දැනුම යොදාගෙන කෙරෙනවා. චිත්‍රපට සංස්ථාවේ තිබෙන්නේ සංරක්ෂණාගාරයක් නෙවෙයි ගබඩාවක්. ඉඩ ඉතිරි කරන්න කියලා සිනමා රීල පොත් වගේ උස අතට ඇසුරුවාට ඒවා සංරක්ෂණයේදී කරන්නේ හරස් අතට තැන්පත් කිරීම. සංරක්ෂණයේදී ලිපි ගොනු සැකසීමේ සිට දත්ත ගබඩාව පවා සකස් කරන්නේ වෙනස් විදිහට.

තාත්තාගේ චිත්‍රපට සුරකින්න කියලා මේ දේවල් ඉගෙන ගත්තාට තාත්තා නැති වුණාට පස්සේ මම නොහිතූ නොකළ පැත්තකට ඒ නිසා ඇදිලා ගියා. එය අපේ ජාතික උරුමයට එකතු කරගන්න යන එකට නොදැනුවත්වම හරි සහායක් වුණා. ඒ අතින් බැලුවාම ගාමිණි ෆොන්සේකා පදනමේ අරමුණ හරිගිහින් තියෙනවා.

 

ඔහු සිනමා සංරක්ෂණය සහ සිනමා සංස්කෘතියකට එහි බලපෑම පිළිබඳ තවත් බොහෝ කරණු පැහැදිලි කරයි. ඒ අතර එයට උපකාර කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාණන්ගේ ඇසුර ගැනද පවසයි.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ජීවතුන් අතර සිටින කාලේ මේ දේවල් ගැන කතා කරගන්න ගිය නිසා එතුමාව බොහොම ළඟින් ඇසුරු කරන්න මට ලැබුණා. ඒක මට සතුටක්. මම සංරක්ෂණය පිළිබඳ ඉන්දියාවට ගියේ පළමු වතාවට 2016 විතර. ඒ යනකොට මට ඕනෑ වුණා ලෝකය පිළිගත් සම්මානනීය අධ්‍යක්ෂවරයෙකුගෙන් රෙකමදාරුවක්. ලෙස්ටර් මහත්මයා ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් උදවුවක් කියලා මට ලියුමක් දුන්නා.

ඒ අතර තාත්තා ගැනත් කතා වුණා.

 

දැන්ය ඔහු ගාමිණි ෆොන්සේකා පිළිබඳ මතක අවදිකරන්නට සැරසෙන්නේ.

ලෙස්ටර් සර් මට කීවේ තාත්තා මුලින්ම ආවේ කැමරාමන් කෙනෙක් වෙන්න ඕනෙ කියාගෙනලු. 'එතකොටත් ගාමිණි ස්ටිල් ෆොටෝග්‍රැෆි කරනවා. මම ගාමිණිව දැම්මේ විලී බ්ලේක් එක්ක වැඩ කරන්න. දෙන්නටම තරහ යනවානේ. ඒ නිසා එකට වැඩ කරන එක කරදරයි කියලා තමයි ගාමිණි මගේ ඇසිස්ටන්ට් කරගත්තේ.' කියලා ඩොක්ට පීරිස් කීවා. බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කරද්දි ඒකට සහාය අධ්‍යක්ෂවරයෙක් අහනකොට ඩොක්ට පීරිස් ළඟ ඇසිස්ට් කරලා තිබුණ එක තාත්තාට වාසියක් වුණා.

ලෙස්ටර් සර් කියනවා පස්සේ කාලෙක තාත්තා හරි සීරියස් කෙනෙක් වුණාට තාත්තා ඉස්සර හරි විහිළු කරන තරුණ කොල්ලෙක්ලු. ඕනෙ දේකට මූණ දෙන්න පුළුවන්, ඕනෙ සිටුවේෂන් එකක් හැන්ඩ්ල් කරන්න පුළුවන්, ඕනෙ තැනක යන්න එන්න පුළුවන් වීම බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායිවලට සම්බන්ධ වෙන්න සුදුසුම ලක්ෂණ වුණාලු.

 

ඔහු කල්පනා කරයි. නැවත කියයි.

රේඛාව වගේම බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායිවල සහාය අධ්‍යක්ෂණය කර තිබීම තාත්තාට අනෙක් අයට දෙවැනි නොවන තාක්ෂණික දැනුමක් ලබා ගන්න හේතු වුණා කියලා මට හිතෙනවා.

සංදේශය, දෛව යෝගය කරද්දි තාත්තා පූනේ ගිහින් එහෙ වැඩ කරලා තිබෙනවා. ඒ කාලේ බොලිවුඩ් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තිබුණේ පූනේවල. ශීත‌දේශගුණය නිසා චිත්‍රාගාරවල තමයි චිත්‍රපට කෙරුණේ. පූනේවල වී. ශාන්තිරාම්ට අයත් ප්‍රභාත් චිත්‍රාගාරයේ තාත්තා වැඩ කරලා තිබුණා. ඒ අත්දැකීම් සියල්ල තාත්තාගේ සිනමා විනය සැකසෙන්න බලපෑවා. ඒ වගේම කාටවත් අත තියන්න බැරි තැනකට තාත්තාගේ දැනුම ගෙනාවා. දෙබස්, සින්දු ලිවීමට හුරු කළා. සමහර චිත්‍රපටවල තාත්තාගේ නම නොගියාට ඒ ගීත, දෙබස් ලියලා තියෙන්නේ තාත්තා.

තාත්තාට පුංචි කාලේ ඉඳන්ම ඒ හැකියාව තිබුණා. ශාන්ත තෝමස් විද්‍යාලයේ අරීසෙන් අහුබුදු සූරීන් තමයි තාත්තාගේ සිංහල ගුරුවරයා. කෝපරහේවා කියලා අපේ කාලයේත් හිටිය ගුරුතුමා තමයි සාහිත්‍ය ගුරුවරයා. තාත්තා පොඩි කාලේ 'මිය යන පියෙකුගෙන්' කියලා ලියුව කවි පන්තියක් අහුබුදු මහත්තයා‌ අරන් තියලා තිබුණා. අහුබුදු මහත්තයා කියා තිබෙනවා අවුරුදු 12ක ළමයෙකුට ඒ කවි සිතුවිල්ල ආපු එක පුදුමයක් කියලා.

ඔහු මඳක් කල්පනා කර කවිපද වැලක් කියයි. නවත්වයි. යළි කියයි. මා සිතුවේ වචන අමතකව කියාය. නැත. ඒ නැවතුම් කවිය විසින් ඔහුට ගෙනෙන පිතු සෙනෙහසක හැඟීම යටපත් කරන්නට දරන වෑයමකි.

