වර්ෂ 2023 ක්වූ April 02 වැනිදා Sunday
මගේම ගීතවලින් ඉදිරියට එනවා

ජොති හඬ-රුව යළි කරළියට
එච්.ආර්. ජෝතිපාල යනු ශ්‍රී ලාංකේය ගී කෙතේ සදානුස්මරණීය සිහිවටනයයි. එදත් අදත් හෙටත් මතුවටත් ඒ හඬ-රුව අපගේ නෙත් සිත්හි ලැගුම් ගෙන රැඳී පවතිනුයේ සදා මතකයෙන් බැහැර නොවනා ලෙසින්මය. ඒ ඔහු, ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ පොදුජන ගායකයා ලෙසින් මැවු ප්‍රතිරූපයයි. එය අදටද එසේමය. ඔහු වෙන්නට තැනු, ඔහුව අනුකරණය කෙරූ පිරිස අති මහත්වු නමුත්, ඒ හඬට රුවට සමාන කිසිවෙකු අප ජන සමාජය තුළින් මතු නොවීය. මතුද ඒ හඬ අභිබවා යාමට හෝ සම කිරීමට කිසිවෙකු නූපදිනු ඇත. ඒ ජෝතිපාල යනු ඔහුම පමණක් වු බැවිනි. එහෙයින්ම තවත් චිරාත් කාලයක් ඒ හඬ ජීවමානව රැඳී පවතිනු ඇත.
සුනෙත් උදයරත්න යනු, එච්.ආර්. ජෝතිපාලයන් නැවතු තැන් සිට ඔහුගේ පොදුජන ගී රාවය ඉදිරියට ගෙනයාමේ අරමුණෙන් යුතුව කරළියට පිවිසෙන ගායන ශිල්පියෙකි. බොහෝ සෙයින්ම ජෝතිපාලයන්ගේ යොවුන් වියට සමාන රුවකින් හා ඒ හඬට නෑකම් කියන ගැඹුරු මියුරු කට හඬක් පිහිටා ති
බීම, ඔහුගේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඔහුට භාග්‍යයක් වී ඇත.
බොහෝ කාලයක් පූරා සමාජ මාධ්‍යජාලාවන් තුළින් සුනෙත් ගැයු එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගී බොහෝ පිරිස් වින්දනය කළත්, ඔහුව අගය කිරිමට හෝ ඔහුට ඉදිරියට ඒමට, අතහිත දීමට කිසිවෙකු ඉදිරිපත් නොවුයේ, ඔහු මල් වෙඩිල්ලක් සේ කෙදිනක හෝ හෙළ ගී අඹර තුළ පුපුරා යනු ඇතැයි අනුමාන කළ නිසා විය හැකියි. අදටත් මෙරට විද්‍යුත් නාලිකා හෝ මුද්‍රිත මාධ්‍යයන් තුලින් ඔහුට එතරම් සහයක් දක්වන අයුරු දැකීමට නොහැකිය.
කිසිවිටකත් ජෝතිපාලයන්ගේ හඬ හෝ රුව අනුකරණය කිරීමට නොපෙලඹුණු ඔහු, ඔහුගේ සුනෙත් උදයරත්න යන නාමය ගායන ශිල්පියෙකු ලෙසින් ජනගත කර පවත්වා ගැනීමේ පැහැදිලි අරමුණින් යුතුව, ර්ණහදවත රත්තරන්” නමින් ඔහුගේ ප්‍රථම ඒකපුද්ගල ගී ප්‍රසංගය සහ එයට සමගාමීව එනමින්ම යුත් ඔහුගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඇතුළත් සංගත තැටිය එළිදැක්වීම පිණිසත් එළැඹෙන ජනවාරි මස 07 වන දින සවස මහරගම ජාතික තරුණ සේවා සභා යොවුන් රඟහලේදී, ඔහුට ඇලුම් කරන රසිකයින් ආමන්ත්‍රණය කිරීමට ඔහු විසින් කටයුතු සම්පාදනය කර ඇත. මෙම ප්රසංගයේදී ඔහුගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ සහ අවසර සහිතව ජෝතිපාලයන්ගේ මියුරු ගීත කිහිපයක් ගායනා කිරීමට සුනෙත් සුදානමින් සිටි. මෙම ප්‍රසංගය සඳහා, ලසන්ත කාරියවසම් ප්රමුඛ ශික්ෂා සංගීත කණ්ඩායම සංගීතය සැපයීමෙන් ඔහුට සහය වනු ඇත.
සුනෙත් පවසන අන්දමට ඔහු බොහෝ කලක පටන් ජෝතිපාලයන්ගේ ගීත ඇසීමටත්, ගැයීමටත් ආශාවක් දක්වා ඇත. දකුණු කොරියාවේ රැකියාවක නිරතව සිටි ඔහු ලැබෙන විරාමයකදී ජෝතිපාලයන් ගී ගයමින් ඒවා සමාජමාධ්යජාලාවන් වෙත එක් කිරීමට කටයුතු කර ඇත. ටික කලක් ගතවන විට ඔහු වටා විශාල පිරිසක් එක්වීම, ගායන දිවියට මං විවර කළ බව පවසන ඔහු, මේ වනවිට ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයෙකු ලෙසින් ද සමත්ව ඇත.
අපේ ප්‍රවීණ ගායන ශිල්පි නිහාල් නෙල්සන් මහතා මිය යන්නට දවස් කීපයකට පෙර, මට දුරකථනයෙන් කතා කර කීවා, මල්ලී උඹ එක දවසකදී පත්තුවෙනවා බෝම්බයක් වගේ, ඒක කිසිකෙනෙකුට නවත්වන්න බැරිවෙයි” කියලා. ඒක මගේ හිතට ලොකු ජවයක් ඇති කළා. මේ වනවිට පවතින්නේ වෙනස්ම සංගීත රැල්ලක් ඒ රැල්ලට මගේ වැඩි කැමැත්තක් නෑ. එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි වැනි ශිල්පීන්ට තිබුණේ වෙනම ශෛලියක්, වෙනම අනන්‍යතාවයක් මගේ අරමුණ ඒ ගී ශෛලිය ඉදිරියට ගෙන යාමටයි. මේ වනවිටත් විවිධ ප්‍රසංග සඳහා මට ආරාධනා ලැබෙනවා. තෝරාගත් ඒවාට මම සහභාගි වෙනවා. බොහෝ අය මගෙන් බලාපොරොත්තු වෙන්නේ ජෝතිපාල මහත්මයාගේ ගීත. නමුත් ඉදිරියේදී මගේම ගීත තුළින් නම හදා ගැනීමට තමයි උත්සාහ කරන්නේ. ඒ සඳහා මා හට ලබාදෙන මාධ්‍ය සහාය මා අගේ කොට සලකනවා. ජනවාරි 07 වෙනිදා පැවැත්වෙන මාගේ ප්‍රථම සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණෙන ලෙස සියලුම රසික රසිකාවියන්ගෙන් මං ආදරයෙන් ඉල්ලා සිටිනවා.