වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
හැට වසරක අභිමානය සර සවිය සිනමාවේ පුනරුදයක පෙර සවිය

සරසවිය සිහිවෙන්නේ පීතෘ සෙනෙහසින්
ලේක්හවුස් හිටපු සභාපති, සරසවිය නිර්මාතෘ - රංජිත් විජයවර්ධන
මෙරට බිහි වූ කලා පුවත්පත් අතර ‘සරසවිය’ අඛණ්ඩ ගමනක යෙදෙමින් සිය 60 වැනි සංවත්සරය සැමරීම පිළිබඳ මා හට ඇත්තේ පීතෘ සෙනෙහසක් හා සමාන හැඟීමක් සමඟ බැඳුණු සතුටකි. විනෝදාස්වාදය සහ කලා රසවින්දනය සඳහා වෙන් වූ පුවත්පතක අවශ්‍යතාව පිළිබඳ මුල්ම යෝජනාව මා වෙත ඉදිරිපත් කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාණන් වන එවක ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වූ එස්මන්ඩ් වික්‍රමසිංහ මහත්මා ය. ඒ අනුව 1963 වසරේ මුල් භාගය වන ඉන්දියාවේ සංචාරයක යෙදී පෙරළා පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විමලසිරි පෙරේරා සමඟ එවක ලේක්හවුස් ආයතනයේ සභාපති ධුරය හෙබැවූ මා හට කලා පුවත්පතක් නිමැවීමේ මූලික පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හැකි විය.
විමලසිරි මහතා පුවත්පතේ සැකැස්ම මනාව ඉදිරිපත් කළ ද කර්තෘ ධුරය හෙබැවීම සඳහා යෝජනා කළේ සමකාලීන කවිකාර මිතුරකු වන මීමන ප්‍රේමතිලකගේ නාමයයි. එහෙත් ඔහු කර්තෘධුරය දැරුවේ 1963 අප්‍රේල් 10 වැනිදා ඇරැඹි පුවත්පත සඳහා පමණක්ය යන්න මාගේ මතකයයි. එතැන් සිට විමලසිරි පෙරේරා කතුවරයා යටතේ සරසවිය වසර දාහතරක් පමණ සිය පාඨක සිත්සතන් පිනවන්නට සමත් වූවාය.
සමස්ත පවුලේ රසවින්දනය සඳහා බිහි වූ මේ පුවත්පත සකල කලාවන්ට අධිපති සරස්වතී දෙවඟන වැඩහිඳීන ස්ථානය යන අරුතින් ගෙන ‘සරසවිය’ ලෙස නම් කළේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන් වන අතර බඹරැන්දේ සිරිසීවලී හිමිපාණෝ ඒ නාමයෙහි ගණ සුබ බැව් දැන වදාළහ. සිනමා රසිකයන් මෙන්ම සාහිත්‍ය, නාට්‍ය වැනි විවිධ කලාවන් කෙරෙහි උනන්දු වූ පුළුල් පාඨක පිරිසකට ආමන්ත්‍රණය කරන්නට සමත් වූ සරසවිය, සිනමා පුවත්පතක සන්නාමයට නතු වුණේ 1964 වසරේ ‘සරසවිය සිනමා සම්මාන උලෙළ’ ඇරැඹීමත් සමඟය. එමතු නොව සරසවිය සිනමා සම්මාන උලෙළ අදටත් හෙළයේ මහා සිනමා මංගල්‍යය ලෙස කලාශිල්පීන් අතර මෙන්ම සමස්ත ජනතාව අතර මහත් ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වී ඇත.