 

බඹ දෙවි කෙටූ ඉරණම සී කඩ වෙනවා
ජීවන ගඟුලැල්ල වෙනතෙක හැරැවෙනවා
තව මොහොතකින් සොඳුරේ ඔබ තනි වෙනවා
මරුවා සමඟ මා අන් දීගෙක යනවා

 

මගෙ ආදරය කැටි කොට වැඩු පුතා මගේ
පැරැකුම් ගැමුණු ගජබා නරනිඳුන් වගේ
මිනිසෙකු වුණොත් රට ජාතිය කරන අගේ
මා මිය නොයන බව මට ඒ තුළින් හැඟේ

 

ඉපැදුණු බිමට ණය ගැති නොම වෙයන් පුතේ
ඇට මස් මිදුළු ලක් අම්මට පුදන් පුතේ
එ පිනට වඩා ලොකු පින් නො ම සොයන් පුතේ
ජාතිය නිවන පින නිවනට මඟයි පුතේ

මගෙ පුතු රට දැය වෙනුවෙන් දිවි දෙනවා
මා යන තැනෙක හිඳ ඒ දැක හිනැහෙනවා
පුතු මගෙ මළත් දැය වෙනුවෙන් සැනැසෙනවා
පුතු නැති දිනෙක පුතු වෙනුවෙන් උපදිනවා

 

ඔහු සුසුමක් සිර කරගෙන මොහොතක් සිට කියයි.

ඒ කවිය තාත්තාට තෑගි ලබාදුන් කවියක්. සිංහල හොඳම ශිෂ්‍යයාට හිමි සම්මානය ඩී.එස් සේනානායක මහත්තයගේ අතින් ඒ කවියට තාත්තා අරගෙන තියෙනවා. ගාමිණි ගී මිණි කියලා ඔයාලගේ කර්තෘ අරුණ ගුණරත්න සංස්කරණය කළ පොතේ ඒ කවි තියෙනවා.

දෙවෙනි ලෝක යුද්ධය කාලේ, ජපන්නු බෝම්බ දාන කාලේ, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් පිටියටත් ප්ලේන් එකක් වැටිලා පයිලට් මැරිලා. මේ නිසා තාත්තලාට ගම අතහැරලා යන්න සිදු වුණා, දෙහිවල ගෙදරින් ගම්පහ උඩුගම්පොළ ආච්චිලෑ ගෙදරට. එහෙදි වෙල් ඉපණැල්ලේ, මාළු පැටවුන් අල්ලමින් ඇලේ දොළේ සොබාදහම සමඟ ගැමි ජීවිත සමඟ ගෙවූ කාලය ගැමියන් සමඟ කතා කරමින් ඒ ලැබූ වින්දනය සිනමාවට ඕනෙ වුණා කියලා තාත්තා නිතර කීවා. ඒ නිසා වෙන්න ඇති ගමේ අයත් එක්ක කතා කරන්න හරි ආසයි. ගැමි වහරට හරි ආදරෙයි.

ශාන්ත තෝමස් විද්‍යාලයේදි හොඳ ඉංග්‍රීසි දැනුමක් තාත්තාට ලැබුණා. ගෙදර වැඩකරන ඉන්දියානු දෙමළ අයගේ ඇසුර දෙමළ භාෂාව ගැනත් දැනුමක් තාත්තාට දුන්නා. සීයා එක්ක ටවර් එකේ තියෙටර් බලන්න ගිහින් තියෙනවා. ඒ සියල්ල සමඟ තමයි ගාමිණි ෆොන්සේකා චරිතය ගොඩනැඟෙන්නේ. මේ භාෂා දැනුම, වින්දනය, ගැමි පරිසරය තාත්තාගේ සිනමාවට වගේම ආකල්ප හැදෙන්නත් බලපෑවා. ඒ කාලේ වැඩට ඉන්න දෙමළ අයට සලකන ආකාරය පිළිබඳ තාත්තාට හොඳටම දුක හිතිලා තියෙනවා. තාත්තාගේ ඒ දෙමළ හැඟීම බොහොම අව්‍යාජ එකක්. ගෙදර රික්ෂෝ එක ගෙනියන්නේ වේලු. සෙන්ට් තෝමස් එකට පිළිවෙළට යන්න ඕනෙ නිසා ඒකේ තමයි යවන්නෙ. වේලු මාත් හමුවෙලා තියෙනවා. ඉස්කෝලෙට රික්ෂෝවේ දෙහිවල ඉඳන් ගල්කිස්සට යන ටිකට වේලු ඒක ඇදගෙන යන එක ගැන තාත්තාට දුකයි. ඒ නිසා වේලුට ළඟපාත ගහයට රික්ෂෝව නවත්තගෙන ඉන්න මම පයින් ඉස්කෝලෙට යන්නම් මම එනකල් කොහෙවත් නොගිහින් ඔතනම ඉන්න කියලා තාත්තා රික්ෂෝවෙන් බැහැලා යනවාලු. ප්‍රභාකරන් පවා දැනගෙන හිටියා දකුණේ මේ වගේ සාධාරණ මනුෂ්‍යයෙක් ඉන්නවා කියලා. අන්තිමට දේශපාලනය නිසා ප්‍රශ්න ආපු කාලේ තාත්තාට කියලා තිබුණා ඔය පැත්තෙන් අරියාදු කරනවා නම් උතුරට එන්න අපිට ඔබතුමා වටිනවා කියලා.

ඔහු දිගු සුසුමක් හෙළයි. මම කතාව වෙනතක යවන අටියෙන් ගාමිණි ෆොන්සේකා‌ගේ සුප්‍රකට අහංකාරකම ගැන සිහි කරමි.

ඒ අහංකාරකම ආවේ මිනිස්සුන්ගේ කරදර නිසා. දැකපු පළමු දවසෙම 'මචං' ගාගෙන එනවාට තාත්තා කැමැති නෑ. එයත් මිනිසුන්ට ගරු කරනවා. තමන්ගේ ගෞරවය ගැනත් හිතනවා. එයා අනෙක් අයගෙන් නිසි ගෞරවය බලාපොරොත්තුත් වෙනවා. බැරිවෙලාවත් සිනමාවට කවුරුහරි බැන්නොත් ඉවරයි. ෂූටින් කරද්දිත් මම ඒ විනය දැකලා තියෙනවා. වෙලාව කියුවොත් වෙලාවම තමයි. දරුවො කියලා අපටවත් පිට අයටවත් වෙනසක් නෑ. ළමයි හැටියට අපට එදා හිතුණේ තාත්තා බොහොම දළදඬුයි අපට කිසිම ආදරයක් නෑ කියලා. ඒත් අද රටේ වෙන දේවල් දකිනකොට තමයි තේරෙන්නේ කොච්චර උතුම් දේවල්ද කොයිතරම් දුරදක්නා නුවණින් කියූ දේවල්ද ඒ කියලා. තාත්තා අපට ගහන්නේනෑ. මට නම් ඕනෙ නම් එකපාරක් දෙපාරක් ගහල ඇති. ඒ හැර නැහැ. හැබැයි මට දීල තියෙනවා අමතක නොවෙන පාඩම්. මට විතරක් නෙවෙයි. මැති ඇමැතිවරුන්ට වුණත් එච්චරයි. හමුවෙන්න කීවොත් පැය බාගයක් උපරිම බලයි. සමහර විට ඒක විනාඩි දහය වෙන වෙලාවලුත් තියෙනවා. සමහර දාට රත්මලානේ ඉඳන් ජාඇලට යද්දි ට්‍රැෆික් එකේ ටිකක් පරක්කු වෙනවානෙ. තාත්තා එක්ක ඒ නිදහසට කාරණා බෑ. ගෙදර ඉන්න අනෙක් සේවකයෝ කියනවා ගාමිණි මහත්තයා බලන් ඉඳලා උඩට ගියා ආයෙ නම් පහළට එන එකක් නෑ කියලා. ඒ අයත් හරි අපහසුවට පත්වෙනවා ගේට්ටුවෙන්වත් මාව ඇතුළට ගන්න බැරි එක ගැන. තාත්තා ගැන දන්න හින්දා මම ඉතින් ආපහු හැරිලා එනවා.

