චිත්‍රපට රැසකට දර්ශන තලයක් වූ පේරාදෙණිය උද්භිද උද්‍යානයට වසර දෙසීයයි

නොවැම්බර් 17, 2022

 

පේරාදෙණිය උද්භිද උද්‍යානයට පසුගිය දා වසර 200 ක් සපිරිණි. එදා මෙදා තුර මෙරට ඉතිහාසය තුළ මෙම උද්‍යාන පරිශ්‍රයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. ගතවුණු වසර දෙසීය පුරා මෙරට මෙන්ම විදේශීයවද බිහිවූ බොහෝ සිනමා නිර්මාණ සඳහා පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පසුබිම් කර ගත් අවස්ථා කොතෙකුත් තිබේ.

වසර දෙසීයක් සපුරන මේ මොහොතේ අපේ අවධානය යොමු වූයේ එම සිනමා නිර්මාණ පිළිබඳ මතකය යළි අවදි කරලීම පිණිසය.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට ඇත්තේ වසර ගණනාවක ඈතට දිවයන ඓතිහාසික කතාවකි. එහි ඈතම ඉතිහාසය ක්‍රි. ව. 1371 පමණ දක්වා දිවේ. එම කාල වකවානුවේ රජකළ 3 වැනි වික්‍රමබාහු රාජ්‍ය සමය දක්වා දිව යන මෙම ඉතිහාස කතාවට අනුව මෙම උද්‍යානය රාජකීය උද්‍යානයක් බවට පත්වනුයේ වර්ෂ 1747 සිට 1780 දක්වා කාලය තුළ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය තුළය. 1780 සිට 1798 දක්වා කාලය තුළ රජ කළ රාජාධිරාජසිංහ රජු විසින් මෙම උද්‍යානය තුළ මාලිගාවක් ඉදිකර තාවකාලිකව එහි ලැඟුම් ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

රාජකියයන්ගෙන් පසු මෙරට උද්‍යාන කලාව ස්ථාපිත කරන ලද්දේ විදේශිකයන් විසිනි. ඒ අනුව මෙරට පළමු උද්‍යානය ඉදිවී ඇත්තේ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේය. කිව් නමින් යුත් එම උද්‍යානය ආර්ථික භෝග වගා කිරීම සඳහා ප්‍රමාණවත් නොවූයෙන් 1814 පේරාදෙණියේ උද්‍යානයක් ආරම්භ කිරීමට ඔවුහු සැලසුම් කළහ. එවකට කිවි උද්‍යානයේ උද්‍යාන පාලකයා වූ ඇලෙක්සැන්ඩර් මූන් විසින් පේරාදෙණියේ උද්භිද උද්‍යානය ස්ථාපිත කිරීම පුරෝගාමීයා විය. ඉංග්‍රීසි ජාතිකයන් කන්ද උඩරට රාජධානිය යටත් කරගෙන වසර 6ක් ගතවූ තැන මෙම උද්භිද උද්‍යානය 1821 වසරේදී ආරම්භ වි ඇත. ඇලෙක්සැන්ඩර් මූන් මහතා මෙම උද්‍යානය සකසන්නට ඉඩම පවරා ගන්නා විට මෙම ස්ථානයේ භික්ෂුන් වහන්සේ නමක් වැඩ සිටි බවටද සඳහනක් වේ.

කෙසේ වෙතත් ඔහු මෙම උද්‍යානය පිහිටුවා නිරිත දිග කොටස පමණක් එළි පෙහෙලි කොට ජනතාව සඳහා විවෘත කළ බවට සඳහන් වේ. මේ කාලය තුළ මෙය ප්‍රධාන වශයෙන් භාවිත කොට ඇත්තේ කුරුඳු හා කෝපි වගාකිරීමටය.

ඇලෙක්සැන්ඩර් ගෙන් පසුව 1844 දී ජෝර්ජ් ගාඩිනර් මෙහි පාලකයා වශයෙන් පත්ව ආ අතර ඔහු 1849 දී නුවරඑළියේදී මිය ගිය බැවින්, ආචාර්ය පී. එචි. කේ. ත්වේට්ස් උද්‍යාන පාලක ලෙස පත්ව ආයේය. පුරා වසර 30ක් මෙම උද්‍යානය පාලනය වූයේ ඔහු අතිනි. මෙම උද්‍යානයට දේශීය ශාක විශාල වශයෙන් සහ සපුෂ්ප ශාක විශාල වශයෙන් එකතු කරන ලද්දේ ඔහු විසිනි.

පසු කාලයක මේ උද්‍යානය මූලික කරගෙන සින්කෝනා වගාව ආරම්භ කිරීම සඳහා හග්ගල උද්භිද උද්‍යානයත්, රබර් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයත් ආරම්භ කරන ලදී. මෙම සියලුම උද්‍යානයන් පසු කළෙක මෙරට සිනමා නිර්මාණ සඳහා පසුතල වශයෙන් නොයෙක් වර භාවිත කර ඇති අයුරු අදටත් පෙර දින සිනමා නරඹන ඔබට දැකගත හැකිය.

