වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
හැඩකාර වැඩකාර සුපිරි තෙලිගු නළු අල්ලූ අර්ජුන්

හතු පිපෙන්නාක් මෙන් සිනමා නිර්මාණ බිහිවන ප්‍රබල සිනමා කර්මාන්තයක් ඇති රටක් ලෙස අසල්වැසි ඉන්දියාව හැඳින්විය හැකිය. හින්දි, දෙමළ, තෙලිගු, මලයාලම්, කන්නඩා ඇතුළු තවත් භාෂා ගණනාවකින් තැනුණු සිනමා සිත්තම් වලින් හැඩවුණ ඉන්දියානු සිනමාව දැන් දැන් ලෝක සිනමාවේ ඉහළින් වැජඹීමට සමත් වී ඇත. සුරූපී හැඩකාර නිළියන්ගෙන් සහ වැඩකාර දඟකාර තරුණ නළුවන් නිසා ඉන්දියානු සිනමාව අපූරු හැඩයක් ගෙන ඇත. එමෙන්ම නර්තනට උපන් හපන්කම් ඇති රංගන ශිල්පී ශිල්පිනියන් සිටීම නිසා එහි හැඩය තවත් ඉස්මතු වී ඇත. ආදර කතා, වීර කතා, සත්‍ය කතා, මනඞකල්පිත කතා ආදියෙන් සමන්විත වූ තෙලිගු සිනමාවේ ද සිටින්නේ එවන් වූ නළු නිළි පොකුරුකි. එවන් වූ නළුනිළි පොකුරක් සිටින තෙලිගු සිනමාව නිසා සමස්ත ඉන්දියානු සිනමාවම වර්ණවත් වී ඇත.
එසේ වර්ණවත් වූ තෙලිගු සිනමාවේ ඉහළින්ම පෑයූ සුපිරි තරුවක් වන අල්ලූ අර්ජුන් ගේ රංගන දිවිය අතිශයින්ම හැඩකාරයි. සිත්ගන්නා සුලුයි.
අල්ලූ අර්ජුන් ඉන්දියාවේ සුප්‍රකට "Chiranjeevi සිනමා පවුලෙන් පැවත එන්නෙක් බව සඳහන්.ඉන්දියාවේ සුප්‍රකට චිත්‍රපටි නිෂ්පාදක අල්ලූ අරවින්ද් ගේ වැඩිමහල් පුතු අල්ලූ අර්ජුන් ය. ඔහුගේ බාල සොහොයුරා වන අල්ලූ සිරීෂ් ද දක්ෂ රංගන ශිල්පියෙකි. ඉන්දියාවේ චෙන්නායි හිදී උපත ලද අර්ජූන් හතළිස් වැනි වියේ පසු වුවත් තවමත් සුන්දර තාරුණ්‍යය ඔහු තුළින් පලාගොස් නැතිබව ඉන්දීය සිනමා ලෝලීන්ගේ මතයයි. ඔහුට සුරතල් දියණියක් සහ පුතෙක් සිටී. අර්ජුන් ගේ ආදරණීය බිරිඳ ස්නේහා රෙඩ්ඩිය.
අල්ලූ අර්ජුන් රංගන ශිල්පියෙකුට අමතරව විවිධ ක්ෂේත්‍රයන් තුළ දස්කම් දක්වන්නෙක් බවට ප්‍රකටය. ඔහු චිත්‍රපටි නිෂ්පාදක වරයෙකි. නිරූපණ ශිල්පියෙකි. දක්ෂ නර්තන ශිල්පියෙකි. එමෙන්ම චිත්‍රපට පසුබිම් ගායකයෙකි. වෙළෙඳ සන්නාම තානාපති වරයෙකි. මේ සියල්ල අතරින් සිනමා කර්මාන්තය වෙනුවෙන්ම වෙන්වූ විශාල භූමි ප්‍රදේශයක පිහිටි චිත්‍රාගාර, ශබ්දාගාර සහ පසුතල ආදියෙන් සමන්විත වූ බොහෝ දේ හිමි, සිනමාවට ආදරය කරන චරිතයකි.
ඕනෑම තරාතිරමක චිත්‍රපටයක රඟපෑමේදී එම චරිතයට ගැළපෙන ස්වරූපයක් අල්ලූ අර්ජුන් තුල තිබෙන බව විචාරකයින් ගේ අදහසයි. එයට උදාහරණයක් ලෙස හාස්‍ය, කුතුහලය සපිරි රසබර කතා පුවතක් රැගත් ඒතතච Alla Vaikunthapuramuloo චිත්‍රපටයේ අර්ජුන්ගේ රඟපෑම විටෙක හාස්‍ය උපදවීමට සමත්ය. විටෙක සටන්කාමී බව, විටෙක අහිංසක බව, විටෙක ප්‍රේමනීය බව, මේ සියල්ල කැටිකොට ගත්කල ඔහුගේ රගපෑම අතිවිශිෂ්ට බව,එම චිත්‍රපටය සඳහා ලැබී තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගොස් ඇත.