ඒවා දඬුවම් හැටියට අපට දුන්නට දිගුකාලීන බෙහෙත් වගේ. අපි ළමයි හැටියට හිත් රිදුණා. එදා තේරුණේ නෑ. අපිටත් 35-40 පනිනකොට තමයි ඒවා කොච්චර හරිද කියලා තේරුණේ. දැන් අපේ වුණත් ඒ සමහර පුරුදු එකතු වෙලා තියෙනවා. මටත් එහෙම දේවල් තියෙනවා. අපි නිකං සවුත්තුවෙන්න යන්නෙ නෑ. ආරාධනා නැතිව උත්සවේකට යන්නේ නෑ. ගෞරවයට හානි වන දේවල් කරන්නේ නෑ. මාධ්‍යවේදීන්ටත් තාත්තා එක්ක හොඳ අත්දැකීම් තියෙනවා. වෙලාවට වැඩ කරන්න ඕනෙ නිසා උත්සවේකට යනවා නම් තාත්තා කරන්නේ මිනිත්තු පහක් කලින් ගිහිල්ලා අවට ඉඳලා වෙලාවට අවස්ථාවට ඇතුළු වෙන එක.

ඔහුගේ සමානාත්මතාව සහ අභිමානය පිළිබඳ තවත් කතාවක් ඔහුට සිහි වෙයි.

ෂූටින්වලදි තාත්තාට කෑම ගන්න ඕනෙ හැමෝම එක මේසේ. හැබැයි හැසිරීම හරියට තියෙන්න ඕනෙ. ඒ නිසා අනෙක් අයත් ඒවාට පුරුදු වුණා. වැරදීමක් වුණොත් ඉතින් ගෙදර තමයි. දවසක් දිනේෂ් ප්‍රියසාද් දෙමෝදර පාලම කරද්දි තාත්තලාට කෑම දීලා. තාත්තා හැම තිස්සේම තාත්තාගේ ආරක්ෂකයන් කෑවද බීවද කියලා හොයලා බලනවා. දිනේෂ් ප්‍රියසාද් දන්නේ නැතිව ඇති ආරක්ෂක අංශයේ අයට කෑම ලැබිලා තිබිලා නෑ. ඒ පාර තාත්තා ඒ අයගෙන් කෑවද ඇහුවම 'කමක් නෑ සර් අපි ටිකක් ටවුන් එකට ගිහින් එන්නම්' කියලා කට්ටිය කියල. ඒ පාර තාත්තා දිනේෂ්ට කීවාලු 'අද ලයිට් එකත් හරි නෑනේ. අපි පැකප් කරමු. මම අපේ කොල්ලො ටිකත් එක්ක ටවුමට ගිහින් කන්න මොනවා හරි අරන් දීලා එන්නත් ඕනෙ' කියලා. මුළු දවසෙම ෂූටින් කෑන්සල්. ආරක්ෂක අයට කෑම නොදුන්නට දවසම පාඩුයි. ඒ වගේම තමයි වැඩේදි වැඩේ විතරයි. අයිස් ගැහිලි, විහිළු තහළු බෑ.

 

ඔහුට මඳ සිනහවක් පහළ වෙයි. රස කතාවක් බව දැනේ. මම එය ඔහුම පවසන තුරු නිහඬව බලා සිටිමි.

 

නොමියෙන මිනිසුන් කරද්දි මමත් අත්වින්දා ඒවා. තාත්තා මට දිගටම රිහර්සල් කරන්න කීවා. වැඩි පළපුරුද්දක් නැති නළුවෙක් හැටියට මට දිගටම රිහර්සල් කරද්දි මගේ මොරාල් බහිනවා. ඒ පාර මම දෙතුන්සැරයක් පුහුණුවීම් කරලා කම්මැළි කමට කීවා 'හරි හරි මම ටේක් එකේදි ගානට දෙන්නම්' කියලා.

තාත්තා ඇහුවා

"ආ.. ටේක් එකේදි ආ? තමුසේ ඒ අතින් මාර ඇක්ටර් කෙනෙක්නේ..."

"නෑ. නෑ. මම ටේක් එකේදි දෙන්නම් හරියට."

"හා හා හොඳා හොඳා. බලමුකෝ... සර් ලෝරන්ස් ඔලිවියර්ටත් වඩා ලොකු මිනිහෙක්නෙ තමුන්?"

"ඇයි ඒ?"

"ලොරන්ස් ඔලිවියරුත් ටේක් එකට කලින් තිස් වතාවක් විතර රිහර්සල් කරනවා. තමුසේ දෙපාරෙන් කරනවා."

මාව නිකම්ම ඇඹුල්වෙලා ගියා. ඒ වාගේමයි හොඳ දෙයක් කළොත් අගය කරනවා. අනෙක් වෙලාවට සවුත්තුව දානවා. නොමියෙන මිනිසුන් කරද්දි මම කැප්ටන් බුලංකුලමනෙ. යුද්දෙට යනකොට සංගීතා (වීරරත්න) මගේ අතට ක්‍රොස් එකක් (කුරුසයක්) දෙනවා. ඒක අතට අරගෙන මම කළේ බිම ඉඳගන්න එක.

තාත්තා රිහර්සල් එක බලන් ඉඳලා මට මුකුත් කිවුවේ නෑ. ඊබට් (විජේසිංහ) අංකල් තාත්තාට ටිකක් කිට්ටුයි. ඒ නිසා අහලා තියෙනවා 'ඊබට් මොකද හිතන්නේ ඒක හොඳට ප්ලේ කළාද?' කියලා

ඊබට් අංකල් කියලා 'ඒක මාරයි සර් කඳුළුත් ආවා' කියලා.

හවස ලොජ් එකේදි තාත්තා කියනවා. 'තමුසෙගේ පර්ෆෝමන්ස් එක ගැන ඊබට් හොඳ කීවා' කියලා. ඊබට් අංකල් හොඳ කීවා කිව්වාට තාත්තා තමයි ඒ ගැන ඊබට් අංකල්ගෙන් අහලා තිබුණේ. ඒ තමයි තාත්තාගේ හැටි. හැබැයි එහෙම හොඳක් අහන්න ලේසි නෑ.

