නොඇසුණාට කතා කළ නොහැකි වුණාට හිතෙන් මං ශක්තිමත්

ප්‍රවීණ චිත්‍ර ශිල්පී රොහාන් විදානපතිරණ
ජුනි 29, 2023

 

Silent Canvas

 

ශ්‍රවණ සහ කථන ආබාධිත දක්ෂ නිර්මාණ ශිල්පියකු වන ඔහු සිය අධ්‍යාපන ජීවිතය ආරම්භ කළේ රත්මලාන බිහිරි පාසලෙන්ය. ඉන්පසු ඔහු රජයේ ලලිත කලා විද්‍යාලයට (හේවුඩ් විද්‍යාලය) ඇතුළත් වූ අතර එහිදී සිය කලා හැකියාවන් ඔප්නැංවීමට වසර පහක් ගත කළේය.

අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ප්‍රචාරණ ක්ෂේත්‍රයේ සමාගම් රැසක සේවය කළේය. නිර්මාණාත්මක වෙළඳ දැන්වීම් ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම පුළුල් ලෙස පැසසුමට හා පිළිගැනීමට ලක් විය. වසර 36ක් පුරා විචිත්‍රවත් වෘත්තීය ජීවිතයක් හිමි වූ අතර, ඔහු තම කලා කුසලතාව වර්ධනය කිරීම සඳහා සමාගම විසින් 2000, 2003 හා 2010 දී සංවිධානය කරන ලද "The Other Side"  ප්‍රදර්ශනවලට සහභාගී විය. ඔහුගේ පළමු චිත්‍ර ප්‍රදර්ශනය එළැඹෙන ජුනි 30 සහ ජූලි 1 සහ 2 යන දිනවල ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී Silent Canvas  නමින් පැවැත්වෙන බවත් සමාරම්භක උත්සවය ලබන 30 වැනිදා පස්වරු 5.30ට සිදු කෙරේන අතර ප්‍රදර්ශනය ජුලි 1 වැනි දින පෙ.ව. 9.00 සිට පස්වරු 7.30 දක්වා මහජනතාව සඳහා විවෘත වන බව සරසවිය සමඟ පැවසීමට මූර්ති හා චිත්‍ර ශිල්පී රොහාන් විදානපතිරණ එක්විය.

ඔබේ මුල් කාලය ගෙවුණේ කොහොමද?

මගේ පවුලේ මමත් එක්ක හත් දෙනෙක් හිටියා. මම තමයි බාලයා. මගේ වැඩිමහල් සහෝදරිය සහ මගේ සහෝදරයෙක් ද ශ්‍රවණාබාධිත සහ කථන ආබධිත‌‌‌යි. පවුලේ හැමෝමටම චිත්‍ර ඇඳීමට හැකියවක් තිබුණා. වෘත්තියක් ලෙස කරගෙන ගියේ මම විතරයි.

මගේ ලොකු අයියා සේනක චිත්‍ර අඳීන හැටි බලාගෙන ඔහු වගේම චිත්‍ර අඳීන්නත් මම පටන් ගත්තා. ඊට පස්සේ අයියා මගේ දක්ෂතාව හඳුනාගෙන දිගටම චිත්‍ර අඳීන්න මාව දිරිමත් කළා.ඒ ගමන තමයි මේතාක් දුර ආවෙ.

නොඇසෙන, කියන්න බැරි ඔබ ලෝකය පෙනෙන මිනිසුන්ට දැනෙන මේවගේ දෙයක් කරන්න හිතුණේ ඇයි?

කුඩා කල සිටම මගේ වටපිටා සැකසිලා තිබුණේ මා දකින දේ අඳීන එකයි මගේ පුරුද්දක් වුණේ. ඒ නිසා මම ඒ පින්තූර සහ මම ඇඳපු අනෙකුත් පින්තූර එකතු කරලා ප්‍රදර්ශනයක් මාර්ගයෙන් ප්‍රේක්ෂකයින් සමඟ බෙදාගන්න තීරණය කළා. ජීවිතයේ නොයෙක් දේවල් ප්‍රකාශන මාධ්‍යයෙන් කියන්න පුළුවන්. මගේ හැකියාවන් කවදාහරි පෙන්නන්න ඕනෙ කියලා ජීවිතේ මම හිතුවා දවසක. මම ශ්‍රවණාබාධිත හා කථන කථනාබාධිත උණාට මම හිතින් ශක්තිමත් පුද්ගලයෙක් බව කියන්න හැමදාම උත්සාහ කළා. ඒ නිසා මගේ හැකියාවට මම වටිනාකමක් එකතු කරගත්තා. ඕනම කෙනෙකු තමන්ගේ හැකියාවන් ඉදිරියට පෙන්නලා යන මාර්ගය දිශාව තීරණය කර ගත යුතුයි. මමත් කලේ ඒ දේම තමයි කළේ. එහි ප්‍රතිථලයක් තමයි මේ දකින්නේ.

රජයේ ලලිත කලා විද්‍යාලයට ඇතුළත් වන්නේ කොයි කාලයකද? එහිදී ඔබ ප්‍රගුණ කළේ මොනවගේ දේවල්ද?

