වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ඉන්දියාවේ පළමු සුපිරි තරුව නිවී ගොස් පස් වසරයි

2018 පෙබරවාරි 24 වැනිදා බොලිවුඩ් සිනමා ලෝලීන්ට අසන්නට ලැබුණේ දෙසවන් අදහාගත නො හැකි පුවතකි. ‘ශ්‍රී දේවි ඩුබායිවලදි මිය ගිහින්.’ පුවත ඇසූ සැණින් ම සැවොම එය සැහැල්ලුවට ගත්තේ අතිශය ජනප්‍රිය පුද්ගලයන් මිය ගිය බවට ලැබෙන ව්‍යාජ පුවත්වල අඩුවක් නොමැති බැවිනි. එහෙත් එය සත්‍යය පුවතක් බව දැනගත් විට ඇතිවුණු කම්පනය ඇය මිය ගොස් පස් වසරක් ගතවී ගොස් තිබුණ ද තවමත් රසික හදවත්හි එලෙස ම පවතියි. ඇය දෙව් ලියක් කිව හැක්කේ ඇසිපිය නො ගසන බැවිනි. කෙතරම් සුන්දර දෑස් ඇති තාරකාවන් බොලිවුඩයේ සිටිය ද ඇය ගේ දෑසේ සිනාවට ඒ කිසිවක් සම කළ නොහැකි ය. සිනමා අදියුරුවරුන්ට ඇය රංගන යන්ත්‍රයක් විය. එනිසා ම ශාරුක්, අමීර්, සල්මන් යන සියලුම ඛාන්වරුන් රගපෑ සිනමා පට සියල්ල එකට ගත්ත ද ඇය රගපෑ සිනමා පට ගණන ඊට වැඩි ය. දශක පහකට අධික කාලයක් රසික පෙම්වතිය වූ ශ්‍රී ගේ දිවිය ද ශෝකාන්ත, සුඛාන්ත, ක්‍රියාදාම සිනමා පටයක් බදුය. ඇය ගේ සිනාබර කතා කියන දෑස්, සුන්දර වත කමල, නර්තන ලාලිත්‍ය මේ සියල්ල වරක් දුටුවකුට සදාතනිකව ඇය හිමිකර ගැනීමට සිතෙන තරම් අසිරිමත් විය.
ශ්‍රී දේවි, කමල් හසන් සුසංයෝගය රිදී තිරයේ සුන්දරතම සංයෝජනයකි. ඔවුන් පෙම්වතුන් ලෙස රඟපෑ සිනමා පට කිසිදා රසික මතකයෙන් ගිලිහී නො යයි. කමල් හසන්ට ශ්රීව මුලින් ම මුණ ගැසෙන්නේ ‘ර්ධධදඤපභ ර්භඤඪජඩභ’ (මූන්ඩ්රු මුඩිචු ) දර්ශන තලයේදී ය. ඒ වන විට ශ්රීට වයස අවුරුදු දහතුනකි. කමල් ඇයට වඩා වසර නවයකින් වැඩිමල් විය. මූන්ඩ්රු මුඩිචු සිනමා පටයෙන් පසු දෙදෙනා රගපෑ දමිළ සිනමාපට එකකට එකක් නො දෙවැනි ලෙස සාර්ථක විය. සිනමාපට 26 ක එකට රගපෑ ශ්‍රීත් කමලුත් තිරයෙන් පිටත ද කුලුපග මිතුරන් විය. ශ්‍රී ගේ මව රාජේශ්වරී යන්ගර් නිතර ම කමල්ට පවසා සිටියේ දියණිය විවාහකර ගන්නා ලෙස ය. එහෙත් කමල් කිසි දිනක එයට මනාපයක් දී නැත. එයට හේතුවී තිබෙන්නේ කමල්ට ශ්‍රී පවුලේ සාමාජිකයකු හා සමාන වීමය. තමාගේ ම නැගණියක සේ දැනෙන කෙනකු හා විවාහ නො වන බව කමල් පවසා තිබිණි. ශ්‍රී සැමවිට ම රංගනයට කමල්ගෙන් උපදෙස් ලබා ගත්තාය. එලෙස ම සිය රංගනය ගැන ඔහු ලබා දෙන විවේචනය ද සිය රංගන දිවියට අත්වැලක් කර ගත්තාය. කොලිවුඩයෙන් (දමිළ සිනමාවෙන්) බොලිවුඩයට පිවිසි ශ්රීට පළමු හින්දි සිනමා පට දෙකේ ඇය රගන චරිතවලට හඬ නො දෙන ලෙසට උපදෙස් දුන්නේ කමල් හසන් ය. ඔහු ගේ උපදෙස් මත ඇය තෙවැනි හින්දි සිනමා පටයට සිය හඬ දුන්නේ ය. අවසන් හුස්ම හෙළන තුරුම ඇය කමල්ව ඇමතුවේ ‘සර්’ කියා ය.
