සකල කලා සවියට මැ එකයි... ඒ සරසවිය

මැයි 11, 2023

පත්තර මහ ගෙදර ලෙස විරුදාවලිය ලත් ලේක්හවුස් ආයතනයෙන් 1963 සිට පළ කෙරෙන ලංකාවේ පැරැණිතම මෙන්ම දැනට පවත්නා එකම ජාතික කලා පුවත්පත වන ‘සරසවිය’ පසුගිය අප්‍රේල් 10 වැනිදා 60 වැනි විය සම්පූර්ණ කළේය. එසේම එමඟින් පවත්වනු ලබන සරසවිය සම්මාන උලෙළ පසුගිය මැයි 9 වැනිදා 60 වැනි වසරට පා තැබුවේය. එය 1964 මැයි 9 වැනිදා ඇරැඹිණ. මෙරට සිනමාව ප්‍රමුඛ සකල කලාවට, සාහිත්‍යයට, කර්මාන්තයට හා සමස්ත කලාකරුවන්ට අමූල්‍ය, යුගකාරක මෙහෙවරක් ඉටු කළ, ඉටු කරමින් සිටින, සරසවිය පුවත්පතෙහි වජ්‍ර ජයන්තිය සමරන මේ මොහොතෙහි එහි අග සකසු නොඑසේනම් සාමාන්‍ය ව්‍යවහාරයෙන් පැවසුවහොත් ප්‍රධාන කර්තෘවරයා වීමට ලැබීම මම ඉමහත් භාග්‍යයක් කොට සලකමි. ලාංකේය සිනමාවේ නිළි රැජන, ආචාර්ය මාලිනී ෆොන්සේකා වරක් ‘පත්තර මහ ගෙදරින් බිහි වූ සිනමා පත්තර මහගෙදර සරසවියයි’ පැවසුවාය. සැබැවින්ම ‘ලංකාවේ සිනමා පත්තර මහ ගෙදර’ සරසවිය ලෙස හැඳීන්වීම සහේතුකය. රොබට් ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද ‘සිනමා’ පුවත්පතෙන් ලංකාවේ සිනමා පුවත්පත් කලාව ඇරැඹිණ. ඒ 1952 ජූලි 1 වැනිදාය. 1963 සරසවිය පුවත්පත ඇරැඹීමට පෙර එනම් 1952-1963 කාලවකවානුවෙහිදී සිනමා පුවත්පත් 45 ක් වරින් වර ඇරැඹී තිබුණු අතර සරසවිය 46 වැනි සිනමා පුවත්පත ලෙස ඉතිහාස ගත වී ඇත. මගේ පර්යේෂණවලට අනුව එදා මෙදා තුර සිනමා පුවත්පත් 115 ක් බිහි වී ඇත. අරුමය නම් එකී සිනමා පුවත්පත් 114 ම විවිධ හේතුන් මත නතර වී සරසවිය පමණක් අඛණ්ඩව මැ විරාජමාන වීමය. සරසවිය වූ කලී සකල කලාවට අධිපතිනි සරස්වතී දේවියගේ උතුම් නාමයෙන් නම් කෙරුණු සුපින්වත් සිනමා පුවත්පත විය. පත්තර මහගෙදර නිර්මාතෘ ඩී.ආර්.විජයවර්ධන මහතාට පින්සිදු වන්නට, සරසවිය පුවත්පතෙහි ආරම්භයට පුරෝගාමී වූ රංජිත් විජයවර්ධන මහතාට පින්සිදු වන්නට, සරසවිය නම් වූ අමරණීය නාමය පුවත්පතට තැබූ පී.කේ.ඩී. සෙනෙවිරත්නයන්ට පින්සිදුවන්නට, එය නොනැසී පවතින්නට සුබ ගණයකින් එනම් ආයු ගණයෙන් නම තැබීම අනුමත කොට ප්‍රබල සුබ නැකතකින් එය ආරම්භ කිරීමට මුල් වූ පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී නාහිමියන්ට පින්සිදු වන්නට සරසවිය, මෙරට කලාව පවතින තුරු වැජඹෙනු ඇතැයි මම සිතමි.