1970 දි තමයි මගේ මේ ගමන වෙනස් වෙන්න පටන් ගන්නේ. ඒ මම රජයේ ලලිත කලා විද්‍යාලයට ඇතුළත් වීමයිදි. එහිදි චිත්‍ර සහ මූර්ති ශිල්පය අවුරුදු 5ක් ප්‍රගුණ කළා. එහිදී ලබපු ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම මගේ ජීවිතේට මිල කළ නොහැකි වුණා. ඒ කාලයේ රජයේ ලලිත කලා විද්‍යාලයට ඇතුළත් වෙනවා කියන එකත් හරිම අමාරුයි. කථන සහ ශ්‍රවණ ආබාධිත පුද්ගලයෙක් හැටියට මට ඒ කාලේ ලොකු අභියෝගයක් වුණා මේ විද්‍යාලයට ඇතුළත් වීම. ඒත් මගේ දක්ෂතාවය හා හැකියාව නිසා මට ඒ අවස්ථාව හිමි වුණා. අද සතුටු වෙන්න දෙයක් තියෙන්නේ ඒ නිසයි.

ලලිත කලා විද්‍යාලයෙන් පසු ඔබගේ දිසාව වෙනස් වෙනවා නේද ?

රජයේ ලලිත කලා විද්‍යාලයෙන් අවුරුදු පහකට පස්සේ මම ආයෙත් සමාජගත වෙනවා. ඊට පස්සේ Advertising field  (වෙළෙඳ දැන්වීම් කලාවට) සම්බන්ධ වෙලා honeix O.M, Jute Cooperation, Masters Advertising (pvt) Ltd, Sri Communication  යන ආයතනවල වැඩ කළා. මගේ ජීවිතේ වෙළඳ දැන්වීම් කලාව හැටියට ඉන් පස්සේ දිගටම කරගෙන යන්නට ගොඩක් රුකුලක් වුණේ මේ ආයතන හරහායි. මම කියන පුද්ගලයා ගොඩ නැඟුණේ මෙතැනදීයි. ජීවිතේ දිසාවල් මංමාවත් වෙනස් කරනවා කියන්නේ මෙන්න මේ වගේ තැන් තමයි. ඒ ආපු ගමන මම ගොඩක් දුර ආවා.

ඔබ වගේම දරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට සිතුණේ නැත්තේ ඇයි?

මම මගේ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටියදීත් ඉන් පසුවත් පාසලේ බිත්තිවල චිත්‍ර අඳීමින් ඔවුන්ගේ කලා කුසලතා එළිදැක්වීමට සිසුන් උනන්දු කළා. ගොඩක් ශිෂ්‍යයන් චිත්‍ර කලාව වෙනුවෙන් උනන්දු වෙලා වැඩ කළා.මම දන්න හැම දෙයක්ම ඒ තුළ ඉගැන්නුවා. එහිදී මම දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් දුටුවා. මගේ අය වෙනුවෙන් යමක් කළා කියලා මට එදා ඇත්තටම සතුටක් දැණුනා. ඔබ අපි සමීප වුණාට වෙනත් අය අප හා සමීප නොවන කාලයක ඒ අය හා මා සමීප වීම මට පුදුමාකාර සතුටක් ගෙන දුන්නේ.

පෞද්ගලික ආයතන නිර්මාණ ශිල්පියකු ලෙස සම්බන්ධ වෙමින් ලද දේවල් මොනවාද?

මට අවස්ථාවක් ලැබුණා රූපවාහිනී ප්‍රචාරණ කීපයකටත්, පුවත්පත් දැන්වීම් කීපයකටත් මගේ චිත්‍ර හැකියාව දායක කරන්න. ඒ තුළින් මගේ නිර්මාණ ගොඩක් මම එළි දැක්වූවා. ඒ සියලු දෙනා මගේ දක්ෂතාවයන් හඳුනා ගත්තා. නිර්මාණශීලීත්වයත් නැත්නම් සිතුවම් කලාව කරන්න අමාරුයි. චිත්‍ර ශිල්පියෙකු කියන්නේ හරියට භාවනා කරනවා වගේ වැඩක්. භාවනා යෝගීව ඉන්න භික්ෂුවක් තමන්ගේ සිත එක තැනක තියාගෙන කටයුතු කිරීම තුළ දක්නට ලැබෙන සියලූම දේවල් චිත්‍රශිල්පියෙකු තුළත් දකින්නට පුළුවන්. සිත දැහැන් ගත කිරීම තුළින් ඕනෑම නිර්මාණයක් කිරීමේ හැකියාව මට අද තියෙනවා.

මෙතෙක් ලද ජයග්‍රහණ ගැන මතක් කළොත්?

1990 දී Thomas Cook Lanka  වෙතින් කීර්තිමත් Gold SLIM  සම්මානය සහ 1997 සහ 2006 වසර වලදී Ceylinco  වෙතින් Silver SLIM  සම්මාන දෙකක් මගේ එවකට ආයතනය වන Phoenix O.M.  වෙනුවෙන් දිනා ගත්තා. මේ මට පසුගිය කාලය තුළ ලැබුණු සම්මාන තමයි. මම හැමදාම දකින්නේ මම කරන නිර්මාණ තමයි මගේ සම්මාන කියන එකයි. එයට වැඩිය සම්මානයක් මම කිසි දිනෙක ලබල නෑ කියන එක තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ.

