මුද්‍රණ වියදම් නිසා ‘ඊ බුක්’ ක්‍රමයට බැස්සා

සිනමා ලේඛක ජීවන්ත දයානන්ද
අගෝස්තු 3, 2023

 

ජීවන්ත දයානන්ද සිනමා ලේඛකයකු වශයෙන් මෙරට නමක් දිනා ගත්තෙකි. සිනමා ක්ෂේත්‍රය හා සම්බන්ධ ග්‍රන්ථ රාශියක් රචනා කොට ඇති ඔහුගේ නවතම ග්‍රන්ථය වූයේ ප්‍රවීණ ගායන ශිල්පී, අප අතරින් කලකට ඉහත වියෝ වූ මිල්ටන් මල්ලවාරච්චි පිළිබඳය. ඔහු විශ්වාස කරන අන්දමට මිල්ටන් මල්ලවාරච්චි ගායනවේදියා පිළිබඳ නිසි ඇගැයුමක් හෝ ඔහුගේ සුවිශේෂි ගායන ශෛලිය පිළිබඳ විමසුම් ඇසක් මෙතෙක් යොමු වි නොමැත. ප්‍රමාණාත්මක ඇගැයුමක් නොලද මේ ගායන ශිල්පියාගේ විශිෂ්ට ගායන හැකියාව අගයනු වස් ඔහු විසින් මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

මෙම ග්‍රන්ථයේ ඇති අනෙක් සුවිශේෂීභාවය වනුයේ ලංකාවට තවමත් ආධුනික ක්‍රමවේදයක් වන ඊබුක් සංකල්පය හරහා මෙම පොත ජනගත කිරිමය. මේ එම ග්‍රන්ථය පිළිබඳත් ජීවන්තගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳත් කළ කතා බහකි.

 

ඔබගේ නවතම කෘතිය සඳහා මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා තෝරගන්න හේතුව කුමක්ද ?

ඉදිරියේදීත් ඊබුක් සංකල්පය තුළද ඔබ රැදෙන්නේ

මිල්ටන් මල්ලවාරච්චි කලාකරුවා පිළිබද කෘතියක් ලියන්න එක හේතුවක් තමයි මා වඩාත් ප්‍රිය කරන ගායනවේදීන් අතර, ඔහුත් එක් අයෙක් වීම. ඔහුගේ හඬේ තැවරිල තියෙන දුක්මුසු බවට මා කැමතියි. තවත් හේතුවක් තමයි ඔහුගේ මරණයෙන් පස්සෙ අද වෙනතුරු කිසිදු ඇගැයීමක් සිදු නොවීම. මා දන්න තරමින් කිසිදු උපහාරයක් උත්සවයක් පවත්වා නැහැ. ඔහු මිය ගිහින් අවුරුදු 20 කටත් වැඩියිනෙ. මට පුදුමත් හිතෙනවා වෙලාවකට. මේ නිසා මට සිතුණා මිල්ටන්ව ලේඛන ගත කරන්න.

 

ඔබේ ග්‍රන්ථය හරහා ඔහු පිළිබඳ සිදුවන ඇගැයීම කෙබඳුද?

මිල්ටන් පිළිබඳව විචාරාත්මක කෘතියක් කරන්න කියල මා වරෙක ගීත රචක ෂෙල්ටන් වීරරත්න ගෙන් ඉල්ලා සිටියා. මොකද ඔහු රචිත ඉතා විශිෂ්ට ග්‍රන්ථයක් වරෙක මට කියවීමට ලැබුණා. ඒ නෙවිල් ප්‍රනාන්දු සහ නොයෙල් රණසිංහ පිළිබඳව. ඔය අතරෙ ෂෙල්ටන් මිය ගියා. මිල්ටන් මට රොමැන්ටික් මිනිසෙක්. හරියට විජය කුමාරතුංග වගේ. මට උවමනා වුණේ මිල්ටන් ගැන මේ විදිහෙ පොතක් ලියන්න. ඔහු පිළිබඳ විචාරාත්මක අදහස්, සැමරුම් ලිපි, ගීත, ඡායාරූප මෙහි ඇතුළත්. මේක මිල්ටන්ගේ රසිකයන්ට සරලව කියවන්න පුළුවන් රසවින්දනාත්මක පොතක්. මිල්ටන් කිව්වහම අපට මැවෙන සිතුවිලි වික්ටර් රත්නායක කිව්වහම එන සිතුවිලි වලට වඩා වෙනස්.

 

මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියා පිළිබඳ ඔබේ කියවීම කෙබදුඳ?

ඔහු තමයි මේ රටේ බිහිවූ විශිෂ්ටතම විරහ ගීත සමුදායේ ආඩම්බරකාර හිමිකරුවා. සිංහල විරහ ගීතයේ ප්‍රමිතිය කොයි වගේ වෙන්න ඕනෙද කියල ඔහුගේ විරහ ගී අධ්‍යයනයෙන් බලා ගන්න පුළුවන්. ඔහුගේ කටහඬ විතරක් නොවෙයි මුහුණ පවා කිසියම් ශෝකී බවකින් යුතුයි කියල මට සිතෙනවා. මේ නිසා පරිසමාප්ත විරහ ගීත වින්දනයක් මිල්ටන්ගේ ගීතයෙන් ලබන්න පුළුවන්.

 

මෙවර ඔබ ඔබේ ප්‍රකාශන මාධ්‍යය ඊ බුක් ඔස්සේ ලබා ගැනීමට හේතුව කුමක්ද?

