වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
සැඩ සුළඟින් මතුවුණ පද්මිණී

පුංචි සුරංගනාවියක් බඳු තම දියණිය, ගේ පුරා දුවමින්, ගයමින්, නටමින් ගත කරන ආකාරය මව්පිය දෙපළට මහත් සතුටක් ගෙන දෙන කරුණක් වන්නට ඇත. ඇගේ සොයුරු සොයුරියන් ද ඒ දෙස බලා සිටියේ සෙනෙහස, ආදරය පුරවාගත් හදවතින් වන්නට ඇත. පුංචි දියණියගේ නර්තන ලීලාව දැක අනාගතයේ දක්ෂ නර්තන ශිල්පිනියක් තම පවුලෙන් බිහිවෙතැයි දෙමව්පියන්ට හැඟී යන්නට ඇත.
සැබැවින්ම පසුකලෙක ශ්‍රී ලංකාවේ බිහි වූ ප්‍රථම සිංහල භරත නාට්‍යම් ශිල්පිනිය කලාශූරී පද්මිණි මානෙල් දහනායක ආරියදාස නම් වූ ඇය ජාතික සම්පතකි. ඇගේ ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය මාර්තු 8 වෙනිදාටයි. ලෝක කාන්තා දිනය. කෙතරම් අපූරුද ඒ සිදුවීමත්.
කලින් දිනයක තීරණය කරගත් පරිදි මාර්තු 8 වෙනිදා උදෑසනම මා එතුමිය පිළිගන්නට ගියේ විශේෂයෙන්ම ඇයට සුභ පැතීමටය. ලස්සන රතු මල් විහිදුන ගවුමකින් සැරසී ඇය මා පිළිගන්නට මඟ බලා සිටියාය. තවත් විශේෂම කාරණයක් නම්, ඇගේ ගෝලබාල පිරිස ඇයට සුභ පතන්නට, ඇය හා සතුටු සාමීචියේ යෙදෙන්නට එන්නේ එදිනටයි. එතුමිය මා දුටු සැණින් සුපුරුදු සුන්දර සිනහවෙන් මා පිළිගත්තාය. ඇගේ මුහුණෙහි කවදත් තිබූ සුන්දර සිනහව, ආදරණීය බව බිඳුකුඳු අඩු නොවී ඇති බව මට සිතුණි.
මල් කළඹක් දී ඇයට සුභ පතා, ඇයගේ දෙපා නමදින අවස්ථාවේ එතුමියගේ දෙනෙත් සතුටු කඳුළෙන් පිරීයන ආකාරය මම හොඳාකාරවම දුටිමි. ආගිය තොරතුරු කතාකරන අතරතුර “දුවේ දැන් ඔයා මොකද කරන්නේ” ඒ ඇය කවදත් අපෙන් අසන පැනයක්. මම කරනා වැඩකටයුතු පිළිබඳව දැන ගැනීමට එතුමිය මහත් උනන්දුවක් දක්වන බව වැටහුණි. මම මගේ රාජකාරිය ඇය හා පැවසීමි. “මට ආසයි ඔබතුමිය ගැන ලියන්න. ඔබේ නර්තන දිවිය ගැන ලියන්න.” එවිට නෙළුම් මලක් විකසිත වන්නාක් මෙන් ඇගේ මුළු මුහුණම සිනහවෙන් විකසිත විය. එය කෙතරම් නම් සිත්ගන්නා සුලුදැයි මට සිතුණි.
එතැන් පටන් එතුමිය, ඇගේ කුඩාකල සිට ආරම්භ කළ නර්තන කලාව ගැන, එතුමියගේ ජීවන තොරතුරු, කිසිදු කලබලයකින් තොරව මා ඉදිරියේ පවසන්නට පටන් ගත්තාය. ප්‍රශ්න මාලාවක් අසා ඇයව වෙහෙසට පත්කළ යුතු නැති නිසා, මම, ඇයට මතක ඇති සුන්දර අතීතය ගැන ඇයටම පවසන්නට ඉඩහැරියෙමි.