ශ්‍රී දේවිය විවාහ කර ගැනීමට සහස් සුවහසක් පිරිමි සිහින මවද්දී ඇය ගේ මව ක්ෂේත්රයේ කිහිප දෙනකුගෙන් ම දියණිය හා විවාහ වීමට කැමැතිදැයි විමසා ඇත. රාජෂේකර් එවන් එක් නළුවෙකි. ඔහු ශ්‍රී සමග විවාහ වීම ප්‍රතික්ෂේප කළේ එවකට සිනමාවේ ස්ථාවර වීමට වෙර දරමින් සිටි ඔහුට විවාහයෙන් රංගනයට බාධාවක් වේවියි සිතා ය.
දෙස් විදෙස් කෝටිපතියන් ශ්‍රී ගේ අත ගැනීමට උත්සාහ ගනිද්දී ඇය මිතුන් චක්‍රබෝර්ති සමග පෙමින් බැදී පවුල් කඩාකප්පල් කරන්නිය යන ලේබලය පටබැදුණි. මේ නොගැළපෙන පෙමට මුල පිරුණේ ජග් උථා ඉන්සාන් (1984) සිනමා පටය රූගත කරද්දී ය. ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ඔහු සමඟ 1985 සිට 1988 දක්වා මිතුන් සමඟ විවාහ වී සිට ඇත. එහෙත් මිතුන් ගේ බිරිය යෝගිතා බාලි ගේ තර්ජන සහ යෝගිතා සිය දිවි නසා ගැනීමට උත්සාහ ගත් නිසා හා මිතුන් යෝගිතාගෙන් දික්කසාද නො වන නිසා ශ්‍රී මිතුන් ගෙන් දුරස් වූවා ය. අවසන ඉන් අට වසරකට පසු ශ්‍රී විවාහ වූයේ මිථුන් ගේම මිතුරකුවූ බොනි කපූර් සමග ය. බොනි ද ඇය සමඟ විවාහ වන විට දෙදරු පියකු විය. මිතුන් ශ්රීට පෙම් බදින කාලයේ බොනි සමඟ සම්බන්ධයක් නැති බව පෙන්වීමට රාඛි (සහෝදරත්වය පිළිබිඹු කිරීමට බදින නූල) බදින ලෙසට බල කළ බවට රාවයක් පවතියි.
අරවින්ද් ස්වාමි ශ්රීට පෙම් කළ ඇය සමඟ දේවරාගම් සිනමා පටයේ රුගූ දක්ෂ ජනප්‍රිය දකුණු ඉන්දියානු රංගන ශිල්පියෙකි. ඔහුට ශ්‍රී පිළිබඳ සිතක් පහළ විය. ඔහු ඇය පිළිබඳ පවුලේ සාමාජිකයන්ට ද පවසා ඇයට විවාහ යෝජනාවක් රැගෙන ආව ද තමන්ට වඩා සත් වසක් බාල අරවින්ද් සමග විවාහ වීම ඇය ප්‍රතික්ෂේප කළාය. ශ්රීට ජිතේන්ද්‍ර සම්බන්ධ කර ද විවිධ කට කතා පැතිරුණ ද ඇය ඒවා තරයේ ම ප්‍රතික්ෂේප කළා ය.
