ඉදිරියේදී පොත් විස්සක් ලියන්න බලාපොරොත්තු වෙනවා

ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ජයසිංහ
සැප්තැම්බර් 14, 2023

ක්‍රීඩා විචාරකයකු, පාරිසරික, විද්‍යා, ක්‍රීඩා මධ්‍යවේදියකු හා ගත්කතුවරයකු ලෙස නමක් දිනාසිටින සරත් ජයසිංහයන් විසින් රචනා කරන ලද ‘සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම්’ නමැති නවතම ග්‍රන්ථය ලබන 19 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය. සිය ලේඛන කලාව පිළිබඳවත් 40 වසරක වෘත්තීය දිවිය පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් හෙතෙම මෙසේ සරසවිය හා සම්මුඛ විය.

ඔබේ මාධ්‍යවේදී භූමිකාවේ ආරම්භය සිහිකළොත්...?

පුවත්පත් කලාව තුළ මගේ තිඹිරිගෙය වුණේ ලේක්හවුස් ආයතනයයි. උසස්පෙළින් පසු ලේක්හවුස් එකට සම්බන්ධ වුණා. මගේ පළමු විශේෂාංග ලිපිය 1983 පළවුණේ ධර්මසිරි ගමගේ මහතා කර්තෘත්වය දැරූ යොවුන් ජනතා පුවත්පතේයි. ඒ ලිපිය මහාචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මහත්මිය සමඟ සිදුකළ විශේෂාංග ලිපියක්. ඇය හිටපු අධ්‍යාපනඥවරියක්. ‘පරම්පරා ගැටුම නිමාවක් නැද්ද’ යන මාතෘකාව යටතේ එය පළවුණේ . මම එතුමිය හමුවීමට ගියේත් හරිම බයකින්.ඒත් සමඟම මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතා සමඟත් “විභාගයට මුහුණදෙන්නේ කෙසේද?” නමින් සාකච්ඡාවක් කළා. යොවුන් ජනතා පුවත්පතේ කර්තෘව සිටි ධර්මසිරි ගමගේ මහතා මගේ පුවත්පත් කලා දිවියට විශාල මඟපෙන්වීමක් කළා. හැන්දෑවේ ජනතා පුවත්පතත් පළවුණා. ඒකත් හරිම ජනප්‍රියයි. ඒකටත් මම ලිව්වා.

ඔබ ආනන්දයේ සිසුවෙක්. පාසලෙන් සාහිත්‍යයට, කලාවට, නිවේදනයට බලපෑමක් කළා කිව්වොත්....?

ඔව්, ඇත්තෙන්ම ආනන්දයෙන් විශාල කලාකරුවන් , සාහිත්‍යකරුවන් රැසක්ම බිහිකළා. පාසලේ ඉගෙනුම ලබද්දී සාහිත්‍යයට, කලාවට මම වඩාත් ඇලුම් කළා. බිත්ති පුවත්පතට ලිව්වා. කලාවට තිබූ ආසාව මුවහත් වුණේ ආනන්දයෙන් කිව්වොත් ඒක සත්‍යයක්. පාසලේදී විෂය බාහිර ක්‍රියාකාරකම් කළා. සිංහල විවාද කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නායකයා වුණා. එහි උපනායක වුණේ ජනාධිපති නීතිඥ උ.අ. ද සිල්වා. මාත් එක්ක විවාද කණ්ඩායමට රවිනාථ ආරියසිංහ, ගයිරික පේරුසිංහ, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා, හිටපු දුම්රිය වාණිජ සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ වැනි කණ්ඩායමක් හිටියා. විවාද කණ්ඩායම සමඟ ප්‍රවෘත්ති විකාශන සේවයකුත් තිබ්බා. ආනන්දයේ උදෑසන ප්‍රවෘත්ති විකාශන සේවය භාරව හිටියේ අභාවප්‍රාප්ත ලයනල් මෙන්ඩිස් මහතා. මෙය පැවැත්වුයේ අපේ උසස්පෙළ කාලයේ. 1979-1980 වගේ කාලය. අපි උදේන්ම ව්ඥඹඵ කියන්න ආසයි. නිවේදකයකු වීමේ හැකියාව මුවහත් වුණේ මේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඒකාලයේ ඉතින් ලයනල් සර්ගෙන් ටොකුත් කනවා. (හිනැහෙයි.) මගේ නිවේදන කලාව මේ තුළින් ඔපවැටුණා. ඒවගේම කුඩා කාලයේ සිටම ‘මිහිර’ පුවත්පතට ලිව්වා. උසස්පෙළට ජීව විද්‍යාව කළාට සාහිත්‍යයට, කලාවට මගේ හරිම ආදරයක් තිබුණා.