මේක මගේ දහවෙනි සාහිත්‍ය කෘතිය. පූර්ව කෘති නවයම සිනමාව පිළිබඳව ලියවුණේ. ඒ වගේම මේක තමයි මාගේ පළමු ඊ පොත. මේ කෘතියත් පෙර පරිදිම මුද්‍රණය කරන්න සිටියේ. රටේ ඇති වූ උද්ධමනය මුද්‍රණ ක්ෂේත්‍රයටත් බලපෑම් කළා. මුද්‍රණ වියදම් ඉහළ ගියා. පොත මුද්‍රණය කරන්න මුදල් යොදන්න සිටි ප්‍රකාශකයා මා හැර ගියා. ඊට පසුව මෙය මුද්‍රණය කරගන්න දෑරූ සෑම උත්සහයක්ම ව්‍යර්ථ වුණා. පස්සෙ සියලු වැඩ ඉවර වූ පසුව තව දුරටත් බලා ඉන්නෙ නැතුව මා ඊ පොතක් කළා.

 

ඇත්තටම ඊ බුක් සාර්ථක ක්‍රමවේදයක් ද

පොතක් අතට අරගෙන ඒකෙ තීන්ත සුවද විඳින්න, ඒක හිමි කරගෙන ලබන සතුට මේ ක්‍රමයේදි ලැබෙන්නෙ නෑ. ඒක ලොකු දුකක්. ආධ්‍යාත්මිකව ලබන සතුට නැහැ. මා සිතන්නෙ නෑ මෙරට ලේඛකයන් ලොකුවට ඊ බුක් වැඩේට එකතු වෙයි කියල. පොතක් අතට ගන්න සතුට නැහැනෙ. කෙනෙකුට තෑග්ගක් විදිහට දෙන්න විදිහක් නෑ. ඉදිරියේදී ප්‍රකාශන මිල ගණන් තරමක් පහළ යයි. අමාරුවෙන් හරි ලේඛකයන් මුද්‍රිත පොතකට යයි.

 

මේ වෙනකොට ඔබට ලැබෙන ප්‍රතිචාර පොතක් ප්‍රකාශයට පත් කළ ආකාරයෙන් ම ලැබෙනවද ?

මා කළ මේ කෘතියට පෙර කරපු පොත්වලට වගේ ලොකු ප්‍රතිචාර ලැබුණේ නැහැ. කොහොම වුණත් ගුණසේන සමාගම මට දන්වා තිබුණා පාඨකයන් පොත කියවන බවත් නුදුරු දිනයක කියවූ පිරිසේ කර්තෘ භාගය මට ලබා දෙන බවත්. මා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නෙ.

 

තවමත් මේ ක්‍රමවේදය ලංකාවට ආධුනිකයි කියලා ඔබට දැනෙන්නේ නැත්ද?

ඊ බුක් ලෝකයේ දියුණු රටවල ඉතාම ප්‍රචලිතයි. ඊ බුක් පමණක් කියවන පාඨක ප්‍රජාවක් ඉන්නවා. නමුත් ඇත්තම තත්ත්වය නම් ලෝකය පුරාම පාඨකයන් තවමත් වැඩි කැමැත්ත මුද්‍රිත පොතට. අපේ රටේත් එහෙමයි. මිල්ටන්ගේ පොත ඊ බුක් එකක් විදිහට පිටවෙනවා කිව්ව වෙලාවෙ කවුරුත් ඇහුවෙ ඕක මුද්‍රණය කර ගන්න බැරිද කියල.

 

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?

ලාංකේය සිනමාවේ මහ නළු පරපුරේ අන්තිම මහ නළුවා සනත් ගුණතිලක. තවත් මහ නළුවෝ බිහි කරන සශ්‍රීක සිනමාවක් මට දැනට පෙනෙන තෙක් මානයක නැහැ. 2020 අවුරුද්දෙ රට වහල තිබුණ කොරෝනා කාලෙ ලද නිදහසෙන් ප්‍රයෝජන අරගෙන මා සනත් සමඟ පැය 70 ක පමණ කාලයක් ලොකු සිනමා සංවාදයක් කළා. ඔහු සිනමාවේ කළ ප්‍රබල සිනමා චරිත 21 ක් පිළිබඳව. මේක ප්‍රමාණයෙන් තරමක් විශාල පොතක්. ප්‍රකාශකයෙක් කැමති වුණා චරිත 7 බැගින් පොත් තුනකට වරින් වර මුද්‍රණය කරන්න. ඉතින් එහි පළමු කොටස මේ සැප්තැම්බරයේ නිකුත් වෙනවා. එහි ඔහු රඟපෑ සිටු කුමරියෝ, ගඟ අද්දර, කලියුගය, රිදී නිම්නය, කවුළුව, දෙවෙනි ගමන සහ මංගල තෑග්ග චරිත පිළිබඳ කතා කරනවා.

 

ඉදිරියේදීත් ඊබුක් සංකල්පය තුළද ඔබ රැඳෙන්නේ

මා ඉදිරියේදීත් ඊ බුක් කරන්න ඉඩ තියෙනවා. සිනමාව කර්මාන්තයක් විදිහට විනාශ වෙලා ඉවරයි. සිනමා ශාලා සංකල්පය ලොකු අභියෝගයකට ලක්වෙලා තියෙන්නෙ. චිත්‍රපට බැලෙන්නෙ නැති රටක කොහොමද සිනමා සාහිත්‍යයක් රකින්නෙ. පොතක් ලිව්වට පස්සෙ ඒක ජනතාව අතරට යවන්න ඕනෙ. මුද්‍රණය කර ගන්න බැරි මොහොතක මා ඒක ඊ බුක් එකක් කරනවා.

 

 

[email protected]