ඒ අතර තුර මා මුලින් සඳහන් කලාක් මෙන් ඇගෙන් භරත නාට්‍යම් ශිල්පය උගත් ගෝලයන් කිහිප පළක්ම ඇය බලන්නට පැමිණියෝය. මම මඳකට මගේ රාජකාරිය නැවැත්තුවෙමි.
ඇත්තටම පද්මිණි ගුරු මාතාව පින්බර කාන්තාවක් බව කිවහැකිය. මක්නිසාද මීට අවුරුදු ගණනාවකට පෙර ඇයගෙන් ශිල්ප ලබාගත් සිසුවියන්ගේ සිත්වල තවමත් ඇය පිළිබඳව දැඩි ළෙන්ගතු කමක්, දැඩි බැඳීමක් ඇති නිසාවෙනි. ඔවුන් සමඟ කෙරෙන රසකතා අතරේ මගේ කටයුත්ත ගැන ඇය අමතක නොකළාය.
එතුමිය මා දෙසට හැරී ඇගේ හඬ අවදි කළාය.
“මගේ අම්මා සරලිනා කරුණාරත්න වීරමන්” “තාත්තා සැම්සන් දහනායක.”
“මගේ මුල්ම පාසැල වුණේ කොළඹ ආනන්ද විද්‍යාලය.”
“පුදුම හිතෙයි නේද” “ඒක පිරිමි පාසැලක්නේ.”
“කොහොමද ඒකට ගැහැනු ළමයෙක් ගියේ කියලා.”
“ඒ කාලේ ආනන්ද විද්‍යාලයේ ගැහැනු ළමයිනුත් ඉගෙන ගත්තා.”
“ඒ කාරණාව බොහෝ අය දන්නෙ නැහැ.”
“අවුරුදු කිහිපයක් ආනන්දෙ ඉගෙන ගත්ත මාව පස්සේ කාලෙක මියුසියස් එකට ඇතුළත් කළා අපේ මම්මා.”
“මම්මා කිව්වේ අපේ අම්මා.”
“අපි අම්මට “මම්මා” කියල තමයි කතා කළේ.”
ඇගේ මව ගැන කතා කරන විට එතුමිය තුළින් දිස්වූයේ මහත් අභිමානවත් බවකි. මම සාවදානව ඇයගේ කතාබහට ඇහුම්කන් දුනිමි.
“අපේ මම්මා ටිකක් සැර කෙනෙක්.”
“නීතිරීති මාලාවක් දාල තමයි අපිව හැදුවේ.”
ඇය කතා කළේ ආඩම්බර ලීලාවකිනි.
“මට හොඳට නටන්න පුළුවන් නිසා මගේ මම්මා මාව චිත්‍රසේන කලායතනයට ඇතුළත් කළා.” “අවුරුදු පහක් විතර මම උඩරට නැටුම් ඉගෙන ගත්ත.”
“නැටුමට හපන්නියක් විදිහට අඳුරගත්ත මාව, ඒ කාලේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක ටී. සෝමසේකරන් මහතා එයාගේ “සැඩ සුළං” චිත්‍රපටයේ ගීත ජවනිකාවකට මාව තෝර ගත්තා. ඒ චිත්‍රපටයේ “ජීවන ගමන
මේ” කියන ගීතයට තමයි මම නැටුවේ.”
“කොටට කොටේ පුංචි ගවුමක් ඇඳගෙන.”
“දැන් මතක් වෙනකොට හිනහත් යනවා.”
ඇයගේ මුහුණ සිනහවකින් පිරී ගියාය.
“මට අවුරුදු 12 දී මගේ මම්මා මාව ඉන්දියාවට එක්කගෙන ගියා.”
“ඒ 1954 ජූලි 03 වෙනිදා.”
“ඒ දවස මට හොඳට මතකයි.”
වාසනාවන්..... ඇයගේ කල්පනා ශක්තිය මට පුදුමය ගෙන දෙන්නක් විය.
“දකුණු ඉන්දියාවේ කලා ක්ෂේත්‍ර සෞන්දර්ය විද්‍යා පීඨයට තමයි මාව ඇතුළත් කළේ.”
“මගේ මුල්ම සහ එකම භරත නාට්‍යම් ගුරුමාතාව වුණේ රුක්මණී දේවී අරුණ්ඩේල් මැතිනිය.”
