වර්ෂ 2023 ක්වූ June 04 වැනිදා Sunday
ගෙවුණු අතීතය ගැන මට ලොකු සතුටක් තියෙනවා

සුද්දි මැරිලා හුඟාක් කල්. ඒ වුණාට සුද්දි ගේ මතක තවමත් අපි අතරේ තිබෙනවා. මැරුණ සුද්දිගේ අතීත දිවිය අපි කාටත් කුතුහලය දනවන්නක්. ඒ කුතුහලය අවුස්සමින් ආයෙත් සුද්දි අපි අතරට ඇවිත්. හැම සති අන්තයකම සුද්දි ආයෙත් අප හමුවෙනවා. මේ ‘සුද්දි’ කවුරු කියල ද හිතන්නේ?
මේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යයේ සුද්දි ගැනයි අපි කීවේ.
අප ගියා සුද්දි හොයගෙන. ඇය හිටියේ රාජගිරියේ මාදින්නාගොඩ පාරේ. අප එනකම් මඟ බලාගෙන. සුපුරුදු විදියට ඇගේ මූණපුරා පිපුණු සිනාමල අප ආදරයෙන් පිළිගත්තා. ඇය සේමිණී ඉද්දමල්ගොඩ. අප මුණ ගැහුණෙ බොහොම කලෙකින්. ඒකට හේතුත් තිබුණා. ඇය නිර්මාණ කාර්යයකට දායක වෙන්නේ වසර අටකින් පමණ. ඉතින් අප ටිකක් දුරස් වුණා. ඒත් කාලෙකින් ඈ රඟපාන ‘එයා දැන් බැඳලා’ නරඹන විට ඇය සොයාගෙන එන්නම හිතුණා. අපේ කතාබහ වැඩිපුර යොමු වුණේ ‘සුද්දි’ දිහාට.
‘මම පුංචි තිරයෙන් ඔය දකින්නේ අවුරුදු 07ට පස්සේ. පසුගිය කාලයේ රටේ ඇතිව තිබූ තත්වත් ඒකට බලපෑවා. මේ දිනවල විකාශය වන ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය අපි කළේ හොඳටම කොරෝනා වැඩි වෙලා තිබුණ කාලයක. ඒ කාලය ඇතුළත අපි ඔක්කොම හිටියේ ගෙවල් ඇතුළේ හිරවෙලා, ලොකු පීඩනයක. එහෙම ඉන්න කාලෙක තමයි ප්‍රසන්න ජයකොඩි කතා කරල මේ ස්ක්‍රිප්ට් එක ගැන කිව්වේ. ඔහු මේ ස්ක්‍රිප්ට් එක ලියල තිබුණෙ ඇත්තටම චිත්‍රපටයකට. නමුත් ඒ කාලවකවානුව තුළ තිබුණු තත්ත්වයන් එක්ක අපට චිත්‍රපටයක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තිබුණේ නෑ. ඒ හින්දා ඔහු කිව්වා අපිට කවදා චිත්‍රපට කරන්න ලැබෙයි ද දන්නේ නෑ. ඒ නිසා අපි මේකෙන් ටෙලි නාට්‍යයක් කරමු කියලා. ඒ වගේ කාලයක මේ වගේ ආරාධනාවක් ආවාම පුදුමාකාර පෙරේත කමක් ආවා. මේක කොහොම හරි කරන්නම ඕන කියලා. මහේන්ද්‍ර අයියා වුණත් පුදුම සතුටකින් මේකට සම්බන්ධ වුණේ. අපි කවුරුත් ඇත්තටම මේකට සම්බන්ධ වුණේ මුදල් බලාපොරොත්තුවෙන් නොවෙයි. ටෙලි නාට්‍යය පටන් ගන්නකොට ඇත්තටම නිෂ්පාදකවරයෙක් හිටියෙත් නෑ.’
නිළියකට හොඳ චරිතයක් කියන්නේ ඇත්තටම කෑදර කමක් ඇතිවෙන දෙයක් තමයි. රස අහරකට ඇතිවෙන කෑදර සිත වගේම තමයි නිළියකට රස චරිතයකට ඇතිවෙන කෑදර සිත. ඒක සේමිණිට වගේම මහේන්ද්‍ර ඇතුළු මේ ටෙලි නාට්‍යයේ රඟපාන සුළු නළු නිළි පිරිසටම ඇතිවෙන්න ඇති.
