ආපසු හැරී බලද්දී මගේ ජීවිතය ගැන තෘප්තිමත්

ලීනා ද සිල්වා
නොවැම්බර් 24, 2022

ජීවිතයේ සැඳෑ සමය ගෙවන සුප්‍රකට නිළි ලීනා ද සිල්වා පසුගිය දා සැමරුවේ ඇගේ 86 වැනි උපන් දිනයයි. තම දියණිය පුර්ණා ගේ ආදරණීය කැදැල්ලේ ඇගේ රැකවරණය මාධ්‍යයේ දිවි ගෙවන ඇය, දියණිය පුර්ණා ඇගේ දෑස මෙන් රැක බලා ගන්නේ ඇයට මවක වෙමිනි. රැකියාවට පවා සමු දී සිය මෑණියන්ගේ අවශ්‍යතා සොයා බලමින් ඇයට ඇප උපස්ථාන කරමින් ඇගේ සැඳෑ සමය සතුටින් තබන්නට සිය ශ්‍රම දායකත්වය කාලය උපරීමයෙන් ලබා දෙන ඇය දයාබරිත හදවතින් මවගේ ඕනා එපාකම් ඉටු කරන්නීය.

මහලු වියේ මා තනි වෙන දවසේ

වාරු නොමැති පා ඔසවන්නේ

තනි නොතනිය මැද දුවේ ඔබයි මට

එදාට මව් වන්නේ

කලාශූරී ලතාවල්පොල. ධම්මිකා වල්පොල සමඟ ගැයූ මේ ගීතය ලීනා ද සිල්වාටත් දියණිය පූර්ණා වෙත්තසිංහටත් කොතරම් ගැළපේ දැයි මට සිතුණි.

1954 තිරගත වූ අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ලංකා මාතා ගීතයට නර්තනයක් ඉදිරිපත් කරමින් සිනමාවට පිවිසි ලීනා ද සිල්වා හා පුරා කියා ප්‍රධාන චරිතයකට පණ පෙව් චිත්‍රපටය වූයේ සුරතලී චිත්‍රපටයයි. අපේ සිනමාවට හඳුන්වා දුන්නේ ශේෂා පලිහක්කාරයය. ඔහුගෙන් නර්තනය හැදෑරූ ඇයට ඔහු විසින් රංගන වරම් හිමිකර දුන්නේය. සොහෙයුරෝ, සුන්දර බිරිඳ, නළඟන සුනීතා, සුලලිත සෝබනී, සුජාගේ රහස ආදී චිත්‍රපට ගණනාවකම රඟපෑ ලීනා ද සිල්වා චිත්‍රපට නළු රවීන්ද්‍ර රූපසේනගේ දයාබර බිරිඳය.

රූපස්වභාවෙන්ම මෙන්ම රංගන ප්‍රතිභාවෙන් ද?

අගතැන්පත් ලීනා ද සිල්වාට එදා පැවතියේ විශාල ඉල්ලුමකි. චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු ලීනා ද සිල්වා සොයාගෙන පැමිණියේ ඔවුන්ගේ චිත්‍රපට සඳහා ඇයව ප්‍රධාන චරිතයට දායක කරගැනීමටය. ඇය තුළ තිබූ සුන්දර රූපකාය පමණක් නොව රංගන කෞශල්‍ය ද එයට ඉවහල් වූවාට සැක නැත. නමුත් විවාහයත් සමඟ තම දුවව සහ පුතාව රැකබලා ගැනීම මුළු කාලය වැය කළ ඇය රංගනයට සමුදුන්නාය.

එදා යුගයේ ඇය රඟ පෑ චිත්‍රපට සංඛ්‍යාව දහයක් දොළහක් පමණ අතළොස්සකි. හදිසි හෘදයාබාධයක් වැලඳී ඇගේ සැමියා රවීන්ද්‍ර රූපසේන මෙලොවින් සමුගත් පසු ඒ වේදනාව දරාගත නොහැකිව චිත්‍රපටය රඟපෑමෙන් ඉවත්ව සිටියාය. පසුකාලීනව ඇගේ දෙවැනි ආගමනය වුයේ නොමඳ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරයට ලක් වූ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මැතිනිය අධ්‍යක්ෂණය කළ ගඟ අද්දර චිත්‍රපටයයි. සුමිත්‍රා පීරිස් නිෂ්පාදිකා මිලිනා සුමතිපාල සමඟ ලීනා ද සිල්වා මුණගැසෙන්නට පැමිණියේ ගඟ අද්දර චිත්‍රපටයේ වසන්ති චතුරාණි ගේ මවගේ චරිතයට ඇය තෝරා ගත් බව පැවසීමටය. අතිශය ජනාදරයට පාත්‍ර වූ ගඟ අද්දර ලීනා ද සිල්වා ගේ දෙවැනි ආගමනය සනිටුහන් කළ සන්ධිස්ථානයක් විය. පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මාධ්‍යයේ ඇරඹි ඇගේ දෙවැනි ආගමනය සිනමාපට හතළිහකට ආසන්න සංඛ්‍යාවකට රංගනයෙන් දායක වන්නට ඇයට වරම් හිමිකර දුන්නාය. චරිතාංග නිළියක් ලෙස ඇය විවිධ චරිත වලට පණ පොවමින් පේ‍්‍රක්ෂකයන් අතර නොමඳ ජනපි‍්‍රයත්වයට ලක් වූ සුප්‍රකට නිළියකි.

