කිලෝමීටර් ආදරයේ මලයාලම් හිමිකරු

මාර්තු 2, 2023

ප්‍රියකරු සුන්දර යොවුන් වියේ පසුවන තරුණියන්ටත්, ජවසම්පන්න කඩවසම් තරුණයන්ටත් ඉන්දීය සිනමාවේ ඇත්තේ කදිම ඉල්ලුමකි. එහෙත් එයට තමා සතුව ඇති රංගන ශාක්‍යතාවද අත්‍යවශ්‍යම අංගයකි. එවැනි පිරිසකගෙන් සමන්විත ප්‍රබල සිනමාවක සුන්දරත්වය ලොවට විහිදාලන ඉන්දියානු සිනමාවට, මලයාලම් සිනමාවෙන් ලැබී ඇත්තේ මිල කළ නොහැකි දායකත්වයකි. එයට හේතුව දිනෙන් දින විශිෂ්ට සිනමා සිත්තම් මලයාලම් සිනමාව තුළින් බිහිවීමයි.

මලයාලම් සිනමාව ගැන සටහනක් තැබීමේදී මනා කඩවසම් බවින් හෙබි රංගන කෞශල්‍යයෙන් අනූන සුපිරි නළු ටොවිනෝ තෝමස් ගැන නොලියාම බැරිය.

Ellikaal Thomas  ට සහ Sheela Thomas  ට ලැබුණු වාසනාවන්ත පුත් රුවනක් වූ ටොවිනෝ 2023 ජනවාරි 21 වන දින තම ජීවන මගෙහි 34 වන වියට පා තැබුවේය. හිරිමල් යොවුන් වියේදී ම නිරූපණ ශිල්පියෙක් ලෙස තම වෘත්තීය ජීවිතය අරඹා ඇත. කේරළයේ පළවන Kochi Times වර්ගීකරණයට අනුව අතිශයින්ම සිත් ඇදගන්නාසුලු කඩවසම් තරුණයන් අතර ප්‍රමුඛස්ථානය ටොවිනෝට හිමිවී ඇත. ඔහුගේ සිනමා සම්ප්‍රාප්තිය සිදුවන්නේ ඉන් පසුව බව සඳහන් වේ.

කඩවසම් ටොවිනෝ 2012 වසරේදී තම මංගල සිනමාපටය වන Prabhvvinte Makkal  හරහා මලයාලම් සිනමාවේ දිගු ගමනක් යාමට මුලපුරා ඇත. 2012 වසරේ සිට 2022 කාල සීමාව තුළ ගත්කල ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපටි සංඛ්‍යාව හතළිහකට ආසන්න ය. ටොවිනෝගේ පළමු සිනමාපටය තිරගත වීමත් සමඟ ඔහුට සිනමාවේ ඇති ඉල්ලුම කෙසේදැයි කියා ඔහු එතෙක් මෙතෙක් රඟපෑ හතළිහකට අධික චිත්‍රපටි සංඛ්‍යාව දෙස බැලූකල පෙනීයයි. ටොවිනෝ ගේ කුලුඳුල් සිනමාපටයෙන් පසු ABCD, August Club, 7th Day, Koothara, You too, Brutus, Onnam Loka, Enna Ninte Moideen, Charlie, Monsoon Mangoes, Style, Ezra ඔහු චරිත මැවූ සිනමා නිර්මාණ අතර කිහිපයක් පමණි.

ඉහත දක්වා ඇති සිනමාපට අතර Enna Ninte Moideen චිත්‍රපටය සඳහා Asia Vision සම්මාන උලෙළේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් CPC Cine Awards  වෙතින් හොඳම චරිතාංග නළුවාට හිමි සම්මානයත් හිමිකර ගැනීම ටොවිනෝගේ සිනමා ගමනේ ලැබූ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම එම චිත්‍රපටය සඳහාම දකුණු ඉන්දියානු Film Fair සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැන්මට හැකිවීම ඔහුගේ සිනමා ගමන් මග තවත් දීප්තිමත් කිරීමට ලැබුණ තිළිණයකි. ප්‍රේමනීය චරිතයක් සහ කළු චරිතයක් එකිනෙකට මිශ්‍රව රඟපෑ ‘මායානදී’ සිනමාපටයේ චරිතය වෙනුවෙන් දකුණු ඉන්දියානු Film Fair සම්මාන උලෙළේදී හොඳම විචාරක සම්මානයද ටොවිනෝට හිමි වී ඇත.

සිනමාවට ඇති ඇල්ම සහ කැපවීම නිසාම 2021 වසරේ දී Tovino Thomas Productions  නමින් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් ආරම්භ කිරීමට ඔහුට හැකි වී ඇත. එහි ආරම්භය ලෙස ටොවිනෝ රඟපෑමෙන් එක්වූ " Kala"" සිනමාපටය ඔහුගේ ම නිෂ්පාදන සමාගම මඟින් නිපදවූවක් බව සදහන් වේ.

ඉතා සුන්දර තරමක වෙනස් කතා තේමාවක් රැගත් ""Kilometers & Kilometers" " චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා වන්නේද ටොවිනෝය. විදේශීය තරුණියකට සංචාරක මඟපෙන්වන්නෙකු ලෙස අහඹු ලෙස ලැබුණ අවස්ථාව මඟනොහැර තම යතුරු පැදියෙහි ඇය රඳවාගෙන කිලෝමීටර් සිය ගණනක් දුර ගෙවමින් විවිධ ස්ථාන පෙන්වමින් ඇයට සහාය වේ. ගමන් මග අතරතුර විවිධ බාධකවලට මුහුණ දෙන ඔවුන් දෙදෙනා අවසානයේ එකිනෙකා අතර දැඩි බැඳීමක් ඇතිකර ගනී. එහි විදේශීය තරුණිය ලෙස ටොවිනෝ සමඟ රංගනයේ යෙදෙන්නේ හොලිවුඩ් නිළි ndia Javis  ය. ඔහු රඟපෑ බොහෝ චරිතවල සරල සාමාන්‍ය රංගන විලාසයක් දිස්වූවත්, ඒ තුළින් විශිෂ්ට රංගන ප්‍රතිභාවක් ඉස්මතුවී පෙනෙන බව විචාරකයින් පෙන්වා දී ඇත. එයට නිදසුන් ලෙස Virus, Mayanadi, Forensic, Uyare  වැනි චිත්‍රපටි නිදසුන් ලෙස දැක්විය හැකි බව මලයාලම් සිනමා තොරතුරුවල සඳහන් වේ. ටොවිනෝ රංගනට අමතරව චිත්‍රපට පසුබිම් ගායනයටද දක්ෂයෙකු බව ඔප්පු කර ඇත. පසුගිය වසරේ තිරගත වූ Thallumaala චිත්‍රපටය සදහා සහාය ගායනයෙන් දායක වී ඇත. මේ වසරේ ඔහු රඟපෑ චිත්‍රපටි කිහිපයක් තිරගත වීමට නියමිත අතර තවත් කිහිපයක රූගත කිරීම්වල නිරත වන ටොවිනෝ අතිශයින්ම කාර්යය බහුල ජීවිතයක් ගතකරන්නෙකි.

කෙසේ වෙතත් තවමත් කඩවසම් තරුණයෙකු ලෙස පෙනුණත් ටොවිනෝ තෝමස් ආදරණිය බිරිඳකට සෙනෙහෙවන්ත ස්වාමිපුරුෂයකු සේම, සුරතල් දරු දෙදෙනෙකු ට ළෙන්ගතු පියෙකි.

 

[email protected]