මෙවර ඉන්දීය ජාතික යාවජීව සම්මානය රජිනිට

නොවැම්බර් 4, 2021

රජිනිගේ බෑනා ධනුෂ්ටත් සම්මානයක්

 

දශක තුනක වෘත්තීය ජීවිතයේදී මනෝජ් බජ්පායි හට හිමි වන දෙවැනි ජාතික සම්මානය මෙයයි

 

ඉන්දියානු සිනමාවේ හොඳම සිනමාකරුවන්ට ගෞරව කිරීම සඳහා පැවැත්වෙන 'ජාතික චිත්‍රපට සම්මාන උලෙළ' ඉන්දියාවේ ප්‍රමුඛම සිනමා සම්මාන උලෙළයි. පෙර වසරේ රට පුරා නිෂ්පාදනය කර තිරගත වූ චිත්‍රපට අතරින් ඉන්දියානු සිනමාවේ හොඳම චිත්‍රපට සඳහා කුසලතා ප්‍රදානය කිරීම මෙන්ම රටේ එක් එක් ප්‍රදේශයේ සහ භාෂාවලන් තැනුණු හොඳම චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමීම මේ සම්මාන උලෙළේ විශේෂත්වයයි. සෑම වසරකම, රජය විසින් පත් කරන ලද ජාතික මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ජයග්‍රාහී චිත්‍රපට වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය නවදිල්ලියේ පැවැත්වෙන අතර එහිදී සම්මාන ප්‍රදානය කෙරෙනුයේ ඉන්දීය ජනාධිපතිවරයා අතිනි.

2019 ජනවාරි 1 දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ හොඳම ඉන්දියානු චිත්‍රපට සඳහා ගෞරව කිරීම වෙනුවෙන් 67 වැනි ජාතික චිත්‍රපට සම්මාන උලෙළ පසුගිය ඔක්තෝබර් 25 වැනිදා පැවැත්විණි.

ඉන්දියානු සිනමාවේ දියුණුව සඳහා සිනමා පෞරුෂයන් දක්වන විශිෂ්ට දායකත්වය ඇගයීම සඳහා පිරිනැමෙන ඉහළම සම්මානය වන දාදාසාහේබ් පාල්කේ සම්මානය මෙවර පිරිනැමුණේ දකුණු ඉන්දීය සුපිරි තරුව රජිනිකාන්ත් වෙතය.

චිත්‍රපට ක්‍ෂේත්‍රයේ දශක පහක කාලයක් පුරාම නිරන්තර විනෝදාස්වාදය සඳහා දායක වීම වෙනුවෙන් ඔහුට එම උපහාරය පිරිනැමිණි. ඒ වෙනුවෙන් කළ කතාවේදී රජිනිකාන්ත් ඔහුගේ බස් රියැදුරු මිතුරා සිහිපත් කිරීමටද අමතක නොකළේය. "මේ අවස්ථාවේ, කර්ණාටකයේ මගේ මිතුරා, බස් රථ රියදුරු, මගේ සගයා රාජ්බහදූර් ඉතා කෘතවේදීව සිහිපත් කරමි. මම බස්‌ කොන්දොස්‌තරවරයා ලෙස සිටියදී මා තුළ තිබූ රංග ප්‍රතිභාව හඳුනාගෙන සිනමාවට සම්බන්ධ වීමට මා උනන්දු කළේ ඔහුයි" යනුවෙන් රජිනි පැවසීය.

ජාතික සිනමා සම්මාන උලෙළේදී 'මනිකර්ණිකා' සහ 'පන්ගා' චිත්‍රපටවල චරිත නිරූපණය වෙනුවෙන් කන්ගනා රනවුත් හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවාය. මේ සම්මානය කන්ගනාගේ සිව්වැනි ජාතික සම්මානයයි. 'භෝස්ලේ' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මනෝජ් බජ්පායි ද 'අසුරන්' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ධනුෂ් ද හොඳම නළුවාට හිමි සම්මාන දිනාගත්හ.

දශක තුනක සිය වෘත්තීය ජීවිතය තුළ මනෝජ් බජ්පායි හට හිමිවන දෙවැනි ජාතික සම්මානය මෙයයි.

සජිද් නදියද්වාලා මෙවර සම්මාන උලෙළේ හොඳම හින්දි චිත්‍රපටය වෙනුවෙන් ඉන්දීය ජාතික සම්මානය ලබා ගත්තේය. 'චිචෝර්' චිත්‍රපටය ජාතික සම්මාන උලෙළේදී හොඳම හින්දි චිත්‍රපටය ලෙස සම්මානය දිනාගත් අතර ඒ සම්මානය පසුගිය වසරේදී දිවියෙන් සමුගත් නළු සුෂාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් වෙන් කර තිබිණි.