ඉසිඹුවක් ලද ඔහු ඒ මතකය සුසුමකට මුසුකොට මෙසේ කියයි.

තාත්තා හැම තිස්සෙම කීවේ "තමන්ගේ ඇක්ටිං ස්කිල් එක තමන්ට ඩිවලප් කරගන්න පුළුවන් එකක්. මට මගේ වුවමනාව තිබුණ නිසා මගේ ඇක්ටින්, මගේ වොයිස් එක හදා ගත්තා. මට තිබුණේ කණ්ණාඩිය විතරයි. කාමරය ඇතුළට ගිහින් දොර වහගෙන මම පුහුණු වුණා. මාලන් බ්‍රැන්ඩෝ - කිසි සැකයක් නෑ හොඳ ඇක්ටර් කෙනෙක්. හැබැයි මට කවදාවත් එයා ඉන්ෆ්ලුවන්ස් වුණේ (බලපෑවෙ) නෑ. පෝල් මුනි තමයි (පෝලන්ත ජාතික නළුවෙක්) මගේ ඇක්ටිංවලට බලපෑවේ." ඇත්තටම බ්‍රැන්ඩෝ තාත්තාට වඩා ටිකක් උස ඇති ඒත් මුහුණේ ඉරියවුවල, ප්‍රකාශනයේ සමානකම් තිබෙන්න පුළුවන්. පෝල් මූනිගේ චිත්‍රපට වැඩි ගණනක් තාත්තා බලලත් නැතුව ඇති. ඒත් මූනි තමයි තාත්තාගේ රඟපෑමට බලපෑවා කියලා තාත්තා කියන්නේ. බොහෝ දෙනා බ්‍රැන්ඩෝ ගැන කීවාට තාත්තා පෞද්ගලිකව ඒක පිළිගත්තේ නෑ.

ඔබේ සිනමා ජීවිතයට තාත්තාගෙන් විශේෂයෙන් උපදෙසක් මුකුත් ලැබුණාද? මගේ පැනයයි.

මට ආසාවක් තිබුණා චිත්‍රපටයක් කරන්න. මුලින්ම මම අධ්‍යක්ෂණය කරන්න ඕනේ කිවා.

'කොරලා බලන්න එහෙනම් හොඳා' කීවා.

මම අධ්‍යක්ෂණය කරන්න ආසයි කීවේ 2002 අවුරුද්දේ විතර. අපි මිලිමීටර් 35න් තමයි චිත්‍රපට කළේ. ඒ කාලේ ඩිජිටල් කියලා එකක් නෑ. හැබැයි තාත්තා මට කීවා

"අයිසේ පොඩි කැමරාවක් ගේනවා ඩිජිටල්. පනස්දාහට හැත්තෑපන් දාහට විතර තියෙනවා. එපි ඒකෙන් පොඩි ෆිල්ම් එකක් කරමු කියලා."

තාත්තා ඇත්තටම ඩිජිටල් ගැන කතා කළේ 80 දශකයේ ඉඳන්. මම ඉස්කෝලේ යන කාලේ ස්පෙෂල් ඉෆෙක්ට්ස් (විශේෂ ප්‍රයෝග) ගැනයි තාත්තා කතා කළේ . ඒ වගේම ඩොක්ටර් පීරිස් පවා 'ඉස්සරහට ෆිල්ම් එක මුද්දරයක් ගාණට පොඩි වෙනවා' කියන එක 90 ගණන්වල කීවා. ඒ ෆෝන්වලට ෆිල්ම් එන එක ගැන හිතලාවත් නැති කාලේ. ඒ අය ඒ දුර දැක්කා. ඔවුන් අන්තර්ජාතික මිත්‍රයන් සමඟ කතාබහ කළා. ඔවුන්ට දැක්මක් තිබුණා.

 

නොමියෙන මිනිසුන් කරද්දි මට එතරම් දැනුමක් නෑ. හැබැයි තාත්තා බලාගෙන හිටියා මම අධ්‍යක්ෂණය කරන විදිහ. මට තාක්ෂණික පැත්ත අඳුනගන්න, හොයන්න ආසාවක් උනන්දුවක් තිබුණා. එතකොට මගේ වයසේ හැටියට මම කළ දෙයින් බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණා කියලා තාත්තා කීවා. ඊට පස්සේ නැතිවෙන්න අවුරුද්දකට දෙකකට කලින් විතර ඇහුවා

"දැන් තමුසේ මොකද කරන්නේ?" කියලා.

"මම ෆිල්ම්ස්වලින් ටිකක් ඉවත් වෙනවා" කියලා මම කීවා

"හොඳා" කීවා

තාත්තා කවදාවත් මට පීඩනයක් එල්ල කළේ නෑ මගේ වැඩවලට.

තාත්තා පරසතුමල් කළේ තාත්තාට අවුරුදු 25දි විතර. ඒක රිලීස් වුණේ තාත්තාට වයස 27ක් වෙද්දි. තාත්තා නිතර කීවා පරසතුමල් කරන්න තිබුණේ පසු කාලේ අත්දැකීම් එක්ක කියලා. එතකොට ඒ්කෙ වෙන 'වර්ෂන් එකක්' එන්න තිබුණා කියලා. ඒ්ත් අපි හැමෝගෙම අදහස තමයි තාත්තා ඒ තරුණ වයසෙදි ඒ චිත්‍රපටය කළ එක තමයි විශේෂත්වය කියන එක.

 

යමක් සිහි වූ ලෙස ඔහු වේගවත්ව වචන හසුරුවමින් කියයි.

ආහ්...තාත්තා අලුතෙන් එන ආර්ටිස්ට්ලා ගැන වුණත් දැනගෙන හිටියා. දන්නේ නැත්නම් පත්තරවලින් හරි කියවලා දැනගන්නවා. ඔන්න ශ්‍රියන්ත මෙන්ඩිස් බෝගල සවුන්දිරිස් කරන කාලේ. එයාගේ ඇක්ටිං වගේම සනත් ධර්මසිරිගේ පිටපත් ගැන තාත්තාට පැහැදීමක් තිබුණා.

"පොඩ්ඩක් ලියන්න පුළුවන් මිනිහෙක් ඇවිත් ඉන්නවා. ඩයලොග් එහෙම හොඳට ලියන්න පුළුවන්" කියලා සනත් ධර්මසිරි ගැන කීවා. දවසක් උත්සවේකදි ශ්‍රියන්ත මෙන්ඩිසුත් ඇවිත් හිටියාලු. තාත්තා සාමාන්‍යයෙන් ඉන්නේ දැක්කේ නෑ වගේ. පස්සේ ශ්‍රියන්ත තාත්තා ළඟට ඇවිත් 'කොහොමද සර්' කියලා තාත්තාගෙන් අහලා.