ඇගේ සිනමා දිවියේ ඒකායන ප්‍රාර්ථනය වූයේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ චිත්‍රපටයක දායක වීමටය. රේඛාව චිත්‍රපටියට රඟපෑමට ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගෙන් ලද ආරාධනය ද ඇයට පිටු පෑමට සිදුවුයේ ඇය එවකට පාසල් සිසුවියක වී සිටි නිසාය. ඇගේ ප්‍රාර්ථනය ගඟ අද්දරින් ඉටුවීම ඇය පවසන අන්දමට ජීවිතයේ ලද විශාලතම ජයග්‍රහණයකි.

ලීනා ද සිල්වා ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් බැහැරව කැනඩාවේ විසුව ද සිනමාවට තිබූ ඇල්ම ආදරය අදටත් එසේමය. විවිධ වූ නාට්‍ය ප්‍රසංග චිත්‍රපට ආදිය කැනඩාවේ ප්‍රදර්ශනය කරන අවස්ථාවලදී ඇය නොවරදවා නැරඹීමට පැමිණීම සිරිතක් කර ගත්තාය. චිත්‍රපට හෝ නාට්‍ය සමඟ පැමිණෙන කලාකරුවන් පිළිබඳ ඇය කතා කළේ මෙවැන්නකි.

‘අද ශ්‍රී ලංකාවේ සිටින නව පරපුර අතිශයින් දක්ෂයි. ඔවුන්ගේ හැකියාවන් අසීමිතයි. මම ඔවුන් පිළිබඳ සතුටට පත්වෙනවා. ඇතැමුන් මගේ චිත්‍රපට නොදැකපු පිරිසක් වන්නට ඇති. එහෙත් ඔවුන් මට ලබාදුන් ගරුත්වය මම අගය කරනවා.’

කැනඩාවේ සිටිය ද ලීනා ද සිල්වාට රීදි රැයක් ප්‍රසංගයට රංගනයක් ඉදිරිපත් කිරිමට අවස්ථාව සැලසුණි. තරුණ පරපුරේ රංගන ශිල්පීන් පිරිවරා පෙර පරපුරේ ලීනා ද සිල්වා තරුණ නළු නිළියන් හා කරට කර අපුරු නර්තනයක් ඉදිරිපත් කළේ පේ‍්‍රක්ෂක ඔල්වරසන් මධ්‍යයේය.

ඇය පුංචි තිරයෙන් පේ‍්‍රක්ෂක ප්‍රසාදයට ලක් වූවාය. ඇය හා පුරා කියා රඟපෑවේ ඒ.එස්. පී.ලියනගේ නිපද වූ හිමි අහිමි ටෙලි නාට්‍යයේය. ඇගේ රංගනය දුටු රංජන් ද සිල්වා ඔහුගේ සුදු පරෙවියෝ නැමැති අතිශය ජනපි‍්‍රය ටෙලි නාට්‍යයේ රඟපෑමට ඇයටට ආරාධනා කළේය. සුදු පරවියෝ රඟපෑමෙන් පසු ඇය රන්ජන් ද සිල්වා ගේ උදාගිර ටෙලි නාට්‍යයේ ද රඟපෑවාය.

‘එවකට ජනාධිපතිව සහ අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ මැතිතුමා උදාගිර ටෙලි නාට්‍යයේ මගේ මල්ලිට රඟපෑවේ. ඇත්තටම එය මට ලොකු ආඩම්බරයක් සහ සතුටක්.’ ලීනා ද සිල්වා පැවැසුවාය.

බොහෝ දෙනා නොදන්නවාට ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරියකි. ඒ පිළිබඳව අපි ඇයගෙන්ම අසා දැනගනිමු.

