වෛද්‍ය වෘත්තිය කැමැත්තෙන් කළත් කලාවේ සැනසීම කො‍ෙහ්වත් නැහැ

විශේෂඥ වෛද්‍ය කාංචනමාලා රණසිංහ
ජනවාරි 5, 2023

හැකියාවන්, දක්ෂතාවයන් උත්පත්තියෙන්ම පිහිටනවා යන්නට ඇය සාක්ෂියකි. එසේම ඒ හැකියා දක්ෂතා ජාන වලින් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වනවා යන්නට ද ඇය සාක්ෂියකි.ගීත ගායනයට, රංගනයට නර්තනයට සේම තමන් වැඩිදුර අධ්‍යාපනය ලද වෛද්‍ය වෘත්තියේ පර්යේෂණාත්මකව දිගු ගමනක් යන්නට ද ඈ ලද භාග්‍යය සුවිශේෂීය. ඇය ‘සිංහබාහු’ නාට්‍යයේ වර්තමාන සුප්පාදේවියය.

කාංචනමාලා රණසිංහ නමින් ඇය මෙළොව ජන්ම ලාභය ලබන්නේ ද සුප්පා දේවියට ජානමය උරුමය හිමි කර ගනිමිනි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යයේ පළමු සුප්පා දේවිය වූ මාලිනී රණසිංහගේ ආදරණීය දියණිය වූ ඈ එළඹෙන ජනවාරි 7 වැනිදා සිය සංගීීත දිවියේ සුවිශේෂී කඩඉමකට ළඟාවන්නීය. ඒ ‘සඳ පහන් රෑ’ නමින් සංගීත සන්ධ්‍යාවක් මෙරට පේ‍්‍රක්ෂක, රසික හදවත් වෙත ඉදිරිපත් කරමින්ය. කාංචන මාලාගේ නැවුම් ගී එකතුවකින් සමන්විත වන මෙම ප්‍රසංගය ජනවාරි මස 07 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් හිදී පැවැත්වෙයි. සුභාවිත ගීතය වෙනුවෙන් පෙනී සිටින, නිර්මාණකරණයේ යෙදෙන සම්භාව්‍ය ගී පද රචකයන්, සංගීත නිර්මාණකරුවන්, කැමරා ශිල්පීන් සහ කලාකරුවන් රැසක් මෙම ප්‍රසංගය සඳහා කාංචනාමාලා සමඟ අත්වැල් බැඳගෙන සිටිති.

කාංචනමාලාට සුභාවිත ගීත කලාව මෙන්ම, මේ රටේ යහපත් කලාවක් වෙනුවෙන් අවශ්‍ය වන නිර්මාණශිලී රුචිකත්වයක් ඇතිවීමට ඇයගේ පවුල් පසුබිමම හේතුවක් වූ බව නිසැකය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාටකයේ මුල් දර්ශනයේ සිටම දර්ශන වාර 5000ට වඩා පොතේ ගුරු වූ ටෙරන්ස් රණසිංහ ඇගේ ආදරණීය පියාණන්ය. එසේම එම ආකාරයෙන්ම ලෝක වාර්තා තැබූ සුප්පා දේවියගේ චරිතය රඟ පෑ මාලිනී රණසිංහ ඇගේ දයාබර මවය. එසේ නම් ඇයට කලාව යන්න අමුතුවෙන් ඉගෙන ගත යුතු දෙයක් නොවන බව සත්‍යයකි.

‘අපේ නිවස පිහිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය කට්ටුවමයි. ඒ නිසා පුංචි කාලේ ඉඳල ‘වලේ’ නාට්‍ය බලන්න එහෙම මට අවස්ථාව ලැබුණා. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ඇතුළු පිරිස නිතර අපේ ගෙදර ආවා ගියා. ඔවුන්ගේ කතා බහ, ඔවුන් කරන නිර්මාණ අතරේ තමයි මම හැදී වැඩුණේ. ඒ නිසා මා තුළත් කලාවට සුවිශේෂි ළැදිකමක් නිරන්තරව ඇතිවුණා. අපේ ගෙදර නිතරම කලාකරුවන් ගැවසුණා. ඇත්තටම දැන් මතක් කරන කොට ඒක හරිම ආදරණීය කාලයක්.’

ඇය කියනුයේ සිය ජීවිතය කලාව කෙරෙහි නැඹුරු වූ ආකාරය අතීත මතක සටහන් ඇසුරින් ස්මරණය කරමිනි. කාංචනමාලා අධ්‍යාපනය හදාරන්නේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙනි. පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසින් ද ඈ එම විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යාවක් ලෙස විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද නියුතු වූවාය.

