අපේ කාලයේ ගේය පද රචක සිත්තරා මහේෂ් රත්නායක

නොවැම්බර් 17, 2022

 

කැන්වසය මත ඔහුගේ සුහුරු හස්තයක රැඳී පින්සල වේගයෙන් ඒ මේ අත දිව යයි. වරෙක් ප්‍රචණ්ඩව ද තවත් වරෙක ස්නිග්ධ ලෙසින් ද කැන්වසය මත ස්පර්ෂ වන පින්සල කූටප්‍රාප්තිය කරා ශිල්පියා රැගෙන යන්නේ ඔහුගේ දෑස් මත තෘප්තිමත්භාවය තවරමිනි. ඊශ්‍රායලයේ බඥත ඒමඪම නගරයේ රැස් වී සිටින ජනී ජනයාගේ අත්කළ පහසින් නැගෙන අත්පුඩි නාදයෙන් චිත්‍රශිල්පියාගේ දෑසට උණු කඳුළු ගලා එන්නේය. ඒ සතුටු කඳුළුය.

ජාත්‍යන්තරය දිනූ මේ චිත්‍ර ශිල්පියා ‘අපේ එකෙකු’ බව ඇතැම් විට ඔබ නොදන්නවා විය හැකිය. ඔහුගේ තෙලිතුඩෙන්, තම රුව චිත්‍රයට නගාගැනීම ඊශ්‍රායලයේ තරුණ තරුණියන්ගේ උන්මාදයක් බවට පත්ව ඇතිවා සේම ඔහුගේ නිර්මාණයකින් තම සුන්දර නිවෙස්, කාර්යාල අති සුන්දර කර ගැනීමට බොහෝ දෙනෙක් නොතින් ආශාවෙන් බලා සිටින්නේය. ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ දහය, පහළොව ආදී මිල ගණන් වල සිට ඉතා ඉහළ මිල ගණන් යටතේ අපි තරඟකාරී ඉල්ලුමක් යටතේ ‘උණු කැවුම් සේ’ අලෙවි වන ඔහුගේ සිතුවම් ඊශ්‍රායලයේ ඉහළ පෙළේ කලාගාර ආදියේද තබා ඇත්තේ ශ්‍රී ලාංකේය අප හට ද අභිමානයක් එක්කරමිනි. මෙම ප්‍රවීණ චිත්‍රශිල්පියා වූ කලී අන් කිසිවක් නොව ගේය පද රචනයෙන් මෙරට සුභුසීත ගීතය පොහොසත් කිරීමට නිරතුරුවම ඇප කැප වෙන ප්‍රතිභාපුර්ණ ගේය පද රචක මහේෂ් රත්නායකය.

මහේෂ් රත්නායක නම ඇසූ සැණින් අපගේ මතකයට නැගෙන්නේ ප්‍රවීණ ගායනවේදී අමරසිරි පීරිස් ගයන ‘ප්‍රේමයට මට රිඳුම වී.... ගායන ශීල්පී දුමාල් වර්ණකුලසුරිය, ගායන ‘සංවේගය සඟවා තබා යන්නෙමි.’ ගායනවේදී ජානක වික්‍රමසිංහ ගායනා කරන අහස ගුගුරා පේ‍්‍රමයේ, ගායනවේදිනි ශෂිකා නිසංසලා ගයන සෙනෙහෙ පාමුල වරදකාරිය මම නිසා ගායනවේදී සංගීත අධ්‍යක්ෂ සමන්ත පෙරේරා ගායනා කරන ‘කන්‍යාවිය ගම්මානේ මා හැර දා පාළු පැළේ..’ ආදී ගීත රැසක ගේය පද රචකයා වූ ලේඛනයෙන්, සිතුවම්කරණයෙන් එකසේ දක්ෂතා දක්වන සොඳුරු නිර්මාණවේදියා - මහේෂ් රත්නායක මෙවර සරසවි සංලාපයට එකතු කර ගත්තේ ඔබ වෙනුවෙන්මයි.