බොනි කපූර් ශ්රීට පෙම් බැන්දේ හැත්තෑව දශකයේ ඇය රුගූ දමිළ සිනමා පට නැරුඹූ පසුව ය.
විවාහ වී සිටිය ද ශ්‍රී පිළිබද ඇති අදහස ඔහු අත්හැරියේ නැත. ඔහු ඇය හමු වීමට චෙන්නායි ගිය ද ඒ වන විට ශ්‍රී ඇය ගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන සොල්වා සාවන් (1979) රූගත කිරීම් සඳහා සිංගප්පූරුවට ගොස් තිබිණි. බිඳුණු හදින් ඔහු නිවෙසට පැමිණියේය. ඔහු 1979 දී තිරගතවූ සොල්වා සාවන් නරඹා සිතේ දුක යම් තරමකින් හෝ සංසිදවා ගත්තේ ය. සිනමා පටය නරඹන අතරේ ඔහු ඇයව කෙසේ හෝ තම සිනමා පටයට සම්බන්ධ කරගන්නා බවට අදිටන් කර ගත්තේ ය. දිනක් ඔහු දර්ශන තලයකදී ශ්රීව මුණ ගැසුණා ය. කැඩිච්ච හින්දි බසින් සහ ඉංග්‍රීසි බසින් ඇය කියා සිටියේ ඇය රගපාන සිනමා පට ගැන තීරණය කරන්නේ ඇය ගේ මව බව ය. ශ්‍රී දැකීමේ ඇය සමග කතා කිරීමේ සිහිනය ඔහු සැබෑකර ගත්තා ය. බොනි සූක්ෂම ලෙස ශ්‍රී ගේ මවට සමීප විය. එකල එනම් 1984 දී ශ්‍රී සිනමා පටයකට ලක්ෂ 8 - 8.5 ක් අය කළ අතර මිස්ටර් ඉන්ඩියා සිනමා පටයේ ප්‍රධාන චරිතය ශ්‍රී රඟපානවා නම් ලක්ෂ 10 ක් ගෙවිය යුතු බව මව පැවසුවා ය. බොනි ලක්ෂ දහයක් නො ව එකොළහක් ම ගෙවීමට එකඟ විය. බොනි පසුව පැවසුවේ තමන් බොම්බේ සිට පැමිණි උම්මන්තකයකු කියා මව සිතන්නට ඇති බව ය. එකල ඔහු ඇය වෙනුවෙන් වෙන ම රූපලාවණ්‍ය මැදිරියක් ද වෙන් කළ අතර කෙමෙන් කෙමෙන් ශ්‍රී සමඟ කුලුපග විය. මේ කාලයේම ඇය මිථුන්ට පෙම් බැදීම නිසා යෝජිත විවාහයක් වූ මෝනා ගේ විවාහයට බොනි එකඟ විය. මිථුන් ශ්‍රී දේවියට වංචා කළ පසු ඇය ගේ පෑරුණු සිත සුවපත් කිරීමට මිතුරකු ලෙසින් බොනී ළං විය. බොනි පළමු දසුනින් ම ඇයට පෙම් බැදි බව පැවසූ අතර ඇය ද ඔහු කවුරුන්දැයි හඳුනා ගත් පසු ඔහු පිළිබඳ සිතක් ඇති විය. බොනි සිය විවාහ යෝජනාව ඉදිරිපත් කළේ 1993 දී ය. පවුල් බිඳ දමන්නිය යන චෝදනාව ඇයට නිරන්තරයෙන් ම එල්ල විය. ශ්රීට දරුවකු ලැබීමට සිටින නිසා බොනි ගේ බිරිය මෝනා තවත් එක් අවස්ථාවක් විවාහය පවත්වා ගෙන යාමට ඉඩ නො දී දික්කසාද වූවා ය. ශ්‍රී 1996 ජුනි 2 වැනි දින බොනි සමග විවාහ වූයේ බොනි ගේ බාල සොයුරු අනිල් සහ ශ්‍රී ගේ ලම්හේ සිනමා පටයේ රූගත කිරීම් නිම වූ පසුව ය. ඒ වන විට ද ඇය ගැබිනියකව සිටියා ය. ශ්රීට වඩා බොනි අට වසරකින් වැඩිමල් විය. ශ්‍රී ගේ සොයුරිය තදින් ම මේ විවාහයට විරුද්ධ විය. ඒ වන විට ශ්‍රී ගේ මාපියන් මිය ගොස් තිබිණි. හදවතට එකඟ වී බොනි සමග විවාහ වීමට ගත් තීරණය ගැන ඇය කිසි දිනක පසු තැවුණේ නැත.
