වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
අනුපම් කේර් රංගන පාසලෙන් ඉගෙනගත් පළමු ලාංකිකයා මමයි

ජීවිතයේ නොයෙක් බාධක කම්කටුලු මැඩගෙන ඔහුගේ ගමන හිමින් යන තරුණයෙකි. නාගරීකරණයට හුරුවුණු ඔහු ග්‍රාමීය සුන්දරත්වය නිතැතින්ම අපේක්ෂා කරයි. ජල කරාමය පසෙකින් තබන්නටත්, ඇළේ දොළේ බැහැ ගෙන සිසිල් දිය රැල්ලක් ඇගේ දවටා ගැනීමට ගම සොයාගෙන යැම ඔහුගේ එකම අපේක්ෂාවයි. ඔහු කොළඹ ආනන්ද විදුහලෙන් කලා අංශයෙන් සිප් සතර හැදෑරූවේය. පාසලේ කීර්තිමත් ශිෂ්‍යයකු වූ අතර සෞන්දර්ය අංශයෙන් කැපී පෙනුණු ශිෂ්‍යයෙකි. තම සහජ දක්ෂතාව නිසාම පාසල් කාලසීමාව තුළදීම සිනමා රංගනයට පිවිසීමට ද අවස්ථා උදා විය. පාසල් අධ්‍යාපනය නිම වීමත් සමඟ ඉන්දීය රංගන ආචාර්ය අනුපම් කේර් රංගන පාසල කරා තේරුණු ලාංකික එකම ශිෂ්‍යයා ඔහු විය. රංගනය පිළිබඳ අධ්‍යයන පිපාසයකින් පෙළුණු හේ අනුපම් කේර් රංගන පාසල කරා ඇතුළත් විය. එහි රංගනය පිළිබඳ ඩිප්ලෝමාව හැදෑරීමෙන් අනතුරුව පසුගිය දින ලංකාවට පැමිණියේය. එහි තොරතුරු බෙදාගන්නට සරසවියට ගොඩ වැදුණේය. ඔහු නමින් ක්‍රිෂ් විජේවර්ධනයි
අනුපම් කේර් රංගන පාසලට තේරුණු ලංකාවේ එකම ශිෂ්‍යයා ලෙස මොකද හිතුණේ?
මට පුදුම සතුටක් දැනුණේ එදා මම තෝරා ගත්තා කිව්වට පස්සේ. මගේ ජීවිතේ තිබ්බ සිහිනයක් තමයි කවදාහරි ඉන්දියාවට ගිහිල්ලා රංගනය පිළිබඳ පාඨමාලාවක් හදාරනවා කියන එක. ඒ අවස්ථාව මට හිමිවුණා. මම හිතපු එක දෙයක් තමයි ජීවිතේ බලාපොරොත්තු බිඳ දමා ගත්තොත් හැමදාම බිඳීලා යනවා අපේ බලාපොරොත්තු කියන එකයි. අද ඉන්දියාවේ ප්‍රධාන පෙළේ නළු නිළියන් රැසක් මේ රංගන පාසලෙන් බිහිවෙච්ච අය ඉන්නවා. ඒ නිසා හිත ඇතුළෙන් දැනෙන්නෙ පුදුම සතුටක් මේ පාසලෙන් මට ඉගෙන ගන්න අවස්ථාව උදා වීම ගැන.
ලංකාව සහ ඉන්දියාව අතර පවතින රංගන පාඨමාලාවන්වල වෙනස ඔබ කොහොමද දැක්කේ?