‘අපි මේ ටෙලි නාට්‍යය රූගත කළේ ගලහ පැත්තේ. සති 5ක් අපි ඔක්කොම එහේ නැවතුණා. මේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත 4යි තියෙන්නේ. හරිම අඩු පිරිසක්. සෞඛ්‍ය නීති රීති වලට හොඳටම අනුගත වෙලා අපි මේක කළේ. පිටින් කාටවත් ඇතුළට එන්නත් බෑ. ඇතුළින් කාටවත් එළියට යන්නත් බෑ. ඒ විදියට අපි කිසි කෙනෙක් අසනීප නොවී සති 5ක් මේ විදියට ඉඳගෙන ටෙලි නාට්‍යය ඉවර කළා. කතාංග 27න් මේ ටෙලි නාට්‍යය ඉවරයි.
‘සුද්දි’ගේ චරිතය සැබවින්ම නිළියකට අභියෝගාත්මක චරිතයක්. සේමිණි එවන් අභියෝගාත්මක චරිතය රඟපාන්නට කිසිසේත්ම බියක් හෝ චකිතයක් දක්වන්නියක් නොවේ. ඇය මේ ක්ෂේත්රයට පැමිණී මුල් අවදියේම, උදයකාන්ත වර්ණසුරියගේ ‘යකඩ පිහාටු’ චිත්‍රපටයේ එවන් අභියෝගාත්මක චරිතයක් නිරූපණය කළා. අපට මතකයි. එපමණක් නොව එම චරිතය එකල බොහෝ දෙනාගේ පැසසුමට ද ලක්වුණා. සුදත් රෝහණගේ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයේ ද ඇය රඟපෑවේ මෙවැනි අභියෝගාත්මක චරිතයක්. ඒ විතරක් ද කළුවර ගෙදර ඇතුළු ඈ රඟපෑ තවත් නිර්මාණ රාශියක් මේ මොහොතේ සිහියට එනවා.
‘ඇත්තටම සුද්දි මට ඉස්සරලම මුණ ගැහෙන්නේ ප්‍රසන්න ජයකොඩි ගේ ‘28’ චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටය කරන කාලෙදිම ප්‍රසන්න අයියා සුද්දිගේ පෙර කතාව මට කියලා තිබුණා. ඒ පෙර කතාවට අනුව තමයි මම 28 චිත්‍රපටයේ සුද්දි නිරූපණය කළේ. දැන් ‘එයා දැන් බැඳලා’ ටෙලි නාට්‍යය හරහා ගෙන එන්නේ ඒ සුද්දිගේ පෙර කතාව තමයි. ප්‍රසන්න අයියා මට විස්තර කරපු සුද්දිගේ අතීත කතාව මේ දක්වාම මගේ හිතේ නොමැකෙන විදියට තිබුණා. ඒ නිසා ඒ රංගනයට මට ඒක ලොකු පහසුවක් වුණා. එයා දැන් බැඳලා ස්ක්‍රිප්ට් එක අතට ආවට පස්සේ ඇත්තටම අපට හිතුණා අනේ මේක චිත්‍රපටයක් කළොත් කොච්චර හොඳ ද කියලා. මොකද රූපවාහිනි රචනයේදී අපට යම් යම් සීමා මායිම් දාන්න වෙනවනේ. මම හිතන්නේ රංගන ශිල්පිනියකට ලැබුණු ලොකුම ලොකු අවස්ථාවක් තමයි ‘සුද්දි’ කියන්නේ.
‘සුද්දි’ ගොඩනැඟිය යුත්තේ සේමිණී වුවද, එය වඩ වඩාත් වර්ණවත් කර ගැනීමට ඇයට බෙහෙවින්ම උපකාරී වී ඇත්තේ පෙරළා ඇය සමඟ හරි හරියට රංගනයට එක් වූ අනෙක් නළුවන්. එහිදී ඇය රංගන පාසලක් වන් ප්‍රවීණ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරාගේ රංගන ක්‍රමවේදයන් සහ රංගන ප්‍රතිචාර ඇගේ රංගනය තව දුරටත් ඔපවත් කර ගැනීමට බෙහෙවින්ම වැදගත් වූ බව සඳහන් කළා.