ඔබේ සුරතට වඩාත් හුරු පෑන ද පින්සල ද?

පැන වගේම පින්සලක් නිරන්තරයෙන් අත රැඳෙන ආදරණීය මෙවලම් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ කතාවකට බසක් ඇත්තේ සිය හැඟීම් හා අදහස් නිසි ලෙස කියන්නටය. ඒ බසට සාහිත්‍යයක් ඇත්තේ එකී අදහස් හා හැඟීම් ප්‍රබල ලෙස කියන්ටය. එකී සාහිත්‍යය කිසියම් කවියක් ඇත්තේ ඒ හැඟීම් හා අදහස් රසවත් ලෙස කියන්නටය. කිසියම් ජනතාවක් විසින් ඒ කවිය ධ්වනිපුර්ණ ගීතයක් බවට පත් කරන්නේ ස්වකීය හැඟීම් හා අදහස් රසවත් ලෙස පමණක් නොව මිහිරි සවනට ද කියන්ටය. ඔබ ඇසූ පැනයට පුර්විකාවක් ලෙසින් මම යම් අදහස් ප්‍රකාශ කළේ ගේය පද රචනයට වගේ. චිත්‍ර තුළින් ද මම සිදුකරන්නේ මගේ හැඟීම් හා ප්‍රකාශනයන් නිර්මාණත්මක ලෙසින් එළි දැක්වීමයි.

මට මතක හැටියට මාතාවන නම් අචාර්යවරයා පෙන්වා දෙන ආකාරයට

“න නාදේන විනා ගීතං

න නාදේන විනා ස්වරං’ නාදය නැති තැන ගීතයක් නැති බවත්, නාදය නැති තැන්හි වැයෙන ස්වරයක් නැති බවත් එතුමා පෙන්වා දෙනවා. අපේ නූතන ගීතය සම්බන්ධයෙන් මේ අදහස් වඩාත් සමීප බව අපට පෙනී යනවා. ස්වරවල ද වචන මාලාවේද තාලවලද එකමුතුව ගීතය බැව් මෙයින් අපට වඩාත් පසක් කරවනවා. අදශ්‍යමාන ගීතය මේ සියලු අර්ථ දැක්වීම් ඉක්මවා යමින් නූතත්වයට වඩාත් යාවෙන බව කිව යුතුමයි. වර්තමානයේ සෑම සාහිත්‍යාංගයකටම අසාධාරණයක් සිදුවෙනවා ද යන්න පිළිබඳ වෙනම විග්‍රහ කළ යුතු කාරණාවක්. එය වෙළෙඳපොළ වටිනාකම පිළිබඳ කාරණාවක්. කලාකරුවෙක් විසින් අද දවසේ දී තමාගේ වෙළෙඳපොල වටිනාකම පිළිබඳ හොඳ තත්සේරුවක් තිබිය යුතුයි.

 

ඊශ්‍රායලයේදී ඔබගේ කලා කෘති සඳහා ඉතා ඉහළ මිලක් හිිමිවන්නේ ඒ පිළිබඳ හොඳ තක්සේරුවක සිටින නිසා ද?

සැබැවින්ම ඔව්. නිර්මාණකරුවා අදීන අයෙකු විය යුතුයි. ඒ වගේම ඔහු කිසිම කෙනෙකුගේ අතකොළුවක්, හොරණෑවක්, සුදු අලියෙක් නොවිය යුතුයි. මගේ ප්‍රකාශනයත් පිළිබඳ මගේ මතයත්, නිවැරැදි දැක්මක් තිබෙනවා. මා වටා එකතු වී සිටින රසිකයන් ද මගේ සිතුවම් සඳහා ලෝකය නම් තනි යායේ දී ප්‍රශස්ත මිලක් හිමිවෙනවා. ඊශ්‍රාලයේත් වැඩිම අයකරන චිත්‍ර ශිල්පීන් අතර මවත් ඉදිරියෙන්ම සිටිනවා. එය ශ්‍රී ලංකාව කියනා මගේ මාතෘභූමිය ලැබු ජයක් හැටියටයි මං සලකන්නේ.