වරෙක පූර්ණ සිනමා පුවත්පතක් ලෙස ද තවත් වරෙක විවිධ කලාවන් වෙනුවෙන් ඇරුණු පුවත්පතක් ලෙස ද සිය ස්වරූපය වෙනස් කරමින් කලා ලෝකයේ මෙන්ම සමාජ දේශපාලන ව්‍යුහයේ මතු වූ උච්චාවචනයන්ට ඔරොත්තු දෙමින් මෙරට දීර්ඝම කාලයක් අඛණ්ඩව පවතින ජනප්‍රිය කලා පුවත්පත වන්නට සරසවියට හැකි වූයේ ඇය වෙනුවෙන් පත් වූ නියමුවන් වන ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, ඒ.ඩී. රන්ජිත් කුමාර, තිලකරත්න කුරුවිට බණ්ඩාර, සුසිල් ගුණරත්න, අනුර බණ්ඩාර රාජගුරු, දීප්ති ෆොන්සේකා, සුනිල් මිහිඳුකුල, ගාමිණී සමරසිංහ, අරුණ ගුණරත්න වැනි ජ්‍යෙෂ්ඨ කතුවරුන්ගේත් ඒ ඒ කර්තෘමණ්ඩල සාමාජිකයන්ගේත් අපරිමිත දැනුම, අවබෝධය සහ කැපවීම නිසා බව නොකියා නොහැකිය.
වර්තමානයේ කර්තෘ ධුරය හොබවන ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඇතුළු කතු මඬුල්ලට මේ පුවත්පත තව තවත් ඉදිරියට රැගෙන යෑමට ආසිරි පතන අතර සරස්වතියගේ වරදායක හස්තයේ අනුහස ලද ‘සරසවිය’, කලා පුවත්පත් ලොව දිගු කල් වැජඹේවා යන්න මගේ පැතුමයි!
සටහන - අරුණි මුතුමලී
අපි දෙන්නම ඉපදුණේ එකම මාසයක
ආචාර්ය මාලිනි ෆොන්සේකා
කලාකරුවන් විදියට සරසවියත් එක්ක අපට ලොකු බැඳීමක් තිබෙනවා. අපේ ජිවිත එකිනෙකට බද්ධ වුණු ස්වරුපයක් තිබෙන්නේ. අපි සරසවියටත් , සරසවිය අපිටත් ලෙසින් . සරසවිය ඉපදුණෙත් , මම ඉපදුණෙත් එකම මාසෙක. සරසවිය ඉපදුණේ අප්‍රේල් 10 වැනිදා. මම ඉපදුණේ අප්‍රේල් 30 වැනිදා. පොඩ්ඩක් එහා මෙහා වුණා නම් අපි දෙන්නට එකට ඉපදෙන්න තිබුණා.
එකම පවුලේ එකම ලේ නෑයෝ එකට ඉන්නවා වගේ අපි අතර තිබෙන බැඳීමත් වෙනස් කරන්න බෑ. යම් යම් කාලවල්වල විවිධ ප්‍රශ්න නිසා අපි ඈත් වෙලා හිටියා. නමුත් සරසවියට මගේ තිබෙන ආදරය බැඳීම කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඉතින් පුරා 60 වසරක සරසවිය සිනමා පුවත්පතක් වශයෙන් අපේ කලාවට, අපේ සිනමාවට අති විශාල සේවයක් කළා. ඉදිරියටත් ඒ සේවය ඒ ආකාරයෙන්ම කරගෙන ආ යුතුයි. අනාගත පරපුරටත් ඒ මෙහෙවර හිමිකර දෙන්න තවත් බොහෝම කල් සරසවිය යෙහෙන් වැජඹෙන්න ඕන.
සිනමාවේ සිංහ කොඩිය
ආචාර්ය රවීින්ද්‍ර රන්දෙණිය
සිනමාව වෙනුවෙන් ඉදිරියට රැගෙන යන සිංහ කොඩිය තමයි සරසවිය පුවත්පත. මොකද එහෙම කියන්නේ පුරා අවුරුදු 60 ක් සිනමාව වෙනුවෙන්ම කැපවෙලා සිනමාව කියන මේ අගනා කලා නිර්මාණ ජනතාව අතරට ගෙනියන්න ප්‍රමුඛව සහ අඛණ්ඩව එකම මෙහෙයක් කළ ජාතික පුවත්පත, එහෙම නැත්නම් ජාතික ආයතනය කියල හඳුන්වන්න මම කැමැතියි. මොකද කාලාන්තරයක් තිස්සේ අපි දැක්කා පුවත්පත් ඇතිවුණා නැතිවුණා. නමුත් සරසවිය අඛණ්ඩව මේ වැඩේ කරගෙන යනවා. ඒ වෙනුවෙන් ලේක්හවුස් ආයතනයට අපි ගරු කරන්න ඕන. මේ ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යෑම ගැන.