‘මහේන්ද්‍ර පෙරේරා කියන්නේ මට රංගන විශ්ව විද්‍යාලයක්. මගේ චරිතය වර්ධනය කරන්න ඔහුගෙන් මට සුවිශාල සහයෝගයක් ලැබුණා. ඔහුත් සමඟ හරි හරියට රංගනයට එක් වෙනවා කියන්නේ ලේසි දෙයක් නොවෙයි. එයා හා සමානවම අනෙක් අයගේ කතා බහට ලක්වෙන චරිතයක් වෙන්න බෑ මට ඔහුගේ සහයෝගය නොලැබුණා නම්.’
අනිත් ප්‍රධානම කාරණය තමයි, අධ්යක්ෂ ප්‍රසන්න ජයකොඩිගේ අධ්‍යක්ෂණය. ඔහුගේ ඒ අධ්‍යක්ෂණය නොවන්න සුද්දිට මේ තරම් ජීවමාන වෙන්න බෑ. සුද්දි මේ තරම් මිනිස්සු අතරට යන්නෙත් නෑ. ඔහු ඔහුට අවශ්‍ය ඉතාම සියුම් දේ පවා අපෙන් උදුරා ගන්න උත්සාහ කරනවා. සමහර අයට නම් කතාංග 27ක් කරන්න සති 5ක් යන්නේ නැතුව ඇති. නමුත් මෙතැනදි ඔහුට අවශ්‍ය දේ ලැබෙනතුරුම ඔහු නැවත නැවත රූගත කරනවා. සුද්දි සාර්ථක වෙනවා නම් 100%ක්ම එකේ ක්‍රෙඩිට් එක මම දෙන්නේ ප්‍රසන්න අයියට.
සේමිණි සුද්දිගේ අවසන් මොහොත දක්වා නිරූපණය කළේ ප්‍රසන්න ජයකොඩි ගේ ‘28’ චිත්‍රපටයෙන්. ඒ මින් වසර 7 - 8 ඉහත දී. ඒ කාලයේ බොහෝ දෙනාගේ ප්‍රසංශාව මේ චරිතය වෙනුවෙන් ලැබුණ ද බොහෝ සම්මාන උත්සව වලින් එයට නිසි සාධාරණයක් නොවුණ බව සමහරුන්ගේ මතය වුණා. එහෙත් පසුව ජනාධිපති සම්මාන උළෙලේ දී සුද්දිට නියමිත ඇගයීම ලැබුණා අපට මතකයි.
‘ඇත්තටම මම කිසිම ටෙලි හෝ චිත්‍රපට හෝ රංගනයක් සම්මාන බලාපොරොත්තුවෙන් රඟපලා නෑ. නමුත් නොලැබෙන කොට පෘථග්ජන කෙනෙකු විදියට මටත් දුකක් ඇතිවෙනවා. මටත් ඒ දුක ඇතිවෙනවා. ඒත් මම ඒ පසු පස්සේ දුවන්නේ නෑ. දැන් මම ටෙලි නාට්‍ය ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 25ට වැඩියි. මේ අවුරුදු 25 ඇතුළත දී මම ටෙලි නාට්‍ය සඳහා හොඳම නිළිය සම්මානය ලබාගෙන නෑ. නමුත් මම රඟපාපු හැම චරිතයක්ම වගේ හොඳම නිළියට නිර්දේශ වෙලා තිබෙනවා. ඉතින් ඒක මට සම්මාන ලැබුවට වඩා වැඩි සම්මානයක් කියල හිතලා මම හිත හදා ගන්නවා.’ දෛවයේ තමන්ට ලියවිලා තියෙන දේවල් විතරයි ලැබෙන්නේ. නමුත් සිනමාවේ මට තව බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි. ඉස්සරහට බලමු.’