ශ්‍රී දේවිය මිය ගොස් පෙබරවාරි 24 වැනි දිනට පස් වසරක් සපිරෙයි. බොනි කපූර් ගේ සෙනෙහස ශ්‍රී දුටු පළමු දිනයේ ඇතිවූ සෙනෙහස එලෙසින් ම පවතියි. ඔහු ඇයට සෙලියුලොයිඩ් පටවලින් ටජ් මහලක් සෑදීමට සූදානමින් සිටියි. The Life of a Legend' නමින් ඔහු ඇය ගේ ජීවිත කතාව සිනමාවට රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ය. ධිරාජ් කුමාර් විසින් ලියන ලද ශ්‍රී දේවිය ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කිරීමට ඔහු බලාපොරොත්තු වෙයි. වයස අවුරදු 54 දී ශ්‍රී දේවිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දී ජුමෙයිරාහ් එමිරේට් ටවර් හෝටල් කාමරයකදී නාන තටාකයේ අබිරහස් ලෙස මිය ගිය ද ඇය සියවසක ඉන්දීය සිනමාවේ විශිෂ්ට ම නිළිය ලෙසින් CNN-IBN ඡන්දයෙන් මනාප ලැබූ තාරකාව ලෙස අමරණීය ය. රාජ්‍ය ගෞරව සහිතව සිදුවුණු ඇය ගේ අවමංගල්‍යයට විශාල ජන ගගක් ගැලූ අතර ඒ ජනගඟ හතරවැනි තැන ගන්නේ මොහොමඩ් රාෆි, කිශෝර් කුමාර් සහ රාජේශ් ඛන්නා අවමංගල්‍යයන්ට පැමිණි ජන ගංගාවලට පමණි. දශක පනහක කාලයේදී ඇය දමිළ, තෙලිගු, මලයාලම්, කණ්ණඩ, හින්දි සිනමා පට 300 කට වැඩි ගණනක රගපා තිබෙයි. ඉන්දීය ජාතික සම්මානයෙන්, ෆිල්ම්ෆෙයාර් සම්මාන හයකින් ඇතුළු විවිධ සම්මාන ගණනාවකින් පිදුම් ලද ශ්‍රී දේවිය සැබැවින් ම සිනමා ලොවට සම්මානයකි. වයස අවුරුදු හතරේදී ළමා නිළියක ලෙස සිනමා ගමන ඇරැඹූ ඇය ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ දර්ශන තලයේ කැමරා ඉදිරිපිට ය. ඒ නිසා ම ඇයට සම වයසේ දරුවන් ගේ අත්දැකීම් නැත. ඉගෙනුමට දක්ෂ වුව ද උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ගිලිහී ගියේය. මේසා කැපවීමක් කළ අන් තාරකාවක් ගැන බොලිවුඩයෙන් පමණක් නොව ලෝක සිනමාවෙන් ද වාර්තා නො වන තරම් ය.
ශ්‍රී ගේ දියණියන් වන ජාන්වී සහ කුෂි ද මව ගිය මඟ ම යමින් සිටින්නී ය.