සිනමාව වෙනුවෙන් සිනමා ශිල්පින්ට තිබෙන ගරුත්වය රැක දෙන්න, ඒ වගේම සිනමා නිර්මාණවල අගය ජනතාව අතරට රැගෙන යන්න, වඩාත් අසස් සිනමා නිර්මාණ බිහි කරන්න දිරි දෙමින් විශේෂයෙන් සරසවිය සම්මාන උලෙළපවත්වමින් කරන මෙහෙය අති විශාලයි. සරසවිය සම්මාන උලෙළ අදත් සැලකෙන්නේ ලංකාවේ ප්‍රමුඛතම හා ඉතාමත්ම ගෞරවනිය පිළිගැනීමකට ලක්වෙන සම්මාන ප්‍රදානෝත්සවය කියලා. ඉතින් මේ සැම අතින්ම බැලුවම සිනමාව වෙනුවෙන් මේ වගේ අඛණ්ඩව ඉතාම කැප වීමෙන් කටයුතු කළ ආයතනයක් (මම කියන්නේ පුවත්පතක් කියලා නොවෙයි සරසවිය කියන්නේ ආයතනයක්) සරසවිය කියන්නේ සිනමාව වෙනුවෙන් කැපවුණු ආයතනයක්. සිනමාව වෙනුවෙන් බිහිවුණු වෙනත් ආයතන වලට වඩා සරසවිය සිනමා පුවත්පත පසුගිය වසර 60 තුළ දේශීය සිනමාව වෙනුවෙන් කැපවුණා.
සරසවිය සම්මානය කලාකරුවන්ගේ හීනයක්
ගීතා කුමාරසිංහ
සරසවිය සිනමා පුවත්පතත් මාත් අතර තිබෙන්නේ ළබැඳී , ආදරණිය සම්බන්ධයක්. මට මතක විදියට මගේ පින්තූරයක් ඉස්සරලම සරසවිය පුවත්පතේ පළවුණේ 1975 මුල් භාගයේ වෙන්න ඕනෑ. එදා මෙදා තුර සරසවිය පුවත්පත සිනමාවට කරපු මෙහෙවර මෙතෙකැයි කියලා ඉවර කරන්න බැහැ. පුරා වසර 60 ක් එකම ආකාරයෙන් අඛණ්ඩව මේ විදියට සිනමාවට සේවය කරන පුවත්පතක් සිනමා ඉතිහාසයේ වත් පුවත්පත් කලා ඉතිහාසයේ වත් නෑ.
මම සිනමාවට ආපු දවසේ සිටම මගේ සිනමා දිවිය ඒකාලෝක කරන්න සරසවියෙන් ලැබුණු දායකත්වය අති විශාලයි. එදා මෙදා තුර වර්තමාන කර්තෘ නුවන් දක්වාම හිටපු සරසවිය කර්තෘවරුන්, හිටපු සරසවියට ලේඛක ලේඛිකාවන් වගේ හිටපු සරසවිය ඡායාරුප ශිල්පීන් සිනමා ශිල්පින් ශිල්පිනියන් විදියට අපටත් පොදුවේ සමස්ත සිනමාවටත් ලබා දිය හැකි උපරිම මෙහෙවර ඔවුන් ලබා දුන්නා. අද මේ මොහොතේත් ඔවුන් ඒ වගකිම ඉෂ්ට කරනවා. ඇත්ත වශයෙන්ම ඒ සියලුම කර්තෘ මාණ්ඩලිකයන්ට, ඡායාරූප ශිල්පින්ට ලේඛක ලේඛිකාවන්ට අපේ ගෞරවය මේ මොහොතේ පිරිනමන්න ඕන. ඔවුන් වසර 60 ක් වැනි දිර්ඝ කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට මේ මෙහෙවර කරගෙන ආවා.