ඒ වෙනස හරියට මට වචනවලින් විස්තර කරලා අච්චරයි මෙච්චරයි කියලා කියන්න අමාරුයි. රංගනය ඉගෙන ගන්නවා කියන්නේ අපි මැරෙනකම්ම ඉගෙන ගන්නවා කියන එකයි. ඉන්දියාවේ රංගන පාසලකින් එළියට එන හැම ආධුනිකයකුටම හොඳ අවස්ථාවක් තියෙනවා. එහේ වෘත්තියක් වශයෙන්. අපේ රටේ තාම සිනමාව හෝ ටෙලිනාට්‍ය මෙන්ම වේදිකාව වෘත්තියක් බවට පරිවර්තනය වෙලා නැති හින්දා හරිම කනගාටුයි කියන්න නළුවකුට හෝ නිළියකට සහ කාර්මික ශිල්පීන්ට තියෙන ගරු සැලකිලි ගැන. ඉන්දියාව වගේ රටකට ගිහිල්ලා ම බලන්න ඕනේ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය සහ ඔවුන්ට සලකන ආකාරය කොහොමද කියලා. මම ඉගෙන ගත්ත කාලසීමාව තුළදී මම ඒ දේවල් හොඳට අවබෝධ කරගත්තා. ලංකාවේ උගන්වන තැන් තියෙනවා පාඨමාලාවන් ඒත් ඒවා සාර්ථක පාඨමාලාවල් කියලා නම් මට කියන්න අමාරුයි. ඉන්දියාවේ දී ලැබුණු ප්‍රායෝගික හා න්‍යායාත්මක දේවල් හින්දයි මං මේ දේවල් කියන්නේ. ඒ රංගන පාඨ ශාලාවකින් එළියට එන ආධුනිකයෙක් ඔවුන්ගේ ගමන් මාර්ගයේ යන්න ඕන මාවත හරියාකාරව කරගෙන තමයි එළියට එන්නේ. ඒත් අපේ රටේ එහෙම මාවතක් දැකගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ඇඳුනුම්කම මත තමයි අපේ පාඨමාලාවල්වලින් නිර්මාණවලට තෝරා ගැනීම් කරන්නේ. ඒත් ඒ රටවල්වල එහෙම නෙමේ දක්ෂයාට මූලික තැන දෙනවා.
ඔබේ පාඨමාලාවේ ගුරුවරු කවුද?
රංගන ආචාර්ය අනුපම් කේර්, ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා. ෆාරෙස් ෆාරික්, සුරාජ් වියාස්, සුයිර් බම්බානි, බබ්ලු ගුප්තා, රන්දිර් කපුර්, හමුතු රෙෂි, රනින් කපුර්, ආලෝක් යන ගුරුවරු මේ පාඨමාලාවේ ඉගැන්නුවා. මගේ ජීවිතය රංගනය හරියටම අවබෝධ කරගත්තේ මේ පාඨමාලාවට ඇතුළත් වීමෙන් පසු ඉගෙන ගෙන යන අතරතුරේ. මේ සියලු දෙනාම ගුරු මුෂ්ටියක් නැතුව දැනුම ලබා දෙනවා. සියලුම ගුරුවරු කියන්නේ අපෙන් පස්සේ පරම්පරාව බාර ගන්න ඕනේ ඔයාලා කියලයි තමයි උගන්වන්නේ. ඔවුන් උගන්නපු මාස 6ක කාලසීමාව තුළ ලබාගත් දැනුම හා ප්‍රායෝගික අවබෝධය මිල කළ නොහැකි ය.
පාඨමාලාව සඳහා තෝරා ගෙන තිබුණු අනිකුත් රටවල් මොනවාද?
ශ්‍රී ලංකාව, උස්බගිස්තාන්, ප්‍රංශය, ලන්ඩන්, ඉන්දියාව, ඇෆ්ගනිස්, කැනඩාව යන රටවල්ය. තව රටවල් ගොඩක් ඉදිරිපත් වෙලා තිබ්බා නමුත් තෝරාගෙන තිබුණේ මේ රටවල් ටික විතරයි. මේ අතරෙන් තෝරාගෙන තිබුණේ සීමිත ශිෂ්‍ය සංඛ්‍යාවක් ද පමණයි.
පාඨමාලාවේ කීවෙනි කණ්ඩායම ද එයට සහභාගිවූ අනිත් ශිෂ්‍ය පිරිස ගැන කියමුද?
අනුපම් කේර්ගේ ගෝලයන් ලෙස සහභාගි වුණු අපි එකසිය තිස් එක්වෙනි කණ්ඩායමයි. මේ කණ්ඩායමට ළමයින් 25 ක් ඇතුළත් වුණා. එහෙයින් පාඨමාලාව අවසන් කළේ 22යි. මෙයිනුත් වැඩිහරියක් ඉන්දීය ජාතිකයන් තමයි හිටියේ. ඒ ප්‍රාන්ත 7ක ශිෂ්‍යයන් වුණා. පාඨමාලාව අවසන් කළ සියලු දෙනාගේම ද ඒකායන පරමාර්ථය වුණේ දක්ෂ නළුවෙක් වීමයි. පරක් තෙරක් නැති රංගන භූමිය තුළ අපිට සැරිසරන්න ඕන විදිහට දේවල් ගොඩක් ඉගැන්නුවා.
