දරුවෝ තුන්දෙනා පුංචි කාලේ බත් කවද්දි, නිදි කරද්දි මම හරියට කතන්දර කියනවා

ප්‍රවීණ ගීත රචිකා ප්‍රීති රන්දෙණිය
දෙසැම්බර් 8, 2022

කිරිබත්ගොඩ හන්දියෙන් බැහැල සරසවි පොත්හල ඉදිිරියෙන් මම ඇවිදගෙන ගියේ දලුගම පරණ නුවරපාරෙන් අතුරු පාරට හැරිලා. උස තාප්ප දෙක තුනකට පස්සේ තිබුණ ලී ගේට්ටුව ඉස්සරහ නතර වුණේ ගේට්ටු කණුවේ එල්ලල තිබුණු පුංචි සීනුව එක සැරයක් නාද කරලා. විනාඩියක් දෙකකින් විශාල ගේට්ටු දෙක දෙපසට වුණේ කොළම කොළ පාටින් බැබලුණු ලස්සන ගෙවත්තකට මට දොර විවර කර දෙමින්. තාප්පය අයින දිගට හිටවල තිබුණු ගස් කොලන් උඩ පුංචි පුංචි කුරුල්ලෝ ගී ගයනවා. ඒ අස්සෙම කොහොදෝ ඉඳන් ආපු පුංචි බලුපැටියෙක් මගේ දෙපා සිඹිනවා. ඌ දැක්ක ගමන් මම හිතුවේ මගේ ඇඟට කඩාගෙන පනීවි කියලා. ඒත් පෙර හුරු පුරුදු ලෙසින් ඌ මගේ ළඟ හුරතල් වෙන්න ගත්තා.

ඔන්න එතකොටම අපේ කතාවේ කතා නායිකාව සිනා සපිරි මුව ම¾ඩලින් මගේ ඉස්සරහට එනවා. වෙනදාට වැඩිය අමුතුයි නේද? මගේ හිත මටම කිව්වා. මොකක්ද ඒ වෙනස. මම ආයෙත් ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් නෙත් යැව්වා. හරි, වැඩේ අහුවුණා. වෙනදා දිගට දිගේ තිබුණු ඇගේ කේෂ කලාපය කොට වෙන්න කපලා. හැබැයි එහෙම කියලා මට ඇයගේ අවලස්සනක් පෙනුණේ නෑ.

‘ඔයා කොණ්ඩේ කපලා. හැබැයි එහෙමත් වරදක් නෑ. ඒ විදියත් ලස්සනයි.’ මම කිව්වා

‘අනේ හැමෝම මට බනිනවා. අපරාද කොණ්ඩේ කැපුවේ කියලා. ඇය කිව්වේ එහෙමයි. ඒත් මට නම් ඈ මෙහෙමත් ලස්සනයි. බාහිරින් පේන ඇගේ ලස්සනට වගේම ඇගේ හිත ඇතුළෙ ඉන්න කවිකාරිට මම හරිම ආදරෙයි. ඒ කවි හිත වෙලාවකට මට ඉල්ලගන්න තිබුණා නම් කියලත්. ඇගේ සමහර කවි, සින්දු අහනකොට මට හිතිලා තිබුණා. මම අද ආවෙත් ඇගේ ඒ කවි සිත පිරිමදින්න. එතැනින් බිිහිවුණු ආදරණීය පදවැල් ගැන කතා කරන්න. ඇගේ අතීත කතා අහන්න. ඒ කතා හරි රහයි. මේ රස මතක බෙදා ගන්න අපි ඔබටත් ආරාධනා කරනවා. ඈ පී‍්‍රති රන්දෙණිය.

සිනා සපිරි මුව මඬලින් ඈ තාමත් මා දිහා බලා ඉන්නවා. ඉතින්.... අපි මොනවද කතා කරන්නේ? ඈ අහනවා.

‘මම අලුතින් සින්දු කීපයක් කළා. එකක් කියන්නේ රූකාන්ත ගුණතිලක. අනෙක් එක ඉන්දිකා උපමාලි තව එකක් සුනිල් එදිරිසිංහයන් කියනවා.

ඈ අතොරක් නැතිව කියාගෙන යනවා. ඇගේ සින්දු රහයි කියලා මම දන්නේ සමිතා මුදුන්කොටුව කියන ‘පිපිච්ච මල් උඩ වැටිච්ච පිනි පොද’ ගීතය අහපු දා ඉඳලමයි.