අනිත් පැත්තෙන් සරසවිය සම්මාන උළෙල වගේ විශිෂ්ට ගණයේ ප්‍රමිතියකින් යුතු සම්මාන උළෙල පවත්වලා අපේ සිනමාවට අති විශාල ගෞරවයක් හිමි කරලා දුන්නා. රංගන ශිල්පියකු ශිල්පිනියක වශයෙන් සරසවිය සම්මානයක් හිමි වෙනවා කියන්නේ ඕනම කෙනෙකුගේ හීනයක්. නළු නිළියන්ට දිරි දෙමින් දේශිය සිනමාව ආරක්ෂා කර ගන්න කැපවෙන පුවත්පතක් වශයෙන් අපේ සදා ආදරය හැමදාමත් සරසවියට හිමි වෙනවා. තවත් චිරාත් කාලයක් අනාගත පරපුරට එය හිමිකර දෙන්න ශක්තිය , ධෛර්ය හා වාසනාව ලැබේවා!.
අපි අතර ඇත්තේ විශාල බැඳීමක්
ශ්‍රියාණි අමරසේන
සරසවිය පුවත්පතට වසර 60 යි.ඒ වගේම කථානාද සිනමාවට වසර 76යි. ඉතින් මේ දෙපාර්ශ්වය අතර තිබෙන සම්බන්ධතාවය කොච්චර ද කියලා හිතා ගන්න පුවවන්. අවුරුදු 60ක් පුරාම සිනමාවට සරසවියෙන් ලැබුණු දායකත්වය වගේම මගේ සිනමා ජීවිතයටත් සරසවියෙන් ලැබුණු දායකත්වය අති විශාලයි, සහ ඒක මට හරියට වටිනවා. මගේ කවරයක් සරසවිය පුවත්පතේ පළවුණු මුල්ම අවස්ථාවේ මම මොන තරම් සතුටු වුණාද කියලා මට මතකයි. ඒ මම හුඟාක් තරුණ අවධියේ. සරසවිය පුවත්පත කියන්නේ ඒ කාලේ අපේ රටේ තිබුණු සිනමා පුවත්පත් අතරින් ප්‍රධානම තැනක්ගත්ත සිනමා පුවත්පත.
ඉතින් සරසවිය පුවත්පත එනකම් හැම සතියකම බ්‍රහස්පතින්දා දවසේ අපි බලාගෙන හිටියා. අපේ සිනමාව ගැන සිනමාවේ අපේ රංගන ශිල්පින් ශිල්පිනියන්ගේ තොරතුරු ගැන දැන ගැනිමට අපට ඒ කාලේ තිබුණු එකම මාධ්‍යය සරසවිය. එදා ඉඳලා මේ දක්වාම සරසවිය පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සියලු දෙනාම අපිත් එක්ක බොහොම සුහදව කටයුතු කරනවා. අපි අතර ලොකු බැඳීමක් , ආදරයක් , ලොකු සම්බන්ධතාවයක් තිබෙනවා. ඒක තමයි වටින්නේ. හැම වෙලාවෙම අපේ කලා කටයුතුවලට අත හිත දෙන සරසවිය සමඟ අපි නිබඳවම බැඳී සිටින්න ඕන. ඒක ආරක්ෂා කර ගන්න ඕන. ඒක අගය කරන්න ඕන.
වර්තමානය වනවිට සරසවිය ඊ පුවත්පතක් හැටියට පැමිණියත් ඉදිරියේදි මුද්‍රිත පුවත්පතක් වශයෙන් අපි අතට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නොකඩවා මේ පුවත්පත පවත්වාගෙන යන්න ශක්තිය, ධෛර්ය ලැබෙන්න ඕන. තවත් චිරාත් කාලයක් සිනමාවට සේවය කරන්න සරසවියට හැකි වේවා කියලා මගේ ආශිර්වාද පිරිනමන්න කැමැතියි.