සරසවිය කර්තෘ ධුරය හුදෙක් මට වෘත්තියක් ලෙස පමණක් නොදැනේ. සිනමාව සේ ම සරසවිය සමඟ ද මට ඇත්තේ ආත්මීය බැඳීමකි. මෙකී ආත්මීය බැඳීම වූ කලී මා විශ්වාස කරන පරිද්දෙන්, පෙර ජන්මයක සිට පැමිණ මේ භවයෙහිද පරම්පරාවෙන් මට උරුම වී පත්තියම් වූවකි. මා මතු දිනෙක සරසවිය කර්තෘ ධුරයෙන් ඉවත් වුවද මියෙන තුරුම මේ බැඳීම එලෙසින්ම පවතිනු ඇත. 1976 වසරේ මා උපත ලබන විටත් මා පියාණන් (ඒ.ඩී.රන්ජිත් කුමාර) සරසවිය කර්තෘ මණ්ඩලයේ උප කතුවරයෙකි. 1969 දී සරසවියට බැඳුණු ඔහු පසුව නියෝජ්‍ය කර්තෘ ධුරය හෙබවීමෙන් පසු 1989 -1994 කාලයේ ප්‍රධාන කර්තෘ ධුරය දැරුවේය. මේ පසුබිම තුළ යාන්තම් බහ තෝරන වියේ සිට මගේ අතට හසුවූ පුවත්පත සරසවිය බැව් මා අමුතුවෙන් පැවසිය යුතු නැත. මා මුලින්ම චිත්‍රපටයක් නැරැඹුවේද සරසවිය නිසාය.1978 දී රුක්මණී දේවියගේ අභාවය හේතුකොට සරසවිය පුවත්පතෙහි සංවිධානයෙන් රුක්මණී දේවි අනුස්මරණ චිත්‍රපට උලෙළක් කොළඹ ටවර් රඟහලේ දී පැවැත්විණි. එවක යාන්තම් දෙහැවිරිදි වියේ සිටි මා කිරි බෝතලය මුවෙහි රඳවාගෙන මව්ගේ ඇකයෙහි සිට මේ චිත්‍රපට නරඹා ඇත. සිව් හැවිරිදි වියෙහි එනම් 1980 වසරේ සිටම මම සරසවිය සම්මාන උලෙළද නරඹා ඇත්තෙමි.

පියා සමඟ මා මුල්වරට ලේක්හවුස් ආයතනයටත් සරසවිය කර්තෘ මණ්ඩලයටත් පැමිණියේ 1978 වසරේදීය. එවක සරසවිය ප්‍රධාන කර්තෘවරයා වූයේ ධර්මදාස බොතේජු මහතාය. ඔහු එවක දෙ හැවිරිදි වියෙහි සිටි මා හට ‘ස්මාටීස්’ පැකට්වුවක් තිළිණ කළේය. 1979- 1989 කාල වකවානුවෙහි එනම් ග්‍රැන්විල් සිල්වා මහතා සරසවිය කර්තෘ ධුරය හෙබවූ සමයේ බොහෝ අවස්ථාවල මම කුඩා දරුවකු ලෙස පියාගේ සුරතෙහි එල්ලී සරසවිය කර්තෘ මණ්ඩලයට සහ ඔවුන්ගේ නොයෙකුත් සාදවලට සහභාගි වී ඇත්තෙමි. ඒ වකවානුවෙහි මා සමීපව ඇසුරු කළ කැමිලස් පෙරේරා, සුනිල් හොරේෂස්, ලතා බොතේජු, නෙළුම් විමලරත්න, විවේකා සමරසිංහ, මුදිත කාරියකරවන, උපාලි ෆොන්සේකා වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන් ගැන රසබර මතක මේ මොහොතේ සිහිපත් වේ.