‘අලුත් සින්දු ටික මං අහන්න දෙන්නද? ඇය ඇගේ දුරකථනය මගේ අත තියලා සින්දු අහන්න දෙනවා.

‘පැට්ටන් එකා මං වක්කඩේ දිය කැඩුවා

පට්ටං පතුරු යනතුරු ගුටි බැට ලැබුවා

හොට්ටං පෙරන් හැඬුවත් ගං හත හොල්ලා

චුට්ටක්වත් දගේ අඩුවුයේ නැතුවා...

මට්ටං වලට මං රුට්ටා ලෙලි කැපුවා

සුට්ටං කකුල් දිය මැට්ටෝ හිල් හැදුවා

තට්ටං දෙකේ දිය පට්ටා උඩ ආවා

ඇට්ටර කමට හෙලු කොට්ටෙන් දිය නෑවා

අංගේ සංගේ නැතිවුන්ටත් කිට්ිටු වුණා

දැනුම් කෙටුම් දැක අන්දුන් කුන්දුන් වුණා

රණ්ඩු මුරණ්ඩුව කාලේ පැනල ගියා

යම්තම් මං ගැට්ටර විය පහු කෙරුවා...

රූකාන්ත ගුණතිලකගේ හඬ මං අලුත් ලෝකයකට රැගෙන ගියා. ඇට්ටර කොලු ගැටයකුගේ දඟකාර වැඩත් එක්ක චිත්තරූප මැවෙන්න ගත්තා. ඊටත් වඩා මගේ හිත ගියේ ඇගේ මේ වචන පෙළහරට. පැට්ටන් එකා මගේ පට්ටං පතුරු, හොට්ටං පෙරන්, මට්ටං වලට වැනි ඇගේ මේ වචන මේ ගැටවරවියේ කොල්ලගේ ක්‍රියාකාරකම් වලට කොයිතරම් ගැළපෙනවද කියල මට හිතුණා. මේ වචන සියල්ලම සමඟ ඇගේ මේ ගීතය වර්ණවත් කරන්නේ රූකාන්තගේ අපූරු ගායන ශෛලිය සහ ආනන්ද පෙරේරාගේ සංගීතය.

‘මම මේ සින්දුව සංගීවත් කරන්න දුන්නෙත් ආනන්ද පෙරේරාට. මීට කලින් මම ලිව්ව ‘පිපිච්ච මල්’ සින්දුව මියුසික් කළෙත් ඔහු. මේ සින්දුවත් ටිකක් ඒ වගේ නිසා මට හිතුණා ඔහුටම මේ සින්දුවත් දෙන්න. රූකාන්තගේ හඬත් එක්ක මගේ පද වැලට ඔවුන් උපරීම සාධාරණත්වය කරල තිබුණා.’

ඈ ඇගේ කෘතවේදීත්වය අනෙක් ශිල්පීන් දෙදෙනාට පුද කරන්නත් අමතක කළේ නෑ.

මම මගේ සමීර පුතා බඳින දවසේ සින්දුවක් ලිව්වා. මගේ ලේළියට කොහොමද පුතාව බාරදෙන්නේ කියලා තමයි ඒ සින්දුවෙන් කියවෙන්නේ. මට හරි ආසාවක් තිබුණ ඔය සින්දුව විශාරද නන්දා මාලිනියගේ හඬින් අහගන්න. ඒත් ඉතින් මං වගේ කෙනෙක් එතුමියට කොහොමද මේක කියන්නේ කියල හිත හිත ඉන්නකොට සුනිල් ආරියරත්නයන්ට මේ ගීතය පෙන්වන්න මට අවස්ථාව ලැබුණා. සුනිල් අයියා ගීතය අරන් ගියා ගියාමයි ඊට පස්සේ මම නන්දක්කාගේ හඬින් තමයි ගීතය ඇහුවේ. ඉතිරි සියලු කටයුතු ඔහු කරල තිබුණා.

ආචාර්ය රෝහණ වීරසිංහන් තමයි තනුව යොදලා තිබුණේ. මගේ පුතාලා දෙන්නම විවාහ වුණේ එකම පවුලේ අක්කයි - නංගියි සමඟ. ඒ නිසා දරුවෝ දෙන්නටම තමයි මම ඒ ගීතය ලිව්වේ.