මගේ නම හැදුණේ සරසවිය නිසා
රන්ජන් රාමනායක
සරසවිය පුවත්පත කියන්නේ මගේ සිනමා ගමන් මඟට විශාල අත්වැලක් සපයපු පුවත්පතක්. රන්ජන් රාමනායක කියන මගේ නම මේ රටේ ප්‍රේක්ෂකයන්ට හඳුන්වා දෙන්න මේ පුවත්පත කරපු මෙහෙය මට කිසිදා අමතක වෙන්නේ නෑ, සිනමාවට ආශාවෙන්, ආදරයෙන් නළුවෙක් වෙන්න මීගමුවේ ඉඳන් කොළඹ ආපු මට ඒකාලේ පුංචි කැල්ලක් පත්තරේ දාල දුන්නත් ඒක මට මහ මෙරක් තරම්. ඒ පුංචි කැලිවලින් තමයි මට නමක් හැදුණේ.
ඒ කාලේ සරසවියේ කවරයක් යනවා කියන්නේ ඒක තරම් සතුටක් නළුවෙකුට තිබුණේ නෑ. පුංචිවට ආවට මමත් කොහොමහරි ඒ වාසනාව හිමි කර ගත්තා. ගෙවුණු වසර ගණනාව පුරා මගේ රුපයෙන් සැරසුණු සරසවිය පුවත්පත් අනන්තවත් මුද්‍රණය වෙන්න ඇති. ඒ කොච්චර වුණත් අදටත් අපිට සරසවිය කවරයක් යනවා කියන එක මහ විශාල දෙයක්.
මම වගේම සිනමාවට එන්න කැමැති බොහොමයක් දෙනාට පසුගිය 60 වසර පුරා සරසවිය කොතෙකුත් අත හිත දිලා ඇති. සිනමාවත් සමඟ ගහට පොත්ත සේ බැඳුණු මේ සබඳතාවය නිසා සිනමාව කෙතරම් පෝෂනය වෙන්න ඇතිද? නවක නළු නිළි පිරිස් මේ හරහා බිහි වෙන්න ඇතිද? දේශීය, විදේශීය සිනමා නිර්මාණ ගැන, කලාව ගැන, සංස්කෘතිය ගැන කොයි තරම් පාඨකයන් දැනුම්වත් කරන්න අතිද? ඒ කරපු වටිනා මෙහෙය අපිට මෙච්චරයි කියලා ලඝු කරන්න අමාරුයි.
ලංකාවේ කෙතරම් සිනමා පුවත්පත් බිහි වුණත් පුරා 60 වසරක් නොකඩවා මේ මෙහෙය කරන්න පුවවන් වුණේ සරසවිය පුවත්පතට විතරයි.
ඉතින් 60 වැනි වියට පාතබන අප ආදරය කරන අපේ සිනමා පුවත්පතට තවත් චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට සුබ ප්‍රාර්ථනා එක් කරනවා.
එදා සරසවිය රැකගැනීම සතුටක්
සනත් ගුණතිලක
සරසවිය පුවත්පත මගේ ජිවිතයට විවිධාකාර විදියට බලපැවා. සිනමා නළුවකු වන්නට කිසිම අදහසක් තිබුණේ නැති කාලෙක සිංහල චිත්‍රපට වලට තිබුණු ආසාව නිසාත් , නළු නිළියන් ගේ තොරතුරු දැන ගැනීමට තිබුණු කැමැත්ත නිසාත් මේ පුවත්පත නිසා ලැබුණු රස නිෂ්පත්තිය ඉතාම ඉහළ තැනක තිබුණු නිසාත් සරසවිය පුවත්පත ගෙනත් (සත විසිපහකට) බලන එක පුරුද්දක් කරගෙන හිටියා මට මතකයි.