ලේක්හවුස් ආයතනයේදී ඔබ මාධ්‍ය ලෝකයේ දැවැන්තයන්ගේ ඇසුර ලබන්න වාසනාවන්ත වුණා නේද.....?

යොවුන් ජනතා පුවත්පතට ලියන අතරේ 1984දී මට අවස්ථාව ලැබුණා ක්‍රීඩා පුවත්පත ආරම්භයට. මීමන ප්‍රේමතිලක මහතාගේ ලොකුපුතා සරත් ප්‍රේමතිලක තමයි එහි කර්තෘ වුණේ. ඔහු මට ක්‍රීඩා පුවත්පතට ලියන්න කතා කළා. මගේ මාධ්‍ය දිවියේ අංශ 02ක් තිබ්බා. එකක් විද්‍යාව, අනෙක ක්‍රීඩාව. හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර 02ක්. මට සුබසෙතට විතරයි වෙන්නැති ලියන්න බැරිවුණේ. ලේක්හවුස් ආයතනයේදී පුවත්පත් මාධ්‍යයේ දැවැන්තයන් රැසක් මට මුණගැසුණා . එඩ්වින් ආරියදාස ශූරීන් ඒ අතර ප්‍රමුඛයි. එතුමා කෙරෙහි මගේ පුදුමාකාර භක්තියක් තියෙන්නේ. ඒවගේම ධර්මසිරි ගමගේ මහතා ඔහුත් ආධුනිකයන්ට අතදුන් ගුරුවරයෙක්. සෝමවීර සේනානායක මහතා, නිව්ටන් පින්තු මහතා(මිහිර හිටපු කර්තෘ), ජී.එස්. පෙරේරා මහතා (දිනමිණ හිටපු කර්තෘ), බන්ධුල ශ්‍රී සරත්චන්ද්‍ර මහතා (සිළුමිණ හිටපු කර්තෘ), මෙත්තානන්ද මහතා, බිනෝයි සුරේන්ද්‍ර මහතා (දිනමිණ විශේෂාංග කර්තෘ), සුමනා සපරමාදු මහත්මිය (තරුණි හිටපු කර්තෘ) වගේ පිරිසකගේ ඇසුර මගේ මාධ්‍ය දිවිය ආලෝකවත් කළා කිව්වොත් නිවැරදියි.

වෙනත් පුවත්පත් රැසකින්ම ඔබට වෘත්තියමය අත්දැකීම් ලබාගන්නත් අවස්ථාව ලැබුණා නේද...?

‘දෙසතිය’ සඟරාවට සම්බන්ධ වුණා. ගාමිණී විජේතුංග මහතා එහි කර්තෘ වුණේ. නියෝජ්‍ය කර්තෘ වුණේ වින්සන්ට් පෙරියප්පෙරුම මහතා. ඊට අමතරව ‘කල්පනා’ සඟරාවටත් සම්බන්ධ වුණා. එය කාලීන සඟරාවක්. ප්‍රධාන කර්තෘ වුණේ ගුණදාස ලියනගේ මහතා. නියෝජ්‍ය කර්තෘ චන්ද්‍රසේන කිරිවත්තුඩුව මහතායි. ‘මාතොට’ කාලීන සඟරාවටත් සම්බන්ධ වුණා. නන්දන වීරසිංහ එහි කර්තෘ වුණේ. මේ කාලීන සඟරා දෙකේම ක්‍රීඩා සංස්කාරක වුණේ මමයි. ඔය අතරේ වික්ටර් අයිවන් මහතාගේ කර්තෘත්වයෙන් පළවූ ‘රාවය’ටත් සම්බන්ධ වුණා. එහි පළමු ක්‍රීඩා කර්තෘ මමයි. පුවත්පත රැඩිකල් වුණාට ක්‍රීඩා පිටුව මැදිහත්ව කළා. ක්‍රීඩාවේ ඇත්ත තත්ත්වය මෙහි පෙන්නුවා. රාවයෙන්ම පටන්ගත්තා ‘විසුර’ කියලා ක්‍රීඩා පුවත්පතක්. එහිත් ප්‍රධාන ක්‍රීඩා කර්තෘ වුණේ මමයි. මේ පුවත්පත් දෙකෙන් විශාල සේවයක් කළා.

