විවිධ තේමාවල ගීත ගයන්නට මා කැමැතියි

නීතිඥ අයේශා අත්තනායක
ජුනි 1, 2023

 

මිනිස්සුන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් කරන දේවල් අනන්තයි. වෘත්තීය ජීවිතෙන් මොහොතක හරි ඔවුන් වෙන් වන හැම තත්පරයකම නිරතවන්නට උත්සාහ ගන්නේ විනෝදාස්වාදය සඳහා කලාවේ නිරත විමයි. උදේ ඉඳන් හවස් වනතුරු මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්ස අසා හිත ඒකාග්‍රතාවෙන් මිදීමට කලාවේ නිරතවන ඇරෙන්න වෙනත් විනෝදාස්වාදයක් ඇය සෙව්වේ නැත. උපාලි බණ්ඩාර වීරසේකර ගේය පද රචනයක් වූ ‘දුර අහසේ සඳක් වගේ’ ගීතය ගායනා කරමින් ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කරන්නට ඇය සමත් වුවාය. යුක්තිය පසිඳලන්ට ඇය ළඟට එන මිනිසුන් වෙනුවෙන් ඇයගේ හඬින්ම ගීතයක් ගායනා කර ඔවුන්ව සනසාලන්නට හැකි වන්නේ කීයෙන් කී දෙනාට? ඒ අතරින් ඇය ලද භාග්‍යත් එයම වේ. පාසලේ දී සහ ගමේ දී දස්කම් පෑ ඇය අද මුළු ලෝකයකම මිනිසුන් ඇයගේ හඬ ඉල්ලා කතා කරයි. නීතිඥ වෘත්තිය හා ගායනයත් සමබරව කරගනිමින් ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන ඇය නමින් අයේෂා අත්තනායකයි. මේ ඇය සරසවිය සමඟ කළ කතාබහයි.

 

කලා ක්ෂේත්‍රයට කොහොමද මුලපුරන්නේ?

මම මුලින්ම අධ්‍යාපනය හදාරන්නේ බ/ප/හො මාපුටුගල මහා විද්‍යාලයෙන්. ඉන් අනතුරුව මම සාමාන්‍ය පෙළ සමත් වෙලා හොරණ රාජකීය විදුහලට ඇතුළත් වෙනවා උසස් පෙළ අධ්‍යාපනය සඳහා. මේ පාසල් දෙකේදිම මම පාසල් වේදිකාව තුළ හා බාහිරව දක්ෂ සිසුවියක් බවට පත්වෙනවා. පාසලේ තිබෙන සමිති සමාගම් හා අන්තර් පාසල් මට්ටමෙන් ජයග්‍රහණ රැසක්ම හිමිකර ගන්නවා. ඊට අමතරව ගමේ තිබෙන සංගීත ප්‍රසංගවල ගීත ගායනා කරනවා. මේ ආකාරයෙන් මගේ ගායන හැකියාවන් වැඩිදියුණු කරගත්තා. මේ කාලයේදී මම ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ සංගීත ආශ්‍රමයේ සංගීතය හැදෑරුවා. එයින් ලද අධ්‍යාපනය මගේ කලා ජීවිතයට ලොකු රුකුලක් වුණා. පාසල් යන කාලේ ඉඳන්ම මට ලොකු හීනයක් තිබුණා මගේ කියලා කවද හරි ගීතයක් කරන්න. ඒ හීනේ අයිතිකරුවෙක් වෙන්න ලැබීමත් මම ලද සතුටක්.

ඔබ යන්න ගිය ගමන කොහොමද වෙනස් කරගන්නේ?

මම ඉගෙනගත්ත පාසල ගාවම තමයි අධිකරණය තිබ්බේ. උසාවිය දකින හැම මොහොතක්ම අපි යාළුවෝ සියලු දෙනාම කිව්වේ අපි නීතිඥවරියක් වෙමුනේද කියලා. සමහරු එදා කියපු කතා නම් කියන්නත්, ලියන්නත් බැරි දේවල්ය. ඒත් මගේ හිතේ තිබුණ හීනය තමයි ගායිකාවක් වීම. අපි ගොඩක් දෙනකු උසස් පෙළ අධ්‍යාපනය පස්සේ නීති විද්‍යාල ප්‍රවේශය විභාගය ලියලා නීති විද්‍යාලයට ඇතුළත් වුණා. කෝමහරි ඒ ගමනේ ගොඩක් බාධක කම්කටුලු ජයගෙන 2016දී නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙන්නට අවස්ථාව ලැබුණා. නීති විද්‍යාලයේ හිටියත් මම ඉඩ ලැබෙන හැම මොහොතකම හොඳීන් ගීත ගායනය කළා. නීති විද්‍යාලයේදිත් එක එක අවස්ථාවලදී මට ගීත ගායනා කරන්නට අවස්ථාව ලැබුණා.