පාඨමාලාවේදි භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුවුණේ නැද්ද?
මට එහෙම ප්‍රශ්නයක් මතුවුණේ නැහැ. මොකද මට භාෂා තුනක ප්‍රගුණතාවයක් තිබෙනවා. සිංහල භාෂාව ඇරුණම ඉංග්‍රීසි, හින්දි භාෂා තුනම මට පුළුවන්. එහිදී වැඩිහරියක් කතා කරන්නේ ඉංග්‍රීසි සහ හින්දියි. එක එක රංග වින්‍යාසයන් පිළිබඳව ලියවිලා තියෙන පොත පත තියෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිසා අපිට පාඨමාලාව හරිම ලේසි වුණා. පාඨමාලාව හැදෑරූ විසි පස් දෙනාගෙන් අවසානයේ ඉතිරි වුණු විසි දෙදෙනා වන අපි හරිම සහයෝගයෙන් භාෂා පිළිබඳව ඉගෙන ගත්තේ. මේ පාඨමාලාව හදාරන්න ආපු ශිෂ්‍යයන් නිසා අනිත් රටවල් වල භාෂාවත් මට තරමක් දැන් පුළුවන්.ඕනෑම පාඨමාලාවක් කරද්දී ටීම් වර්ක් එකක් උණාම අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති වෙනවා. මේ නිසා භාෂාවේ සිට අනිත් හැම දෙයක්ම ටීම් එකක් හැටියට ඇතුළෙ අපි කළේ.
ආනන්ද විදුහලේ ඉගෙන ගන්න කාලයේ දී දැක්වූ දස්කම් මොනවාද?
පාසල් කාලයේදී මම සමිති සමාගම්වල ගොඩක් වැඩ කළා. කලාවට සම්බන්ධ හැම වැඩකටම අනිත් සහෝදරයොත් සමඟ අපේ මම මූලිකත්වය ගෙන කටයුතු කළා. පාසල් වේදිකා නාට්‍ය තුළ මම කා අතරත් මතකය රුඳුණ අංගුලිමාල, නරිබැණා වගේ වේදිකා නාට්‍යවල රංගනයෙන් දායක වුණා. ඊට අමතරව පාසල්, කෙටි නාට්‍ය හා වේදිකාව නාට්‍ය කිහිපයකම රංගනයෙන් දායක වුණා. මේ ඉගෙන ගන්න කාලසීමාව තුළදීම තමයි මට හිතුණෙ මම හොඳ පාඨමාලාවක් හදාරන්න ඕන කියලා. ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේදි ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක් මට මේ උපදෙස දීලයි තිබුණේ. මීට අමතරව ක්‍රීඩාවේද නිරත වුණා.පාසල් කාලයේදී ම තමයි අපට සැදුණු අපේ ලෝකයේ සිනමා පටයට මම සම්බන්ධ වුණේ. ඒ රංගනය මගේ ජීවිතේ වෙනස්ම කලාවේ ගමනක් කියාදුන්නා. මේ සිනමා පටයට බඪඨඥප ට හඩ මුසු කළේද මමයි.
ඔබේ පරම්පරාවේ අය ගැන සහ අලුතෙන් ක්ෂේත්‍රයට එන අය ගැන මොකද හිතෙන්නේ?
