වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
මේ චිත්‍ර ඇඳීමට පැරැණි ෂෝ කාඩ් සොයන්න අසීරු වුණා

පින්සල් පහරකින්. පෑන් පහරකින්, පැන්සල් පහරකින් කිව හැකි දේ බොහෝය. අපේ කතාවේ කතා නායකයා ද එවැනි පින්සල් පෑන්, පැන්සල් වලින් බොහෝ දේ කියූ අයෙකි. එහෙත් මෙවර ඔහුගේ පැන්සල් චිත්‍ර යොමු වූයේ සිනමාවේ ස්වර්ණමය අවස්ථා වෙනුවෙනි. චිත්‍රය චලන චිත්‍රයක් වූ යුගය බොහෝ කලකට ඉහත පසුකළ අපි මෙවර චලන චිත්‍රය චිත්‍රයක් වූ අපූරුව විඳිනුයේ තවත් අලුත් ආශ්වාදයකිනි. මෙසේ සිනමාව වෙනුවෙන් ඇඳි චිත්‍ර එකතුවෙන් පසුගිය දා ඔහු චිත්‍ර ප්‍රදර්ශනයක් ද පැවැත් වූ අතර ඊට සිනමා පේ‍්‍රක්ෂකයන්ගේ ද නොමඳ ප්‍රසංශාව හිමි විය. මේ නිර්මාණශිලී චිත්‍ර ශිල්පියා වනුයේ වසන්ත සනත්ය.
‘පසුගිය දිනවල මම පැවැත්වුයේ මගේ 5 වැනි චිත්‍ර ප්‍රදර්ශනය. විශේෂයෙන්ම මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණේ සිංහල සිනමාවට වසර 75ක් පිරීම නිමිතිකොට ගෙන මෙවැනි චිත්‍ර ප්‍රදර්ශනයක් පිළිබඳ මුලින්ම මගේ අවධානය යොමු වුණේ මගේ මිතුරෙකු නිසාය. තරංග කියන මගේ මිතුරා දවසක් මට යෝජනා කළා. මම බහුතරයක් ඇඳලා තියෙන්නේ සිනමා ශිල්පීන්ගේ ඡායාරූප නිසා, චිත්‍රපටවල අඩංගු දර්ශන චිත්‍රයට නැඟුවොත් හොඳයි නේද කියලා. මමත් ඒ ගැන වැඩි අවධානයකින් හිතලා බලනවිට මටත් හිතුණා. ඒ වැඩේ හොඳයි කියලා. ඊට පස්සේ ම එවැනි සිනමා දර්ශන ඇතුළත් චිත්‍ර අඳින්න පටන් ගත්තා. පසුගිය අවුුරුද්දේ තමයි මම මේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්න හිතාගෙන හිටියේ. නමුත් විවිධ හේතු කාරණා නිසා ඒ සඳහා මට චිත්‍ර සම්පුර්ණ කරගන්න බැරුව ගියා.
චිත්‍රයක් ඇදීම යනු එක් අතකින් ධ්‍යානයකට සම වැදුණා හා සමාන වන කාර්යයකි. කාලය ඉක්මවා යනු යැයි සිතමින් ඒවා කඩිනමින් කළ හැකි කාර්යයන් ද නොවේ. කෙසේ වෙතත් ඔහු මෙම වසර තුළ දී සම්පූර්ණ කරගත හැකි වූ චිත්‍ර 40ක් එක්කර මෙම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වූයේය.
‘මේ පාර චිත්‍ර ප්‍රදර්ශනයට මම චිත්‍ර 40ක් ඇන්දා. මගේ බලාපොරොත්තුව තිබුණේ සිනමා දර්ශන 75ක් අඳින්න. මොකද සිනමාවටත් 75 වසරක් සපිරුණු නිසා. නමුත් කාලයත් සමඟ ඒ ඉලක්කයට මට ළංවෙන්න බැරි වුණා. බහුතරයක් මගේ අතින් ඇඳුණේ 60, 70, 80, දශකවල චිත්‍රපට දර්ශන තමයි. වැලිකතර, බඹරු ඇවිත්, අනන්ත රාත්‍රිය, හංසවිලක්, මාතලන්, සුහද සොහොයුරෝ, පුරහඳ කළුවර, සිරිපාල හා රන්මැණිකා, සාගරයක් මැද ඇතුළු චිත්‍රපට අතරින් දර්ශන 40ක් මම ඇන්දා.’
අපි තිරයේ දකින දර්ශනය, සනත් සිය පැන්සල් පහරින් කඩදාසියක අපූරුවට සිතුවම් කර තිබුණි. සමහර අවස්ථාවල ඒවා නිශ්චල ඡායාරූපයක් තරමටම එක හා සමාන විය.
‘මම මේ චිත්‍ර ඇන්දේ චිත්‍රපටියේ නිශ්චල ඡායාරූපය දිහා බලාගෙන. හැබැයි මෙතනදි මට කියන්න තවත් කාරණාවක් තියෙනවා. පැරැණි චිත්‍රපට දර්ශන අඳින්න මට ෂෝ කාඩ් හොයාගන්න ඕන වුණා. ඒ සඳහා මම සිනමාවට සම්බන්ධ ප්‍රධාන ස්ථානයකට ගියා. නමුත් ඒතැනින් මට සාර්ථක ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. පැරැණි ඒවා ඔවුන් ළඟ නෑ කියල මෑත භාගයේ ආපු චිත්‍රපටවල ෂෝ කාඩ්ස් 10 - 15ක් පමණයි මට එතැනින් ලබාගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මට ඒ සඳහා සරසවිය හිටපු කර්තෘ අරුණ ගුණරත්න මහතා උදව් කළා. ඔහු පැරණි නිශ්චල ඡායාරූප කිහිපයක්ම මට ලබා දුන්නා. ඊට අමතරව මම අන්තර්ජාලය ඇසුරු කරගෙන මේ පැරැණි ඡායාරූප හොයන්න පටන් ගත්තා. සමහර ඡායාරූප අපැහැදිලි තත්ත්වයේත් පැවතුණා. නමුත් මගේ මතකයන් එක්ක තමයි ඒ චිත්‍ර මතු කරලා ගත්තේ.’