'ආ බෝගල සවුන්දිරිස්' කියලා තාත්තා ශ්‍රියන්තට කතා කරලා තියෙන්නේ. ශ්‍රියන්ත කියනවා ඒ ආමන්ත්‍රණය සම්මානයක් ලැබුණා හා සමානයි කියලා.

තාත්තා චිත්‍රපටවලට චරිත තෝරන්නේත් එහෙමනෙ. සාගරයක් මැද චිත්‍රපටයේ හිරගෙදර ජේලර්ට කෙනෙක් තෝරගන්න හිත හිතා තාත්තා හිටියාලු. දවසක් නුවර හිල්ටොප් බාර් එකේදිද කොහෙද කට්ටියක් එක්ක පොඩි මධු සාදයක ඉද්දි ඒ කට්ටියට අයිති නැති එක්කෙනෙක් තාත්තාගේ පැත්තට විස්කි වීදුරුවක් තල්ලු කරලා එව්වාලු. ඒකට තාත්තාට කේන්ති ගිහින් ඔරවලා බලලා 'තමුසෙගෙ බීම මට ඕනෙ නැහැ' කියලා ආපහු බාර් එක දිගේ වීදුරුව තල්ලු කරපු පාර ඒ කෙනා ගාවම නතර වෙලා. දැන් අනික් අයත් බය වෙලා තාත්තාගේ හැටි දන්න නිසා. ඒ මනුස්සයාත් අතහරින්නෙ නැතුව 'තමුසෙගෙ මූණ දැක්කාම විස්කි වීදුරුවක්වත් ගන්න බැරි බව තේරෙන නිසයි මේක දුන්නේ' වගේ අපහාසාත්මක කතා කියනවාලු. තාත්තා නැඟිටලා. අනිත් කට්ටියත් නැඟිට්ටලු මොනවායින් මොනවා වෙයිද කියලා බයේ. ඒ පාර ගහගන්න වගේ ඒ මනුස්සයා ළඟට ගිහින් තාත්තායි එයයි දෙන්නාම හොඳටම හිනා වෙලා බදාගෙන. ඒ කාලයක් රට ඉඳලා ආපු යාළුවෙක්. 'විල් යූ ඇක්ට්' (ඔයා රඟපානවාද?) කියලා තාත්තා අහලා. 'වයි නොට්' (නැතුව? ) කියලා එයා කියලා. එයාව තමයි තාත්තා ජේලර්ට ගත්තේ. හැරල්ඩ් වගේ නමක් තියෙන්නෙ.

පළමුවැනි වර්ණ සිංහල චිත්‍රපටය ගැන ද ඔහු සතුව කතාවස්තුවක් ඇතැයි මට සැකයක් පහළ විය. එනිසා රන්මුතු දූවෙත් කතා ඇති නේදැයි මම විමසීමි.

තාත්තා යන ගමන් බිමන් සීයා දන්නේ නෑ කියලා තාත්තා හිතන්නේ. ඒත් රඟපාන්න ගිහින් වැඩිපුර යටට කිමිදිලා තාත්තාගේ පෙනහලුවලින් ලේ යන්න ගත්ත නිසා සීයා තාත්තාට නොදැනෙන්න හොඳ හෙවිල්ලෙන් ඉඳලා තියෙනවා. රන් මුතු දූව කරද්දි එහෙම සීයාම නොකියා තව කෙනෙක් ලව්වා කියවලා ඕනෑවට වඩා මුහුද යටට කිමිදෙන්න එපා කියලා.

හැබැයි ඔබේ ආච්චි ඒ කියන්නේ ගාමිණි මහත්තයාගේ අම්මා ජ්‍යොතිෂය ගැන එහෙම දන්න නිසා විශ්වාසෙන් ඉන්න ඇති හානියක් වෙන්නේ නෑ කියලා?

ඔවු. තාත්තාට ගෙදරට කියන්නේ ෂෙල්ටන් කියලා. අපේ ආච්චි කේන්දර බලන්න දන්නවා කියලා අරුණි දැන් කීවානේ. ඉතින් තාත්තාගේ ඥාති සහෝදරයකු හිටියා ලාල් අංකල් කියලා. එයාට කියලා තියෙනවා මම (ආච්චි) ජීවතුන් අතර නැති කාලෙක වුණත් ෂෙල්ටන් අය්යාට මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් එන්න තියෙනවා. ඒ කාලෙදි එයා කවුරුත් කියන දෙයක් අහන්නේ නෑ. ඒ නිසා එයා වැලි අරන් රත්තරන් කීවත් ඔවු කියලා පිළි අරගෙන එයාව පරිස්සම් කරගන්න කියලා. ඒ වගේම ඒ කරදර ගේන අයගේ හැඩහුරුකම් පවා කොච්චර නිවැරැදිව කියලා තියෙනවාද කීවොත් කළුද සුදුද උසද කොණ්ඩෙ දිගද කියලා පවා කියල තියෙනවා.

තමන්ගේ ජීවිතේ වැරදුණු තැන් ගැන තාත්තා කතා කළේ නැද්ද?

අන්තිම අවුරුදු දෙකක් විතර මා එක්ක බොහොම ළඟින් තාත්තා කතා කළා. ඒ වෙලාවකදිවත් කවදාවත් තාත්තා තමන්ට වුණ දේවල් ගැන පසුතැවිලා නෑ. හැබැයි එක වෙලාවක මට කීවා මෙහෙම දෙයක්. ඒක උපදේශයක් වගේ මට කීවෙ. මිනිහෙක්ගේ ජීවිතේටම එක වරදක් වුණාම ඇති තමන්ගේ ජීවිතේම විනාශ වෙන්න කියලා.

තාත්තා දේශපාලනයට සම්බන්ධ වෙනවාට අපි කැමැති වුණේ නෑ. අම්මා (සුමිත්‍රා ෆොන්සේකා) කොහොම හරි තාත්තාව වැළැක්වුවා. ප්‍රේමදාස මහත්මයා කොයි තරම් කතා කළාද? ස්ටේජ්වල තාත්තා ප්‍රේමදාස මහත්මයා වෙනුවෙන් කතා කළත් ඡන්දෙ ඉල්ලන්න යද්දි අම්මා වළක්වගන්නවා. ඒක ආච්චිත් මැදිහත් කරගෙන තමයි කළේ. එක සැරයක් ජේ. ආර්ට විරුද්ධව මැද කොළඹින් ඡන්දේ ඉල්ලන්නත් හැදුවා. ඒකෙනුත් බේරුවා.