කෙතරම් චිත්‍රපට ප්‍රමාණයකට පේරාදෙණිය උද්භිද උද්‍යානය පසුතල සපයා ඇත්දැයි ලේඛන ගත කොට නොමැති වුවත්, විදේශ චිත්‍රපට කිහිපයක් පිළිබඳ තොරතුරු ලබා දීමට පුරා වසර ගණනාවක් උද්භිද උද්‍යානයේ සේවය කරන සංචාරක මාර්ගෝපදේශකයකු ද වන එන්.බී.පලිපාන මහතා අපට එකතු විය. ඔහු ගේ දත්තයන්ට අනුව ‘ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ (ඊඩඥ ඕපඪඤඨඥ ධද බඩඥ අඪමඥප ම්ඹචඪ) චිත්‍රපටයේ දර්ශනයක්ද මෙහි රූ ගත කර ඇත. චිත්‍රපටයේ එන දෙබස් අතර පේරාදෙණිය බොටනිකල් ගාර්ඩ්න් යන වචනයද ඇතුළත් බව ද පැවසීය. ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ කාර්මික අංශය සඳහා සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාද දායක වි ඇති අතර ක්වායි ගඟේ පාලම රූ ගත කර ඇත්තේ කිතුල්ගල ප්‍රදේශයේ දි කැලණි ගඟ හරහා ඉදිකරන ලද පාලමකි. ඉන්පසු ‘සෙකන්ඩ් ජන්ගල් බුක් (ඉඥජධදඤ ණභදඨතඥ ඡධධඬ) සිනමා නිර්මාණය සඳහාද පේරාදෙණිය රාජකීය උද්‍යානය දර්ශන තල සඳහා යොදා ගෙන ඇත. 1981 දී ‘ටාර්සන් ද ඒප් මෑන්’ (ඊචපලචද බඩඥ චනඥ ථචද) චිත්‍රපටයේ දර්ශන සඳහාද මෙය පසුබිම් කොට ගෙන ඇත.

මේ අතර දේශිය සිනමා නිර්මාණ අතර අපට නිතර දැකිය හැකි, මෙන්ම ජනප්‍රිය චිත්‍රපට ගීතයන්හි දර්ශන තල සඳහා නොයෙක්වර මෙම උද්‍යානය භාවිත කොට ඇත.

මේ අතර හේමසිරි සෙල්ලප්පෙරුමගේ ‘සත්වෙනි දවස’ චිත්‍රපටයේ එන ‘කුªමාරයෙක් ආවා’ ගීතයේ බොහෝ දර්ශන රූ ගත කර ඇත්තේ පේරාදෙණිය උද්භිද උද්‍යානයේය. සනත් ගුණතිලක සමඟ මාලිනී ෆොන්සේකා පෙනිසිටින මේ සඳහා ගායනයෙන් එක්වනුයේ ටී.එම් ජයරත්න හා දමයන්ති ජයසූරියයි.

කුමාරයෙක් ආවා- කුමාරයෙක් ආවා

හීන කුලේ දුක් අඳුරු ඉසව්වට

කුමාරයෙක් ආවා.

එසේම මූ. අරුක්ගොඩ අධ්‍යක්ෂණය කළ ‘රූමතියයි නීතියයි’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්ද මෙහි රූ ගත කොට ඇත.

පායනා තුරා -හිරු සඳු දිලී

මතු මතු පවා - මට වාසනාවන්

චංචල ලොවේ -නොසැලෙන සෙනේ‘‘

එච්. ආර් ජෝතිපාල සමඟ ලතා වල්පොල ගයන මේ ගීතය සඳහා ද සනත් - මාලිනි රංගනයෙන් දායක වෙති. එසේම යසපාලිත නානායක්කාරගේ ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයේ එන මිතුරන්ගේ ගීතය රූ ගත කර ඇත්තේද පේරාදෙණිය මල්වත්තේය .

මිතුරන් පිරිසක් බයිසිකල් මතින් එන දර්ශන සහිත එම ගීතය වන්නේ,

‘මහමඟ හමුවන්නේ- මහ මඟ වෙන්වන්නේ

මගේ යාළුවේ - මගේ යාළුවේ

අපි එනවෝ...’

මේ ගීතය ගායනා කරනුයේ එච්. ආර් ජෝතිපාල, ග්‍රේෂන් ආනන්ද ඇතුළු පිරිසය. මෙයට අමතරව සනත් - සබීතා රඟන චෙයරියේ ඩොක්ටර් චිත්‍රපටයේ සනත් - මාලිනි රඟන ‘ මල් වරුසා චිත්‍රපටයේ මෙන්ම -සනත් - දිල්හානි රඟන බෙනට් රත්නායකගේ‘ සුළඟ‘ චිත්‍රපටයේ දර්ශන සඳහාද පේරාදෙණිය රාජකීය උද්‍යානය පසුතල සඳහා යොදා ගෙන ඇත.

සීත අරණේ සුපුල් නාමල

සුවඳ ගැල්වූ ජීවිතේ

සීත හිමගිර සීත නොදැනේ

දැනේ උණුසුම ආදරේ....

