වර්ෂ 2023 ක්වූ September 29 වැනිදා Friday
දශක හතරකට වැඩි කාලයක් මේ ගමන ආවේ රසික ආදරය නිසා

ඔබේ අතගෙන පෙර සැදෑවක
උයන්තෙර හිඳ ආදරෙන්.....
ගැයු කුලුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා........
හැත්තෑව දශකය මැද භාගයේ මෙරට ගීත ලෝලී ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ හද බැඳගත් ගීත අතර මෙම ගීතයට හිමිවූයේ සුවිශේෂී ස්ථානයකි. ගීතය ගායනා කළ ගායන ශිල්පි රෝහණ සිරිවර්ධනයන්ට හිමි වූයේද නොමද ජනප්‍රියතාවයකි. එදා මෙදා තුර ඔහු හිමිකර ගත් ඒ ආදරණීය ජනප්‍රියත්වය අද මේ මොහොත වනතුරුත් ඔහුට හිමි වනුයේ එකී ගායන විලාසයේ මෙන්ම ඔහුගේ හඬ පෞරුෂත්වය තුළ පැවැති මන මෝහිනියත්වයයි.
දහක හතරක ගායන දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ස්මරණය කරමින් ඔහු මේ දිනවල සූදානම් වනුයේ ඔහුගේ මිළඟ ඒක පුද්ගල ගීත ප්‍රසංගය පැවැත්වීමටයි. ඒ එළැඹෙන 19 වැනි දා (සෙනසුරාදා) සවස 6.30 මහරගම යොවුන් රඟහලේදීය. ඒ ‘ඔබේ අතගෙන ආදරණිය, ප්‍රේමණීය ගී සැඳෑව’ නමිනි. එසේම මෙම ප්‍රසංගයේ දී රෝහණ සිරිවර්ධනයන් පිළිබඳ ලියැවුණු ‘ සිංහල සංගීතයේ රෝහණ සිරිවර්ධන සුළෙල ගී රොද‘නමින් ග්‍රන්ථයක්ද නිකුත් කරනු ලබයි. මෙම ග්‍රන්ථය රචනා කරනු ලබන්නේ ප්‍රවීණ ගීතරචකයකු වන යාපා බණ්ඩාර සෙනවිරත්න විසිනි. ඒ සඳහා අර්ථ පතිත්වයෙන් දායක වනු ලබන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ හා චිත්‍රපට නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරිය. මෙම ත්‍රිත්වයේ සුසංයෝගයෙන් ඉදිරිපත් වෙන සොඳුරු සන්ධ්‍යාව පිළිබඳ වන කතා බහකට පසුගිය දිනක අප හමුවු මොහොතක කළ කතා බහකින් මෙම ලිපිය සැකසිණ.
මෙම සොඳුරු සුයාමයේ මනමාලයා වන ගායන ශිල්පි රෝහණ සිරිවර්ධනයන් අප හා එකතු වෙමින් පවසා සිටියේ, මේ එළඹෙන්නේ මගේ අවුරුදු 45ට අධික සංගීත දිවියේ ඉතාම සුවිශේෂි අවස්ථාවක්. මෙම අගෝස්තු 19 වැනිදා මහරගම තරුන සේවා රඟහලේදි ඉදිරිපත්වෙන ‘ඔබේ අතගෙන - ආදරණිය, ප්‍රේමණීය ගී සැඳෑව’ ඇත්තටම සිදුවෙන්නේ ආදරය, ප්‍රේමය නිසාමයි. අපි මෙතෙක් කලෙක් ගොඩ නඟාගත් ඒ ප්‍රේමණිය බැඳීිම් තමයි මේ ප්‍රසංගය තුළින් එළි දකින්නේ. මම හිතන්නේ පුරා දශක හතරකට අධික කාලයක් මම සහ මගේ ගීත රසවිඳී ආදරණිය රසික රසිකාවන් අතර පැවති බැඳීයාව තමයි මාව මේ තරම් දුරක් මේ විදියට රැගෙන ආවේ. ඔවුන් මගේ ගීත වැලඳ ගත් තරමට, ඔවුන් මගේ ගීතවලට ආදරය කරන තාක් කල් මට මේ ගමන මේ විදියට යන්න පුළුවන්.