“එතුමිය දීපු ගුරුහරුකම් නිසා තමයි මට දක්ෂ භරත නාට්‍යම් ශිල්පිනියක් වෙන්න පුළුවන් වුණේ.”
“අපට වැදගත් විශේෂම කාරණය වන්නේ රුක්මණී දේවී අරුණ්ඩේල් මැතිනියගේ “කලා ක්ෂේත්‍ර විද්‍යා පීඨයේ” ඩිප්ලෝමාධාරී මුල්ම සිංහල භරත නාට්‍යම් ශිල්පිණිය පද්මිණී දහනායක ආරියදාස මහත්මියයි.
එය ශ්‍රී ලාංකික අපට වැදගත්ම සිද්ධියක් වන බව කිව යුතුමය.
“මම මගේ පණටත් වඩා ආදරය කරන ගරුකරන චරිතයක් තමයි එතුමිය.”
ඇය එසේ පැවසූයේ මහත් ගෞරවයකිනි. එය සැබෑවකි. පද්මිණී ගුරුමෑණියන්ගේ නිවසේ තිබෙන නර්තන ශාලාවෙහි බිත්තියෙහි ඉහළින්ම තබා ඇත්තේ රුක්මණී දේවී අරුණ්ඩේල් මැතිනියගේ සේයාරුවකි.
මේ සියලු දේවල් පවසන අතරතුර ඇයගේ සිසුවියන් සමඟ ද විහිළු තහළු කරමින් කළ කතාබහ ඉතා රසවත්ය. එතුමිය ඇගේ සිසුවියන්ට දැක්වූ ආදරය, කරුණාව පිළිබඳව මම හොඳීන්ම දනිමි. ඒ ඇගේ සිසු දැරියන් පොකුරේ මම ද එක් සිසුවියක් වූ නිසාය. ඇය තම සිසුවියන්ට ඉගැන්වූයේ භරත නාට්‍යම් නර්තන ශිල්පය පමණක්ම නොවේ. යහපත් ජීවිතයක් ගත කරන ආකාරය මැනෙවින් ඇය කියා දුන්නාය. ඇය එතරම්ම තම සිසු පිරිසට ආදරය කළාය. සෙනෙහස දැක්වූවාය.
ඇගේ ගෝල පිරිසගෙන් මිදී යළිත් වතාවක් ඇය මා සමඟ කතාබහට එක් වූවාය.
“මම මුලින්ම කිව්වනේ අපේ මම්මා ටිකක් සැරයි කියලා.” “නීතිරීති මාලාවක් දාල තමයි අපිව හැදුවේ කියලා.”
“මම ඉන්දියාවේ හිටිය කියලවත් නීතිරීති අඩු වුණේ නැහැ.” “නිතරම ලියුම් එවන්න කියල නීතිය දාලා තිබුණේ.”
“එහිදී වෙන විශේෂ සිද්ධි, කියන කරන දේවල්, හැම දෙයක්ම ලියල එවන්න ඕන ලියුමේ.”
“ඒ විදිහට තමයි අපිව හැදුවේ.”
“ඔය අතරතුර මාව නිවාඩුවට ගෙන්නත් ගන්නවා.”
“ඒ ආපු වෙලාවක මම ලංකාවේ කලා කටයුතු වලටත් සම්බන්ධ වුණා.”
“මම මුද්‍රා නාට්‍ය වල කැපී පෙනෙන චරිතයක් වුණා.” “හැම වෙලාවෙම.”
ඔබතුමියට ඒවා මතකද? මම ඇගෙන් ඇසුවේ ඒ ගැන දැනගැනීමේ මහත් ආශාවක් මට තිබූ බැවිනි. ඇගේ රසික රසිකාවන් ඒ ගැන දැනගැනීමට මහත් ආසාවකින් සිටින නිසාය.
“1962 ඔක්තෝම්බර් 26 වන දින වේදිකාගත කළ “සීව පතිකා හෙවත් කුවේණි” “විජය කුවේණි” කතාව ඇසුරෙන් නිර්මාණය කෙරුණු මුද්‍රා නාට්‍යයේ මමත් හිටියා.”