ඒත් ප්‍රේමදාස මහත්තයාගේ ඉල්ලීම පිට තාත්තාගේ මැනේජර්, බොඩිගාඩ්, ලෝයර් ඒ කට්ටිය හරි උනන්දුවෙන් තාත්තාව දේශපාලනයට දාන්න කටයුතු කළා. ඒත් අවසාන අවුරුදු පහ යනකොට තාත්තා කීවා අම්මා කියපු දේ හරි කියලා. මොකද තාත්තා හොඳටම කලකිරුණු තත්ත්වයක් තිබුණේ. ඒ නිසා තමයි දේශපාලනඥයන් එන එකට අකමැති වෙලා අපි සමඟ ඒ වෙලාවෙත් කතා කරන එක වැදගත් කියලා හිතන්න ගත්තේ. මම දකින විදිහට තාත්තා පාලම් බෝක්කු විවෘත කරන තැන්වල හිටගෙන හිටියේ නැති වුණාට දේශපාලනය තුළ වැඩක් කළා.

තාත්තා අඩුගානේ ජේවීපී කරපු ළමයි 1000ක් වත් බේරගන්න ඇති. ඒ ගැන පක්ෂෙන් පවා ප්‍රශ්න ආවා. ඒ කාලේ ප්‍රා එක හදලා තිබුණානේ. 'ජේවීපී කාරයෝ' කියලා ඔවුන්ව හැඳීන්වූවාට තාත්තා හැමතිස්සේම කීවේ ඒ තරුණ දක්ෂ දළදඬු තීරණ ගන්න ළමයි කියලා.

හැබැයි ජේවීපිය කරපු ප්‍රචණ්ඩ ක්‍රියා කිසිම වෙලාවක තාත්තා අනුමත කළේ නෑ.

කඩුගන්නාවේ වත්තේ අපි ඉද්දි රෝහණ විජේවීර අපේ වත්තේ බංගලාවට ආව විදිහ මට තාම මතකයි. එතකොට අපිත් පොඩියි. තාත්තාගේ මැනේජර් කීවා ඔයගොල්ලො ඉස්සරහට එන්න එපා කියලා. '82-83 කාලේ. සිංහල දෙමළ කෝලාහලයත් ජේවීපිය පිට පැටවිලා තිබුණේ. බිස්කට් පාට ඩෙලිකා වෑන් එකක ජයන්තද කොහෙද කියලා එක්කෙනෙක් එක්ක ආවේ.

විජේවීර වාහනෙන් බැස්සේ අර දාගෙන ඉන්න සුපුරුදු තොප්පිය ගලවලා. ඒක වාහනේ ඩෑෂ්බෝඩ් එක උඩ තිබුණා. ඒ ගෙදර සාලේ කතා කරන දේ දෝංකාර දෙනවා වගේ කෑම කාමරය දිහාට ඇහෙනවා. ගේ ඇතුළෙදි දෙන්නා විප්ලවය ගැන කතා කළා. තාත්තා විජේවීරට කෙළින්ම කීවා 'ලේ හෙළවෙන අරගලයක් කරන්න එපා' කියලා. ඒත් විජේවීර කීවා 'එහෙම්මම අපට කියන්න බෑ සමහර විට ලේ හෙළවෙන්න පුළුවන්' කියලා. ඒක මගේ කනට ඇහුණ දෙයක්. මම විජේවීර යන්න හදද්දි වැරදීමකින් වගේ එළියට ඇවිත් බැලුවා. විජේවීර වාහනේට නැගපු ගමන් ආයේ ඒ තොප්පිය දාගත්තා. හැබැයි පසු කාලෙකදි විජේවීරත් සිදු වුණ දේ ගැන දුක් වුණා.

තාත්තයි රෝහණ විජේවීරයි අතර සාකච්ඡා වගේම තර්ක තිබුණා. විජේවීර තාත්තාට රෙස්පෙක්ට් (ගරු) කළා. තාත්තාගෙත් ඔහු ගැන යම් පැහැදීමක් තිබුණා. ඒ අය කතිකාවක හිටියා.

අවසානයේ තාත්තා විජේවීරට පණිවිඩයක් යවනවා ප්‍රවේශම් වෙලා ඉන්න ඔබව මරන්න හොයනවා කියලා. ඒ කතාව විජේවීර ගැන හැදුව 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටයේත් තිබුණා. තාත්තා මනුෂ්‍ය ඝාතනවලට ආස නැහැ. දේශපාලන හේතුවලට මිනිසුන් මරනවාට කොහොමත් තාත්තා විරුද්ධයි. හැබැයි ගහගන්න ආවොත් ගහගන්නවා, ඒක වෙනම කතාවක්. ආත්ම ආරක්ෂාවට කරන දෙයක්නෙ ඒක.

ඔහු සිනහවකින් දිගු හෙළිදරව්ව නිම කරයි. මමද එයට සිනාවකින් පිළිතුරු දෙමින් තවත් සිතට නැඟුණු පැනයක් යොමු කරමි. ගාමිණි - මාලිනි යුගයෙන් පස්සේ වෙනත් යුගයක් හදන්න 'තාත්තා' උනන්දු නොවුණේ ඇයි?

ගාමිණි මාලිනී යුගය නැති වුණාට පස්සේ තාත්තා කිසිම යුගයක් හදන්නේ නැතිව හිටියේ හිතාමතාම කියලා මට හිතෙනවා. විජය (කුමාරතුංග) අංකල්ට අපි හරි ආදරෙයි. ඒත් ස්ටූඩියෝ ඇතුළේ තිබෙන තරගකාරීත්වය ඒ බැඳීමට වඩා වෙනස්. විජය- මාලිනී යුගය ආවට පස්සේ මාලිනී ෆොන්සේකා කියලා තිබුණා මම විජය හැර කිසි කෙනෙක් එක්ක රඟපාන්නේ නෑ කියලා. ඒක තාත්තාව ප්‍රතික්ෂේප කිරීමක් වගේ තාත්තාට දැනුණේ. ඒත් ඒක තාත්තා වාසියකට ගත්තා. පස්සේ පුළුවන් තරම් චරිතාංග නළුවෙක් විදිහට කටයුතු කරන්න තාත්තා පෙලඹුණා. වීනා (ජයකොඩි) ඇන්ටිව එක චිත්‍රපටයකට අරගෙන පස්සේ දෙවැනි පාර 'උතුමානනි' එකට ගන්න හිතාගෙන කිව්වලු 'විනා ඔයා ඒකට මහත වැඩියි. ටිකක් කෙට්ටු වෙන්න දරිද්‍ර පෙනුමක් ගන්න ඕනෙ කියලා.' වීනා ආන්ටි ඒක එච්චර හිතලා නෑ. එයාම කීවා 'මම ඒක ගණන් ගත්තේ නෑ ඔහේ පාඩුවේ හිටියා' කියලා. තාත්තා කිසි කතාවක් නෑ ෆරිනලායි ඒ චරිතයට ගත්තා.

සරුංගලේ, අමල්බිසෝ, හුලවාලි ඔය ඔක්කොම චරිත කරන්න මුල ඒ වෙනස් වීම. ඒ වගේම සාගරයක් මැද චිත්‍රපටයේ නඩුව නිසා සිනමාවෙන් අයින් වෙනකල්ම තාත්තා හැර කාටවත් හොඳම නළුවා සම්මානය ලැබුණේ නෑ. දිගටම ජනප්‍රියම නළුවා විජය අංකල්, හොඳම නළුවා තාත්තා. ඊට පස්සේ කාලෙකින් ආයේ සිනමාවට ආවේ 'කොටි වලිගය'ත් එක්ක. ඩොක්ට මොලදණ්ඩ, කොටිවලිගයේ ඒඑස්පී වගේ චරිත ඊට පස්සේ තාත්තා කරපු චරිතාංග රංගන.

