සුන්දර සිනහවේ හිමිකාරිය-සායි පල්ලවී

ජූලි 13, 2023

යෞවනියකගේ සුන්දරත්වයට ඇගේ සිනහව බෙහෙවින් ඉවහල් වේ. එවැනි සුන්දර යුවතියක් දුටුවිට කාගේත් නෙත් සිත් ඈ වෙත යොමු වීම අරුමයක් නොවෙයි. සිනහව මෙන්ම උපතින්ම සුන්දර රූ සපුවක් ලබන්නට ද වාසනාව තිබිය යුතුය.

සුන්දර සිනහව සිනමා තිරයට නම් ගෙන එන්නේ පුදුමාකාර සුන්දරත්වයක් සහ සිරියාවන්ත බවකි. එවන් සිනහවක් සමඟ මන බදින රූ සපුවක් හිමි තරුණියන් සිනමාවට අවතීර්ණ වීම, සිනමාවේ ඉදිරිගමන් මඟට, සිනමාව බැබළවීමට හේතුවන බව කිවයුතුමයි. රූ සෝබාව පමණක් නොව එයට රංගන හැකියාව, නර්තන හැකියාව මුසුවූ කල කෙතරම් නම් සුන්දර නිර්මාණයක් බිහිකළ හැකිද?.

ඉන්දියාව යනු එවන් අපූරු තරුණ නිළියන්ගෙන් සමන්විත සිනමා සිත්තම් බිහිවෙන සිනමා පාරාදීසයක් බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් ඉන්දියානු සිනමාවට අවතීර්ණ වීම, අවතීර්ණ වුවත් එහි රැඳී සිටීම එතරම් පහසු නැත. දුටුවන් මන බඳීන රූපකාය, රංගන කෞශල්‍යය, නර්තන හැකියාව යන කාරණා සපුරා තිබීම සිනමාවේ තරු ගුණය රැක ගැනීමට මග පෑදෙන බව කිවයුතුයි. එවන් වූ තරු ගුණයක් හිමිකරගත් රංගනය ට නර්තනයට එකසේ හපන්කම් දක්වන, දුටුවන් නෙත්සිත් පැහැර ගන්නා සුන්දර දකුණු ඉන්දියානු සිනමා තාරකාවක් ගැනයි අද රසබර තොරතුරු.

ඒ සුන්දර තාරකාව අන්කිසිවකු නොව මලයාලම්, තෙලිගු, දෙමළ, හින්දි යන ක්ෂේත්‍රයන්හි එකලෙස දස්කම් පාන සායි පල්ලවී ය.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, කොයිම්බතූර් හි සායි පල්ලවී උපත ලබන්නේ 1992 මැයි 9 වෙනිදා යි. ඇගේ පියා සෙන්තමාරී කන්නා වන අතර මව රාධාය. ඇගේ එකම සොයුරිය පූජා ද සිනමා නිළියක් බව කියැවේ.

සායි පල්ලවී ගේ රංගන දක්ෂතාවය ඉතා ඉහළය. ඇය නර්තනයට උපන් හපන්කම් ඇත්තියකි. සායි පල්ලවී කලා කටයුතුවලට යොමු වන්නේ පුංචි සන්දියේ සිටයි. පාසලේ පැවති විවිධ ප්‍රසංග, සංස්කෘතික උත්සව ආදියට ඇය නර්තනයෙන් දායක වී ඇත. ඇය රංගනය ට යොමු වන්නේ පාසල් අධ්‍යාපනය අතර තුරදීය. ඒ 2005 වසරේදී ය. ඇගේ කුලුඳුල් රංගන වනුයේ 2005 දී තිරගත වූ Kasthuri Maan  චිත්‍රපටයයි. ඉන්පසු ඇය නැවතත් Dhaam Dhoom හරහා 2008 වසරේ දී සිනමාවට එක්වූවාය. ඇය තම අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන පරිදි වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් ලෙසින්ද කටයුතු කර ඇත.

සායි පල්ලවී තම උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ ජෝර්ජියාවේ Tbilisi State Medical University  හරහාය. ඇය එහි අධ්‍යාපනය හදාරන සමයේ වූ අපූරු සිද්ධියක් ගැන ද ඇගේ සිනමා තොරතුරු අතර වේ.