ඈ දැන් අත්තම්මා කෙනෙක්. දරුවෝ තුන් දෙනෙක් හදල වඩලා උගන්වල ලොකු මහත් කරල ඔවුන් දෙදෙනෙක් විවාහ කරල දීලත් ඉවරයි. මේ දරුවෝ තුන්දෙනා තමයි ඇගේ කතා සරිත් සාගරය වුණේ. ඈව මුලින්ම ලේඛිකාවක් කරන්නෙත් මේ දරුවෝ තුන්දෙනා. කාර්ය බහුල දිවියක් ගෙවූ සිය ස්වාමියාට සුපසන් නිවසක් ඉතුරු කරමින් දරුවන් සමඟ ඈ නිවෙසේ තනිවෙනවා. දරුවන්ට බත් කවන්න. නිදි කරවන්න ඈට ලොකු වෙහෙසක් ගන්න වෙනවා. මේවට තමයි ඈ කතන්දර පාවිචිච් කරන්නේ.

‘දරුවෝ තුන්දෙනා පුංචි කාලේ ඔවුන්ට බත් කවද්දි, ඔවුන් නිදි කරවත්දි මම හරියට කතන්දර කියනවා. ඔවුනුත් ඒ කතන්දර අහන්න හරි ආසයි. අපේ ලොකු පුතා හරිම සංවේදියි. සමහර කතන්දරවල චරිත මරන්න දෙන්නෙම නෑ. දුක හිතෙන හරියක් කියවන කොට ‘අනේ අම්මි එයාව මරන්න එපා. කතාව වෙනස් කරල කියන්න කියනවා. මම ඉතින් එතැනින් කතාව වෙනස් කරල වෙන පැත්තකට හරවනවා. සමීර පුතා නම් කියනවා ‘අයියෝ අම්මේ මේ අයියට පිස්සු. අම්මි කතාවක්නෙ කියන්නේ. ඔන්න ඕක වෙනස් කරල කියන්න කියලා. මගේ ළමයි මේ කතාවලට ආස වුණා වගේ අනෙක් ළමයිනුත් ආස වෙයි. මට කතා ලියන්න පුළුවන් වගේ කියලා මට හිතුණෙ එතකොට. මගේ දුව තමයි කිව්වේ ‘අනේ අම්මි ඔය කතන්දර මට ලොකු වෙන කොට අමතක වෙයි. ඒ හින්දා මට ලොකු වුණාම බලන්න ලියල තියන්න කියලා. කොහොම හරි මම දැනට ළමා කතා 50ක් විතර ලියල පළ කරල තියෙනවා.

ඈ කියන්නේ ඇගේ දරුවන්ගේ ළමා කාලය සිහිපත් කරමින්. පී‍්‍රති රන්දෙණිය කියන ලේඛිකාව, නවකතාකාරිය, ගීත රචිකාව බිහිවෙලා තියෙන්නෙම ඇගේ ගේ ඇතුළින් කියලා මට හිතුණා. ඈ මට අහන්න දුන්න ගීත අතුරින් ආදරය ගැන කියවෙන ගීත දෙකකට මගේ හිත බැඳුණා. කොයිතරම් ඇහුවත් එපා නොවන, ඉන්දිකා උපමාලි ගේ හඬින් ගැයෙන මේ ගීතය සංගීවත් කරල තිබුණේ රෝහණ වීරසිංහයන්.

ප්‍රාණසම ස්වාමී

කිම්දෝ පමා

පතිදම් රකින්නේ

නැත බ්‍රහ්මචාරී

වවුලන්ද රාශී පළ දැන් බුදීවි

බෝම රෑ බෝ වී - හිතට සැක ඒවී

රාස්සිගේ අව්වේ මා දවා අලුවී

සඳ තුරුලේ හංඟා

නුඹ ගියා පේවී

කැඩපතට පාලා - මනමාල ලීලා

නින්දා අනේ මේ

ඉවසම් ද කෝමා

යහනේ නිල් මල්කම්

මට කරන ඔච්චම්

සඳමඬල නුඹ නම් - සඳ සාවියයි මම්

කී කතා සිහි වී - වද විඳින දේවී

මා නොවේ ස්වාමී - තව අය ඉඳීවී...

‘මම හරිම ආසයි මේ සින්දුවේ පද වලට. ඒකට හරි යන්න උපමාලිගේ කටහඬ මගේ පදවලට සාධාරණය ඉෂ්ට කරනවා. රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මේ ගීතයේ විරහව තව තවත් තීව්‍ර කරනවා නේද කියලා හිතෙනවා. තාමත් මේ ගීතය යූ ටියුබ් එකට නිදහස් කළේ නෑ. මේ ගීතයයි සුනිල් එදිරිසිංහයන්ගේ ගීතයයි. දෙකම ළඟදීම නිදහස් කරන්න බලාපෙරොත්තු වෙනවා. මට හරිම ආසාවක් තියෙනවා මේ ගීතයට විෂුවල් එකක් කරන්න. බලමු ඉදිරියේදී.