තාත්තාගෙන් උදවු පදවු ගත්ත අය එහෙම හමුවෙලා තියෙනවාද ජීවිතේ කවදා හරි?

දවසක් මම පොලීසියට ගියා අපේ ඉඩමක වැඩකට. ඒකෙ හිටිය ප්‍රධානියා දෙමළ කෙනෙක්. මම කියපු දේවල් ඔක්කොම අඳුනන්නේ නැති කෙනෙක්ට වගේ පිළිවෙළට කරලා දීලා ඒ නිලධාරියා අන්තිමට තමන්ගේ කොලර් එකේ ගහල තියෙන පදක්කම පෙන්නලා කීවා 'මේක ඔයාගේ තාත්තා නිසා ලැබුණු එකක්' කියලා. ඒ නිලධාරියාගේ උසස්වීම් නොදී වධහිංසා කරලා තියෙනවා. තාත්තාට කීවාම හොඳට හොයලා බලලා සාධාරණය ඉටුකරලා නිසි තනතුර ලබා ගන්න හදලා දීලා තියෙනවා. හැබැයි ඊට පස්සේ තාත්තා කවදාවත් ඒ කෙනාට කතා කරලාවත් නෑලු.

 

 

ගාමිණි ෆොන්සේකා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා කියවගන්න දම්මිත් ෆොන්සේකාට පුළුවන් වුණාද?

තාත්තා තමන් විශ්වාස කළ දේ වෙනුවෙන් වැඩ කරන්න ගිහින් පෞද්ගලිකව බොහොම පාඩු කරගත්ත කෙනෙක්. ඒක හැබැයි ආයෝජනයක් වගේ. එතුමා නැති වෙලාත් අවුරුදු දහයකට පහළොවකට වඩා කල් ගිහින් පවා අදටත් කියපු කරපු දේවල්වලට මිනිස්සු ගරු කරනවා. ගාමිණි ෆොන්සේකා කියන කෙනාව දැකපු නැති අලුත් පරම්පරාවේ තරුණ පිරිස් සමාජමාධ්‍යවල පවා ඔහු කියපු කරපු දේවලට ගරු කරනවා. එය අනාගතයට රට වෙනුවෙන් කළ ආයෝජනයක් ලෙසයි මම දකින්නේ. තාත්තා ජීවත් වුණේ අවුරුදු 68නේ. බයිපාස් එකක් කරන්න ගියාම එපා කීවා. නව භවයක් ගැන විශ්වාස කළා. ලක්ෂ 10ක් විතර වියදම් කළානම් තව අවුරුදු 15ක් විතර ඉන්න තිබුණා. ඒත් එතුමා විශ්වාස කළ දර්ශනය මත පිහිටල ඒ දේවල් නොකර හිටියා. දැන් මටත් අවුරුදු පනහක් විතර වෙනකො‌ට තමයි තාත්තා ඒ කීවේ මොනවාද ජීවිතය හා මරණය පිළිබඳ හිතන්න යමක් ඉතුරු කළා නේද කියලා තේරෙන්නේ.

ඒක සාමාන්‍ය පුද්ගලයකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අසමසම මනුෂ්‍ය හැඟීම්වලින් පිරුණු පොඩි පොඩි සිල්ලර වැඩ නැතිව ගැඹරු වැඩ කළ සුවිශේෂි කලාකරුවකුට හා මනුෂ්‍යයකුට පමණයි ඒ දේ කළ හැක්කේ.

තාත්තා අවසන් කාලේ කීවා 'නිකම්ම කලාකාරයෙක් වෙන්න කෙනෙකුට පුළුවන් වුණත් පෙර ආත්ම භවයේ ඉඳන් පුරුද්ද අරන් ආවේ නැත්නම් හොඳ කලාකාරයෙක් වෙන්න මිනිහෙකුට බෑ' කියලා.

 

ඒ කියන්නේ දැඩිව බෞද්ධ දර්ශනය ඇදහූ කෙනෙක් ගාමිණි ෆොන්සේකා කියන්නේ?

තාත්තා.... බොහොම රහසිගත බෞද්ධයෙක්. අපි දන්නවා අත්තිඩියේ ලංකාරාම පන්සලේ හාමුදුරුවන් වඩම්මගෙන හැම පෝයටම ගැඹුරු සාකච්ඡාවක් පවත්වන හැටි. ඒ හාමුදුරුවොත් නිහඬ සිල්වත් හිමිනමක්. මාතර දේශපාලනය කරන කාලේ උන්වහන්සේ තාත්තාට බොහෝ දෙනා හඳුන්වලා දීලා උදවු කරලා තිබුණා. තාත්තා හොර රහසේ බුදුදහම ඇදහුවේ. ඒ වගේම සමහර හාමුදුරුවරු තාත්තාගෙන් බැණුම් අහලා තිබුණා වැරැදි වැඩ කරලා.

හාමුදුරුවරු බෞද්ධ දර්ශනයට විරුද්ධ වැඩ කරනවාට තාත්තා කැමැති නැහැ. ජාති භේදයට කැමැති නෑ. කොරෝනා තත්ත්වයේ මිනිස්සු විඳවන හැටි දකින්න අද හිටියා නම් තාත්තා හරිම සංවේදි වෙයි. මිනිස්සුන්ට ‌මේ වෙන හානියට තාත්තා කැමති නැහැ. යුද්ධයේ අවසන් කාලේ වුණත් හිටියා නම් තාත්තා ඊට විරුද්ධව කතා කරයි මනුෂ්‍යත්වය වෙනුවෙන්. ඒත් තාත්තා හමුදාවට උදවු කළා. පාර්ලිමේන්තුවේ පවා ඔවුන් වෙනුවෙන් කතා කළා. යුද්දෙ එපා වෙලා සොල්දාදුවන් පවා එපා වුණ කාලේ තාත්තා කවි ගී ලීවා හමුදාව වෙනුවෙන්. ගාමිණි ගී මිණි පොතේ ඒවාත් තියෙනවා.

ඔබේත් සහෝදරියන්ගේත් දරුවන්ට ඔහු දැක්වූයේ ඔබට දැක්වූ ආකල්පයමද?

අවසාන කාලෙ වෙද්දි තාත්තා මුණුපුරු මිනිබිරියන් සමඟ බොහොම ළඟින් හිටියා. මම ඒත් කල්පනා කළා අපට දාපු සැරවලින් දහයෙන් එකක්වත් පොඩි අයට සීයාගෙන් අහන්න නෑනේ කියලා.

