මනි රත්නම්ට නඩු

සැප්තැම්බර් 23, 2021

මේ වන විට මනිරත්නම්ගේ දෙමළ ඓතිහාසික සිනමා නිර්මාණයක් වන 'පොන්නියන් සෙල්වන්' චිත්‍රපටය ගැටලුවකට මුහුණ දී ඇත. 'පොන්නියන් සෙල්වන්' දර්ශනතලයේදී අශ්වයෙකු මිය යාම හේතුවෙන් ඉන්දියාවේ සතුන් සුරැකීමේ ආයතනයක් විසින් පැමිණිල්ලක් ගොනු කර නඩු පවරන ලදී. අශ්වයා අගෝස්තු 11 දා දර්ශනතලයේදී මිය ගිය අතර අශ්වයන් පැය ගණනක් දර්ශනතලයේ සිටි බැවින් ඔවුන් වෙහෙසට පත් වී විජලනය වූ බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ අනුව සතුන් සුරැකීමේ ආයතනය ගොනු කළ පැමිණිල්ල පදනම් කරගනිමින් නිෂ්පාදන ආයතනයක් වන මදුරාසි ටෝකීස්හි කළමනාකාරිත්වයට සහ අශ්වයාගේ හිමිකරුට එරෙහිව සතුන් හිංසනය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබේ. එම අශ්වයාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වේ. පරිගණක තාක්ෂණය දියුණු යුගයක දර්ශනතලයකදී වෙහෙසට පත් වූ අශ්වයන් මිය යන තෙක් යුද වැදීම සඳහා බල කිරීම වෙනුවෙන් නිදහසට කරුණක් නැත යන්න පැමිණිකාර සතුන් සුරැකීමේ ආයතනය පවසා සිටී.

'පොන්නියන් සෙල්වන්' චිත්‍රපටය කල්කි ක්‍රිෂ්ණමූර්තිගේ ඓතිහාසික ප්‍රබන්ධ නවකතාවකින් නිර්මාණය වන්නකි. එහි වික්‍රම්, ඓශ්චර්යා රායි බච්චන්, ත්‍රිෂා, ජෙයම් රවී, කාර්ති, වික්‍රම් ප්‍රභූ, ප්‍රකාශ් රාජ් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වන අතර සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මාන් විසිනි. 'පොන්නියන් සෙල්වන්' චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් 2019 වසරේදී ආරම්භ වූයේ තායිලන්තයේදී ය. ශ්‍රී ලංකාවේදීද මෙහි දර්ශන රූගත කිරීමට නියමිතව තිබුණත් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් විදෙස් සංචාර සීමා කිරීම සමඟ එම කොටස් ඉන්දියාවේදී රූගත කිරීමට මනිරත්නම් තීරණය කළේය.