සරසවිය පුවත්පත හා බැඳුණු අමතක නොවන සිදුවීමක් මෙහිදී මා සිහිපත් කළ යුතුය. එදත් අදත් කවදත් මා අතිශයින් ප්‍රිය කළ , මගේ ලේඛන දිවියට මහත් දිරියක් වූ මහා කලාකරුවාණන් විජය කුමාරතුංගයන්ය. ඔහු මගේ පියාණන්ගේ සමීප මිතුරකු වූ හෙයින් එවක අප පදිංචි වී සිටි දෙමටගොඩ ඩැනිස්ටර් ද සිල්වා මහල් නිවාසයේ පළමු මහලේ නිවසෙහි පැවැති ප්‍රිය සාදවලට සහභාගි වූයේය.1986 නොවැම්බර් මාසයේ මැදභාගයේ එලෙස පැමිණි අවස්ථාවක ප්‍රකට ඡායාරූප ශිල්පී උපාලි ෆොන්සේකා සොහොයුරා තම කැමරා කාචයෙන් ගත් විජයගේ සේයාරුව 1986 නොවැම්බර් 13 වැනිදා සරසවිය පුවත්පතෙහි පිටකවරය ලෙස පළ විය. ඔහු එදා සැරසී සිටියේ ඝාතනයට ලක් වූ දා ලෙයින් නැහැවී තිබුණු කළු ඉරි සහිත සුදු කමිසයෙන් හා කළු කලිසමෙනි.

1989 ඔක්තෝබර් මාසයේ මැද භාගයේ මගේ මෑණියන් (දමයන්ති ජයසූරිය) දැඩි ලෙස රෝගාතුර වී ඇයට බරපතළ ශල්‍යකර්මයක් සිදු කළ යුතුව තිබිණ. මටත් පියාණන්ටත් අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ මේ වකවානුවේ මට (එවක මට වයස අවුරුදු 13 කි) සිදු වූයේ පාසල (කොළඹ ආනන්ද විද්‍යාලය) නිම වී පැමිණි පසු පියාගේ රාජකාරී වේලාව තුළ සරසවිය කර්තෘ මණ්ඩලයෙහි රැඳී සිටීමටය. මාසයකට වැඩි කාලයක් මෙලෙස රැඳී සිටීමට මා හට අවසර දෙන ලද්දේ එවක ලේක්හවුස් සභාපති, නීතිඥ සුනිල් රොඩ්රිගු මහතා විසිනි.