ඈ කියන්නේ සිනාසෙමින්.

‘මගේ අනිත් ගීතය ගැයුවේ සුනිල් එදිරිසිංහයන්. ගීතය ගායනා කරන කොට සුනිල් අයියා ඇඬුවා. ඒ තරම්ම ඒ ගීතය සංවේදී කියලා. ඇය මට ඒ ගීතයත් අහන්න සලස්වනවා.

‘දිරා ගිය මගේ දෑත සිඹ සිඹ

මාත් අරගෙන යන්න කිය කිය

ආදරෙයි මං ආදරෙයි

කියනු පුදුමය එදා විලසම

වියෙන් වැහැරුණු උරතලාවේ

හිස හොවා ඔබ හෙළන කඳුළැල්

පිසින්නට මට වාරු නැත සොඳුරේ

මතුභවේ හමුවෙන්න පැතුමෙන්

මිදෙමු භව සසරින්

මිදෙමු අපි බැඳුමෙන්

යෞවනේ සුවඳින් එදා මට

ලෝකයක් සැදූ

මගේම වෙන්නට මා පතා ආ

සසර සහකාරී

මටම වෙන්කළ ඔබේ පිවිතුරු

හද ගැහෙන රාවේ

සමුගන්න පෙර මා සවන පුරවානම්

මිදෙමි මා සිරුරෙන්

ලොවම නවතින අඳුරු මොහොතේ

නිවෙමි ඔබෙ දෑතේ

මිදෙමි මා සිරුරින්

ලොවම නවතින අඳුරු මොහොතේ

නිවෙමි ඔබෙ දෑතේ...

පේ‍්‍රමය ගැන එහෙම ලිව්වට එළිසබත් ගැන ඇය මෙහෙම ලියල තිබුණා.

රැජින වෙන්න හිතුවේ නැතත්

බිරිතානේ දැකල නැතත්

සිරිලංකාවේ පිපුණත්

නංගියේ නුඹ නේද එළිසබෙත්

මේ තරම් ලස්සන වචන කැටි කරන මේ සින්දුකාරි මේ කවිකාරිගේ හැබෑවටම ඉපදුණේ කොහොමද? මට හිතුණේ ඒ අතීතය හාරා අවුස්සන්න.ඒත් ඈ ලියන්න කියන්න පෙලඹෙන්නේ විවාහයෙන් පස්සේ. ඒ වුණාට අතීතයේ පුංචි කාලේ ඇයට ආදරණීය හීනයක් තිබුණා කියල මට කිව්වෙත් ඇයමයි.

‘මං පුංචි කාලේ හරි ආසයි රඟපාන්න. අපි චිත්‍රපටය එහෙම බලල ගෙදර ආවම ගෙදර කට්ටිය ඒක මට රඟපාල පෙන්වන්න කියනවා. මමත් ඉතින් රඟපාල පෙන්වනවා. දවසක් මට මතකයි. ‘පේ‍්‍රමේ දීපශිඛා’ සින්දුවට නටන්න ගිහිල්ලා මගේ අත වැදිලා තාත්තගේ බෙහෙත් බෝතලයක් බිඳුණා. අපේ තාත්තා හරි සැරයි. අපි හැමදෙනාම බයයි. මම බයේ ඇඬුවා. අන්තිමේ පූසෙක් පැනලා බෙහෙත් බෝතලේ බිඳුණ කියල තමයි බේරුණේ.