ගායිකාවක් නොවී නීතිඥවරියක් වුණේ ඇයි?

අද මම නීතිඥවරියක් වුණ නිසා මට ගීත ගායනා කරන්නටත් ගායිකාවක් වෙන්නටත් අවස්ථාව තිබුණා. ඒත් එකම වෘත්තියක් තෝරා ගත්තොත් මාවත් දෙකක ගමන් කිරීම ටිකක් අපහසුයි කියලා හැමෝම හිතන්නේ. ඒ දේයින් මම මිදිලා මගේ විනෝදාස්වාදය හා සමාජයට යමක් කරන්න ඕන කියල හිතුණ හින්දා කලාවත් මම තෝරගත්තා. මම මේ නිසා හැමදේකින්ම සතුටින් ඉන්නේ. ජීවිතේ තිබෙන්න ඕනේ සතුට විනෝදය කියන දේ මූලික වෙන්න ඕන. සමහරු කියනවා වගේ දුක සතුට දෙකම උරුමයි කියනවා වගේ. මට කියන්න තියෙන්නෙ නීතියයි කලාවයි දෙකම මට උරුමයි කියන එකයි.

 

ඔබට වෘත්තීය ජීවිතයයි කලා ජීවිතය අතර වෙනස කොහොමද දැනෙන්නේ?

අපි කුමන වෘත්තියක නිරත වෙලා සිටියත් විනෝදාස්වාදය කියන එක අපිට අනිවාර්යනේම ඕනේ. වෘත්තියක් වශයෙන් අපි නිරත වෙන්නට ප්‍රථම විනෝදාස්වාදය මුල්කරගෙන අපේ කුඩා පවුල, යාළු හිතමිත්‍රාදීන් එක්ව ඒ තුළින් තමයි මුලින්ම ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන හැම මොහොතකම සොයන්නේ සතුටයි. කුඩා කාලයේ ඉඳන්ම මම කලාවත් එක්ක නිරත වෙලා සිටිය නිසා වෘත්තීය ජීවිතයට යොමු උණාට පස්සේ මේ දෙක අතර වෙනස මට හොඳීන් දැනුණා. බොහෝ දෙනා කියන්නේ හිරකරලා ගැට ගහලා තියෙන ලෝකවලට වැඩිය නිදහසේ තිබෙන ලෝකය හරිම සුන්දරයි කියලා. ඒ දෙක අතර වෙනසක් මට දැනුණේ

පුදුමාකාර විදිහටයි. නීතිඥ ජීවිතය කියන්නේ හරි කර්කශ ජීවිතයක්. ඒ නිසා මට ගීත නිර්මාණවල නියැළෙන්නට ඕනේ කියල හිතුණා. පාසල් කාලේ කලා කටයුතුවලින් පසුව එහි මූලික පියවරක් ලෙස තමයි මම ගායනයට යොමු වෙන්නේ. මම කිසිදිනක මුදල් පසුපස හමා යන්න නෙවෙයි මේ ගීත ගායනා කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්ය.

දැනට කරල තියෙන නිර්මාණ ගැන කතා කළොත්.?

නීතිඥ වෘත්තියට අවට පස්සෙ මගේම ගීත නිර්මාණ කිහිපයක් කළා. ඒ අතරින් මුල්ම නිර්මාණය දුර අහසේ සඳක් ගීතය. මේක රචනා කලේ උපාලි බණ්ඩාර වීරසේකර මහතා. සංගීතය දර්ශන වික්‍රමතුංගගෙන්.