වසන්ත සනත් බොහෝ විට ප්‍රසිද්ධ වී ඇත්තේ පැන්සල් චිත්‍ර ශිල්පියෙක් වශයෙනි. එහෙත් ඔහු මුල් කාලයේ දිය සායම්, පැස්ටල් හා වෙනත් වර්ණ චිත්‍ර ඇන්ද අයෙකි.
‘ඇත්තටම මම චිත්‍ර අඳින්න පෙලඹුණේ මගේ ළමා අවදියේදීමයි. මට මතකයි මම මුලින්ම ‘හඳමාමා’ වැඩසටහනේ චිත්‍ර පිටුවට සම්බන්ධ වුණා. ඒ කාලයේ ‘හඳමාමා’ චිත්‍ර පිටුවේ කතාන්දරයක් යනවා. අපි ඒ කතාන්දරය අහගෙන ඉඳලා ඒකට චිත්‍රය ඇඳලා යවන්න ඕන. මට මතකයි මම ඉස්සරලම ඇන්ද චිත්‍රය. එදා අපි අහපු කතාව තමයි ඉබ්බා කෝටුවක එල්ලිලා අහසින් යන කතාව. මම මේකට චිත්‍රයක් ඇඳලා යැව්වා. ඒ චිත්‍රයට මට පළමුවැනි ස්ථානය ලැබුණා. ඒ කාලේ අපිට තෑගි වශයෙන් ලැබෙන්නේ චොකලට් ‘හඳමාමා’ කළේ ඒ කාලේ ලැම්බට් පෙම්මාවඩු සහ සුමනා නොල්ලම්පිටිය. මගේ ජයග්‍රහණයට හිමි තෑග්ග ගිහින් තිබුණේ අපේ ඉස්කෝලේට. විදුහල්පතිතුමා මට අඬ ගහලා තෑග්ග දුන්නා. ඒක ලොකු චොකලට් පැක් එකක්. මම ළමයි එක්ක ටිකක් බෙදාගෙන කෑවා. ඉතිරි ටික ගෙදර අරන් ගියා. එයින් පස්සේ මට චිත්‍ර අඳින්න ලොකු ආසාවක් ඇතිවුණා. 1972 දී විතර තාත්තා මට මිහිර පත්තරේ ගෙනත් දෙනවා. මම ඒක බලාගෙන චිත්‍ර අඳින්න උත්සාහ කළා. ඊට පස්සේ මට ජනක රත්නායක වගේ අයගේ චිත්‍ර දැකලා ඒ කෙරෙහි තිබුණ ආසාව වැඩි වුණා.’
සනත් කියන ආකාරයට ඔහුගේ චිත්‍ර කලාව දියුණු කරගෙන ඇත්තේ ඔහුගේම උනන්දුවෙනි. ආසාව, කැපවීම හා උපතින් රැගෙන ආ දක්ෂතාවය ඔහු සියතින්ම වැඩි දියුණු කර ගත්තෙකි.
‘මම දවසින් දවස අපේ ගම ඇතුළතත් චිත්‍ර අඳින්නට දක්ෂයෙක් විදියට ප්‍රසිද්ධ වුණා. ඒ කාලේ ගමේ කාගේ හරි මරණයක් වුණත්, චිත්‍රයක් අඳින්නට හොයාගෙන ආවේ මාව. ඒ වගේ චිත්‍ර නම් මම දාස් ගණනක් ඇඳලා ඇති. ඒ කාලේ මම ගොඩාක් ඇන්දේ වර්ණ චිත්‍ර. 2013 වසරේදී තමයි මුලින්ම මට හිතුණේ චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න. ඒ වෙනකොට මම ඇඩ්වර්ටයිසින් ආයතනයකුත් පටන් අරන් වෘත්තීය ජීවිතේට පිවිසිලා ඉවරයි.
මම ඉගෙන ගත්තේ නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ. ඉස්කෝලෙන් අයින් වෙනකොටම හර්බට් එම්. සෙනෙවිරත්න මුණ ගැහෙනවා. මගේ මිතුරෙක් හරහා. ඔහුගේ ‘සිටු දියණිය’ කියන චිත්‍රපටයේ Publicity මට බාර දෙනවා. ඒ අකුරු ටික අඳින්නෙත් මම. ඒක දැකලා ආරියරත්න කහවිට මාව පත්තරේ වැඩ කරන්න සම්බන්ධ කර ගත්තා. ඊට පස්සේ මම පේ‍්‍රම් දිසානායක සමඟ ‘කලා’ පත්තරේත් වැඩ කළා.
ඔය විදියට මගේ කලා ජීවිතේ ගතවෙන කොට තමයි මට හිතුණේ ටිකක් වෙනසක් කරන්න ඕන කියලා. ඊට පස්සේ තමයි මම පැන්සල් වලින් චිත්‍ර අඳින්න පටන් ගත්තේ. දැන් ඉතින් දිගටම චිත්‍ර කලාව කරගෙන යනවා. අනාගත පරපුරට මේ කලාව දෙන්න ඕන නිසා වැඩමුළු, සම්මන්ත්‍රණ ආදියත් කරගෙන යනවා.