කලා ක්ෂේත්‍රයට එනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් තිබිය යුතුයි. අපේ සීයලාගේ ආච්ච්ලාගේ (බැප්ටිස්ට් ප්‍රනාන්දු) පරම්පරාවේ යුගවල නෙවෙයි අද ජීවත් වෙන්නේ. මම ඔහුගේ මුනුබුරා වුණාට අද නවීන විද්‍යාවත් එක්ක දියුණු වෙන සමාජයක් තුළ අපි ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නේ. යුග ගණනාවක් පසු පස බලනවාට වැඩිය අපි බලන්න ඕනේ යුග ගණනාවක් ඉදිරියට වෙන හා වෙන්න තියන දේවල් ගැනයි. ඒත් අපේ පරම්පරාවේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන් එකේ තමයි වැඩි හරියක් රැඳී සිටින්නේ. ක්ෂේත්‍රය ගැන ඉගෙන ගැනීමක් හෝ එහි ප්‍රායෝගික දැනුමක් ලබාගැනීමේ අවබෝධයක් නැහැ. එහෙම වුණොත් ඔවුන් තෝරා ගත්ත මාවත හරියාකාරව ම යන්න ලැබෙන්නේ නෑ කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපේ අරමුණට යන්න ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා කියන එකත් මට කියන්න වෙනවා. ඒ නිසා හැම වෙලේම අනිත් අයගේ දැනුම සහ ප්‍රායෝගික අවබෝධය සහ ඔවුන්ගෙන් ඉගෙන ගත යුතු දේවල් ගොඩක් ඉගෙන ගන්න ඕන. මම දැනුත් මේ මොහොතෙත් ඉස්සරහටත් ඒ දේ තමයි කරන්නේ. මම කොහේ ගිහින් ඉගෙන ගෙන ආවත් මට අධ්‍යාපනය ක්ෂේත්‍රය තුළ ලබා ගන්න තියෙන්නෙ පිපාසයකි.
හැම මොහොතකම අපි ඉගෙනගන්නවා කියන පරමාර්ථය තුළ ජීවත්වනවා නම් අපිට මේ ගමන යන්න ලේසි වෙනවා.
ඉන්දියාවේදි අපේ රට ජාතිය ගැන කියූ විශේෂ දේ මොකක්ද?
අපි සියලු දෙනාම රාවණා රජුගෙන් පැවත ගෙන එන රාවණාගේ මිනිස්සු කියලයි ඔවුන් ශ්‍රී ලාංකිකයන් හඳුන්වන්නේ. නිර්භීත එඩිතර, කිවුවොත් කිවුවමයි. ඉලක්ක කරා යන මිනිස්සු කියලයි. ශ්‍රී ලාංකිකයන්ට ඔවුන් හරිම ආදරෙයි. මේ කාල කාලසීමාව තුළදී අපිව ඔවුන් මේ විදිහට හැඳීන්වීම ගැන මට තිබුණෙ පුදුම සතුටක්ය.
ඔබ ඉගෙන ගත් දෙයට සරිලන චරිතයක් මේ වනවිට ලැබිලා තියෙනවද?
එහෙම චරිතයක් මට තාම ලැබිලා නැහැ.ඇත්තටම එහෙම හොඳ චරිතයක් ලැබීමද බලාපොරොත්තුවකුත් තියෙනවා. මේ වන විට පැණි කුරුල්ලෝ සහ අමාලියා යන ටෙලිනාට්‍ය දෙකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. අධ්‍යක්ෂවරයෙක් හා නිෂ්පාදකවරයෙක් වීමත් වෙනස්ම ආකාරයක චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට එන්න පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. යම් නිෂ්පාදනයකට මාව චරිතයකට තෝරා ගත්තාම ඒ තුළින් චරිතයට උපරිම සාධාරණයක් ඉෂ්ට සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. දක්ෂ ජනප්‍රිය නළුවෙක් වෙන්න තමයි මගේ අරමුණ. දෙස් විදෙස් සිනමා පට කීපයකටම දායක වෙලා අන්තර්ජාතික මට්ටමෙන් සම්මානයක් ලබා ගැනීමත් තවත් සිහිනයක්. සිනමා පට ගැන කතා කරද්දි මම ආසම සිනමාපට දෙකක් තමයි ටිකිරා සහ දුප්පතාගෙ හිතවතායි. මගේ ජීවිතයටත් ගොඩක් රුකුලක් වෙන්නේ මගේ පවුල සහ නෑදෑ හිතවතුන් යාළුවෝ සියලු දෙනාම මගේ මේ ගමනට උදව් කරනවා. ඔවුන් සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.
ඉන්දියාවේ සිට ආපු ගමනේ ඉලක්කය මොකක්ද?
දැනට සුනිල් ටී. ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක් වන සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණයක් වන නවතම සිනමාපටයකට කතා කරලා තියෙනවා. ඉදිරියේදි තිරගත වීමට සිනමාපටය කීපයකුත් තියෙනවා.අන්තර්ජාතික වශයෙන් සිනමාපටයකට සම්බන්ධ වීමට තමයි මගේ බලාපොරොත්තුවක් තියෙන්නේ.