වර්ෂ 2023 ක්වූ March 28 වැනිදා Tuesday
තෙලිඟු සිනමාව ජයගත් සුන්දර රුවැත්තිය

ඇය තෙලිඟු සිනමාවේ පමණක් නොව කණ්ණඩ, හින්දි සහ දෙමළ සිනමාවේ ද කැපී පෙනෙන දස්කම් පාන රංගන ශිල්පිනියකි
ලොවක් වසඟයට ගතහැකි සිනහවක් ...
ලොවක් වසඟයට ගතහැකි බැල්මක් ..
එවන් බැල්මක්, එවන් සිනහවක් හිමි රුව කෙතරම් නම් සුන්දර ද...? එවන් රුවක් සිනමා තිරය මත මැවෙනා විට කෙතරම් නම් අපූරුද...
තම සොහොයුරිය ගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමට පැමිණෙන ලිලීව අසල්වාසී බොබී නම් තරුණයාගේ නෙත ගැටේ. ඇගේ දගකාර කම්, සුන්දර සිනහව, ඇල්ම බැල්ම හමුවේ ඔහු ඇයට ආලය කිරීමට පටන් ගනී. විවාහ උත්සවය අවස්ථාවේ ඔහු ඒ බව ලිලීට පැවසුවත් ඇය එතරම් එය මායිම් නොකරයි . මේ සියලුම කටයුතු අවසානයේ ලිලී බොබීට නොකියා ම නිවසින් පිටව යයි.
එතැන් පටන් පාළුවෙන්, සාංකාවෙන්, අසරණ කමින් කාලය ගත කළත් ඔහුගේ නෙත් අබියස මැවෙන්නේම ලිලීගේ ඒ සුන්දර සිනහවයි.
දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා ලිලී නැමැති සුන්දර තරුණිය කවුරුන්ද ....
ඒ අන් කිසිවෙකු නොව තෙලිගු සිනමාව ජයගත් සුන්දර රුවැත්තිය රශ්මිකා මන්දානා ය.
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කොඩාගෝ ප්‍රදේශයේ පිහිටි "Coorg Public School " වෙතින් සිප් සතර හදාරා බැංගලෝරයේ පිහිටි" MS Ramaiah College of Arts" නමින් වූ විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය, ඉංග්‍රීසි සාහිත්‍යය, මනෝවිද්‍යාව යන විෂයයන් හදාරා උපාධියක් හිමි කරගත් උගත් තැනැත්තියකි රශ්මිකා. ඇය තෙලිගු සිනමාවේ පමණක් නොව කණ්නාඩ, හින්දි සහ දෙමළ සිනමාවේ ද කැපී පෙනෙන දස්කම් පාන රංගන ශිල්පිනියකි.
නිළියකට ඔබින රූ සපුවකට හිමිකම් කී නිසාත්, පාසල් සමයේ කලා කටයුතුවලට සම්බන්ධ වූ නිසාත් සිනමාවට පා තැබීමට එතරම් අපහසු නොවූ බව ඇය සදහන් කර ඇත.
ඇගේ කුලුඳුල් සිනමා සිත්තම ලෙස 2016 දී තිරගත වූ "Kirik Party "නැමති සිනමා පටය හදුන්වා දිය හැකිය. ඇය එහි කළ රංගනය වෙනුවෙන් හයවන සීමා (Siima) සම්මාන උළෙලේදී තම කුලුඳුල් රංගන ය උදෙසාවූ සම්මාන ය දිනාගැන්මට සමත් විය. ඉන් ඉක්බිතිව "Zee Cine Awards, Siima දකුණු ඉන්දියානු film fare සම්මාන උලෙළවලදී ඇය හොදම නිළිය, ජනප්‍රිය නිළිය සහ විචාරක සම්මාන තමන් වෙත හරවා ගනීමට සමත් වුවාය.