ඈට ඇත්තේ නොසිඳෙන ආත්ම විශ්වාසයක්. ඒ ආත්ම විශ්වාසය තවත් බොහෝ නිර්මාණ කරා ඈ සිත ළඟා කර වීමට සමත් වෙනවා. සේමිණිගේ නිර්මාණ ජීවිතය දෙස ආපසු හැරී බලත්දි ගත වුණු විසි පස් වසර පුරා ඈ නිර්මාණ ගොන්නකට සම්බන්ධ වී නොමැත. ගණනින් ගොඩ වැඩිකර ගැනීමට වඩා හොඳ නිර්මාණයකට ඉඳහිට හෝ දායක වී තෘප්තිමත් වීම ඇගේ කලාවයි. වසර තුන හතරකින් කළ ද හත අටකින් කළ ද ඒ නිර්මාණය බොහෝ විට ඇය පිළිබඳ කතා බහට ලක්වන නිර්මාණයක් වීමට තරම් ඈ එම චරිතයට පේ වෙනවා. සැබැවින්ම ‘සුද්දී’වෙනුවෙන් ඈ පේ වුණා. තමන්ට හිමි ශරීරයට වඩා තරමක් තරබාරු පෙනුමක් ගන්නට ඈ මහන්සි වුණ චරිතයක් වෙනුවෙන් කැපකිරීම් කරන්නට ඈ කිසි විටෙකත් පසුබට නොවන කෙනෙක්.
‘මම චරිතයට සැබෑවටම සූදානම් වූවා වගේම ප්‍රසන්න ජයකොඩි මෙතැනදි හොඳටම මාව සූරා කාලා තියෙන්නේ. මේ චරිතය මේ තරම් තාත්වික වුණේ ඒ් හින්දයි.’ ඔහුත් සමඟ 28 චිත්‍රපටය කරද්දීත් එහෙමයි. පුදුම තරම් වදයක් දීලා තමයි අපෙන් රංගනය ගන්නේ. මට සමහර වෙලාවට කේන්තිත් යනවා. ඒ අවස්ථාවල මට හිතෙනවා ආයෙනම් මෙයා එක්ක මම වැඩ කරන්න එන්නේ නෑ. ඇත්තමයි කියලා. නමුත් නිර්මාණය එළියට එනකොට බුදුන්ට වඳිනවා වගේ මල් තියල වඳින්න හිතෙනවා.’
ඈ කියන්නේ හදවතින්මය. කෙසේ වෙතත් සේමිණී මේ ටෙලි නාට්‍යයේ රඟපානුයේ වසර 7ක් වැනි දීර්ඝ නිහැඬියාවකින් පසුවයි. මේ කාලය ඇතුළත ඇයට රංගනයට ආරාධනා නොආවා යැයි කිවහොත් එය මුසාවක්. එහෙත් දීර්ඝ නිහැඬියාවකින් පසු ඇය පුංචි තිරයට යළි පැමිණෙන්නේ. වෙඩිල්ලක් ද පත්තු කරමින්.
‘ඇත්තටම මට නිර්මාණ වලට ආරාධනා ආවා. මම කියන්නේ නැහැ. දවසට තුන හතරක් ආවා කියලා. සැලකිය යුතු ප්‍රමාණයක් ආවා. නමුත් මට ඒ චරිත වල කරන්න දෙයක් තිබුණේ නෑ. අනිත් කාරණාව මම වැඩියෙන් සිනමාව පැත්ත ගැන හිතාගෙන හිටපු නිසාත් වෙන්නැති. මම තරුණ චරිත හොයනවා නොවෙයි. අම්මාගේ චරිතය වුණත්, ආච්චි කෙනෙක්ගේ චරිතය වුණත් මට කරන්න යමක් තියෙන්න ඕන. ඒ කතාව ඇතුළත දී යම් කිසි කතා බහකට ලක්වෙන චරිතයක් වෙන්න ඕන ඒ චරිතය. එහෙම වුණාම මම ඉතින් ප්‍රතික්ෂේප කරනවා. මම මුදල් ගැන හිතන්නේ නැත්තෙම නෑ. නමුත් සමහර දේවල් වලදි මම මුදල් ගැන හිතන්නේ නෑ. එයා දැන් බැඳලා වගේ එකක දී මම මුදල ගැන හිතුවෙම නෑ. එහෙම හිතුවේ නැත්තේ ඊට වැඩිය වටිනාකමක් අපට වෙන විදියකින්, පේ්රක්ෂකයගෙන් ලැබෙන නිසා. මේ කියන කරණත් සමඟම තමයි පසුගිය කාලයේ ඈත් වෙලා හිටියේ. හැබැයි එයා දැන් බැඳලා කලාට පස්සේ මම තව ටෙලි නාට්‍ය දෙක තුනක වැඩ කළා. සුපුන් රත්නායකගේ සහ ඉසුරු වීරසිංහ මුදලිගේ.