Alla Vaikunthapuramuloo චිත්‍රපටයේ විශේෂ රංගන භූමිකාවක නිරත වන අර්ජුන් ඔහුගේ නර්තන හැකියාද ඒ සඳහා මුසුකොට ඇත. එය මධ්‍යම පාන්තියේ සහ ධනවත් පාන්තික පවුල් දෙකක පුතුන් දෙදෙනෙකු වටා ගෙතුණු රසවත් කතා පුවතකි. එහි අල්ලූ අර්ජුන් ගේ රඟපෑම අතිශයින්ම සිතගන්නා සුලු බව බොහෝ අධ්‍යක්ෂකවරු සහ චිත්‍රපට විචාරකයින් ගේ පැසසුමට ලක්වී තිබුණි.
අල්ලූ අර්ජුන්ගේ රගපෑම ගැන කතා කරන විට ඉන්දියාවේ පමණක් නොව ලොවපුරා ඔහුට ප්‍රියකරන සිනමා ලෝලීන්ද අමන්දානන්දයට පත්කළ ‘පුෂ්පා’ චිත්‍රපටය ගැන නොලියාම බැරිය. එහි අල්ලූ අර්ජුන් ගේ පෙනුම පවා සම්පූර්ණයෙන් ම වෙනස් කොට තිබුණි. ඔහු පණපොවන්නේ නීතිවිරෝධී දැව ජාවාරමකට සම්බන්ධ ‘පුෂ්පා රාජ්’ නම් චරිතයයි. සෑබෑවටම දාමරික පෙනුමක් රැගත් අර්ජුන්ගේ රඟපෑම අතිවිශිෂ්ට බව පුෂ්පා චිත්‍රපටය සදහා ලියැවී ඇති විචාරවල සඳහන්. ඔහු සමඟ කරට කර රංගනයේ යෙදෙන්නේ තෙළිඟු සිනමාවේ සුරූපී නිළි රශ්මිකා මන්දානා යි. ඇය සමඟ රගපාන ගීත ජවනිකාවත්, දෙමළ හින්දි, මලයාලම්, තෙළිඟු යන සෑම අංශයේ ම සිනමාපට වල දස්කම් දක්වන ජනප්‍රිය නිළි සමන්තා රූත් සමඟ කරන සරාගී නර්තනය ද ඉතාමත් මනස්කාන්තයි. ප්‍රේක්ෂකයන්ගේ හදවත් පැහැරගන්නට එම ජවනිකා තුළින් අල්ලූ අර්ජුනට හැකියාව ලැබී තිබුණි. පුෂ්පා චිත්‍රපටය අතරතුර දී සිදුවූ යම්කිසි ඇබැද්දියක් හේතුවෙන් ඔහුගේ එක ඇසකට සුළු අනතුරක් සිදුවී ප්‍රතිකාර ගැනීමට ද සිදුවූ ඇත.
අල්ලූ අර්ජුන් සම්මානනීය නළුවෙක් බව කිව යුතුයි. ඔහුගේ කුලුඳුල් සිනමා ගමනේදී ආරම්භය වූ 2003 වසරේ තිරගත වූ "Gangotri" චිත්‍රපටයේ කළ රංගනය උදෙසා දකුණු ඉන්දියානු ජ්ඪතථ ජ්චපඥ සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් අර්ජුන් වාසනාවන්ත විය. එතැන් පටන් ඔහු ලැබූ සම්මාන ගණන තිස් හයකි. ඒ අතර නිර්දේශවීම් හතළිස් පහක් පමණ වේ.
ඔහුගේ මංගල සිනමා සිත්තමෙන් පසු Arya, Vedam Julayi, Race, Gurram S/O Satyamurthy, Rudharmadevi, Sarrainudu, Dj Duvvada Jayannadham, Pushpa අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපට කිහිපයක් වේ. ඔහු රංගනයෙන් දායක වී ඇති චිත්‍රපටි සංඛ්‍යාව විස්සකට අධිකය. තෙලිගු සිනමා තරු ලැයිස්තු වේ ඉහළටම යාමට අල්ලූ අර්ජුනට හැකිවී ඇති බව නවතම සිනමා වාර්තාවල සඳහන් වේ.
වර්තමානයේ තම රංගන දායකත්වය උදෙසා ඉන්දියාව තුළ වැඩිම මුදලක් අයකරන සුපිරි නළු චරිතයක් බවට පත්වීමට අල්ලූ අර්ජුන් ට හැකියාව ලැබී ඇත.
මෙම අපූරු රංගන ශිල්පියාගේ නර්තන හැකියාව ද පුදුම සහගතය. එය එතරම්ම සිත්ගන්නා සුලුයි. නර්තනයට දස්කම් පාන ඉන්දීය නළුවන් අතර ද අර්ජුන් ඉහළින් ම සිටී.
අල්ලූ අර්ජුන් නම් සුන්දර, නිහතමානී රංගන ශිල්පියාගේ සැබෑම රංගන කුසලතාවය සපිරි තවත් බොහෝ සිනමා නිර්මාණ ඉදිරියේදී දැකබලා ගනීමට හැකිවේවි. ඒ අතර ‘පුෂ්පා’ චිත්‍රපටයේ දෙවන කොටස රැගත් සිනමාපටය 2024 වර්ෂයේ තිරගත කිරීමට සැලසුම් කර ඇත.
ශ්‍රී ලාංකික අපිට විශේෂ කාරණය වන්නේ සුකුමාර, කඩවසම් අල්ලූ අර්ජුන් කිහිප වතාවක්ම ලංකාවේ සංචාරය කිරීම සදහා පැමිණ ඇති බවයි.ඔහු එතරම්ම ශ්‍රී ලංකාවට ඇලුම් කරන සුන්දර චරිතයකි.