නිමල් පෙරේරා මගේ හොඳ හිතවතෙක්. වෙසෙන්නේ කැනඩාවේ ඔහු යෝජනා කළා චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට ඔහු හා එක්වන ලෙස මා ඒ ආරාධනය ඉතසිතින්ම පිළිගත්තා. ලංකාවේ කීප දෙනෙක් සහ කැනඩාවේ වෙසෙන කිහිපදෙනෙක් එකතු වෙලා මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා කතාව මගේ. රංගන ශිල්පීන් බොහොමයක් කැනඩාවේ අය. කැනඩාව විසූ නීටා ප්‍රනාන්දු එම චිත්‍රපටයට මම දායක කරගත්තා. චිත්‍රපටියේ නම රටකින් රටකට ටෙලි නාට්‍යයක ස්වරූපයෙන් නිර්මාණය කළේ. කැමරාකරණය ශිව නන්දන් කළේ. මෙම චිත්‍රපටයේ තිබෙන විශේෂත්වය වනුයේ මම කතාව සහ අධ්‍යක්ෂණය කළ රටකින් රටකට චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ මම වීමයි. එය මගේ රංගන ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්. චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ කැනඩාවේ. ශ්‍රී ලංකාවේ නොවෙයි. මෙය පැය දෙකක කාලය පුරා දිවෙන චිත්‍රපටයක්. චිත්‍රපටයට සංගීතය අධ්‍යක්ෂණය කළේ පැට්‍රික් දෙණිපිටිය ඔහු ඒ කාලේ සිටියේ කැනඩාවේ. මෙහි තේමා ගීතය ගායනා කළේ මහාචාර්ය සනත් නන්දසිරි. සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි කැනඩාවට පැමිණි අවස්ථාවේ මම ඔහුගෙන් ඉල්ලීමක් කළා. රටකින් රටකට චිත්‍රපටයේ තේමා ගීතය ගයන්නට හැකි ද කියා. ඔහු ඒකට ඉතසිතින් කැමැත්ත ප්‍රකාශ කළා. අද මම ජීවිතේ දෙස ආපස්සට හැරී බැලීමේදී මම තෘප්තිමත් ගැහැනියක්. මගේ සැමියා නළුවෙක්. මගේ දරුවෝ දෙන්නා විවාහකයි. ඔවුන්ට දරුවෝ ඉන්නවා. ඔවුන් දෙදෙනාගේ පදිංචිය කැනඩාවේ. සිනමා නිළියක් ලෙස මම චිත්‍රපට 50කට ආසන්න සංඛ්‍යාවක රඟපාලා තිබෙනවා. සම්මාන කිසිවක් බලාගෙන මම රඟපෑවේ නෑ. නමුත් ජනතා සම්මානය මට ලැබුණා. චිත්‍රපට නිළියක් ලෙස අධ්‍යක්ෂණයට ඉදිරි පියවරක් තැබීමට හැකි වීමත් මා ජීවිතයේ ලද භාග්‍යයක්. ඒ පිළිබඳව මම නිමල් පෙරේරාට ස්තූතිවන්ත වෙනවා.

අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ ඇය රඟ පෑ ලංකා මාතා ගීතය ගායන කළේ හෙළ ගී රැජින කලාශූරී ලතා වල්පොලය. ජී.එස්.බී. රාණි පෙරේරා ඇයට වැඩිපුර චිත්‍රපට පසුබිම් ගීත ගායනා කළ ගායන ශිල්පිනියයි. චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රයේ නමක් තැබූ අසහය ගායිකා යුවළක් වන සුජාතා අත්තානායක සහ ඇන්ජලින් ද ලැනරෝල් හා පුරා කියා චිත්‍රපට පසුබිම් ගීතයක් ගායනා කර ඇත්තේ ලීනා ද සිල්වාට වීම විශේෂත්වයකි. ලතා වල්පොල, ජි.එස්.බී. රාණි පෙරේරා, සුජාතා අත්තනායක, ඇන්ජලීන් ගුණතිලක ක්ෂේත්‍රයේ දැවැන්ත ප්‍රමුඛ පෙළේ ගායන ශිල්පීන්ට ඈ හිස නමා ආචාර කළේ ඇගේ රංගනය තව දුරටත් වර්ණවත් කිරීම සඳහා ඔවුන්ගේ ගායනය ඉවහල් වූ බව පවසමිනි. නළඟන චිත්‍රපටය පරම රමණී අපේ ආලේ රුක්මණී දේවි සහ මොහිදීන් බෙග් යුග ගීතයක් ලෙස ගායනා කරන අතර ඒකල ගීතයක් ලෙස ගායනා කරන්නේ ජී.එස්.බී රාණි පෙරේරාය. ඇය එම ගීතය ගයන්නේ ලීනා ද සිල්වා වෙනුවෙනි.

86 වන උපන් දිනය සැමරූ ලීනා ද සිල්වා අපේ ආදරණීය කලා ශිල්පිනියට චිරාත් කාලයක් වැජඹෙන්නට සදා ළැබදී සරසවිය පුවත්පතේ සුභාශිංශනය අපි පළ කරමු. ආයුබෝ වේවා ලීනා අක්කේ..!

 

[email protected]