මැණිකේ මගේ හිතේ හින්දි චිත්‍රපටයක

ඔක්තෝබර් 28, 2021

යොහානි ද සිල්වා මේ වන විට ලොවපුරා ජනප්‍රිය තරුවක් බවට පත් වී අවසන්ය. ඇයගේ ඉන්දීය සංචාරය සමඟ සල්මන් ඛාන්ගේ 'බිග් බොස් 15' හි විශේෂ ආරාධිත අමුත්තියද වූවාය. එහිදී යොහානි සමඟ සල්මන් "මැණිකේ මගේ හිතේ" ගායනා කළ අයුරු කාගේත් ප්‍රසංශාවට ලක් විය. සතීෂාන් රත්නායකගේ මුල් ගායනයෙන් ප්‍රතිනිර්මාණය කර යොහානි ද සිල්වා විසින් ගායනා කළ "මැණිකේ මගේ හිතේ" ගීතයට මිලියන ගණනක් දෙස් විදෙස් රසික හදවත් දිනාගැනීමට වැඩි කාලයක් ගත නොවීය. දුලාන් ඒආර්එක්ස් පද රචනය කළ "මැණිකේ මගේ හිතේ" ගී තනුව චමත් සංගීත් ගෙනි. "මැණිකේ මගේ හිතේ" සිංහල බසින් සේම මලයාලම්, දෙමළ සහ හින්දි භාෂාවන්ගෙන්ද ප්‍රතිනිර්මාණය වී තිබේ.

නවතම ආරංචි ගෙන එන්නේ යොහානිගේ මියුරු හඬ යළිත් වරක් බොලිවුඩයෙන් ඇසෙනු ඇති බවයි. ඒ අනුව ඉන්ද්‍ර කුමාර් විසින් අධ්‍යක්ෂණය කෙරෙන 'තෑන්ක් ගෝඩ්' නම් හින්දි චිත්‍රපටයට "මැණිකේ මගේ හිතේ" ගීතයේ හින්දි අනුවාදය එක් කිරීමට චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම තීරණය කර තිබේ. අජේ දේව්ගන්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ රකුල් ප්‍රීත්සිං 'තෑන්ක් ගෝඩ්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත මවති. නෝරා ෆතේහි සහ සිදර්ත් මල්හෝත්‍රා, යොහානිගේ "මැණිකේ මගේ හිතේ" තාලයට නර්තනයේ යෙදෙනු ඇත.

'තෑන්ක් ගෝඩ්' චිත්‍රපටය පිළිබඳ නවතම නිවේදනය නිකුත් කරමින් අධ්‍යක්ෂ ඉන්ද්‍ර කුමාර් පවසා සිටින්නේ, යොහානිගේ ගීතය සුපිරි සංවේදනයක් බවට පත් වී ඇති බවයි. "මේ බ්ලොක්බස්ටර් ගීතය ලබා දීම ගැන මම නිෂ්පාදක භූෂාන්ට අතිශයින් ස්තූතිවන්ත වෙමි. අපි සැවොම මේ අනුවාදය ගැන ඉතා සතුටු වන අතර ඉක්මනින් රූගත කිරීම් ආරම්භ කිරීමට සූදානමින් සිටින්නෙමු. මම සහ මගේ කණ්ඩායම එය ලබන වසරේ ප්‍රේක්ෂකයන් හට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු" යැයි ද ඔහු පැවසීය

ටී - සීරිස් ආයතන ප්‍රධානී, නිෂ්පාදක භූෂන් කුමාර් මෙසේ පැවසීය. "යොහානි වැනි දක්ෂ යොවුන් සංගීත ශිල්පිනියක සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම සේම ඉන්දියානු රසික රසිකාවන් සඳහා ඇගේ පළමු ගීතය වන" මැණිකේ මගේ හිතේ" ඉදිරිපත් කිරීම ගැන අපි අතිශයින් සතුටු වන්නෙමු. මෙය සියලුම ඉන්දියානු රසික සිත් ඇදගන්නාසුලු ගීතයක් වනු ඇත".

"මැණිකේ මගේ හිතේ" ගීතයෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද යොහානි බොලිවුඩයට පිවිසියේ කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ 'ශිද්දත්' (ඉඩඪඤඤචබ) හින්දි චිත්‍රපටයේ නිල තේමා ගීතයේ කාන්තා අනුවාදනය සමඟිනි. 'ශිද්දත්' චිත්‍රපටය ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සංගීත තැටි සහ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ටී - සීරිස් ආයතනයේ නිෂ්පාදනයකි. තෑන්ක් ගෝඩ් චිත්‍රපටයද ටී - සීරිස් ආයතනයේ නවතම නිෂ්පාදනයයි.