ඔබේ ග්‍රන්ථකරණ දිවියේ ආරම්භය සිහිකළොත් ...?

‘ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් අතීතය’ නමින් කුඩා පොතක් 1995දී මම ලිව්වා. විද්‍යා අංශයෙන් ‘නව ලොවයි විද්‍යාවයි’ නමින් පළමු විද්‍යා ග්‍රන්ථය පළකළා. ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මගේ සහයට එහිදී හිටියා. විද්‍යා ගුරුවරයෙක් ලෙස මම වසර 15ක් පාසල් රැසකම සේවය කළා. ඒ අත්දැකීම් මෙයට ප්‍රයෝජනවත් වුණා. ඔය අතර 2000 වර්ෂයේදී ලෝක කුසලාන ක්‍රිකට් ගැන සිංහල සහ ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ 02ක් කළා. ක්‍රිකට් ගැන පමණක් ග්‍රන්ථ 12ක් කළා. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රීඩාවේ ඉතිහාසය ලිව්වා. 2013දී එය එළිදැක්වුවා. ලෝක කුසලාන ක්‍රිකට් ගැන පොත් 04ක් කළා. 20/20 ක්‍රිකට් ඉතිහාසය ගැනත් මම ලිව්වා.

ඔබේ නවතම ග්‍රන්ථය ගැන සඳහන් කළොත්...?

‘සුපිරි ක්‍රීඩකයන්ගේ සුපිරි ඉනිම්’ කියන්නේ වසර 02ක පර්යේෂණ අධ්‍යයනයක ප්‍රතිඵලයක්. මේක මාස 08කින් ලියා අවසන් කළා. ලොව බිහිවූ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හොඳම ඉනිම් අලළා ලියවුණු, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලෝපූජිත ක්‍රිකට් ක්‍රීඩා ඇතුළු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් 08දෙනෙක් ගැන තොරතුරු මෙයට ඇතුළත් කළා. ඔවුන්ගේ හොඳම ඉනිම පිළිබඳ මෙයට ඇතුළත් කළා. සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි, මාවන් අතපත්තු , මහේල ජයවර්ධන යනාදීන් ගැන විග්‍රහයක් මෙයට ඇතුළත්. ලස්සන නවකතාවක් වගේ මේක ලිව්වේ. සරල භාෂා ශෛලියක් උපයෝගී කරගත්තා. ටෙස්ට් ක්‍රීඩකයන්ගේ කැපකිරීම්, ජයග්‍රහණ, පසුබැසීම්, අතපසුවීම් ආදිය එකතුකරලා මේක ලියන්න ඕන කියලා මට හිතුණා. 2021 ඉඳන් ඒ පිළිබඳ පර්යේෂණ කළා. අධ්‍යයන කළා. සංස්කරණය කරන්න අපහසු වුණත් එය සාර්ථකව සිදුකළා. බ්‍රයන් ලාරා, ස්ටීවෝ, මැල්කම් මාර්ෂල්, ග්‍රැහැම් ගූච්, වසීම් අක්‍රම්, සචින් තෙන්ඩුල්කාර් වගේ දැවැන්ත චරිත මෙයට එකතු කළා. ඔවුන් සමඟ අපේ රටේ 08 දෙනාත් ඉන්නවා. මෙය පළමු කාණ්ඩය වශයෙන් එළිදැක්වෙන්නේ..ඕධධඬ අචජඬ .තඬ නමැති ප්‍රකාශකයෝයි මෙය පළකරන්නේ. එහි හිමිකරු දේවක සඳරුවන්. ඔහු ක්‍රිකට්වලට ආසයි. ඔහුට විශේෂ ස්තුතියක් කරන්න ඕන. මේ ආර්ථිකයත් එක්ක මෙහෙම වැඩක් භාරගැනීමත් වැදගත්. මේ වැඩේට ලක්ෂ 30කට ආසන්න පිරිවැයක් දරන්න වෙනවා. මගේ හිතේ හැටියට පිටකවරය නිර්මාණය කළා. ඇතුළු පිටු මනෝරම වීරසිංහ කළේ..