විශේෂයෙන් එළැඹෙන 19 වැනිදා මේ ප්‍රසංගයේදි මම ගීත 16ක් 20ක් අතර ප්‍රමාණයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. මමත් සමඟ යුග ගී ගායනයට විශාරද අනුරාධා නන්දසිරි සමඟ සන්ධ්‍යා බුලත්සිංහල එක් වෙනවා. ඒ වගේම මෙම ඒක පුද්ගල ප්‍රසංගයේදි කථනය පැත්තෙන් යම් වෙනසක් කරන්න මම උත්සාහ ගත්තා. ඒ නිසාම මේ සඳහා ලංකාවේ ප්‍රවීණතම නිවේදක දෙපොළක් වන වසන්ත රෝහණ සමඟ ඉන්ද්‍රසිරි සුරවීර ට ආරාධනා කළා ඒ කටයුතු කරන්න කියලා.
ඒ එකක්ම මේ ප්‍රසංගයේදි ‘රෝහණ සුළෙල ගී ‘කියන ග්‍රන්ථය එළි දැක්වෙනවා. මේකට පාදක වුණේ ප්‍රවීණ ගී පද රචක යාපා බණ්ඩාර සෙනවිරත්න සමඟ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරි සමඟ වුණු සාකච්ඡාවෙන් පසු යාපා බණ්ඩාර විසින් ලියන ලද ග්‍රන්ථයත් එදිනට එළිදක්වන්නට කටයුතු සම්පාදනය කිරිමයි. මේ අවස්ථාවේදී සුනිල් අරුණ වීරසිරි මගේ ආදරණිය මිත්‍රයා ඉත සිතින්ම කැමැති වුණා මේ පොතේ බරපැන දරන්න. එතුමන්ගේ අර්ථපතිත්වයෙන් තමයි මේ පොත මුද්‍රණය වෙන්නේ. අද කාලයේ මුද්‍රණ වියදම් අහස උසට ගිය වෙලාවක, කඩදාසි මිල අධික කාලයක මෙතුමා නිර්භයව කලාව වෙනුවෙන් සහ අපිට තිබෙන ආදරය නිසා ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ නිසා මේ මොහොතේ මම එතුමාට හදවතින්ම ස්තූති වන්ත වෙන්න ඕන. ස්තුතිය පිරිනමනවාට වඩා බොහොම පින් කියලා කිව්වොත් හොඳයි.
මීට කලින් මම අවසාන වශයෙන් ප්‍රසංගයක් පැවැත්වූයේ 2018 වර්ෂයේදි. ඒ ප්‍රසංගය නම් වුණේ ‘දෑසේ මල් විලේ’ නමින්. මේ පාර මම මගේ ප්‍රසංගය නම් කළේ මගේ ගීත අතර කිසියම් සළකුණක් හැටියට සඳහන් කළ හැකි ‘ඔබේ අතලෙන පෙර සැඳෑවක’ ගීතය ඇසුරින්. මේ ගිතය නිර්මාණය වෙන්නේ 1970 දශකයේ අගභාගයේ. ගීතය රචනා කරන්නේ මගේ පාසල් මිතුරා වන කුලරත්න ආරියවංශයන් අතින්. සංගීතය නිර්මාණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ඒ කාලේ අපි ගුවන් විදුලියේ ප්‍රබුද්ධ ගී වැඩසටහනට එහෙම එකට සහභාගි වුණේ. මගේ සරල ගී වැඩසටහනකට අපි තුන්දෙනා එකතු වෙලා තමයි මේ ගීතය හැදුවේ. මට අද වගේ මතකයි මේ ගීතයේ මුල් පද දෙක විතරයි කුලේ ලියලා තිබුණේ. ඊට පස්සේ කුලේ කිව්වා එදා හැන්දෑවේ අප මිතුරු ලක්ෂ්මන් විජේසේකරගේ නිවෙසට යමු කියලා. ඉතින් අපි තුන්දෙනාම එදා ලක්ෂ්මන් විජේසේකරගේ ගෙදර ගියා. ඔහුගේ ගෙදර බිම පැදුරක් එළාගෙන අපි තුන්දෙනා වාඩිවෙලා තමයි මේ ගීතයේ ඉතිරි පද ටික සහ ගී තනුව නිර්මාණය කළේ. ඒ ගිතය නමින් තමයි මෙදා මගේ ප්‍රසංගය නම් වෙන්නේ.
