හෙළ ගී ලතාවට හෙට 88 යි

නොවැම්බර් 10, 2022

ඉන්දියාවේ ලතාට හරියන්න ලංකාවේ බිහිවූ ලතා

අද තරුණ පරපුරට ඇගේ ගී නැතිවම බැහැ

ඈ ගැන කියන්නට වෙනත් අටුවා ටීකා, ටිප්පණි අවශ්‍ය නොවේ. ඈ ලතා ය.

ඇගේ ගායන ලතාව සම කරන්නට තවත් කිසිවෙකුත් මෙරට නැති බව විශ්වාසය.

ඈ හෙළ ගී රැජින වන්නේ ඒ නිසාය. ඇගේ රාජ්‍යය පුරා අපට ඇසෙනුයේ මියුරු ගී වැල්මය. ඈ මෙලොවට ජනිත වන්නේම ගායනය වෙනුවෙන්ම යැයි දැන් සිතෙන්නේ එයින් තොර ලෝකයක් ඇයට නොතිබුණ නිසාමය. ඇය සිය ජීවන ගමන් මඟේ 88 වැනි වියට හෙට දින පා තබන්නීය. මේ සුබ උපන් දිනේ දිර්ඝායුෂ ලබමින් යෙහෙන් වැජඹෙන්නට අපි සියලු දෙනාම ඇයට සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

වයස 88 දිත් ඇය සිය ගායන ලතාව බිඳුවකුදු අඩු නොකොට ඉදිරිපත් කරනු පෙර දිනයක පැවති ‘සජ්ඣායනා වැඩසටහනින් සහ ‘දොරමඬලාව‘ වැඩසටහනින් මේ රටේ සියලු දෙනාම දැන ගත්හ. දැක ගත්හ. ඇස් වහක් කටවහක් නැත ඈ අපේ ජාතියේ පිනට පහළ වූ ගායිකාවකි. ඇගේ ගායන ලතාවට ජාතියම ගෞරව කළද ජාතික වශයෙන් ඇය රැක ගැනීමේ හෝ බලා ගැනීමේ වැඩ පිළිවෙළක් අපට තිබේ දැයි මා දන්නේ නැත. ස්වභාව ධර්මය අනුව ගත සිත දුබල වුවද , ඇගේ හඬ පෞරුෂය තවමත් රිදි සීනු පරාදය.

ලතා තරම් ගී ගැයූ ගායිකාවක් මෙරට නැත. ක්ෂේත්‍රයට පැමිණි දා සිට ඇය අද වනතුරුම සිය ගීතවත් කටහඬ මෙරට ශ්‍රාවක ජනතාව වෙනුවෙන් අවදි කරන්නීය. ඈ වැනි ගායිකාවක් මතු මෙරට පහළ වේදැයි අපට අනුමානද කළ නොහැකිය.

වෘත්තීය මට්ටමේ ගායිකාවන් මෙරට බිහිවූ අතීතය පිරික්සීමේදී එය බොහෝ ඈතට ඇදී යන ඉතිහාසයක් වන්නේය. ඔවුහු මෙරට මුලින්ම පහළ වනුයේ ග්‍රැමෆෝන් ගී යුගයේදීය. ඉන්පෙර ගැයුවෝ සිටිත් නම් ඒ ගොවි ගෙවිලියෝය. එසේ නොමැති නම් ශාන්තිකර්ම ඇදුරන්ය. නොඑසේනම් නාඩගම් නුර්ති නාට්‍යවල රඟපෑ නව නිළියෝ ය.

ලංකාවේ සිංහල ග්‍රැමෆෝන් තැටි නිෂ්පාදනය වීම ආරම්භ වී ඇත්තේ 1906 දීය. ලතා ගේ වත සොයා යන්නට පෙර ඇගේ වෘත්තීයේ ආරම්භකයින් සොයා යන්නේ , අතීතය කෙතරම් වර්තමානයට වැදගත් දැයි දන්නා බැවිනි. ග්‍රැමෆෝන් තැටියකට ගී ගැයූ ප්‍රථම ගායිකාව ලෙස වාර්තා වනුයේ සංගීතඥ බී. ඇස්. පෙරේරාගේ මව වූ ග්‍රේස් මාග්‍රට් ද සිල්වා වර්ණකුලසූරියයි. රද්දොළුවේ ජේන් පෙරේරා, ඇනී බොතේජු, ලක්ෂ්මී බායි ආදීන් ඇගේ සමකාලීනයෝ වූහ. ඉන් අනතුරුව ගායිකාවක් වශයෙන් සංගීත ක්ෂේත්‍රයට පැමිණ ඇත්තේ රුක්මණී දේවී, කෝකිලදේවී වීරතුංග, කේ.කේ. රාජ ලක්ෂ්මී ආදීන් ය. පසුව කරුණාදේවී, වසන්තා සන්දනායක, චිත්‍රලේඛා, මධුරාවතී, ජී. ඇස්. බී .රාණි, චිත්‍රා සෝමපාල ආදීන් ගායන ක්ෂේත්‍රයට පැමිණ ඇත. ලතා ගායන ක්ෂේත්‍රයට පැමිණෙන්නේ ඉන් අනතුරුවය.