ඔබ පරිසරයට ඇලුම් කරන්නෙක් විදිහට ‘මිහිමඬල’ ගැන මොකද හිතන්නේ....?

‘මිහිමඬල’ කියන්නේ ජාතික පාරිසරික සඟරාවක්. 2004දී එය ආරම්භ කළේ. ඒ සුනාමියටත් කලින්. ‘මිහිමඬල’ විධායක කර්තෘ, නිර්මාතෘ විදිහටයි මම හිටියේ. මේ වෙනුවෙන් පාසල් සම්මන්ත්‍රණ මාලාවකුත් කළා. 2007දී ‘ක්‍රිකටර්’ නමින් සඟරාවකුත් ආරම්භ කළා. එය පුවත්පත් කලාවේ අමතක නොවන පුවත්පත් දෙකක්. ‘ක්‍රිකටර්’ සෑහෙන්න ජනප්‍රිය වුණා.

මෙරට විශාලතම ක්‍රීඩා ග්‍රන්ථය ලිව්වේත් ඔබ නේද.....?

ඔව්, 2021දී ලංකාවේ ලොකුම ක්‍රීඩා ග්‍රන්ථය ප්‍රකාශයට පත්කළා. ශ්‍රීමත් ගාමිණී දිසානායක උපහාර ග්‍රන්ථය ලෙස ‘ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය’ නමින් එය නම් කළේ. අන්තර්ගතයෙන් විශාලතම ග්‍රන්ථයයි.

ක්‍රීඩා සාහිත්‍යය ගැන මොකද අද වනවිට ඔබට හිතෙන්නේ...?

අද ක්‍රීඩා සාහිත්‍යය වල්බිහිවෙලා. මේක පුරන්වුණු කෙත්යායක් වෙලා. ක්‍රීඩා සාහිත්‍යයට, විද්‍යා සාහිත්‍යයට යම් ස්ථානයක් දෙන්න ඕන කියන අදහසේ මම ඉන්නවා. අවාසනාවට ඒක වෙන්නේ නැහැ. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම ක්‍රිකට් ග්‍රන්ථයක්, ක්‍රීඩා සාහිත්‍යයට, විද්‍යා සාහිත්‍යයට ඇගයීමක් නැතිවීම විශාල පාඩුවක්..

ගුවන්විදුලියට ඔබ ආගමනය වීම ගැන කතාකළොත්...?

1991 දී ගුවන්විදුලි මාධ්‍යයට සම්බන්ධ වුණා. සාෆ් ක්‍රීඩා උළෙලේ පිහිනුම් ක්‍රීඩා විචාරය කළේ මමයි. එය හරිම අපූරුයි. සිංහලයෙන් ක්‍රීඩා විචාරයක් ගෙනා පළමු අවස්ථාවද මෙය වුණා. මාත් එක්ක නවකයන් රැසකට 1991න් පසුව ගුවන්විදුලියේ දොර වැහුණා. ගුවන්විදුලිය අපෙන් හරියටම සේවයක් ගත්තේ නැහැ. 1994දී සිරස ගුවන්විදුලිය ආරම්භ කරද්දී ක්‍රීඩා අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානී විදිහට මට රැකියාව කරන්න ලැබුණා. මාව එතැන්ට ගත්තේ සම්මුඛ පරීක්ෂණයකින් තොරවයි. නිමල් ලක්ෂපති ආරච්චි මහතායි මාව එහෙම ගත්තේ. ඔහු හොඳ නායකයෙක්. ඒ කාලයේ හොඳ වැඩසටහන් රැසක්ම අපි ශ්‍රාවකයන්ට දුන්නා. සවස 5:30ට ‘සූර්යයා ක්‍රීඩා පිටිය’ , 7:00ට ‘ක්‍රීඩා සැදැල්ල’, රාත්‍රී 9:00-12:00 අතර ‘සල්ලාපය’:වගේ වැඩසටහන් අපි කළා. 1999 අවසානයේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නිසා මම හරිම අකැමැත්තෙන් සිරස ගුවන්විදුලියෙන් සමුගත්තා. මම එහි උපරිම වැඩ කොටසක් කළා.