‘මම ඉස්කෝලෙ යන කාලෙදීම තමයි කලාවට නැඹුරු වුණේ. මගේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන අතරේම විෂය බාහිර ක්‍රියාකාරකම් වලත් මම නියුතු වුණා. බටහිර තූර්ය වාදක කණ්ඩායමේ නායිකාව හැටියට, පාසල් වාද්‍ය වෘන්දයේ සිතාර් වාදිකාව විදියට, පාසල් මේස පන්දු කණ්ඩායමේ සාමාජිකාවක විදියට ද කටයුතු කළා. ඒ විතරක් නෙමේ සිංහල සහ ඉංගි‍්‍රසි නාට්‍ය, ගායනය, කථික තරඟ, රචනා තරඟ සඳහා ජාතික සහ අන්තර් ජාතික සම්මාන මම දිනාගත්තා. මම සංගීතයේ මුලකුරු ඉගෙන ගත්තේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ රාණි ෆොන්සේකා ගුරු මහත්මියගෙන් සහ සිරිමා වරුසකෝන් ගුරු මහත්මියගෙන්. ඉන් පස්සේ මම මහනුවර එම්.ජී.පී. කලායතනයෙන් ආනන්ද පෙරේරා සහ අශෝක පෙරේරා ගුරු පියවරුන් යටතේ ගායනය සහ සිතාර් වාදනය තව දුරටත් හැදෑරුවා.’

එකල ටවර් හෝල් රඟහල පදනම මෙහෙය වූ නාට්‍ය තරඟයකට ඉදිරිපත් කළ ‘සමුද්‍රදේවී’ නාට්‍යයේ සමුද්‍රදේවි ලෙස රඟපෑ කාංචන මාලා හොඳම නිළිය ලෙසින් සම්මානයට ද පාත්‍ර වූවාය. ඇය සතුව කලාව පැත්තට කොතෙකුත් දක්ෂතා, හැකියාවන් තිබුණ ද මවුපියන් ඈ උනන්දු කරවුයේ අධ්‍යාපනය පැත්තටය. ඉන් යම් දුරකට පැමිණි පසු කලාව වැලඳ ගැනීමට ඇයට අවසරය ලැබී තිබුණි. ඒ අනුව ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නීය. වෛද්‍ය පීඨයේ සිසුවියක ලෙස අධ්‍යාපනය ලබද්දී ද ඇය නාට්‍ය කටයුතු සහ කලා කටයුතු වල යෙදිණ.

‘වෛද්‍ය පීඨයේ ඉගෙන ගන්න අතරතුර අන්තර් විශ්ව විද්‍යාල කලා සංස්කෘතික තරඟයෙන් දිනලා ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගි වන්නට ජපානයට යන්නටත් මට අවස්ථාව ලැබුණා. ඒ අතරම මම මේස පන්දු කී‍්‍රඩාවෙත් යෙදුණා. ඒ සඳහා මට ජාතික විශ්වවිද්‍යාල සම්මානය ද ලැබුණා. උපාධිය ඉවර කරල මම මහනුවර මහ රෝහලේ වෛද්‍යවරියක ලෙසින් සේවයට බැඳුණා. පස්සේ කාලෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක ලෙසින් ද සේවයට බැඳුණා.’

කාංචනා සිය පශ්චාත් උපාධිය ලබා ගන්නේ ඕස්ට්‍රේලියාවේ කුවීන්ලන්ත විශ්වවිද්‍යාලයෙනි. ඒ සඳහා ශිෂ්‍යත්වයක් දිනාගත් ඇය එහි වැඩිදුර අධ්‍යාපනයට ඉඩ ලැබුවාය. වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ උපාධි 3ක් දිනාගත් ඇය දැනට ඕස්ට්‍රේලියාවේ පවුල් වෛද්‍ය විද්‍යාව සහ හදිසි ප්‍රතිකාර අංශයේ විශේෂඥ වෛද්‍යවරියක ලෙසින් සේවය කරයි. එයට අමතරව ගි‍්‍රෆිත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙසින් ද සේවය කරන්නීය. වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා ද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබා ඇති ඇය වෛද්‍ය පර්යේෂණ කෘති සඳහා ද දායකත්වය ලබා දී ඇත.

පාසල් යන වියේදීම ක්‍රීඩාව සඳහා ද දස්කම් පෑ ඇය මේස පන්දු ක්‍රීඩාවේ දිගටම නියැළෙමින් ජාතික ක්‍රීඩා සඳහා කුවීන්ස්ලන්තය නියෝජනය කළාය. වෘත්තිය වශයෙන් ලද ජයග්‍රහණයන්ගෙන් පසු ඈ තම මවුපියන් අතිශයින්ම පෙම් බැඳි කලාවට යොමුවන්නට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙලෙස ගීත ප්‍රසංගයක් පවත්වමින් එහි උපරීම තලයට ළඟාවන්නීය.