පුංචි කාලෙ මම ලියන කියන වැඩවලට යොමු වුණේම නෑ. වැඩේම සෙල්ලම් කරන එක තමයි කළේ. අපේ පවුලේ 7ක් හිටිය නිසා අපි ගෙදරම නාට්‍ය එහෙම රඟපානවා. මම තමයි වැඩියෙන්ම රඟපාන්නේ. ඇත්තටම මට රඟපාන්න පුළුවන් කියල මම දැනගෙන හිටියා. ඒ හින්ද තමයි චිත්‍රපටවල රඟපාන්න ආවේ. ඒ වුණාට නිළියක් වෙන්න ආපු මට අන්තිමේ සිද්ධ වුණේ නළුවෙකුගේ බිරිඳ වෙන්න. මුල් කාලයේ චිත්‍රපට කිහිපයක රඟපෑවට පස්සේ රවී කැමැති වුණේ නෑ මම රඟපානවට අවුරුදු 18න් රඟපාන්න ඇවිත්. රවීවත් හමුවෙලා අවුරුදු 20 වෙනකොට මම විවාහ වුණා. අදටත් මගේ හිතේ කනගාටුවක් තිබෙනවා මම පුංචි කාලේ දැකපු නිළියක් වීමේ හීනය හැබෑ නොවුණාට. ඒ වුණාට මේ ජීවිතෙන් මම වෙනත් විදියේ ආශ්වාදයක් ලබනවා. රවීගේ බිරිඳ විමෙන් මට වෙනත් බොහෝ දේ ලැබුණා.

පුංචි කාලේ දකින හීනවලට අපි හැමෝම ආදරෙයි. ඇයටත් වෙලා තියෙන්නේ ඒක. නිළියක් වීමේ හීනෙට ඈ තාමත් ආදරෙයි. නිළි හීනය අත් ඇරුණට ඈට තවත් බොහෝ දේ ලැබෙනවා. ඒ අතරින් ඈ තුළ සිටිනා කවිකාරිය කොයි තරම් සුන්දරද. ඒ කවීත්වයත් ඇයට ලැබෙන්නේ අහම්බයකින්. පාළුව, තනිකම, හුදකලාව කාංසිය ඇයට ගෙනත් දුන්නේ වටිනා ඖෂධයක්. ඒ ඖෂධයෙන් ඈ ඇගේ සිත සුවපත් කරගත්තා වගේම අපේ සිතත් සුවපත් කළා. අපි අහමු ඒ අතීතය ගැන.

‘පවුලේ හත් දෙනෙක් එක්ක මම ගෙව්ව දඟකාර ජිවිතය අතහැරලා අවුරුදු 20 දි රවීත් එක්ක විවාහ වෙලා ආපු මට පුදුම තරමේ කාංසියක් පාළුවක්, හුදකලා බවත් දැනුණා. මම මොකද කරන්නේ කියල මටම හිතාගන්න බැරි වුණා. රවී හැමදාම ෂුටිං. ඒක හරි අමුතු කාලයක්. ජීවිතේ කොයි පැත්තට කැරකෙයි ද කියල මටවත් හිතාගන්න බැරි වුණා. ඔහොම ඉන්න අතරතුරේදී තමයි මම කවි ලියන්න පටන් ගත්තේ. මුල් කාලයේ මම ලිව්ව කවි ලියලා ටිකකින් මමම ඉරල දැම්මා. කාටවත් පෙන්නුවේ නෑ. රවීටත් පෙන්නුවේ නෑ. ඔය අතරේ දවසක් ඒ.ඩී. රංජිත් කුමාර ආවා රවීව ඉන්ටර්වීව් කරන්න. ඔහු මගෙන් ඇහුවා ගෙදරට වෙලා මොනවද කරන්නේ කියලා. එතකොට තමයි මම ලියපු කවි දෙක තුනක් පෙන්නුවේ. ඔහු ඒවා බලල ඒවා ලස්සනයි කියලා සරසවිය පත්තරේ පළකලා. ඊට පස්සේ මගේ කවි සතිපතා සරසවියේ පළවෙන්න ගත්තා. ඔහොම තමයි පටන් ගත්තේ. අන්තිමට කවි ටිකක් එකතු කරල ‘කාන්සියට ලියවුණු කවි’ කියල කවි පොතකුත් කළා. රංජිත්ම තමයි නම දැම්මෙත්. පිටකවරේ ඇන්දෙත් ඔහු. ඊට පස්සේ මගේ කවි වලට විවිධ ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒ නිසා මම දිගින් දිගටම ලිව්වා. එහෙම ලිව්ව කවි තමයි පස්සේ ගීත බවටත් පත් වුණේ.

පී‍්‍රතිගේ කාන්සිය, හුදකලාව, පාලුව කරල තියෙන්නේ කොයි තරම් හොඳ දෙයක්ද. ඇයට කවි සිතක් දෙන්නේ ඇගේ කවි සිත අවදි කරන්නේ ඒ පාළුව කාන්සියයි. පී‍්‍රති පොඩි කාලෙත් තමන්ට තිබුණ හැංගිච්ච ආසාවන් පෙන්නුම් කරන්න කැමැති වුණේ නැතිලු. ඇයට අවුරුදු 10ක් වැනි කුඩා වයසකදි ඇය වනිතා විත්ති පුවත්පතේ පළ වු ඡායාරූප ටිකකට කතාවක් ලියල යවල හොඳම නිර්මාණ 10 අතරට එක් වුණාලු. ඇය ඒක කාටවත්ම කියල නෑ.