ඇය ගායන ලෝකයට ප්‍රවිෂ්ට වන්නේ ලතා නමින් නොවේ. ඇගේ උප්පැන්නයේ සඳහන් නම වන්නේ රීටා ජෙනව් ප්‍රනාන්දු ය. ලතාගේ පළමු ගී හඬ ගුවන් තලයට එක් වනුයේ රීටා ජෙනව් ප්‍රනාන්දු යන නමිනි. එකල ප්‍රකට ගීත රචකයකු වූ සරත් විමලවීර රචනා කළ ‘ කඳුළු දෙනෙතේ වෑහෙනා ‘ඒ ගීතය විය. එයට සංගීතය සපයා ඇත්තේ සංගීතඥ එඩ්වඩ් පෙරේරා විසිනි.

එවකට ඇය 13 න් හැවිරිදි දැරියක වූවාය.

ලතා මෙලොව එළිය දුටුවේ 1934 නොවැම්බර් මස 11 වැනිදාවකය. එවකට කොළඹ බම්බලපිටියේ ධවලගිරි නිවෙසේ පදිංචිව සිටි ජෝශප් ලීනස්ට සහ එළිසෙබෙත් මියුරියෙල්ට දාව ඇය මෙළොව එළිය දුටුවාය. ඒ පවුලේ තුන්වැනි දරුවා ලෙසින්ය. සිංහල කතෝලික පවුලකින් පැවත ආ ඇගේ පියා සංගීත භාණ්ඩ වාදනයේද දක්ෂ කලාකාමී පුද්ගලයකු වූවේය. මව එකල ගුරුවරියක ලෙස මාතර කන්‍යාරාමයේ සේවය කළාය. භක්තිමත් කතෝලික පවුලක් වූ ඔවුන් ගල්කිස්ස ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සමිපතමයන් විය. දිනපතා දිව්‍ය පූජාවට දරුවන්ද සමඟින් සහභාගී වන මේ පවුලේ සියලු දෙනා අතර රීටා ජෙනව් ද විය.

වර්තමානයේ පවා ආදර ගෞරවයට පාත්‍ර වන ලතා ගේ දිව්‍යමය හඬ මුලින්ම අවදි වූයේ මේ පල්ලියේ දිව්‍ය පූජාවෙනි. වයස අවුරුදු 4-5 ක් වැනි වූ ඉතා ළදරු වියකදීම පල්ලියේ ලතින් භාෂාවෙන් ගැයෙන උච්ච ස්වරයේ ගීතිකා ඈ සිය ළදරු හඬින් මුමුණන්නට වූවාය. එතැන් සිට වර්ධනය වූ ඇගේ ගීතිකා ගායනය, ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතු කර ගන්නට තරම් ප්‍රබල වූයේය.

දෙවියන් වහන්සේ වෙනුවෙන් අවදි වූ හඬක් නිසාම ජීවන ගමනේ දිර්ඝ කාලීන සැතපුම් කණු පසු කරත්දීත් ඒ හඬ දෙවියන් විසින්ම සුරකිනවාදැයි ඇගේ ගී හඬ අපට ඇසෙත්දී සිතෙන්නේ එහෙයිනි. ඇය ගුවන් විදුලියෙන් ගි ගයන්නේද සංගීතය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් ඇතුව නොවේ. ඇයට තිබුණේ පල්ලියේ ගීතිකා ගායනයෙන් ලද ස්වර අභ්‍යාසයන්ගේ පුහුණුව පමණි. එදා මෙදා තුර ඇයට කිසිදු සංගීත අධ්‍යාපන ආයතනයකින් හෝ විශ්ව විද්‍යාලයකින් හෝ උපාධියක් හෝ සහතික පත්‍රයක් ලබා නොමැත. එහෙත් ඇගේ ගායන ලතාව ඇසෙත්දී ඒ බව කිසිවෙකුටවත් විශ්වාස කළ හැකිද? ඈ ඉන්දියානු රාගධාරී සංගීතය ඇසුරින් ගීතයක් ගැයුවද, බටහිර ශෛලියේ ගීතයක් ගැයුවද, දේශීය අනන්‍යතාවයෙන් යුතු අපේ ජන සංගීතයේ නාද මාලාව ඇසුරින් ගීතයක් ගැයුවද, එම ශෛලීන් දශමයකුදු වෙනස් කමකින් තොරව ගයන්නීය. ලතා ගේ මේ ගැයීම විස්මිත වන්නේ ඒ නිසාය. ලතා ගේ සංගීත ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ ‘නමෝ මරියනී ගීතයයි.