මිල්ටන් මල්ලවාරච්චි සමඟ මාලිනි බුලත්සිංහල ගයන මේ ජනප්‍රිය ගීතය අඩංගු චිත්‍රපටය ඔබට අමතකව නැතුව ඇති. එකල අතිශයින්ම ජනප්‍රිය වූ විජය ධර්මශ්‍රී ගේ ‘ ආරාධනා‘ චිත්‍රපටයේ එන මේ ගීතය සඳහා රංගනයෙන් දායක වන්නේ රවීන්ද්‍ර රන්දෙණිය සමඟ මාලිනී ෆොන්සේකාය. මෙම ගීතයේ දර්ශන සඳහාද පේරාදෙණිය රාජකීය උද්‍යානයේ දර්ශන ලබාගෙන ඇත. එසේම චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කළ ‘පොරොන්දුව’ චිත්‍රපටයේ එන ‘අනන්තයක් සේ ඔබේ ආදරේ ’ ගීතය සඳහාද පසුබිම් කොට ගෙන ඇත්තේ පේරාදෙණිය උද්‍යානයය. එම ගීතය සඳහා රංගනයෙන් ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය සමඟ වසන්ති චතුරානි එක් වේ. ගීතය ගායනා කරනුයේ රූකාන්ත ගුණතිලක සමඟ චන්ද්‍රලේඛා පෙරේරාය.

අප සැවොම අතරේ ඉතාම ජනප්‍රිය ගීතයක් වන ෆ්‍රෙඩි සිල්වා ගායනා කරන ‘කෝන් ගහේ’ සින්දුව ඔබට මතක ඇතැයි සිතමි. ඒ ගීතය රූ ගත කොට ඇත්තේද පේරාදෙණිය උද්‍යානයේය. ෆ්‍රෙඩි සිල්වා, විජය කුමාරතුංග සමඟ මාලිනී ෆොන්සේකා රඟපාන එය ‘ වාසනා’ චිත්‍රපටයේ එන ගීතයකි. එසේම විජය - මාලිනී රඟන දයා විමලවීර ගේ ‘දෙවිදුව’ චිත්‍රපටයේ එන ‘ මල් වරුසාවක් වැටිලා’ ගීතය ද මෙහි රූ ගත කරන ලද්දකි. එම ගීතය ගායනා කරනුයේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමඟ වික්ටර් රත්නායකය

ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ

ලෝකේ ලස්සන වන්නට දෙදෙනකු ඕනෑ වේ.

කේ. ඒ. ඩබ්ලිව් පෙරේරාගේ ‘ජනක සහ මංජු’ චිත්‍රපටයේ එන මේ ගීතය සඳහාද පේරාදෙණිය පසුබිම් වි ඇත. චිත්‍රපටයේ රංගනයට එක් වනුයේ ජයන්තදාස් පෙරේරා සමඟ ගෝතමි පතිරාජය. ක්ලැරන්ස් විජේවර්ධන සමඟ ලතා වල්පොල ගායනයෙන් එක්වෙති.

විජය කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන රඟන ‘කුමර කුමරියෝ ’ , ඔස්වල්ඩ් ජයසිංහ, ශ්‍රියාණි අමරසේන රඟන ‘ කල්‍යාණි ගංගා, තිස්ස විජේසුරේන්ද්‍ර , ශ්‍රියාණි අමරසේන රඟන ‘රෝස මල් තුනක්’ වැනි චිත්‍රපටයන්හි දර්ශන ද මේ ආශ්‍රිතව ගොඩ නඟා ඇත.

මෙසේ සඳහන් කළේ පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය ආශ්‍රිතව එය පසුබිම් කර ගනිමින් රූ ගත කරන ලද ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් පමණි. තවත් බොහෝ සිනමා නිර්මාණ මේ ආශ්‍රිතව රු ගන්වා තිබෙන්නට පුළුවන. පුරා වසර දෙසීයක් මෙරට මෙන්ම විදේශීයවද කලා නිර්මාණ සඳහා සිය දායකත්වය දැක්වූවා සේම ඉදිරියටත් තව බොහෝ කාලයක් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යාන පරිශ්‍රයේ පහස අපේ නිර්මාණ කරා එක්වෙනු ඇත.

කොළඹ නුවර ප්‍රධාන මහා මාර්ගයට මුහුණලා ඇති මෙම අලංකාර භූමි පරිශ්‍රය අක්කර 147 න් සමන්විතය. හෙක්ටයාර වලින් කිවහොත් 60 කි. විශේෂ ශාක 4000ට වැඩි ප්‍රමාණයක් මෙහි වගා කර ඇති අතර අශ්ව ලාඩමක හැඩය ගත් මෙම භූමි භාගය මුහුදු මට්ටමේ සිට අඩි 1600ක උසින් පිහිටා ඇත.

 

[email protected]

 

 

විශේෂ ස්තූතිය

සංචාරක මාර්ගෝපදේශක

එන්. බී. පලිපාන මයා

 

රාජකීය උද්භිද උද්‍යානයේ 200 වැනි සංවත්සරයේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරී

සුගත් චන්දන