“ඒ මුද්‍රා නාට්‍යය කළේ මියුසියස් විද්‍යාලයේ සංගීත ගුරුතුමිය වුණ සී. එල්. පෙරේරා මහත්මිය.
නර්තන ශිල්පිනියන් තෝරා ගත්තේ මියුසියස් එකෙනුයි. සෙන්ට් බ්‍රිජට් එකෙනුයි.”
“ඒ අතරේ කැපී පෙනෙන චරිත හිටියා.”
ඔබතුමියට මතකද ඒ කවුද කියලා. මම ඇගෙන් ඇසුවෙමි.
“ඔව් මට හොඳට මතකයි.”
“සුසිලා පෙරේරා (ඊ.ඒ.පී.එදිරිසිංහ ව්‍යාපාරයේ සෝමා එදිරිසිංහ ගේ නැගණිය.” “හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, සෙසිලි කොතලාවල සෙලාන් අධිපති ලලිත් කොතලාවලගේ බිරිඳ, ඒ වගේ අය තමයි හිටියේ.”
“ඒක තමයි ඉන්දියාවේ ඉදන් ඉගෙන ගෙන ඇවිත් ලංකාවේ කරපු මුල්ම බැලේ එක.”
“ඊට පස්සේ මහවැලි ගීත නාටකයෙත් හිටියා.”
“ඉන්දියාවේදී භරත නාට්‍යම් ඉගෙනගෙන ඩිප්ලෝමා එක අරගෙන ඇවිත් මට නිකම්ම කාලය ගත කරන්න හිතුණේ නැහැ.”
“මට ඕන වුණා මගේ රටේ දැරිවියන්ට භරත නාට්‍යම් උගන්වන්න.”
“මොකද හැමෝටම ඉන්දියාවේ යන්න බෑනේ.”
“ඉතින් මම 1980 දී “ශ්‍රි පද්ම රංග” නමින් කලායතනයක් පටන් ගත්තා.”
ඇය මහත් උද්දාමයකින් පැවසුවාය.
“ඉතින් ඒ විදිහට පටන් ගත්ත මගේ කලායතනය සෑහෙන්න දියුණු වුණා.
“ගෝලයෝ දහස් ගණනක් මගේ යටතේ භරත නාට්‍යම් ඉගෙන ගෙන තියෙනවා. එයින් සියයකට ආසන්න පිරිසක් අරංගේට්‍රම් මංගල්‍ය පවත්වලා තියෙනවා.”
“මගේ හිතට හරි ආඩම්බරයක් දැනෙනවා ඒ ගැන.”
සිනාමුසු මුහුණෙන් මද වේලාවක් නිහඬව සිටි එතුමිය නැවතත් හඬ අවදි කළාය.
“ඔය අතරේ මට සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. මම ඒ පත්වීම භාරගත්තේ හරි ආසාවෙන්. මම ඒ තනතුරේ අවුරුදු 15 ක් සේවය කළා.”
“මම මගේ ගෝලයෝ හැම ප්‍රසංගයකටම සහභාගී කෙරෙව්වෙ නැහැ. වැදගත් විදිහට පවත්වන දේකට විතරයි මම මගේ දුවලව අරගෙන ගියේ.” “ඔවුන්ගේ ආරක්‍ෂාව, ගරුත්වය ගැන මම නිතරම හිතුවා.” “ප්‍රසංගවලට ගිහින් සල්ලි හොයනවට වඩා.”
එවන් වූ ගුණයහපත් ගුරුමෑණියකගෙන් ශිල්ප ශාස්ත්‍ර ලබාගත් සිසු දැරියන් කෙතරම් නම් භාග්‍යවන්තදැයි මට සිතුණි.
“මගේ පවුලේ තොරතුරු ටිකකුත් කියන්න ඕනෑ.” ඕනෑම දෙයක් කියන්න යැයි අඟවමින් මම එතුමිය දෙස බලා සිනහවක් පෑවෙමි.”
“මගේ පවුලේ සාමාජිකයෝ පස්දෙනයි. සහෝදරයෝ තුන්දෙනයි. එක සහෝදරියයි.”