කාංචනාමාලා ගීත ගායනයට අවතීර්ණ වන්නේ 2017 වර්ෂයේදීය. සඳ රෑ සුයාමය ගීත ප්‍රසංගය සඳහා ඇයට ගීත රචනයෙන් රත්න ශ්‍රී විජේසිංහ, සුනිල් ආර්. ගමගේ ලූෂන් බුලත්සිංහල බුද්ධදාස ගලප්පත්ති, බන්දුල නානායක්කාරවසම්, නාරද විජයසූරිය, කුමාර ලියනගේ, සුජීව හෙට්ටිතන්ත්‍රි, මාලිනී රණසිංහ, තුෂාරී බෝඹුවල, පි‍්‍රයන්ත කුලසේකර, සුජිත් ප්‍රසංග, සුනිල් ජේ. සේමසිංහ, ජයමාලි චරිතා බණ්ඩාර ආදීන් දායක වූ අතර ගී තනු සහ සංගීත නිර්මාණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ, නාලක අංජන කුමාර, සමන්ත පෙරේරා, දර්ශන වික්‍රමතුංග, නවරත්න ගමගේ, රෝහණ ධර්මකීර්ති දායක විය. නාද ශික්ෂණයෙන් අනුර රණසිංහ, සඳ රෑ ගමගේ, ජයංග දැදිගම, ජානක දළදාවත්ත, ද කැමරාකරණයෙන් උදේනි අල්විස්, නාරද අමරතුංග, ටෙනත් රොෂාන් ද වේශ නිරූපණයෙන් උපුල් මහානාම ද, රූප සංකල්පයෙන් සංජය හේමසිරි, සමාධි වික්‍රමතුංග, රුක්මල් නිරෝෂ්, මෙලාන් සුගතදාස එක් වෙති.

2019 වසරේදී සිට නැවත වතාවක් ඇය හින්දුස්ථානී සංගීතය හැදෑරීමට පටන් ගත් අතර ඒ සඳහා නැවත අවස්ථාව ලබා දුන් සංගීත් නිපුන් අසිත් අතපත්තු බැති සිතින් ඇය සිහිපත් කරයි. දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි ඇයට 2021 වසරේ සිට ඔන් ලයින් තාක්ෂණය හරහා සංගීතය උගන්වන සංගීත් නිපුන් චාන්දනී වර්ෂකෝන් සොයුරිය ද ඇය ගෞරවයෙන් සිහිපත් කරයි.

කාංචනමාලා සුප්පා දේවිය වන්නේ 2019 වර්ෂයේ සිටය. ඇගේ මව දීර්ඝ කාලයක් රඟපෑ සුප්පා දේවිය ඇයට ලැබෙන්නේ සියලු දෙනාගේ ආශිර්වාදය මැද්දේය.

‘මට සුප්පා දේවිය රඟපාන්න ඇත්තටම ආසාවක් ආවා. මම මේ ආසාව අම්මට කිව්වේ 2018 වර්ෂයේදී. ඇත්තටම ඒක කිව්වම අම්මා පුදුම වුණා. එතකොට තාත්තා නැතිවෙලා මගේ පුංචි අම්මා විවාහ වුණේ ජයලත් මනෝරත්නයන් සමඟ. මම බාප්පටත් කෝල් කරල මේ ගැන කිව්වා. බාප්ප කිව්ව ඔයාට කරන්න පුළුවන් කියල හිතෙනවා නම් අපි කරමු කියලා. මම ලංකාවට ආවම අම්මත් එක්ක ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය හමුවෙන්න ගියා. අම්ම කිව්වා මගේ ආසාව ගැන මටම ඇයට කියන්න කියලා. ඇය මුලින් හිතුවේ මම කෝරස් කියන්න වගේ සම්බන්ධ කර ගන්න නමුත් මම කිව්වා ‘ ලලිතා නැන්දා මට ඕන සුප්පා දේවියට රඟපාන්න කියලා. ඊට පස්සේ ඇය මට කිව්වා ගීතයක් ගායනා කරන්න කියලා. මම ‘වගුරට නරනිඳු’ ගීතය ගායනා කළා. ඒක අහල ලලිතා නැන්දා හරි පුතේ අපි ප්‍රැක්ටිස් කරමු කිව්වා. මම ප්‍රැක්ටිස් වලට විතරක් තුන්පාරක් ලංකාවට ආවා. ඊට පස්සේ 2013 ජූලි මාසෙ තමයි පළවෙනියටම වේදිකාවේ රඟපැවේ. එල්ෆින්ස්ටන් රඟහලේ දී. එදා මම හිතුවටත් වැඩිය ප්‍රතිචාර ලැබුණා. කොහොම හරි දර්ශන වාර 5ක් මට කරන්න ලැබුණා. ඊට පස්සේ කොවිඩ් ප්‍රශ්න නිසා කරන්න බැරි වුණා. ලබන අවුරුද්දේ කීප සැරයක් එන්න බලාපොරොත්තු වෙනවා.

ඇත්තටම ‘සුප්පා දේවි’ චරිතයට මගේ අම්මා මටත් වැඩිය ආදරෙයි මං හිතන්නේ. මම ඒක රඟපෑවට පස්සේ ‘හොඳයි පුතේ’ කියලා කිව්වා. ඒක තමයි මම ලබපු ලොකුම සතුට. ඉදිරියේදීත් කලාව එක්ක මගේ තිබෙන සබඳතාවය වැඩි දියුණු වේවි. වෛද්‍ය වෘත්තියත් කැමැත්තෙන් කළාට, කලාවෙන් ලැබෙන හිතට සැනසීම වෙන කොහෙන්වත් ලබා ගන්න බෑ.

 

 

[email protected]