සේමිණි අවසන් වරට සිනමා නිර්මාණයකට දායක වී ඇත්තේ පසුගිය කාලයේ පැමිණි ආශවරී චිත්‍රපටයට. ඉන් එහා ඇය ප්‍රසන්න ජයකාඩිගේ 28 මෙන්ම සනත් ගුණතිලකගේ, සිනහව අතරින්’ යන චිත්‍රපටවලට දායක වූවා. රන්ජන් ප්‍රසන්නගේ, ‘විසංගමනය, අරුණ අබේරත්නගේ ‘අංගාරා’, පි‍්‍රයන්ත කොළඹගේ මන්දාරා’ ඈ මෑත භාගයේ රඟ පෑ අනෙක් චිත්‍රපට.
සේමිණි මේ ක්ෂේත්රයට පැමිණෙන්නේ ශි්රයානි අමරසේනගේ ‘ඉරබටු තරුව‘ ටෙලි නාට්‍යය හරහා. එතැන් සිට ඈ ටෙලි නාට්‍ය, චිත්‍රපට ගණනාවක රඟපාමින් මෙරට තරුවක් බවට පත්වුණා. ගෙවුණු අවුරුදු ගණනාව පිළිබඳ ඇය කිව්ිවේ මෙහෙම කතාවක්.
‘ගෙවුණු අතීතය ගැන මට ලොකු සතුටක් තිබෙනවා. මොකද මේ හැම දෙයක්ම මම හොයාගෙන ආපු දේවල්. මට ලැබුණු හැම චරිතයක්ම. මම සාර්ථකව කළා කියලා මට හිතෙනවා. මොකද බොහෝ රසිකයෝ තාමත් මට ඒ චරිතවලින් කතා කරනවා. යකඩ පිහාටු ගත්තොත් සෙක්සි සුරංගි කියනවා. නේත්‍රා මංගල්‍යය ගත්තොත් ‘පුන්නි පුතේ’ කියනවා. යර්ස් බො
ස් ගත්තොත් ‘රෝෂිනි මැඩම්’ කියනවා. දැන් ‘සුද්දි’ කියනවා.
සේමිණි ගේ රංගන පරාසය විවිධාකාරය. ඇය සුදත් රෝහණ ගේ කළුවර ගෙදර, ස්වයංජාත වැනි ටෙලි නාට්‍යවල මනා සංයමයකින් යුත් චරිත නිරූපණයක යෙදුණා සේම, යර්ස් බොස් වැනි ටෙලි නාට්‍යයක හාස්‍යය රසය උපදින චරිතයකට එක් වී මේ රටේ බොහෝ පේ්රක්ෂක සිත් සතන්හි රෝෂණී මැඩම් ලෙසින් ලැඟුම් ගත්තා. එසේම ඇය 28, එයා දැන් බැඳලා වැනි නිර්මාණ හරහා ගණිකාවකගේ චරිතය නිරූපණය කරමින් අභියෝගාත්මක රංගනයක නිරත වෙනවා.
‘ඇත්තටම මිනිස්සු හිනස්සනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. මම හරි කැමැතියි මට ලැබුණු ඒ අවස්ථාවට රෝෂිණී මැඩම් විදියට මට ලොකු පේ්රක්ෂක ප්‍රතිචාරයකුත් ලැබුණා. ඒ වගේම ඊට වෙනස් අත්දැකීමක්. ‘කළුවර ගෙදර පොඩි හාමිනේ, ස්වංජාත වැනි ටෙලි නාට්‍යවලින් මට ලබා දුන්නා. ඔය කියන හැම චරිතයකටම මම පුදුමාකාර විදියට ආසයි. මෑතකදී මම මොන චරිතයට ද ආස කියලා ඇහුවොත් මගෙන් කියවෙන්නේ ‘සුද්දිට’ කියලා තමයි. සුද්දිගේ තත්තවයට හුඟාක් ගැහැනු අය පත්වෙන්නේ පිරිමියෙක් නිසා. කොච්චර තමන්ට වුවමනාව, ආසාව තිබුණත් හොඳ කෙනෙක් විදියට ජීවත් වෙන්න, මේ සමාජයම තමයි ඒකට ඉඩ දෙන්නේ නැත්තේ. මම කාන්තාවක් විදියට ගණිකාව කියන කෙනා නරක කෙනෙක් කියලා කියන්නේ නෑ. මම ඔවුන්ට හරියට ගෞරව කරනවා. ඔවුන් මේ තත්ත්වයට පත්වෙන්න හේතුව මේ සමාජය, මේ පවතින දේශපාලන වාතවරණය. ඒ නිසා සුද්දි වැනි චරිතවලට මම ගෞරව කරනවා. ඒ තත්ත්වයට පත්වෙච්ච බොහෝ ගැහැනුන්ගේ ඇතුළේ මේ ‘සුද්දි’ ඉන්නවා.