එවක සරසවිය (ප්‍රධාන කර්තෘ - මා පියාණන්) නවයුගය (ආචාර්ය අජන්තා රණසිංහ) තරුණි (සුමනා සපරමාදු මෙනවිය), විදුනැණ (ධනසිරි බෝධිනායක මහතා), බුදුසරණ (ප්‍රේමසිරි අබේසිංහ මහතා), සුබසෙත (චන්ද්‍ර ශ්‍රී කුලරත්න මහතා), මධුර (තලංගම ජයසිංහ මහතා) හා ක්‍රීඩා (සරත් ප්‍රේමතිලක මහතා) යන පුවත්පත්වල කර්තෘ මණ්ඩල එක යායට පිහිටා තිබිණ. පාසල නිම වී ලේක්හවුස් කාර්යාලයට පැමිණෙන මම සරසවිය කර්තෘ මණ්ඩලයේ රැඳී සිටිමින් පියාණන්ගේ දෛනික රාජකාරිය හමාර වන තෙක් පාසලෙන් පැවරෙන ගෙදර වැඩවල (ඩ්ධථඥ ඹධපඬ) නියැළුණෙමි. මෙහිදී තමන්ගේ රාජකාරී කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් විවිධ විෂයන්ට අදාළ පාඩම් මට කියා දීමට ඉදිරිපත් වූවෝ බොහෝය. සුසිල් ගුණරත්න (හිටපු සරසවිය කර්තෘ), අනුර බණ්ඩාර රාජගුරු (හිටපු සරසවිය කර්තෘ), දීප්ති ෆොන්සේකා (හිටපු සරසවිය කර්තෘවරිය, සිනමා පුවත්පතක කර්තෘ ධුරය දැරූ ප්‍රථම කාන්තාව), අරුණ ගුණරත්න (හිටපු සරසවිය කර්තෘ), ගීෂා මුණසිංහ (විදුනැණ උප කර්තෘ) ආදී මාධ්‍යවේදීහු මෙහිදී වරින්වර මට පාසලේ පාඩම් වැඩවලට උපකාර කළහ. පියාගේ සහයක ආරි අයියාගේ (ආරියරත්න පෙරේරා) උපකාරද මට අමතක නොවේ. මෑණියන්ගේ රෝගීබව හේතු කොට දැඩි කම්පනයෙන් සිටි මාගේ එකී කම්පනය දුරු කරනු වස් අරුණ අයියා (අරුණ ගුණරත්න) සහ ගීෂා අයියා (ගීෂා මුණසිංහ) චිත්‍රපටවල මාධ්‍ය දර්ශන සහ එවක පැවැති චිත්‍රපට උලෙළවල් නැරඹීමට මා කැටුව ගියහ. ගීෂා අයියා එවක රීගල් සිනමාහලේ පැවැති චාලි චැප්ලින් චිත්‍රපට උලෙළ නැරැඹීමට මා කැටුව ගොස් මගේ මුවට සිනහ නැංවීමට උත්සුක වූයේය. එපමණකුදු නොව මෙකල මෙන්ම මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලය හෙවත් ඕඩේ පන්සල සමීපයේ පදිංචිව සිටි ගීෂා අයියා, කාර්යාලයේ වැඩ නිම වී නිවසට යද්දී ඒ ගමනේම තම අගනා මොරිස් මයිනර් රථයෙන් මාවත් පියාවත් කොළඹ ජාතික රෝහලට ඇරලීමෙන් උපකාර කළේය. තතු මෙසේ වූ හෙයින් ජීවිතයේ දුෂ්කර සමයක (1989) එවක සරසවිය කර්තෘ මණ්ඩලයේ සියල්ලන්ම මට දැනුණේ මගේ පවුලේ සාමාජිකයන් ලෙසිනි. පියාණන් සරසවිය කර්තෘ ධුරය දැරූ කාලයේ කර්තෘ මණ්ඩලයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය සමඟ අප ගිය වාර්ෂික විනෝද සවාරි (අනුරාධපුර, මහනුවර, කතරගම) නිබඳවම මට සිහිපත් වේ.

සරසවිය පුවත්පතෙහි මගේ සේයාරුවක් මුල්වරට පළ වූයේ 1986 වසරේදීය. එවක මා කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 10 හැවිරිදි සිසුවෙකි. ධම්ම ජාගොඩ සූරීන්ගේ ‘මිහිකතගේ දරුවෝ’ ටෙලි නාට්‍යයේ ළමා චරිතයක් රඟපාමින් කලා ලොවට පිවිසීම හේතුකොට එකල මම ළමා නළුවකු ලෙස ජනප්‍රිය වී සිටියෙමි. 1986 සරසවිය සම්මාන උලෙළ සඳහා මගේ මෑණියන් සමඟ මා සහභාගි වන සේයාරුවක් සරසවිය පුවත්පතෙහි පළ කරන ලද්දේ එවක සරසවිය ප්‍රධාන කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතා විසිනි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ කලා අංශයේ ඉගෙනුම ලැබූ සමයේදී එනම් 1993 ජූලි 8 වැනිදා සරසවිය පුවත්පතට මා ලියූ ප්‍රථම ලිපිය පළ විය. චරිතාංග නළුවකු ලෙස කැපී පෙනුණු චන්ද්‍රලාල් ජයවර්ණ ගැන ලියූ ඒ ලිපිය පළ වූයේ ‘එක් රැයෙන් මතුවූ චරිතාංග නළුවා’ යන සිරස් තලයෙනි. 1995 එනම් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා සරසවිය කර්තෘ ධුරය දැරූ සමයේ මා වරින්වර සිනමාව අරභයා විචාර හා පරිවර්තන ලිපි ලියූ අතර ඒවා පළ විය.