 

ආලේඛ්‍ය චිත්‍ර ඇදීම සඳහා ඔබ ඊශ්‍රායලයේ නම් දරා සිටිනවාලු?

ඔව් ඒ කාරණාව ඇත්ත මොකද මං ආවාට ගියාට ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කරන්නේ නෑ. එයට උපරීම සාධාරණත්වය ඉටු කරනවා. එයට කලාත්මක මෙන්ම සර්වකාලීන වටිනාකමක් ලබා දෙනවා. කලාකෘතියක් ලෙසින් එය පරපුරෙන් පරපුරට පැවත්තෙන්නේ එසේ වුවහොත් පමණයි. එසේ නොවුවහොත් එය හුදෙක් තවත් එක් චිත්‍රයක් පමණක් වෙනවා. මුදල මත පමණක් පදනම් වී මම නිර්මාණකරණයේ යෙදෙන්නේ නෑ. ඒ නිසා වසරක පමණ කාලයක සිට මගෙන් ආලේඛ්‍ය චිත්‍රයක් නිර්මාණය කර ගන්නට බලා සිටින රසික රසිකාවන් සිටින බව කියන්නට පුළුවන්.

ගීතය පිළිබඳ ඔබගේ කියවීම කෙසේද?

මා දන්නා තරමට ගීතය කියන්නේ සිංහලයින්ගේ පැරණිතම භාවමය ප්‍රකාශයක්. ඒ වගේම අපගේ සම්භාව්‍ය සාහිත්‍ය තුළ නිසි ලෙස නොවැඩුණු සාහිත්‍යය වන්නේත් ගීතයයි. අපගේ ඉපැරණි විරත්නන කවියන්ගේ කාව්‍යමය පරිකල්පනයන්, බසෙහි ශබ්ද මාධුර්යක් පිළිබඳ රසඥතාවත් පරිපුර්ණ ගීතයකට ළංවන තරමට සැදී වැඩුණේ පරිපාකයට පත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර - කෝට්ටේ සාහිත්‍ය යුගවලදී. සැළලිහිනිය, හංසය වගේ සන්දේශ කාව්‍ය සරණියන්ගේ ගුත්තිලය වැනි පද්‍ය කෘතින්වලත් දක්නට ලැබෙන්නේ ගීතයත් බවට පත් වන්නට අපගේ සම්භාව්‍ය කාව්‍ය දරන ලද වැයමක් හැටියටයි මං විශ්වාස කරන්නේ.

ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්ද්‍ර රත්න මානවසිංහ, මර්සලින් ජයකොඩි පියතුමා, මහගමසේකර, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රී විජේසිංහ ආදී පෙර පරපුරේ ජ්‍යෙෂ්ඨයන් ඇසුරේ අපගේ ගේය පද සාහිත්‍ය නිර්මාණයන් ප්‍රකාශකයක් ලෙසින් හැදී වැඩුණා. ඔවුන් ගිය මඟ සොයයන, ඒ මඟ යන අංකුර ගේය පද රචකයකු හැටියටයි මං මාව දකින්නනේ.

 

හිමිවීම අහිමිවීම අතර දරාගත් ජීවිතය ඔබගේ ගීත නිර්මාණයක අලංකාරවත් කර තිබෙනවා.