වර්තමානය වන විට ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රය විවිධාකාර උඩු යටි කුරු වීමි වලට ලක් වී හමාරය. බොහෝ විට මුදල් මතම පදනම් වෙන කර්මාන්තයක් බවට මෙය පත් වී හමාරය. එහෙත් සේමිණිලා ක්ෂේත්රයට පැමිණෙන විට මේ ක්ෂේත්රයේ එවැනි තත්ත්වයන් දකින්නට තිබුණේ නැත.
ඇත්තටම අද මේ ක්ෂේත්රය ව්‍යාපාරයක් බවට පත්වෙලා තියෙන්නේ. අපි මේකට ආවේ ඒ අරමුණ ඇතිවම නොවේ. ඉස්සරත් නිර්මාණයක් කෙරුණේ ආර්ථික වාසියක් බලාගෙන තමයි. නමුත් ඔවුන් ඊට සාපේක්ෂව නිර්මාණයේ ගුණාත්මක භාවය ආරක්ෂා කළා. දැන් අද නිර්මාණයේ ගුණාත්මක භාවය ගැන හිතන්නෙම නෑ. නළු නිළියන්ගේ වෘත්තීය ගෞරවයක් නෑ. අපි නිකම් භාණ්ඩ බවට පත්වෙලා. සේමිණි 10,000යි ද? අපෝ වැඩියි. අර පන්දාහකට අරයා ඉන්නේ එයාව ගන්න වගේ තත්ත්වයකට මේක ගිහින් තියෙන්නේ. එක හරිම අපරාධයක්. හැබැයි මේ විදියේ එක තැන පල් නොවී ඉන්න පුළුවන් පිරිසකුත් අපේ ක්ෂේත්රයේ ඉන්නවා. නමුත් මේක වෘත්තිය විදියට කරන අයට මේකෙන් ඉවතට පනින්න බෑ. පවුල රකින්න ඒ තුළ ඉන්න ඕන. නමුත් මම මේක වෘත්තියක් හැටියට කරන්නේ නෑ.
මම ව්‍යාපාරයක් කරනවා. මගේ සැමියා රැකියාවක් කරනවා. මට හොඳ පවුලක් තියෙනවා. ඒ නිසා මාව බලාගන්න කෙනෙක් ඉන්නවා. මේ කාලෙම මට මගේ කියලා සල්ලියක් නෑ. ධම්මික තමයි මාව බලාගන්නේ.’
සේමිණි මේ සියලු දේවල් මධ්‍යයේ සිය පවුලේ යුතුකම් ඉටු කරන්නට හා ඔවුන් බලා කියාගන්නට තම කාලය උපරීමයෙන් කැප කරන්නියක්. ඇය අවුරුදු 21ක තරුණ දියණියක් සිටින මවක්. ඇගේ දියණිය ‘කුමලී’ රංගනය පැත්තට යොමුවන්නට හෝ ඒ පිළිබඳ ආසාවකින් සිටින කෙනෙක් නොවේ. නමුත් ඇය මවගේ රංගනය ගැන විවිධ අවස්ථාවල ඇයට ප්‍රතිචාර දක්වන්නියක්. ඇය නීතිය පැත්තෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න කැමැත්ත දක්වන්නියක්.
සේයාරූ - නිශ්ශංක විජේරත්න
ඇඳුම් නිර්මාණය - කාංචනා සිංහාරගේ (කචදබඩඥ)
මේක්අප් - සැලොන් සාෂ් - සශිනි මුණසිංහ