මේ ප්‍රසංගයේ සංගීතය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රී තාල් වාදක මණ්ඩලය. විද්වතුන්, ප්‍රවීණ කලා ශිල්පීන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගය නරඹන්න මම මගේ රසික රසිකාවන්ට ආදරයෙන් ඇරියුම් කරනවා විශේෂයෙන්ම ඔවුන්ට දරා ගත හැකි ආකාරයේ මුදලකට තමයි ටිකට් පත් වෙන්වෙන්නෙත්.
විශේෂයෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දරුවන්ට ඔවුන්ගේ හැඳුනුම්පත පෙන්වා මේ ප්‍රසංගය නරඹන්න නොමිලේ අවස්ථාව ලබා දෙන්න මම තීරණය කළා. ඒ වගේම මේ ප්‍රසංගයෙන් කිසියම් ආදායමක් ලැබුණොත් එමඟින් අසරණ, ආබාධිත කලාකරුවන් වෙනුවෙන් යම් සහනයක් සලසන්නත් මම බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම මෙතැනදි මට සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. මේ වගේ කාලෙක මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න අති විශාල මුදලක් වැය වෙනවා. මා වැනි කෙනෙකුට ඒ බර කොහොමටවත් දරා ගන්න පුළුවන් කමක් නෑ. මේ වෙලාවේ සුනිල් අරුණ වීරසිරි මගේ මිත්‍රයා ප්‍රමුඛ කරගෙන මගේ රසික රසිකාවන් පිරිසක් මේ සඳහා අති විශාල ආර්ථික සහයෝගයක් දක්වනවා. ඒ කවුරුත් නම් වලින් සඳහන් කරනවාට ඔවුන් කැමැති නෑ. නමුත් මගේ යුතුකම තමයි ඒ හැම දෙනාම මේ මොහොතේ සිහිපත් කිරිම. මෙරට සහ විදේශගතව සිටින මගේ ඒ රසිකාවන්ට මගේ ආදරය පිරිනමන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔබලාගේ ආදරය මට විශාල ශක්තියක්.
රෝහණ සිරිවර්ධනයන් ගැයූ බොහෝ ගීතයන්ට පදනම් වුණේ ප්‍රේමය, ආදරය, විරහව වැනි කාරණාය. හැත්තෑව, අසූව, අනූව දශකයන්හි යොවුන් පරපුර මේ හඬට පුදුම සහගත ලෙස වශී වූයේය.
දේව මන්දීරේ.....
වැතිරි බැතියෙන් පුදසුන අභියස
ආයාචනා කරම්...
දැවෙන සිතේ - සංකා සෝ දුක් නිවන ලෙසේ...
වැනි ගීත ඒ කාලයේ තරුණ දෙතොලතර නිතර මිමිණු ලැබුණ ගීත වූයේය.
මටත් හොරෙන් ...
මගේ සිතින්
බිඳෙන් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්...
ඒ කාලයේ ප්‍රේමවන්තයන් ප්‍රේමවන්තියන් අතර බෙහෙවින් ආදරය දිනාගත් මෙවන් ගීත ඒ යොවුන් හදවත් තුළට තව තවත් ආදරය කැන්දන්නට සමත් වු ගීත වූ බව මට මගේ සිතම සාක්ෂි සපයන්නේය.
හමුවේවා අපි මතු අත්භවයක
මිනිස් හඬින් තොර පාළු දූපතේ....
කාත් කවුරුවත් ඇස
නොගැටෙන්නට
අපේ අහිංසක පෙම් පාරාදීසේ....
මේ ගීත යොවුන් හදවත් ආදරයෙන් ස්පර්ශ කරන්නට මේ ආදරණිය පදවැල්, මියුරු සංගීතය සමඟ රෝහණයන්ගේ ආදරය උතුරන කටහඬ හේතු වුවා යැයි කීම අසාධාරණයක් යැයි නොසිතේ. ඔහුට හිමිව ඇත්තේ නිතර අපට අසන්නට නොලැබෙන හඬකි. ඒ හඩ තුළ ආදරය, ප්‍රේමය, විරහව, සතුට, දුක, කඳුළ ආදි වු සියලු සංවේදනා ගැබ්ව පවතී. දහක හතරක් ඉක්ම ගියද ගීත ලෝලි ශ්‍රාවක ශ්‍රාවිකාවන් තවමත් ඔහුගේ හඬට වශී වී සිටින්නෙක් මේ නිසා විය හැකිය.