නිර්මාණකරුන් ලෙසින් ජිවිතය තුළ රැඳෙන, රැඳුණු උණුසුම් කඳුළක උණුහුමේ තරම වගේම ජීවිතයේ නිරානන්දයන් පිළිබඳව අපිට අකුරු කරන්නට පුළුවන්. ආත්මීය පදමාලා හැඟීම් ගායනා පිරිමදිමින් සුමට කර ගනමින් ගීතය හරිහැටි හඳුනාගන්නට මම යන මේ ගමනේදී ගේය පද නම් වූ මගේ නිර්මාණ දරුවන් බිහිවෙනවා. ඕලාරික පෙම් වදන්වලට කොටු නොවී ගීතයක් ලියන්නට නම් තව කොපමණ විෂයන් තිබේදැයි අපේ රසික ප්‍රජාවට සංජානනය කරන්නට නිරන්තරයෙන් මං ඇප කැප වෙනවා. අමරසිරි පීරිස් නම් වූ අපේ පිනෙන් පහළ වූ අසිරිමත් හඬ පෞරුෂයක් ඇත්තා වූ සොඳුරු ගායන ශිල්පියා ගායනා කරන කපිල අපරුක්ක නිර්මාණත්මක සංගීතය යෙදූ ගී ගීතයක් ඔබ සඳහන් කළ ආකාරයටම අයත් වුවක.

‘පේ‍්‍රමයම මට රිදුම වී

ජීවිතය මඟ නතර වී

නුඹ වර්ණ කළ හීනයම

බොඳ වෙවී වැටුණා

තාම නුපුරුදු තනි කමක් හැඟෙනා

නුඹම මන්ද්‍රකිනියේ තරු නිව්වා

නුඹේ පේ‍්‍රමෙන් දුක්විඳි

මගේ දිවිය පරාදිදී

අරුණ නැගෙනා හෙවණ දෙස මා

මඟ බලා සිටියා

නුඹ ආයේ ආවත් පෙම්බරී

පෙති පොඩි වුණුත් කුසුම් පෙති

ආදරේක සිත පිරි මදින්න්ට

සිහින මා මැව්වා...

මිනිසෙකුට පේ‍්‍රමයේ වෙන්ව යාම පේ‍්‍රමයේ වියෝව කියන්නේ මුළු ආත්මයම කම්පනය කරවන සංසිද්ධයක්. මෙන්න මේ වේදනාව, සංවේගය ජීවිතය තුළ දරා ගනිමින් සුවපත් වන්නේ කෙලෙසදැයි යන්න මත මගෙන්ම ඇසුවා. එක්තරා මොහොතක ආවේගයයකින් වාගේ මෙන්න මේ ගීතය ලියැවුණා. තුරුණු පරපුරේ දක්ෂ සංගීතවේදී දර්ශන වික්‍රමතුංගගේ සංගීත නිර්මාණය ප්‍රවීණ ගායනවේදී කැමරාවෙන් චිත්‍ර අඳින සොඳුරුතමයා - දයාන් විතාරණ මහතා (ආදරණීය දයාන් අයියා) මේ ගීතය හැඟුම් ගායනාවක් කළා.

දරාගත් ජීවිතය අරගෙන

යා යුතුය ඇත කෙසේ හෝ

ගිලුණු හිරුතැන් යළිත් නොනැගෙන

පේ‍්‍රමයයි මේ

නොකළ වරදක අතීත නොගියෙමි

රිදුණු හැඟුමක සුවය විඳගනී

යා යුතුව ඇති මඟ ද නොදනිමි

මහා නපුරකට වෙලා...

 

සීගිරි ගීතයේ සුසිනිඳු සුමට බවක් සීගිිරි අප්සරාවන්ගේ රූප සෞන්දර්යයක් ඔබේ නිර්මාණ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ බැව් සැලසී?

ඔව්. ඔබ නිවැරදියි. මං සීගිරියට කාශ්‍යප රජුන් තරමටම කැමති අයෙක්. සීගිරි චිත්‍රවල අන්තර්ගත රූප සෞන්දර්ය වගේම කුරුටු ගී වල ඇති ඉස්තරම් කාව්‍ය සංකල්පනා සර්වකාලීනයි කියා මං විශ්වාස කරනවා. මට මතක හැටියට එක සීගිරි කවියක දැක්වෙනවා මෙන්න මෙහෙම.