ඇය වැඩි ජනතා ආකර්ෂණයක් දිනා ගත්තේ Dear Comrade, Geetha Govindam" චිත්‍රපටි වල චරිත නිරූපණය කිරීමෙන් පසුවයි. රශ්මිකා ඉහත කී සිනමාපට ද්විත්වයේම රංගනයේ යෙදෙන්නේ තෙලිගු සිනමාවේ "Rowdy Vijay "ලෙස විරුදාවලිය ලත් කඩවසම් විජේ දේවරකොන්ඩා සමඟ ය. ඔවුන් දෙදෙනා අතර පවතින දැඩි මිත්‍රත්වය සහ බැදීම තම රංගනය සාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වූ බව ඇය මාධ්‍ය සාකච්ඡා වකදී පැවසූ බව සදහන් .එහෙත් ඇය පවසන මිත්‍රත්වය ට එහා ගිය දඩි බැදීමක් දෙදෙනා අතර පවතින බව බොහෝ ඉන්දියානු රසිකයින් විශ්වාස කරති. එය පේ‍්‍රම සම්බන්ධතාවක් බවට පරිවර්තනය වී ඇති බවද සිනමා පුවත්පත්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකට වී ඇති බව වාර්තා වේ.
මුලින්ම ම සදහන් කර ඇති ලිලී නැමැති සුන්දර චරිතය අපිට හමුවන්නේ Dear Comrade සිනමා පටයෙනි. එහි ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ භූමිකාව රඟන ඈ ඉහළ නිලධාරියෙක් ගේ තාඩන පීඩන. විවිධ බලපෑම් සහ තමාට ආලය කරන බොබීගේ ආවේගශිලී ගති පැවතුම් හමුවේ අතරමං වන්නීය. ඈ මානසිකව ඇද වැටීම මනාව නිරූපණය කර ඇති බව ඉන්දීය සිනමා විචාරකයින් ගේ මතයයි.
රශ්මිකා මන්දානා සිනමාවට පය තබා වසර 6 කි. එවැනි කෙටි කාලයක් තුළ ඇය චිත්‍රපටි 18 කට පමණ තම රංගන දායකත්වය ලබා දී ඇත.
Kirik Party, Chamark, Anjani Puthra, Dear Comrade, Geetha Govindam, Beeshma Sulthan, Pogaru, Aduvallu meeku Good Bye, Pushpa ඉන් කිහිපයක් පමණි. 2023 වසරේ තිරගත වීමට නියමිත Virisu සිනමා පටය අලුතින් ම රශ්මිකා ගේ සිනමා පට පොකුරට එකතු වීමට නියමිත ය.
මෙම වසරේ තිරගත වූ ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂක සුකුමාර්ගේ සිනමා සිත්තමක් වූ Pushpa චිත්‍රපටයේ ඈ ඉදිරිපත් කළ රංගනය සමස්ත ඉන්දියානු ප්‍රේක්ෂකයන් මවිතයට පත් කිරීමට හැකිවිය. එක් රැයකින් ජනප්‍රිය වූ "සාමි සාමී" ගීතයට ඇය ඉදිරිපත් කළ රංගනය, නර්තනය රසික සිත් පැහැර ගැන්මට සමත් වූවාය. මෙම චිත්‍රපටය වෙනුවෙන් 10 වැනි සීමා සීමා (Siima) සම්මාන උළෙලේදී හොදම නිළිය ලෙසින් ඕ අභිශේක ලැබුවාය .
ඉන්දීය සිනමා රජු ලෙස සැලකෙන අමිතාබ් භච්චන් සමග රංගනයෙ යෙදෙන "good bye" චිත්‍රපටයේ තාරාගේ චරිතයට පණපොවන්නේ රශ්මිකා යි.
Bangalore Times වර්ගීකරණය ට අනුව අතිශයින්ම ප්‍රිය උපදවන කාන්තාවන් අතරින් ප්‍රමුඛස්ථානයට පත්වීමට 2017 වසරේ දී ඇයට හැකියාව ලැබිණි. නිතරම පාහේ සුන්දර සිනහවකින් මුව සරසාගෙන සිටින ඈ සැබවින්ම සුන්දර ය, ප්‍රියකරුය.
තෙලිගු සිනමාවේ විශිෂ්ට රංගවේදිනියක වීමේ පෙර නිමිති පෙන්වන ඈට සිනමාවේ තව බොහෝ දුරක් තරුණය කළ හැකි බවත්, සිනමාව තුල නොමැකෙන නාමයක් උරුම කරගත හැකි බවත් නොරහසකි.