සායි පල්ලවී සහභාගී වූ රියැලිටි වැඩසටහනක් දුටු චිත්‍රපටි අධ්‍යක්ෂ Alponse Puthren  විසින් ඇයට තම නවතම සිනමා නිර්මාණයට දායක වන ලෙස ඇරයුම් කර ඇත. එහෙත් සායි පල්ලවී එය ප්‍රතික්ෂේප කර ඇත. තම උත්සාහය අත් නොහැරූ අධ්‍යක්ෂකවරයා වසර 6 ට පසු නැවතත් දුරකථන ඔස්සේ සායි ව සම්බන්ධ කරගත් අතර නැවතත් තමාගේ චිත්‍රපටය ට දායකත්වය සපයන ලෙස බලවත් ඉල්ලීමක් කර ඇත. මෙය වැරදියට වටහා ගත සායි, ඔහු තමා පිටුපස එන ලුහුබඳීන්නෙකු යැයි සිතා ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කර ඇත. පසුව අධ්‍යක්ෂකවරයා තමන් කවුරුන් දැයි තහවුරු කිරීමෙන් අනතුරුව තම තීරණය වෙනස් කරගත් සායි පල්ලවී ඔහුගේ චිත්‍රපටයට දායක වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. එම සිනමා නිර්මාණය වනුයේ කා අතරත් අතිශයින්ම ජනප්‍රිය වූ මලයාලම් චිත්‍රපටයක් වූ "Premam"  චිත්‍රපටයයි.

ඇය එහි පණ පොවන්නේ මලර් නැමැති ගුරුවරියකගේ චරිතයයි. සායිගේ මනබඳීන නර්තනයෙන් හැඩවූ "Premam" සිනමාපටය ඉතාමත් සුන්දර කතා පුවතක් රැගත් චිත්‍රපටයකි. තම ගුරුවරියට පෙම් බඳීන සිසුවකු වටා ගෙතුණු කතා තේමාවක් ඇතුළත් "Premam" සිනමා පටයේ අවසානය නම් අප නොසිතූ ලෙස මදක් සංවේදී අවස්ථාවකින් අවසන් වන චිත්‍රපටයකි. එහි සායි පල්ලවී සමඟ ප්‍රධාන නළුවා ලෙස රංගනයේ යෙදෙන්නේ මලයාලම් සහ දෙමළ සිනමාවේ එක ලෙස දක්ෂ, ජනප්‍රිය නළු නිවින් පෝලිය. "Premam" චිත්‍රපටය කා අතරත් ජනප්‍රිය වීමට හේතුව වී ඇත්තේ සායි පල්ලවී ගේ නර්තනයත් මුසුවූ රංගනය නිසා බැව් විචාරකයින් පෙන්වා දී ඇත. "ර්‍ථපඥථචථ" චිත්‍රපටය වෙනුවෙන් සායි පල්ලවී සම්මානයටද පාත්‍ර වූවාය .

ඇගේ චිත්‍රපට නාමාවලිය මෙසේය.  Kasthuri Maan (2005- දෙමළ ),  Dhaam Dhoom  ( 2008- දෙමළ), " " Premam (2015 - මලයාලම් ),  Kali, Fidda  (තෙලිගු), Middle Class Ahbayi  (2017 තෙළිගු), Diya (2017 - දෙමළ ) , Padi Padi Leche Mansasu ( 2018 තෙලිගු ), Maari 2 ( 2018- දෙමළ ), Athiram (2018- මලයාලම් ), NGK(2019 - දෙමළ ), Paava Kadhaigal (2020 - දෙමළ ), Love story (2020 - තෙලිගු ),  Shyam Singha Roy (2021 - තෙළිගු ).

සායි පල්ලවී නම් සිනමා තාරකාව මලයාලම්, තෙළිගු, දෙමළ යන සිනමා ක්ෂේත්‍ර තුනම එකසේ ජයගත් රංගන ශිල්පිනියකි. ඇයට චතුර ලෙස දෙමළ, මලයාලම්, හින්දි භාෂා කතා කළ හැකිය. විශේෂයෙන් සඳහන් කළයුතු කාරණාව නම් ජෝර්ජියානු භාෂාව ද ඇයට හොඳින් කතා කිරීමට හැකියාව ඇති බව කියැවේ. ඒ ඇය උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ ජොර්ජියාවේ වීම නිසාය.