තාත්තා අවසාන කාලෙ කියලා තිබුණා මගේ කාලේ හරි මම දැන් දුර ගමනක් යන්න තියෙනවා ආයේ එන්න වෙන එකක් නෑ කියලා. පෞද්ගලික සහායක හිතලා තියෙන්නේ අපේ වත්තට යනවා කියලා.

තාත්තා ඒ කාලේ හැමතිස්සෙම කීවා කෝල් කළොත් නොගෙන ඉන්න එපා ආයේ කතා කරන්න වෙයිද දන්නේ නෑ කියලා. තාත්තාට හැමදාම අපි පුංචියි. අක්කලා බැඳලා ළමයි ඉන්න කාලෙත් රෑ නවයෙන් පස්සේ ගෙදර ආවාම බනිනවා. ඉතින් අක්කලා ෆොන් එක තිබ්බට පස්සේ කියනවා තාත්තා හිතාගෙන ඉන්නේ තාම අපි පොඩි එවුන් කියලානෙ කියලා.

තාත්තා මට හරි ආදරෙයි. හැබැයි ඒක වැඩිය පෙන්වන්න ගියේ නෑ. මොකද මමත් නහයට අහන්නේ නෑනේ. අපේ එක කාලයක් එනවානේ තාත්තලාට වඩා අපි දන්නවා කියලා හිතලා ඒ අයට අභියෝග කරන. ඒ නිසා දූලා ටිකට හරියට ආදරේ පෙන්වනවා. මට ආදරේ කළේ හොර රහසේ.

නැති වෙන්න ටික කාලෙකට කලින් දේශපාලනඥයන් එහෙම එන එකට තාත්තා වැඩිය කැමැති වුණේ නැති තරම්. ඒ වෙනුවට අපිත් එක්ක කාලය ගත කරන්න තාත්තා ආසා කළා. පෞද්ගලික සහායක ජයලත් අපේ පවුලේ කෙනෙක් වගේ. එයාට කියලා තිබුණා දවසක් 'අයිසේ මම හිතපු මිනිහා නෙවෙයිනෙ අරූ. නෑ... මේ... මම මිනිහා ගැන හිතාගෙන හිටපු විදිහ වැරැදියිනෙ' කියලා.

 

ඔහුගේ හඬ කෙමින් බිඳී යනු මට දැනේ. පියාගෙන් ලද අභිමානයේ උරුමයෙන් එය වළක්වා ගනිමින් ඔහු යළිත් කතාව අරඹයි. එහෙත් ඔහුගේ දිලිසෙන දෑස්වලින් එය සඟවාලිය නොහැකිය.

තාත්තා මට පොඩි කාලේ කියනවා. රටට ජාතියට, අම්මා තාත්තාට කවුරු හරි බැන්නොත් ගහපං, ගහලා ඕනෙනම් මරපං ඉතිරි ටික මං බලාගන්නම්. හැබැයි ජරා වැඩ කරලා නම් බේරගන්න කියලා මා ගාවට එන්න එපා. මමයි පොලීසියට බාර දෙන්නේ කියලා. ඒ වගේම තාත්තා මට අවුරුදු 8-1 0 කාලේ කියනවා. 'අයිසේ මමත් තමුසේ වගේම පොඩි කාලේ අහිංසකයි. ඒත් අහිංසකකමින්ම මේ ලෝකෙ ජීවත් වෙන්න බෑ 'කියලා.

 

ඔහුට ඉබේටම ඉංග්‍රීසි පදවැලක් කියවෙයි.

My Son

Be a man my son!
In Your little world
There is endless joy and comfort
How simple is that world
Where you know no difference

The whole world is your home
All men are your brothers
Let all men love you
And in doing so
May they love each other too
My son when that beautiful morning
dawns in your life
Then may you meet your new world
Now sleep well, my child

Today this world is split
Man is at war with man
May your sleep be not disturbed yet
Where is happiness for you in the world

You are the hope of two nations
And in being so, you have
Made them into one
If there are others like you
The word will be...

 

 

 

 

 

මම එය මට තේරෙන තරමින් සිංහලයට පෙරළා ගත්තෙමි.

 

මගේ පුතුනේ

මිනිසෙක් වෙයන් මගේ පුතේ

පුංචි ලෝකයේ නුඹේ

අපමණ සතුටයි සුවයයි ඇත්තේ

කෙතරම් නම් සරලද

වෙනසක් නොදකින ලෝකය නුඹේ

 

මුළු ලොව නුඹෙ නිවෙසයි

සැම දෙන නුඹෙ සොයුරොයි

නුඹට ආදරය කරන්න ඉඩදී

සැමටම

උනුන් අතර පතුරුවන් ආදරය

 

මගේ පුතේ ඒ සොඳුරු උදෑසන

නුඹගේ දිවියේ උදාවෙනා

නුඹ දකිනා තුරු ඒ නව ලෝකය

සුවසේ නිදන්න මගේ පුතා

 

අද මේ ලොව ඇත බෙදී ගොසින්

මිනිසුන් මිනසුන් යුදවදිමින්

බිඳී නොයන් සුව නින්ද නුඹේ

කොහෙදෝ මේ ලොව සතුට නුඹේ

 

බලාපොරොත්තුව නුඹ වේ දෙදැයක

නුඹයි ඔවුන් එක් දැයක් කළේ

නුඹ මෙන් තව උන් වන්නේ නම්

ලෝකය එය මැ වේ...

 

ඒ කවි පදපෙළින් පසු දිගු ඔහු නිහැඬියාවකය. මම ද නිහඬවම විඳ දරා ගතිමි. පියෙකුගේ වියෝව කෙබඳුදැයි දැනෙන්නේ පිතු සෙනෙහේ අහිමි වූවකුටම පමණක් බැවිනි. ගිලිහී ගිය පියකුගේ ආදරය වෙනුවෙන් බිඳී ගිය හඬ අවදි කර ඔහු පවසයි.

 

අපි දෙන්නාම දෙන්නාට හරි සංවේදියි. ඒ නිසාම දෙන්නා රිදවාගත්ත අවස්ථාත් වැඩියි. ඒවා ලොකු දේවලට නෙවෙයි. පොඩි පොඩි දේවල් වෙනුවෙන්. හැරිලා බැලුවාම ඒ මොකක්ද? මොකටද? කියලා හරියටම තේරෙනවා. අද ඒවා දැනෙන්නේ හරිම සුන්දර මතකයක් පමණක් වුණ තාත්තාගේ ආදරය විදිහට.

තාත්තා හරියට පුනර්භවය විශ්වාස කළා. අන්තිමට තාත්තා අක්කලාට මෙහෙම දෙයක් කියලා තිබුණා. "මම බෞද්ධයෙක් හැටියට අයේ පාරක් මනුස්ස ජිවිතයක් ලබන්න කැමැතියි. ඒ උඹලාගෙම තාත්තා වෙලා"

 

සේයාරූ සංරක්ෂණය සහ විශේෂ ස්තූතිය - දයාන් විතාරණ