“සහෝදරයෝ තුන්දෙනාම අද ජීවතුන් අතර නැහැ.”
කඳුළු පුරවාගත් දෙනෙතින් යුතුව ඇය එසේ පැවසුවාය. එතුමියගේ වැඩිමහල් සහෝදරයා වූයේ අප කවුරුත් දන්නා හඳුනන ලංකාවේ සිටි දක්ෂ, ජනප්‍රිය ගායක ශිල්පී මොරිස් දහනායක මහතායි.
“මගේ එක් සහෝදරයෙක් තමයි රංජිත් දහනායක. එයා හොඳ ව්‍යාපාරිකයෙක් වෙලා හිටියා. මගේ අනික් සහෝදරයා අජිත් දහනායක. එයත් හොඳ කලාකරුවෙක්. මගේ එකම සහෝදරිය රංජලී මල්ලිකා සල්ගාදු.”
“එයා තමයි ලංකාවට නිදහස ලැබුණ වෙලේ ජාතික ගීය කිව්වේ.”
“එදා ජාතික ගීය කියපු කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් අතරින් තාමත් ජීවත් වෙලා ඉන්නේ එයා විතරයි.”
“මම විවාහ වුණේ එල්. එල්. ආරියදාස මහත්මා සමඟ.”
එවිට නම් මට ඇගේ මුහුණින් දිස්වූයේ ප්‍රේමණීය භාවයකි.
“මගේ මහත්මයා තමයි මට හැමදේටම ශක්තියක් වුණේ. අදටත් අපි හරි ආදරයෙන්, සමඟියෙන්
ජීවත් වෙනවා.”
“ඒ වගේම තමයි මගේ ආදරණීය දරු දෙදෙනා.”
“දුව රංගනා ආරියදාස උදයකුමාර.”
“පුතා චන්ද්‍රීන් ජයවන්ත් ආරියදාස.”
“දුව රංගනා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ භරත නාට්‍යම් පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරනවා.”
“පුතා, එයාගේ බිරිඳයි, පුතායි එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා.”
“පුළුවන් හැම නිවාඩුවකටම පුතා අපිව බලන්න එනවා.”
“මට හරි ආඩම්බරයි මගේ දරුවෝ දෙන්නා ගැන.”
“ගුණයහපත් දරුවෝ දෙන්නෙක් මට ලැබුණේ.”
එතුමිය එසේ කීවේ උතුරා යන දරු සෙනෙහස හිත තුළ තුරුලු කරගෙන බැව් මට වැටහුණි.
“ඒ වගේම තමයි අපේ බෑනා, ලේලිය අපි දෙන්නා ගැන ආදරයෙන් හොයල බලනවා.”
“මගේ මිනිබිරිය සහ මුනුපුරා ඕස්ට්‍රේලියාවේ ඉගෙන ගන්නවා.” “මිනිබිරිය තොරාෂි, කුඩා කාලේ දක්ෂ රංගන ශිල්පිනියක්” “එයා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරනවා.” “මගේ පුංචි මුනුපුරා තවම ඉස්කෝලේ යනවා.”
“රංගනා දුව රාජකාරී කටයුතුවලට ගියහම අපිව බලාගන්නේ මගේ ඥාති දියණියන් දෙදෙනා.
ලක්මායි, ජනාදරීයි.”
“ඒ දුවල දෙන්නත් මගේ හොඳම ගෝලයෝ.”
ඇගෙන් ඇසිය යුතු විශේෂම කාරණාවක් ගැන මම ඇගේ අවධානය යොමු කළෙමි.
“ඔබතුමිය තමයි ඉන්දියාවේ භරත නාට්‍යම් හදාරල ආපු මුල්ම නර්තන ශිල්පිනිය.”
ගරුනාම, සම්මාන එහෙමත් ලැබිල ඇති නේද?
“අනේ ඔව් ඒවායෙන් නම් අඩුවක් වුණේ නෑ.”
“ඒත් ඒ හැම දේකටම වඩා මට වටින්නේ මෙන්න මේ මගේ ආදරණීය ගෝලයෝ ටික.” කියමින් එතුමිය, පැමිණ සිටි සිසුවියන් කිහිපදෙනා ආදරයෙන් තුරුලුකර ගත්තාය.