ඔබ ස්වර්ණවාහිනී ආයතනයේත් තනතුරක් හෙබවූවා නේද....?

ස්වර්ණවාහිනියේ වර්ල්ඩ් කප්හි මෙහෙයුම් අධ්‍යක්ෂ වුණේ මමයි. 1999දී වර්ල්ඩ් කප් පැවැත්වූවා. ඒක කළා කියලා මට කිව්වා දෙකෙන් එකක් තෝරාගන්න කියලා. පාලිත පෙරේරා මහතාවත් ඒකට ගත්තා. ඔහු වසර 13කට පසුව එයට සම්බන්ධ වුණා. ප්‍රේමසර ඈපාසිංහ , පාලිත පෙරේරා ක්‍රිකට් පිළිබඳ විචාරක විදිහට ප්‍රසිද්ධ දෙන්නෙක්නේ.

ධ්.ඊ.ව්. සහ ලක්හඬ එකතුවෙන් ඔබ විශේෂ වැඩකොටසක් කළා...?

2000න් පසුව මම හොඳ තැනකට ආවා. ධ්.ඊ.ව්.රූපවාහිනී නාළිකාවේ ක්‍රීඩා අංශයේ ප්‍රධානියා වුණා. ක්‍රීඩා අංශයක් මම හැදුවා ධ්.ඊ.ව්. සහ ලක්හඬ එකතුකරලා. ඒකාලයේ එහි සභාපති තනතුර දැරුවේ ගයිරික පේරුසිංහ මහතා. ඔහු ආනන්දයේ මගේ හිතවතා. මම මෙයට සම්බන්ධ වූ ගමන් නවකයන්ට දොරටු විවෘත කළා. අයැදුම්පත් කැඳවා නවකයන් රැසක්ම ඇතුළට අරන් ඔවුන්ව හදලා ගත්තා. අවුරුදු එකහමාරක් වගේ ධ්.ඊ.ව්. නාලිකාවේ හිටියා. ඉන්පසු යම් කලකිරීමක් මට ඇතිවුණා. එයිනුත් එළියට ආවේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව.

ඔබේ මාධ්‍ය දිවියේ දැවැන්ත සෙවණැල්ල වුණේ එඩ්වින් ආරියදාස ශූරීන්. ඒ පිළිබඳ සිහිකළොත්....?

ඔහු ඇත්තටම පියෙක් වගේ මට උදව් කළා. එඩ්වින් සර් නැතිවෙද්දීත් මම ළඟ හිටියා. ඔහු මාධ්‍ය දිවියේ මහා වෘක්ෂයයි. නිර්ව්‍යාජ, නිහතමානී ජංගම විශ්ව කෝෂයක්. මම මානසිකව වැටුණු වෙලාවලත් එතුමාව මුණගැසෙන්න යනවා. සර් හරිම නිර්ව්‍යාජයි. ඔහු ශිෂ්‍යයන් දසදහස් ගණනකට විශ්වවිද්‍යාලයක් වුණා. මම සිරසේ ඉද්දී එතුමට ප්‍රණාම උපහාර උලෙළක් තිබ්බා. ගුරු උපහාර උලෙළක් කළා. ඒ 1998දී. මහවැලි කේන්ද්‍රයේ ඒක තිබ්බේ. ඒක කළේ මමයි සරත් කුමාර පෙරේරායි. සරත් කියන්නේ සිරසේ එවකට සිටි පර්යේෂණ කළමනාකරු. ‘අනාගතය විනිවිද දුටු මහා ප්‍රාඥයා’ නමින් ග්‍රන්ථයක් එඩ්වින් සර් වෙනුවෙන් කළා. ඒක ලිව්වේත් සරත් කුමාර පෙරේරා.