මෙම ප්‍රසංගයේදි සිදුවෙන තවත් සුවිශේෂි කාරණාවක් වන්නේ රෝහණයන් පිළිබඳ ලියවුණු ග්‍රන්ථයක් එදිනට එළි දැකිමයි. එහි රචකයා වන්නේ ප්‍රවීණ ගී පද රචකයකු වන යාපා බණ්ඩාර සෙනවිරත්නය. ඔහු මෙම ග්‍රන්ථය පිළිබඳ අදහස් දක්වමින් අප සමඟ එකතු වූයේ මෙසේය.
‘‘ඇත්තටම මම ලේඛකයකු හැටියට කල්පනා කරලා තිබෙනවා මේ රටේ සිටින විශිෂ්ට ගණයේ ගායන ශිල්පින්, සංගීතඥයන් පිළිබඳ විමර්ශනාත්මක ග්‍රන්ථ රචනා කළ යුතුයි කියලා. ඒ අනුව පසුගිය කාලයේ මම ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය සනත් නන්දසිරි වැන්නන් පිළිබඳ ග්‍රන්ථ රචනා කළා. ඒ කෘති වලින් පස්සේ තමයි මට හිතුණේ රෝහණ සිරිවර්ධනයන් පිළිබඳත් ග්‍රන්ථයක් රචනා කළොත් හොඳයි කියලා. මේ කෘතිය එළි දකින්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් අරුණ විරසිරි මහතා සහ රෝහණ සිරිවර්ධනයනුත්, මමත් අතර වුණු සාකච්ඡාවකින් පස්සේ. අපි තීරණය කළා මෙකී ගායන ශිල්පියා වෙනුවෙන් මෙන්ම, ඔහුගේ රසිකයා වෙනුවෙන්, පාඨකයා වෙනුවෙන් මෙහෙම දෙයක් කළොත් හොඳයි කියලා. ඒ අදහසින් තමයි මේ පොත පසුගිය කොරෝනා කාලය තුළ බිහි වෙන්නේ. මම හිතන්නේ මම මේ පොත ලියන්න පටන් ගන්නේ 2021 දි විතර.
මේ පොත ඇතුළෙ රෝහණ සිරිවර්ධන කියන ගායන ශිල්පියා සංගීත ක්ෂේත්‍රයට පිරිනැමු නිර්මාණ දායකත්වය පිළිබඳ විශේෂ සටහනක් තිබෙනවා. ඔහු ගායනා කළ ගීත පිළිබඳ සෞන්දර්යාත්මක විමර්ශනයකුත් මෙහි අඩංගු වෙනවා. සිංහල සංගීතයේ රෝහණ සිරිවර්ධන ‘සුළෙල ගී රොද’ තමයි මේ පොතේ නම. ඒ අනව රෝහණ සිරිවර්ධන කියන ගායන ශිල්පියාගේ සංගීත ගමන් මඟ, ගුවන්විදුලියේ ඔහුගේ ඉතිහාසය, ඇතුළු සියලු කරුණු කාරණා විචාරාත්මකව මේ පොතේ සඳහන් වෙනවා. රෝහණ සිරිවර්ධන පුරා දහක හතරක් පමණ බොහෝ කලා ශිල්පින්ට උදව් කරපු කෙනෙක්. ඒ වගේම 70 දශකයේ මැද භාගයේ කතා බහට ලක්වුණු ඔහු තරම් ජනප්‍රිය, තරුණ ගායන ශිල්පියෙක් හිටියේ නෑ. ඔබේ අතගෙන ගීතය ආපු කාලේ අපටත් මතකයි ඔහු කොයි තරම් ජනප්‍රිය වුණාද කියලා. ඒ ජනප්‍රියත්වය කොච්චරද කියනවා නම් මෙරට ජනප්‍රියතම චිත්‍රපට පසුබිම් ගායන ශිල්පියා වූ එච්. ආර්. ජෝතිපාලයන් පවා එකල ඔහු ගේ ගීත ප්‍රිය කළා. වරක් ජෝතිපාලයන් ගේ උපන්දින සාදයකදී ඔහු ආසම කරන තරුණ ගායකයා ගේ සින්දුවක් කියනවා කියලා ඔහු ගායනා කර තිබුණේ රෝහණගේ ඔබේ අතගෙන‘ ගීතය.