වසර තිස් හයකට පසු ප්‍රදර්ශනයක් පවත්වන්න හිතුවේ ඇයි?

මම වැඩ කරන කාලේ මට ප්‍රදර්ශනයක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. විශ්‍රාම ගියාට පස්සේ තමයි මට චිත්‍ර ඇඳීමට සහ ප්‍රදර්ශනයක් කරන්න අවස්ථාවක් ලැබුණේ. වෙළෙඳ දැන්වීම් කලාවට යොමු වෙලා ඉන්න කාලසීමාව තුළදී මම හරිම කාර්ය බහුල පුද්ගලයෙක් බවට පත් වුණා. විවිධ ආයතන කාලයත් එක්ක තමයි වැඩ කරන්නේ. අපිත් ඒ කාලයට සමාන ව වැඩ කරන්න සිදු වුණා. මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ දැහැන් ගත වෙන්න ඕන ඕන වැඩක් කරන්න. ඒ දැහැන්ගත වීමට හොඳම කාලයේ ආවේ මට මේ කාලයයි. ඕනෑම කෙනෙකුට කාලවකවානුවක් තියෙනවා ඒ කාලවකවානුව එන කම් අපි ඉන්න ඕනැම දෙයක් කරන්න.

ප්‍රදර්ශනය සඳහන් නිර්මාණය කොපමණ සංඛ්‍යාවක් ඉදිරිපත් කරනවද?

විවිධ මාතෘකා යටතේ නිර්මාණ පනස් දෙකක් ඉදිරිපත් කිරීමට මම අදහස් කරනවා.නිර්මාණ පනස් දෙකක් ඉදිරිපත් කරනවා කියන්නේ හොඳ වපසරියක් තුළ ප්‍රදර්ශනයක් තියෙනවා කියන එකයි. ප්‍රදර්ශනය රස විඳීන්න එන ඕනම කෙනෙකුට ඉතාම කෙටි කාලයක් තුළ රසවිදීමේ හැකියාවක් තියෙන්න තමයි නිර්මාණ ඉදිරිපත් කරන්න ඕනේ. මම හිතනවා මේ ප්‍රදර්ශනය බලලා හොඳ රසවින්දනයක් ලබයි කියලා.

ප්‍රදර්ශනය කරන නිර්මාණ අලෙවියක් සිදු කරනවද?

මේ ප්‍රදර්ශනයත් එක්ක මම මගේ චිත්‍ර අලෙවි කරන්න පටන් ගන්නවා. මේතාක් මම ප්‍රදර්ශනයක් කරලා නැති නමුත් මගේ පළමු ප්‍රදර්ශනයත් එක්ක එදාට මේ ප්‍රදර්ශනය බලලා ඕනම කෙනෙකු මා හා එකතු වෙලා ඔවුන්ට අවශ්‍ය දෙය කිව්වොත් මට නිර්මාණය කරලා දීමේ හැකියාවත් තියෙනවා. මේ ප්‍රදර්ශනයේ ප්‍රදර්ශනය කරන සිතුවම්ද අලෙවියක් සිදු කිරීමටත් අදහස් කරනවා.

මේ ගමනේ ඔබට පිටුපසින් සිටින ශක්තිය කවුද?

මියගිය මගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්.

මගේ බිරිඳ සුවිනීතා, මගේ ඥාති දියණිය ගෞරි පතිරණ සහ ඇගේ පවුලේ අය මා කරන සෑම දෙයකටම මගේ නිරන්තර සහයෝගය දෙනවා.

මගේ ඥාති සොහොයුරිය, සහෝදර කලාකරුවා, ගීතා සෙනෙවිරත්න ඇගේ අත්දැකීම් සමඟ මෙම ප්‍රදර්ශනය කිරීමට මට උදව් කරනවා. ඒ සියලු දෙනාගේම සහයෝගයත් එක්ක මම මේ ප්‍රදර්ශනය පවත්වන්නේ.

ඔබට ප්‍රදර්ශනයේ ආස්වාදය දැනෙන්නේ කොහොමද?

මගේ පළමු ප්‍රදර්ශනය නිසාත් මේ නරඹන්න එන සියලු දෙනාටම හොඳට විඳීන්නට මම අවස්ථාව සලසන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. කථන හා ශ්‍රවණා ආබාධ තිබුණත් ප්‍රදර්ශනයට අදාළ වැඩකටයුතු හොඳීන් මේ වන විට අවසන් කරලා තියෙනවා. මගේ ජීවිතේ මම හිතෙන් ශක්තිමත් නිසා හැම දෙයක්ම මම හොඳීන් කරනවා. සියලු දෙනාටම එදාට මගෙ ප්‍රදර්ශනය නරඹන්න එන්න කියන එක තමයි මම අවසාන වශයෙන් කියන්නෙ.

[email protected]