දෙවෙනි ගීතය මගේම යයි සිතු ගීතය. උපාලි බණ්ඩාර වීරසේකර ගේය පද රචනක් වන මෙහි සංගීතය පැතුම් කුරේ

තුන්වෙනි ගීතය ඔබ මගෙන් වෙන් වෙලා ගියද ගේය පද රචනය ආරියතිලක පීරිස් මහතා

ඊට පස්සෙ අත්වැල අරන් ගීතය සමඟ ගීත කිහිපයක් කරලා තියෙනවා. මේ අතරින් වඩාත් සිත් ගත් ගීතය යුක්තියේ දෙවගණකගේ ශෝකාලාපය යන ගීතයයි. නීතිඥ ශ්‍රී කාන්ති කැටවලකුඹුරගේ ගේය පද රචනයට සංගීතවත් කළේ විමුක්ති සිරිමාන්නයි. මේ දිනවල වඩාත් ජනප්‍රිය ගීතය මේකයි ගුවන්විදුලිවල සහ රූපවාහිනිය හා සමාජ මාධ්‍යන්හි. එදා මගේ මුල්ම ගීතයට වගේම ප්‍රේක්ෂකයන් අද යුක්තියේ දෙවඟනකගේ ශෝකාලාපය යන ගීතයටද ඇලුම් කරලයි තිබෙන්නේ.

ඔබ ගැයු ගීතවල අන්තර්ගත වන්නේ මොනවාද?

පොදුවේ ගත්තාම ප්‍රේමය සහ විරහාව අන්තර්ගත වෙනවා. ඒ වගේම සමාජයේ සිදුවෙන දේවල් විවිධ ප්‍රශ්න සහ විවිධ අනුභුතින් හා මෑතකදී කියු යුක්තියේ දෙවඟනකගේ ශෝකාලාපය යන ගීතය තුළින් කියන්නෙත් විනිසුරුවරයකු දෙනු ලබන තීන්දුව මිනිසුන්ගේ සිත් තුළ නිතිය පිළිබඳ ඇති වෙන සංවේදීභාවය හා විශ්වසනීයත්වයයි. මගේ නීතිඥ ජීවිතයේදී මම සහ මගේ සහෝදරිය ලැබූ අත්දැකීම් සම්පිණ්ඩණය කරලා තමයි මේ ගීතය රචනා වෙන්නේ. නීතිඥ ජීවිතයේ නියැළෙන කෙනෙකු ලෙස එහි සැබෑ තොරතුරු සමාජගත කරන්න ගීතය තුළින් පුළුවන්කම මට ලැබුණා නම් මේ නවතම ගීතයෙන් බෝහෝ සේ ඉටු වුණා කියලා මම හිතුණා. ඉදිරියේදී නිර්මාණය කරන ගීතවලට විවිධ වස්තු විෂයයන් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලය තුළ මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය තුළ ඔබට හොද ප්‍රතිචාර ලැබුණා නේද?

එක ඇත්ත. මුද්‍රිත මාධ්‍ය තුළත් මගේ ලිපි ගණනාවක්ම පළ වුණා මම කියු ගීත සම්බන්ධව. ඒ ගීත කිහිපය නිසා මේවන විට රූපවාහිනි ගුවන් විදුලි වැඩසටහන් ගණනාවක සහභාගි වෙලා තියෙනවා. ඒ අතරින් ස්වර්ණවාහිනි අද දවස, ජාතික ගුවන් විදුලියේ සොඳුරු සියොතුන්, ස්වාධීන රෑපවාහිනි ශනිදා සාදය, ශ්‍රී ජ්ථ හි ගුඩ් මෝනින් ශ්‍රී ලංකා ආදී වැඩසටහන්වල ගායනයෙන් හා නීතිමය වැඩසටහන් සඳහාද සහභාගි වුණා. මම කලාවත් එක්ක නිරත වන නිසා සමහර නීතිමය ගැටලු සඳහා මගෙන් ප්‍රශ්න අහන්න ගොඩක් දෙනෙක් කැමති වුණා. ඒ ඔවුන් සමඟ මම සමීපව කටයුතු කළ නිසාය. මගේ ජීවිතයට මිලකළ නොහැකි දෙවල් ගොඩක් ඒ නිසා මට ලැබුණා කියල හිතනවා.

වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන අංශ වලින් වඩාත් කැමති මොන අංශයන්හි ගීත ගායනා කරන්නටද?

මේ ත්‍රිත්වයේම ගීත ගායනා කිරීමට මම කැමති. ඉදිරියේදී මගේ හඬ මේ අංශවලින් අහන්න ලැබෙයි. හොඳ පදනමක් තුළ සමාජ ගතකරන්න පුළුවන් ගේය පද රචනා කිහිපක්ම ලැබිල තියනවා. එයට සාධාරණයක් ඉටුකරන්න බලාපොරතු වෙනවා.