රෝහණ සිරිවර්ධනයන් වෙනුවෙන් ලියැවෙන ග්‍රන්ථයේ අර්ථපතිත්වය පිරිනමන චිත්‍රපට අධ්‍යක්ෂ, නිෂ්පාදක සුනිල් අරුණ වීරසිරි මහතා අප සමඟ එක් වෙමින් කියා සිටියේ මේ සියල්ල ඔහු සිදුකරනුයේ මිත්‍රත්වයේ නාමයෙන් බවය.
ඇත්තටම රෝහණ සිරිවර්ධනයන් සහ මා අතර පවතින මේ මිත්‍රත්වය දිර්ඝකාලින එකක්. මිතුරන් කිව්වමත් අපට විවිධාකාරයේ මිතුරන් ඉන්නවානේ. ඒ විවිධාකාර මිතුරන් අතරේ රෝහණ සුවිශේෂී කෙනෙක්. ඔහු මගේ පමණක් නොවෙයි මගේ පවුලේ අයගේත් සමිප හිතවතතෙක්. මගේ බිරිඳ, දරුවෝ පවා ඔහුගේ ගීත වලට ආදරෙයි. ඔහුට ආදරෙයි. රෝහණ ගේ ගීත මම ප්‍රිය කළේ අද ඊයෙක නොවෙයි. ඔහු ගායනා කළ එකම ගීතයක්වත් කුමන විදියකින් හෝ අපට බැහැර කළ නොහැකියි. ඒ හැම ගීතයකම තියෙන්නේ ආදරය, ප්‍රේමය. ඔහුට හිමිවෙලා තියෙන්නේ ඒ ආදරය වෑහෙන විස්මිත කටහඬක්. ඒ වගේම එහු දශක හතරකට අධික කාලයක් පුරා සංගීත ක්ෂේත්‍රයේ සැරි සරමින් සංගීතය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදුකළ පුද්ගලයෙක්. කොටින්ම කිවුවොත් ජෝතිපාලයන්, මිල්ටන් මල්ලවාරච්චි, මොහිදින් බෙග් වැන්නන් සමඟ පවා සංගීත සංදර්ශනවලට එකට බස් එකේ ගිය කෙනෙක්. අද එවැනි පුද්ගලයින් අපට ඉන්නේ අතළොස්සයි. ඔහු සතුවන දැනුම් සම්භාරය, අත්දැකිම් සම්භාරය විශාලයි. කාලාන්තරයක් තිස්සේ ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කටයුතු කරමින් සිදුකළ සේවය අපරිමිතයි. පුංචි මිනිසෙකු වුණත් ඔහු කළ වැඩ කොටස විශාලයි.
ඒවගේම මේ තරම් වැඩ කොටසක් කරපු ප්‍රවීණ ගායන ශිල්පියකු වුණත් ඔහු තුළ පවතින නිහතමානි සරල සුන්දරත්වයට මම හරිම කැමතියි. ඔහු වෙනුවෙන් මගේ අර්ථපතිත්වය පිරිනමන්න මේ වගේ කාරණා සමුදායක් හේතු වුණා. කොටින්ම කිවුවොත් මේක එතුමන්ගේ නිහමානිකමට- සුන්දරත්වයට- මිත්‍රත්වයට කරන පරිත්‍යාගයක්.
මේ සියල්ල පිළිබඳ සලකා බලන විට අපට වැටහි යන්නේ රෝහණ සිරිවර්ධනයන් ගෙවුණු දිර්ඝ කාලපරිච්ඡේදය පුරා හම්බ කර ඇත්තේත් මුදල් නොව මෙවැනි සොඳුරු මිනිසුන් බවය. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර උප උපන් ජාතිත් ඔබට හමුවේවා !
සේයාරූ - නිශ්ශංක විජේරත්න