ඔබේ සිනමා කලා රසවින්දනය ගැන කතා කළොත්....?

සිනමාවට මම ආදරෙයි. හොඳ නිර්මාණ නරඹනවා. සුභාවිත ගීතයටත් ආසයි. එයින් විශාල මානසික සුවයක් ලැබෙනවා..අද වෙද්දී ගීත සාහිත්‍යය විනාශවෙලා. සිනමා අධ්‍යක්ෂවරු ගත්තොත් ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි, ආචාර්ය තිස්ස අබේසේකර, ආචාර්ය ධර්මසේන පතිරාජ , වසන්ත ඔබේසේකර වගේ අයට කැමැතියි. ‘පළඟැටියෝ, කරුමක්කාරයෝ, දඩයම, හංසවිලක්, බඹරු ඇවිත්’ වගේ චිත්‍රපටවලට ආසයි. සතරදෙනෙක් සෙන්පතියෝ’ ටෙලිනාට්‍යයට ගොඩක් කැමැතියි. අමරදේවයන්, සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, ටී.එම්.ජයරත්න, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව , සෝමතිලක ජයමහ, අමරසිරි පීරිස් වගේ ගායක ගායිකාවෝ මගේ හදබැඳී ගායක පිරිසයි.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන සඳහන් කළොත්...?

මට අභියෝගයක් තියෙනවා ඉදිරි වසර 05තුළ විද්‍යා, ක්‍රීඩා, පරිසරය ආදී විෂයයන්වලට අයත් ග්‍රන්ථ 20ක්වත් ලියන්න. ඒක මම ටාගට් කරනවා. මම ඒ ඉලක්කය ජයගන්නවා. මට හිතෙනවා එය මට කළහැකියි කියලා .මට විශාල පාඨක පිරිසක් ඉන්නවා. තවම මගේ කටහඬට ආදරය කරන පිරිසක් ඉන්නවා. රූපවාහිනියට වඩා මම අදත් ආසයි ගුවන්විදුලියට. එදා වගේම මගේ කටහඬ අදත් එලෙසමයි. කටහඬේ කිසිදු වෙනසක් වෙලා නැහැ. මිනිස්සු අදටත් මගේ කටහඬ හඳුනනවා. රූපවාහිනිය, ගුවන්විදුලිය, පුවත්පත යන මාධ්‍ය තුන තුළ ක්‍රීඩා අංශයේ වැඩි චරිත ගණනක් ගැන ලියා, සම්මුඛ සාකච්ඡා කර තියෙන්නේ මමයි. ඒත් මට නිසි ඇගැයීමක් නැහැ. සමස්තයක් ලෙස මම සතුටු වෙනවා. නිහතමානී සතුටක් තියෙනවා. මේ ක්ෂේත්‍ර 03ටම මම කළ වැඩ කටයුතු කවුරුවත් තවම කරලා නැහැ..

මාධ්‍ය දිවිය ගැන නැවත හැරී බලද්දී මොකද හිතෙන්නේ...?

සතුටක් වගේම දුකකුත් එනවා. අද මාධ්‍යකලාව ගැන කිසිම සතුටක් නැහැ. ක්‍රිකට් විචාරයත් අද දුර්වලයි. ඒ ගැන කනගාටුයි. ඒක මාෆියාවකට අහුවෙලා තියෙන්නේ . ක්‍රිකට් ආයතනයත් ඒකට වගකියන්න් ඕනේ..

ඔබේ පවුලේ විස්තර කිව්වොත්....?

මම ඉතා සතුටින් විවාහ ජීවිතය ගතකරනවා. දුවක් ඉන්නවා. එයා බම්බලපිටිය විශාඛා විද්‍යාලයේ උසස්පෙළ හදාරනවා. බිරිඳ රාජ්‍ය සේවයේ ඉන්නේ. ඇය පුවත්පත් කලාවේදිනියක් ලෙසත් කටයුතු කරනවා.

 

 

[email protected]