2005 පෙබරවාරි 7 වැනිදා මම උප කතුවරයකු ලෙස ලේක්හවුස් ආයතනයට බැඳුණෙමි. ඒ සිළුමිණ පුවත්පතෙහි රසඳුන කර්තෘ මණ්ඩලයටය. ඉන් මඳ කලකට පසුව දිනමිණ පුවත්පතෙහි මංසල සාහිත්‍ය අතිරේකය සංස්කරණය කිරීමේ කාර්යය මට පැවරිණ. මේ අතර එවක සරසවිය කර්තෘ සුනිල් මිහිඳුකුල මහතා බලවත් ලෙස මට පෙරැත්ත කරනු ලැබුවේ සරසවිය කර්තෘ මණ්ඩලයට බැඳීමටය.

“මට සිංහල භාෂාව හා සිනමාව හොඳීන් දන්නා උප කර්තෘවරයකු සරසවියට ඕනෑ. ඒ නිසා ඔයා එන්න ඕනේ සරසවියට”

සුනිල් අයියා කීපවරක් බලවත් සේ මගෙන් ඉල්ලා සිටියේය. ඒවන විට මා ‘ශ්‍රී ලාංකේය සිනමා වංශය’ ග්‍රන්ථයද පළ කොට තිබූ හෙයින් එවක ලේක්හවුස් සභාපති ජනදාස පීරිස් මහතාද මා සරසවිය කර්තෘ මණ්ඩලයට යොමු කළේය. කෙසේවෙතත් 2005 සිට 2009 දක්වා කාලයේ සරසවිය කර්තෘ මණ්ඩලයේ උප කතුවරයකු ලෙස සේවය කොට 2009 සිට 2015 දක්වා සිළුමිණ පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයට එක් වී පුන්කලස ශාස්ත්‍රීය අතිරේකයට මම දායක වූයෙමි. 2015 වසරෙහි නැවතත් මම සරසවිය කර්තෘ මණ්ඩලයට එක් වූයේ එහි නියෝජ්‍ය කර්තෘවරයා ලෙසිනි. 2019 එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ධුරයට මා පත් කෙරිණ. හිටපු සරසවිය කර්තෘ අරුණ ගුණරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් ඉක්බිතිව සම්මුඛ පරීක්ෂණයකින් පසුව එනම් 2022 අගෝස්තු මාසයේදී මා හට එහි අග සකසු ධුරය හිමි විය. මා පියාණන් 1989 -1994 කාල වකවානුවෙහි එහි ප්‍රධාන කර්තෘ ධුරය දරමින් තම දරුවකු සේ සුපෝෂණය කළ සරසවිය පුවත්පතෙහි කර්තෘ ධුරයට මාද පත්වීම පුවත්පත් කලා ඉතිහාසයේ වාර්තාවක් බව මම මෙහිදී සඳහන් කරනුයේ නිහතමානී සන්තුෂ්ටියකිනි. අනෙක් අතට එය පියා ජීවත්ව සිටියදී පුතෙකු හට තම පියාට පිදිය හැකි වූ සැබෑ උපහාරය කැයි මම සිතමි. කුඩා කාලයේ සරසවිය පුවත්පත හා සරසවිය සම්මාන උලෙළ සමඟ තාත්තා දිවා රෑ නොමැතිව කාර්යබහුල වෙද්දී මා එකම දරුවා ලෙස මවගෙන් මෙසේ අසන බැව් මා හට මතක ඇත.