කලා ක්ෂේත්‍රය තුළ ඔබ දකින ගැටලු මොනවාද?

නවක සංගීත ශිල්පියකුට ශිල්පිනියකට තිබෙන ලොකු ගැටලුවක් තමයි තමන් කරන නිර්මාණවලට ලොකු ඉඩක් නැති එක. මේ හේතුවෙන් බොහෝ දෙනා තමන්ගෙ ගීත නිර්මාණ එළිදක්වන්නෙ සමාජ මාධ්‍ය එහෙම නැත්නම් සෝෂල් මීඩියා හරහා. හොඳ ගීත නිර්මාණවලට තවත් මාධ්‍යවල හොඳ ඉඩක් වෙන් වෙනවා නම් වඩාත් හොඳයි.

තෝරාගත්ත පිරිසකට පමණක් නිර්මාණවලට ඉඩකඩ ලැබෙනවා. එය වෙනස් වෙලා දක්ෂයාට ඉඩක් ලැබුණොත් මේ ක්ෂේත්‍රය තුළ හොඳ නිර්මාණ බිහිවෙයි. අංකුර ශිල්පීන්ට එළියට එන්න අවස්ථාවක් නැතුව බලන් ඉන්නවා.ඒකාධිකාරිය බිඳ දමන්නට පුළුවන් නම් එක හොඳයි කියලා මම හිතනවා.

ඔබ නීතිඥවරියක් ?

මේ වන විට සිවිල් හා අපරාධ ද්විත්තයේම නීතිඥ වෘත්තියේ යෙදෙනවා. ඒ අතර නොතාරිස් වෘත්තියේ වැඩකටයුතු කරනවා. විශේෂයෙන් පවුල් නීතිය හා සම්බන්ධ නීති කටයුතු කරනවා.අද වන විට පේන දෙයක් තමයි වේගයෙන් සමාජය තුළ දික්කසාද නඩු කාරණාවලට යොමු වෙලා තියෙනවා. දෛනිකව දික්කසාද නඩු විශාල ප්‍රමාණයක් අධිකරණයේ ගොනු වෙනවා. විධිමත් පවුල් උපදේශන යාන්ත්‍රණයක් මේ වන විට අවශ්‍ය බව පේන දෙයක්. විශේෂයෙන් ම ආගමික සිද්ධස්ථාන පන්සල, පල්ලිය, කෝවිල හරහා මේ ක්‍රමවේදය අතීතයේ මෙන් සකස් කිරීමේ හැකියාවක් ද තියෙනවා. එසේ වුණොත් බොහෝ දුරට දික්කසාද අඩුවීමක් දක්නට ලැබෙයි කියලා හිතනවා. මේ වගේ වස්තු විෂයයන් පදනම් කරගෙන මම ඉදිරියේ ගී නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ගමනට ශක්තියක් වන්නේ කවුද?

මගේ ස්වාමියා ඇතුළු පවුලේ අයගෙන් නොමද සහයෝගයක් ලැබෙනවා. ඒවගේම

විශේෂයෙන්ම මගේ සංගීත කටයුතුවලට සහෝදර නීති වෘත්තිකයන්ගෙන්ද යාළු හිතමිත්‍රාදීන්ගෙන්ද ලැබෙන සහයෝගය අගය කළ යුතුයි.

ඉදිරි බලාපොරොත්තු ගැන මතක් කළොත්?

ඉදිරියේදී ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තව හොඳ නිර්මාණ කිහිපයක් කරලා සංයුක්ත තැටියක් නිකුත් කරන්නත් අදහසක් තියෙනවා. මගේ රාජකාරි ජීවිතයේදී මම ලබන අත්දැකීම් අනුසාරයෙන් හොඳ දේවල් සමාජගත කරන්න තමයි මගේ ඒකායන අරමුණ. හොඳ ගායන ශිල්පිනියක් වගේම හොඳ නීතිඥවරියක් වීම තමයි මගේ ඊළඟ බලාපොරොත්තුව. ඒ වගේම මට මේ තැනට එන්න උදව් කරපු සියලුම ගුරු භවතුන්ට සහ නන් අයුරින් උදව් කළ සියලු දෙනාටම ස්තුති කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා. හොඳ නිර්මාණ කරමින් හිමින් ගමනක් යැමතමා මගේ අරමුණ වෙන්නේ.

[email protected]