පද්මිණි දහනායක ආරියදාස යනු ඇත්ත වශයෙන්ම පින්වත් උදාර කාන්තාවකි. යහපත් ගතිගුණ වලින් හෙබි හදවතක් ඇති මාතාවකි. විශාල ගෝලබාල පිරිසකට අයිතිවාසිකම් කියන ගුරුමවකි.
විශේෂයෙන්ම, වත්මනෙහි ඇගේ ස්වාමිපුරුෂයා සමඟ ඔවුන්ගේ කැදැල්ලට වී ජීවිතයේ සැදැසමය ගතකරමින් නිදහසේ ජීවිතය ගෙනයන සුන්දර කාන්තාවකි.
එතුමිය පිළිබඳව මෙසේ වදන් පෙළගැස්මේදී මට එක් දෙයක් සිහියට නැඟුණි.
සරසවිය පුවත්පතෙහි වත්මන් කතෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මහතා විසින් රචිත “සරසවි බැල්මෙන් සතර සවියට” කෘතියෙහි තිස් හතර වන පිටුවෙහි, සතර වැනි ඡේදයේ මෙසේ සඳහන් කර ඇත.
“සරස්වතී දේවිය කමලවාසිනියකි: එනම් නෙළුම් මලක් මත වාසය කරන්නියකි. නෙළුම් මල එක් අතකින් පිවිතුරු බවෙහි සංකේතයකි. අනෙක් අතින් මඩ ගොහොරුවක පිපුණත් එහි නොගෑවී, නොගැටී සිටින්නට එයට හැකියාව ඇත.”
පද්මිණී ගුරුමාතාවද, සකල කලාවන්ට අධිපතිනිය වූ ශ්‍රී සරස්වතී මෑණියන්ගේ ඇල්ම, බැල්ම නොඅඩුව ලැබූ ශ්‍රේෂ්ඨ කාන්තාවකි. කිසි දිනෙක, කිසිම කෙනෙකුගෙන් නින්දා අපහාස නොලැබූ කාන්තාවකි.
ඇගේ ජීවිතයේ ද විවිධ බාධක, දුක් කම්කටුළු තිබෙන්නට ඇත. එහෙත් ඒ සියල්ලටම මුහුණ දිය හැකි ශක්තියක් එතුමිය සතුය.
නෙළුම් මල පිවිතුරු බවෙහි සංකේතයකි.
“පද්මිණී” යන්නෙහි අරුතද නෙළුම යන්නයි. එතුමියගේ ජීවිතයද පිවිතුරුය. කිසිදා කිසිම කෙනෙක් කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක් ඇති කර නොගත්, පිවිතුරු හදවතක් ඇය සතුය.
සෑම විටම එතුමිය සතු ආභරණය සිනහවයි.
එතුමිය සමඟ කළ කතාබහට විරාමයක් තැබිය යුතුය. මන්ද, කාලය අපව පසුකරගෙන ගොස් ඇත.
එම නිසා ඇයව තවත් වෙහෙසට පත්කල යුතුව නැතැයි මට සිතුණි.
ඇයගේ දෙපා නැමද, සුභ පතා, ස්තූති කොට, මම ඇගෙන් සමුගැනීමට තීරණය කළෙමි.
“අනේ තව ටිකක් වෙලා ඉදල යන්න දුවේ.”
ඇයගේ සුරතින් අල්ලාගෙන, නැවතත් දිනෙක එතුමියව බැහැදැකීමට එන පොරොන්දුවෙන් මම ඇයට සමු දුනිමි.
“ඔව් ආයෙත් එන්න” කියාන්නාක් මෙන් සතුටු කදුළු පිරි දීප්තිමත් දෙනෙතින් යුතුව එතුමිය මට සමුදුන්නාය. සුන්දර සිනහවකින් සංග්‍රහ කිරීමටද ඇය අමතක නොකළාය.
“නර්තන විලෙහි සුපිපි පද්මිණිය ඔබයි.” ගුරු මෑණියනි,
ඔබට නිරෝගී සුව !
දීර්ඝායුෂ !