“අම්මේ .....තාත්තා ඇත්තටම ආදරේ මටද සරසවිය පත්තරේටද”

සරසවිය වජ්‍ර ජයන්තිය සමරන මේ මොහොතේ සරසවිය කර්තෘ ධුරය හෙබ වූ සියලු කතුවරුන් (මීමන ප්‍රේමතිලක - 1963 , විමලසිරි පෙරේරා - 1963 -1977, ධර්මදාස බොතේජු - 1977-1979, ග්‍රැන්විල් සිල්වා - 1979-1989, ඒ.ඩී.රන්ජිත් කුමාර - 1989-1994, තිලකරත්න කුරුවිට බණ්ඩාර - 1994-2000, සුසිල් ගුණරත්න -2001- 2002, අනුර බණ්ඩාර රාජගුරු -2002 -2003, දීප්ති ෆොන්සේකා - 2003 - 2005, සුනිල් මිහිඳුකුල - 2005 - 2006, ගාමිණි සමරසිංහ - 2006- 2010, අරුණ ගුණරත්න -2010- 2022) මම ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. වත්මනෙහි සරසවිය හා තරඟ වැදීමට කිසිදු සිනමා පුවත්පතක් දක්නට නොමැත. වරින්වර ඇති වී නැති වී යන සිනමා පුවත්පත් දක්නට තිබුණත් ඒ කිසිදු පුවත්පතක් සරසවියට මෙතෙක් අභියෝගයක් වූයේද නැත. 90 දශකයේ අග භාගයේ සිට දක්නා ලැබුණු ප්‍රවණතාවක් ලෙස ඉරිදා පුවත්පත් සමඟ විවිධාකාරයේ පටු පිටු (Tabloid )පුවත්පත් බිහි විය. මේ කිසිදු පුවත්පතක් සරසවියට අභියෝගයක් නොවේ. ඊට හේතුව 1963 වසරේ සිටම සරසවිය තමන්ටමැ ආවේණික වූ අනන්‍යතාව, ස්වාධීනත්වය මැනවින් ස්ථාපිත කළ හෙයිනි. එය ‘සරසවිය සම්ප්‍රදාය’ (Tradition of Sarasaviya)  ලෙස හැඳීන්විය හැකිය. මා පමණක් නොව සරසවිය හී මුල් පුටුවට පත් වන කවර කර්තෘවරුන් හෝ ක්‍රියා කළ යුත්තේ මෙකී සම්ප්‍රදාය, උසස් ප්‍රමිතියට හානියක් නොවන පරිද්දෙන් එය කාලානුරූපව, තාක්ෂණය සමඟද බද්ධ වෙමින් නව්‍යකරණයට ලක් කිරීමය. පසුගිය වසර කීපය පුරා අප රටට මුහුණදීමට සිදු වූ සමාජ, දේශපාලනික, ආර්ථික අර්බුද හමුවේ මෙරට පුවත්පත් කලාවද විවිධ අභියෝගයන්ට ලක් වෙද්දී සරසවිය පුවත්පත අඛණ්ඩව පවත්වාගෙන යෑමට උපදේශකත්වය ලබා දුන් සරසවිය සම්මානලාහී චිත්‍රපට නිෂ්පාදක සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට මහතා සහ ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතා ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයටද මගේ ගෞරවනීය කෘතවේදීත්වය හිමි වේ. සරසවිය පුවත්පතේ මගේ කර්තෘ මණ්ඩලයද මෙහිදී අනිවාර්යයෙන් මා සිහිපත් කළ යුතුය. සරසවිය නියෝජ්‍ය කර්තෘ ලෙස සේවය කොට පසුව සුබසෙත ප්‍රධාන කර්තෘ වූ අරුණි මුතුමලී, හේමාලි විජේරත්න, චන්දන දයාසිරිවර්ධන සහ සමුද්‍රිකා වර්ණකුල යන සහෝදර, සහෝදරියන් මා හට ලබා දෙන අගනා සහායට ස්තුතියි. එසේම කාර්ය සහයක සිසිර අමරසිංහද මට අමතක කළ නොහැකිය. ලේක්හවුස් ඡායාරූප