සායි පල්ලවී රංගනය සඳහා චිත්‍රපට තෝරා ගැනීමේ දී යම් යම් සීමාවන් පනවා ගත් නිළියක් බව සඳහන් වේ. එක්තරා අවස්ථාවක තෙලිගු සිනමාවේ ජනප්‍රිය නළු විජේ දේවරකොන්ඩා සමඟ රඟපෑමට වරම් ලබුණද, එම චිත්‍රපටය අඩංගුව තිබූ සිපගැනීමේ දර්ශනයක් නිසා ඇය එම චිත්‍රපටය ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ. දකුණු ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය නළු දනූෂ් සමඟ රංගනයේ යෙදුණු Maari 2 දෙමළ චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය. එය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක Balaji Mohan ගේ අධ්‍යක්ෂණයකි. එහි අඩංගුව තිබූ "අචඹඤර ඡචඡර" ගීතය අතිශයින් ජනප්‍රිය වී ඇත. Maari  2 සිනමා පටයද සායි පල්ලවී ට වාසනාව ගෙනදුන් බව විචාරකයන් ගේ මතයයි. එයට හේතුව වී ඇත්තේ ජනප්‍රිය නළු දනූෂ් එහි ප්‍රධාන භූමිකාව රඟදැක්වූ අතර නිෂ්පාදනය ද ඔහුගේ වීම නිසාය.

සායි පල්ලවී සම්මානනීය රංගන ශිල්පිනියකි. ඇය ප්‍රථමයෙන් ම ප්‍රතික්ෂේප කළ චිත්‍රපටය වන "Premam " සඳහා සම්මාන ලැබීමට ඇය සමත් වූවාය. සායි එහි රඟපෑ මලර් නැමැති තරුණ ගුරුවරියගේ චරිතය වෙනුවෙන් 2016 වසරේ දී Asianet  චිත්‍රපටි සම්මාන උලෙළේදී විශේෂ ජූරි සම්මානය ඇයට හිමිවිය. එම සම්මාන උලෙළම වන 2017 Asianet  සම්මාන උලෙළේදී ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ " Kali " සිනමාපටයේ රංගන ය උදෙසා යි. එමෙන්ම ඇය දකුණු ඉන්දියාවේ ප්‍රධානතම සම්මාන උලෙළ වන South Indian Film Fair Awards  වෙතින් හොඳම නිළිය උදෙසා සම්මාන දිනා ගෙන ඇත. 2022 වසරේ දී "Shyan Singha Roy " චිත්‍රපටය සඳහා හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට ද ඇය සමත් වූවාය.

සායි රූපලාවණ්‍ය භාවිතයෙන් තොරව තම ස්වාභාවික පෙනුමින් පෙනී සිටීමට රුචිකත්වයක් දක්වන රංගන ශිල්පිනියකි. එය සත්‍යයකි. ඇයගේ පෙනුමෙහි නිතරම නැවුම් සුන්දරත්වය ක් ගැබ්වී ඇති බව ඇයට ආදරය කරන රසිකයන් බොහෝ දෙනාගේ මතය වී ඇත.

සායි පල්ලවී ගේ සුන්දර රුවින් හැඩවෙන සිනමා සිත්තම් කිහිපයක්ම නුදුරේදීම ඇගේ සිනමා ලෝලීන්ට දැකබලා ගැනීමට හැකිවේවි. අතිශයින්ම ජනප්‍රිය වූ " Pushpa " චිත්‍රපටයේ දෙවැන්න සඳහා ඇයව තෝරා ගෙන ඇති බව සඳහන්. එහෙත් ඇය ඒ පිළිබඳව නිල වශයෙන් කැමැත්ත ප්‍රකාශ කරනැති බව වාර්තා වේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ Rajkumar Periyasamy  ගේ SK 21 චිත්‍රපටය සහ The Rule - Part  2 චිත්‍රපටය තුළින් සායි පල්ලවී ගේ රංගන දස්කම් ඉදිරියේ දී දැකබලා ගැනීමට අවස්ථාව සැලසේ.

 

සේයාරූ - අන්තර්ජාලයෙනි

[email protected]