‘කොප නුයන මහනෙල

ගිර්ඝසනින්ද් බැල්මේ පුදුන් ද

මෙනයේ කෙබන්ද හෙජිකෙලෙ

වරනනු ආ නු බැල්මට

ඔබේ නෙත් නැවතී මහනෙල් මල්වලට ගිජුමුද, ඔබේ නෙතින් හෙළු ප්‍රේමාන්විත බැල්මට වසඟවුද මගේ සිත කොතරම් පෙලඹී ඇද්ද? සොඳුරු මුහුණක් ඇත්තිය, සැබැවින්ම මා පැමිණියේ ඔබ දැකීමටය.

ඔන්න ඔය කුරුටු ගීයේ අරුත සහ රන්වන් පැහැති අප්සරාව මගේ හිතේ ජීවත් වෙන්න පටන් ගත්තා.

‘එබී බලන්නට තහනම් මැදුරේ

හැඟුණේ කලඹා නර්තනයේ

කුසුමන් අතැතිව සිතුවම් අතරේ

අඩවන් නිරුවත් මගේ ළඳුනේ

කන්‍යාවිය වී ගම්මානේ

මා හැරදා පාළු පැලේ

අප්සරාව වී සීගිරියේ

පේ‍්‍රමාලිංගත ආලකමන්දාවේ නම් වූ ගීතය නිර්මාණය වීමට වගේම ‘දිගැසි්’ නම් වූ මගේ ආලේඛ්‍ය සිතුවම් නිර්මාණ වීමට බලපෑවේ සීගිිරිය හා බැඳුණු අපුර්ව පරිකල්පනය තමයි. මගේ මෙම ‘දිගැසි‘ නම් වූ සිතුවම රසවිඳි ඊශ්‍රායල මහාචාර්යවරිය - මිකායල් ෆෙඩ්මාන් Haifa මගේ සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවස්ථාව සලසා දුන්නා. මේ දිනවල එම ප්‍රදර්ශනය සඳහා සිතුවම් නිර්මාණය කරමින් සිටිනවා. ඒ වගේම එරට සෞන්දර්ය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපන ආයතන(Collage House) සඳහා බාහිර කථිකාචාර්යවරයෙක්) සම්පත් දායකයෙක් ලෙස කටයුතු කිරීමටත් මට අවස්ථාව ලැබී තිබෙනවා. මම හිතනවා එය ශ්‍රී ලාංකීකයෙකු හැටියට අපේ රටටත් ගෞරවයක් කියා.

 

සිතුවම් ලෝකයේ ඉහළ ගැලරි අවකාශයක් තුළ ඔබේ සිතුවම් ප්‍රදර්ශනය වෙනවා.අපි ඒ පිළිබඳවත් කතා කරමු.

ඔව්. ඇමරිකා තානාපතිවරුන්, ජපන් තානාපතිවරුන් විවිධ ජන නායකයන් ඇතුළු ප්‍රභූන් මගේ සිතුවම් විශාල වශයෙන් මිලදී ගන්නවා. මේ වනවිට අමෙරිකාවේ ලාස් වේගායේ හී ප්‍රධාන කළමනාකරුවෙකු ඔහුගේ කලාගාරයේ මගේ සිතුවම් සඳහා වෙනම පරිශ්‍රයක් වෙන්කර තිබෙනවා. එය මට බොහෝම සතුටක් වගේම ගෞරවයක්. ඒ වගේම ජර්මනියේ GIZ ඉංජිනේරු සමාගමක් විශාල ලෙසින් මගේ සිතුවම් නිර්මාණ මිලදී ගත්තා. ඒ වගේම ඇමස්ටඩැම්, නගරයේ, කැනඩාව, ඉතාලිය, තුර්කිය, සිරියාව, නෝර්වේ රාජ්‍ය ආදී රටවල කලාගාරයන්හි මගේ සිතුවම් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ වගේම ඊශ්‍රායලයේ ජනපි‍්‍රය චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍රාගාර තුළ ඊශ්‍රායල් ශිෂ්‍යයන්හට ගුරුවරයකු ලෙස කටයුතු කිරීමටත් මට අවස්ථාව සැලසී තිබෙනවා.