‘මට තිබුණේ හරිම සුන්දර ළමා කාලයක්. අපේ ගෙදර ආච්චි කෙනෙක් හිටියා. එයා මට තමයි ආදරේ. අපි දෙන්නා අතර හරිම ආදරණීය ගනුදෙනුවක් තිබුණා. පස්සේ කාලෙක ‘පුංචියි ආච්ිචියි’ පොත ලියද්දි මම හිතේ තියා ගත්තේ ඒ ආචිච් තමයි. ආච්චි මට කියනවා මම මැරුණත් ඔයාගේ පස්සේ එනවා කියලා. ඒ ආච්චි ඇත්තටම නූගත් කෙනෙක්. ඒ වුණාට එයාගෙන් මම හරියට දේවල් ඉගෙන ගෙන තිබෙනවා.

මට මතකයි හඳ පායාගෙන එන වෙලාවට එයා මාව එන්න පුතේ කියල අඬගහගෙන ගිහින් හඳට වන්දවනවා. මමත් ඉතින් බිම දිගාවෙලා “ මමත් සඳ දෙවියන්ට වඳිනා කියලා කියමින් සඳට වදිනවා.” ඕක බලන් ඉන්න අපේ අයියලා අම්මට කියනවා මෙයා හින්ද කවදාහරි දවසක පොඩි නංගි මෝඩයෙක් වෙනවා කියලා.

ඉස්සර මම හරි බයයි ඉන්ජෙක්ෂන් ගහනවට, ලේ ගන්නවට එහෙම. ඉතින් බරවා බලන්න ලේ ගන්න එනවා කිව්වම මම දවසම අඬනවා. මම ආච්චිට අඬ අඬ කියනවා අනේ මාව හංගන්න කියලා ඉතින් බැරිම තැන එයා මාව ලිප්බොක්කේ හංගලා දර වලින් වහනවා. ඒ වගේ හරිම ආදරණීය ඇසුරක් ඇය සමඟ මගේ තිබුණා. ගමේ භාෂාව, වචන, කතන්දර ආදිය බොහොමයක් මම ඉගෙන ගත්තේ ඇයගෙන් පස්සේ කාලෙක ඒවා මගේ ලේඛන දිවියට පාවිච්චි කළා.’

70 දශකයේ සිනමාවේ ස්වර්ණමය යුගයේ නිළියක් වෙන්න ආපු පී‍්‍රති අන්තිමට නතර වුණේ අද අපේ සිනමාවේ මහා නළු පරපුරට අයත්වන නළුවෙකුගේ ගෙදර ආදරණීය බිරිඳක් විදියට. පුංචි කාලේ හීන පැත්තකට දාපු ඇය සැමියාට ආදරණීය බිරිඳක් වුණා. දරුවන්ට සෙනෙහබර මවක් වුණා. ඒ කැප කිරීම ඇය විසින් කරපු නිසා රවීන්ද්‍ර රන්දෙණිය නම් වූ අපේ මහා නළුවාට සෙනෙහෙ සිතින් ගෙදර එන්නට සුපසන් නිවෙසක් හිමි වුණා. වත්මනේ මේ දෙදෙනාම ජීවිතේ සැඳෑ සමය දරු මුනුපුුරන් සමඟින් ගෙවා දමමින් සිටිනවා. පුතණුවන් දෙදෙනාම දුරු රටක සිටියත් වරින් වර පැමිණ දුක සැප විමසමින් යනවා.

මේ අතීත ස්මරණ මැද, ඇය ලියූ ගී පද විමසමින් ඈ විටෙක සිනාසෙනවා. තව විටෙක කඳුළක් මෝදු වුණු ඇස් පියන් සෙමින් පිස දමනවා. සතුට ද දුක ද සම සමව ගෙන ඇය සිනාසෙන විට මම සිනා සුණා සේම, ඇගේ ගී අසා නැගුණ කඳුළක සීතල ද මම විඳගත්තේ ඇගේ නිර්මාණ කෙරෙහි උපන් ස්නේහයකින්.

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න

[email protected]