පාරම්පරික වගේම පුර්වාදර්ශ සපයපු ගුරුවරියක් වු අපේ අම්මා මෙවැනි විනෝදාත්මක කටයුතුවලට මම නැඹුරු වෙනවට කැමැති වුණේ නෑ. නමුත් මේ තුළින් මම විශාල රසයක් ලබා ගත්තා වගේම දැනගත යුතු වැදගත් දේවල් රාශියක් දැනගත්තා. ඒ සරසවිය පුවත්පත ඉතාම හොඳ ගුණාත්මක භාවයකින් තිබුණා අදටත් මට මතකයි.
එහෙම හිටපු මම සිනමාවට ඇවිත් සිටුකුමරියෝ, වජිරා, තනි තරුව, ගඟ අද්දර වැනි චිත්‍රපටවල රඟපාලා ඒ ඡායාරුප මේ පුවත්පතේ පළවන විට දැනුණ සතුට කොච්චරද කියලා හිතාගන්න පුළුවන්නේ.
ඒ වගේම තමයි 1980 ගඟ අද්දර තිර ගත වුණාම සරසවිය පුවත්පතේ මැද පිටුවේ මගේ අලංකාර ඡායාරුපයක් පළවුණා. මට මතක නැ මගේ කවරයක් ඉස්සරලම ගියේ කවදද කියලා. ඒ වගේ පුදුමාකාර විදියට මේ පුවත්පතත් එක්කලා අපි බැඳුණා. ඊට පස්සේ සරසවිය සම්මාන උලෙළ නිසා තව දුරටත් ඒ බැඳීම ශක්තිමත් වුණා. ඒ බැඳීම හරිම ළෙන්ගතු ස්වභාවයක් ගත්තා. ඒ ළෙන්ගතු භාවය එකල තිබුණු අනෙකුත් සිනමා පුවත්පත්වලට වඩා ඉහළින් සිටින්න හේතු වුණේ මේ පුවත්පත තුළ තිබුණු කියම් ආකාරයක ප්‍රමිතිය කියලා කියන්න මට පුළුවන්.
නමුත් අද වගේ දවසක මම කියන්න ඕන මගේ හිතේ මතක හිටින්නේ යම්කිසි වකවානුවක සරසවිය පුවත්පත පාඩු ලබන පුවත්පතක් ලෙසින් හැඳීන්වෙමින් එය වසා දැමීමට ගිය මොහොතේ මම පැය 24ටත් වඩා අඩු කාලයක් තුළ මගේ එවක රාජ්‍ය මට්ටමින් තිබූ තනතුරු නොව නළුකම භාවිතා කොට ඉහළට කරුණු දක්වා එය වළක්වන්නට කටයුතු කළා. ඒ ගැන මට ආඩම්බරයි.
ඒ වගේම මම සරසවිය සම්මාන රාශියක් ලබලා තියෙනවා. ඒක සතුටට කාරණයක්. නමුත් ඊට වඩා මම සතුටු වෙනවා එක් වකවානුවක සරසවිය සම්මාන උලෙළ සම්බන්ධීකරණය කරමින් එවක කර්තෘවරයා වූ තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ගෙන් මා ලද ගෞරවනීය පැසසුම. (උලෙළේ දක්ෂතම නළුවෙක් හිටියට උලෙළ සාර්ථක කරගැනීමට අපක්ෂපාතීව සහය දුන් හොඳම නළුවා- සනත්) කෙසේ වෙතත් වර්තමාන කර්තෘ මණ්ඩලය මෙය නවතාවයකින් ගෙන එන්නටත්, අපේ පැරැණි සංගල්ප සහ පසුබිම අමතක නොකෙට පවත්වාගෙන යන්නටත් දක්වන උනන්දුවට මගේ ගෞරව පුර්වක ස්තූතිය පිරිනමනවා. සරසවිය තවත් බොහෝ කාලයක් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හේමාලි විජේරත්න
සේයාරූ - නිශ්ශංක විජේරත්න