 

ලෝක ප්‍රකට මැන්චෙස්ටර් කලා උළෙලේදී ලෝකයේ අති විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා සමඟ කටයුතු කිරීමේ දුර්ලභ අවස්ථාවක් ඔබට හිමි වී තිබෙනවා?

ඔව් ඇත්තටතම එය මගේ ජීවිතයේ මා ලැබු අති විශිෂ්ට ජයක්. ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කයේ නාගහදුව කියන පුංචි ගම්මානයේ ඉපදීලා අද දවසේ මේ මොහොතේ වනතුරු ම ලැබු සියලු ජයග්‍රහණ මගේ පුංචි රට ශ්‍රී ලංකා මාතාවට හිමිවන්නම ඕනැ.

මෙම මැන්චෙස්ටර් කලා උළෙලේ දී ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පීන් වන Micheal herdling,Socttish Ariry Peren Howson, Leonid Afremov ආදී දැවැන්තයින් සමඟ එකට නිර්මාණත්මක කටයුතු වල යෙදෙන්නට මට අවකාශය ලැබෙනවා. එය මා වගේ ‘ලිලිපුට්ටෙකුට ගලිවරයන් සමඟ වැඩ කරන්න ලැබෙන අවස්ථාවක්’ කියා මං විශ්වාස කරනවා.

 

රූප රචනා සඳහා ඔබ ලියු තිර රචනාවන් හී සාර්ථකත්වය මත ඔබ වෘත්තාන්ත චිත්‍රපට පමණක් රචනයට යොමු වී ඇති බව ආරංචියි.

ඔව්. මා ලියු ‘සංවේගය සඟවා තබා යන්නම්.. දියණියේ මා ලයේ වැහෙන ආදරේ නම් වු දුමාල් මල්ලි ගායන (ගායනවේදී දුමාල් වර්ණකුලසුරිය) ගීතය සඳහා වු රූප රචනාවට තිර පිටපත ලිව්වේ මමයි. එය ඉතාමත් සාර්ථක වූ බැව් පේ‍්‍රක්ෂකයන් පමණක් නොවෙයි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවා පවසා මට පැසසුම් කළා. මෙන්න මේ සතුටත් එක්ක හිතට දැනුණු උත්තේජනයෙන් තමයි මම චිත්‍රපට පිටපත් රචනයට යොමුවුණේ. ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකීක ගායිකාවන් වටා දිවෙන ප්‍රාසංගික වටපිටාවක් සහිත කතාන්දරයක්. මේ තුළින් මට මං ළඟ වුන් කතාකාරයා හඳුනාගන්නට පුළුවන් වුණා. මගේම යහළුවෙක් නිෂ්පාදනයට දායක වෙනවා. ඉතාලිය, නවසීලන්තය, රෝමය රූගත කිරීම් සඳහා යොදාගෙන තිබෙනවා. දක්ෂතා සපිරි නව පරපුරක් රංගනය සඳහා දායක කරගෙන අපේ සිනමාවේ හෙට දවස ශක්තිමත් කරන්නටත් බලාපොරෝත්තු වෙනවා. එළැඹෙන ජනවාරි මාසයේදී නිසි දක්ෂතාවය මත පමණක්ම පදනම් ව නළුවරණය (Casting) පැවැත්වීමට මම ලංකාවට එන්නට බලාපොරෝත්තු වෙනවා.

 

 

[email protected]

 

සේයාරූ - දයාන් විතාරණ