අංශයේ සිට සරසවියට අමිල මෙහෙවරක් ඉටු කරන නිශ්ශංක විජේරත්න සහ තිලක් පෙරේරා සොහොයුරන්ද අනර්ඝ, නිර්මාණශීලී රූ රටා සැලසුම් ඔස්සේ සරසවිය හැඩකරන චක්සු අබේවික්‍රම සොහොයුරාද පරිගණක අක්ෂර සංයෝජනයෙන් සහය වන නිලක්ෂි ආරියරත්න සොහොයුරියද ඩිජිටල් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ සරසවිය විද්‍යුත් පුවත්පතට සහ Sarasaviya youtube  නාළිකාවට සහය වන මංජුල මහින්ද, අයේෂ් රාජපක්ෂ, තනුෂිකා සෙනෙවිරත්න සහෘදයන්ද මඳ කලකට පසු සරසවිය මුද්‍රණ ද්වාරයෙන් පළවන මේ මොහොතේ ඊට සහය වූ දැන්වීම්, මුද්‍රණ හා අලෙවි අංශයේ සියලු මහත්වරුන්ද කෘතවේදීත්වයෙන් මම සිහිපත් කරමි. සරසවිය පුවත්පතට සහ සිනමාවට අපරිමිත ආදරයෙන් නිතරම ලිපි සම්පාදනය කරන බාහිර ලේඛක, ලේඛිකාවන් වන අචලා මුතුතන්ත්‍රි, අමල් යශෝමන් ජයසිංහ, යතේජා ඥානරත්න, ඇන්ටන් ජේ.ප්‍රනාන්දු, චම්පිකා දීපානි රණසිංහ, ශෝන් මැක්ස්මස් දිසානායක, තුසිත ජයසුන්දර, හේමන්ත බණ්ඩාර, උපුල් ගුරුගේ, නයනාංජලී දෙහිපිටිය, දිස්නා කුමාරි අල්විස්, දර්ශන දියතිලක, තිලානි ශානිකා, ධනුෂ්ක පුෂ්පකුමාර, දිලංජන මධුෂාන් පතිරණ, රූපසේන සිල්වා, දිනේෂ් ප්‍රියසාද් යනාදි සහෘදයන්ද අමතක නොවේ. 2005 සරසවිය කර්තෘ මණ්ඩලයට මා බැඳුණු තැන් පටන් එහි මා සමඟ වරින්වර සේවය කොට පසුව නොයෙක් හේතූන් මත විසිර ගිය සහෘද කැලක්ද මගේ සිහියට නැඟෙයි. එනම් ගාමිණී පෙරේරා (ප්‍රවීණ අක්ෂර සංයෝජක), අසංක දේවමිත්‍ර පෙරේරා, නිලූ මල්ලවආරච්චි, මනෝලි සුබසිංහ, ආශිර්වාදිනී හෙට්ටිආරච්චි, දර්ශන ගුණරත්න, චන්දු ලියනආරච්චි, ප්‍රසාද් සමරතුංග, කුමාර සිරිවර්ධන, ටෙනිසන් එදිරිසිංහ, මාලන් කරුණාරත්න, තිළිණි රාජපතිරණ, කපිල උභයසේන, ඉන්දික පෙරේරා, සුගත් ප්‍රියන්ත, අමානි ඉරේෂිකා, නිර්මාණි බණ්ඩාරනායක, නුවන් මහේෂ් යනාදීහුය. අතීතයේ යම් යම් කාල වකවානුවලදී සරසවිය පුවත්පතෙහි අඛණ්ඩ පැවැත්ම, ස්වාධීනත්වය වෙනුවෙන් අභීතව හඬ නැඟූ දිවංගත හා භුවංගත සියලු කලාකරුවන්ද මෙහිදී ගෞරවයෙන් මම සිහිපත් කරමි.

සකල කලාවට අධිපතිනි සරස්වතී දේවිය අභිවන්දනය කරනු පිණිස, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සංගීතවත් කොට ගැයූ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් විරචිත ‘ජගන් මෝහිනී’ නම් වූ සුවිශිෂ්ට අභිනන්දන ගීතය බිහි කිරීමට මුල් වූ සරසවිය පුවත්පත ඒ අනුහසේ බලයෙන් කලාව මෙරට පවතිනතුරු යෙහෙන් වැජඹේවා !

 

 

ආචාර්ය නුවන් නයනජිත් කුමාර

 සරසවිය ප්‍රධාන කර්තෘ

[email protected]