‘නමෝ මරියනී- නමෝ මරියනී

නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී‘‘

මරිය මව් බැති ගීයක් වන එය රචනා කරන ලද්දේ කොළඹ ආනන්ද විදුහලේ බෞද්ධ ගුරුවරයෙකු වූ කාලිදාස කුරුකුලසුරිය විසිනි. 1947 දී ගුවන් විදුලියට ගැයූ මේ ගීතය අදටත් ඇගේ සංගිත දිවි ගමනේ සුවිශේෂී මතක සටහන් අතර වේ.

රීටා ජෙනව් ප්‍රනාන්දු ‘ලතා‘ වූ හැටිද අමුතුම කතාවකි. එකල ජනප්‍රිය ගායකයකු වූ සුසිල් ප්‍රේමරත්න සමඟ රීටා ට ගී ගැයිමට අවස්ථාවක් උදා වූවාය. ඇගේ කටහඬ පරීක්ෂා කළ සුසිල්ට කටහඬ පරීක්ෂණය සඳහා ඇය ගැයුවේ ලතා මංගේෂ්කාර් විසින් ගයන ලද හින්දි ගීතයකි. උච්ච ස්වරයෙන් මියුරු ලෙස ගීතය ගයන රීටාට සුසිල් ප්‍රේමරත්නයන් ගෙන් අපූරු ඇගයුමක් ලැබුණේය. ‘‘ හරියට ලතා මංගේෂ්කාර් වගේමයි‘‘ යනුවෙන් පැවසූ ඔහු ඇගේ නම විමසීය. රීටා ජෙනවි යන කලාවට නොගැළපෙන බව පවසමින් ‘‘අද සිට ඔයා තමයි ලංකාවේ ලතා මංගේෂ්කාර් කියමින් රීටා ගේ නම ‘‘ ලතා‘‘ ලෙස වෙනස් කළේය. එතැන් සිට ගුවන් විදුලියේ ඇගේ ගීත ප්‍රචාරය වූයේ ‘ ලතා ප්‍රනාන්දු ‘ යන නමිනි.

සුසිල් ප්‍රේමරත්නයන්ගේ හමුවද ලතා ගේ ගීත චාරිකාව ඔපවත් කරන්නට හේතුවක් වූයේය. පල්ලියේ ආභාසයෙන් බටහිර ස්වර මාලාවන් ගායනයට මනා පුහුණුවත් තිබූ ලතා ගේ හඬ සරල ගී ගායනයට උචිත උරුවකට පුහුණු කරන ලද්දේ ඔහු විසිනි. එතෙක් සංගීතය පිළිබඳ නිසි අධ්‍යාපනයක් නොලද්දියක් වුවත්, ඈ සංගීත දැනුමක් ලැබුවේ වී නම් ඒ සුසිල් ප්‍රේමරත්නයන් සෙවණෙනි. ඇගේ මුල් ග්‍රැමෆොන් ගීත සහ තැටිගත කරන ලද ගීත අතර වන ‘‘ මිහිරි සුවඳ විහිදුවා (සුසිල් ප්‍රේමරත්න සමඟ) රන්වන් කරලින් පැසිලා (සුසිල් ප්‍රේමරත්න) ලෝ අඩ නින්දේ ( සී. ටී. ප්‍රනාන්දු) සැළලිහිණි කොවුල් හඬ(සී. ටී. ප්‍රනාන්දු) වැනි ගීත එයට උදාහරණය. එහෙත් මෙම මුල් ගීත වර්තමානයේ අසන්නට නොමැති වීම කනගාටුවට කරුණකි.

ලතාගේ ගීත ලතාව අප විස්මයට පත් කරවන්නක් වූයේ ඇය චිත්‍රපට පසුබිම් ගායන ක්ෂේත්‍රයට පිවිසි පසුවය. මේ ගමන එක්ව යන්නට හැකි ඇගේ හඬට ම ගැළපෙන ආකර්ෂණීය හඬක් හිමි යුග ගී ගායකයකු හමුවීමද ඇගේ ගීත ලතාව බබළවන්නට හේතු කාරණා වූයේය. ඔහු ධර්මදාස වල්පොල ය. ගී ලොව සහකරු වූවා සේම, නොබෝ දිනකින්ම ඔහු ඇගේ ජීවන සහකරු ද වූයේය. මේ සුසංයෝගය කෙතරම් ආකර්ෂණිය වූයේදැයි ඔවුන් දෙදෙනා විසින් ගැයූ මනරම් ගී සාක්ෂි දරන්නේය.

චිත්‍රපට පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ‘ලතා‘ යන නාමය ස්ථාපිත වීමට මූලික වූයේ ඇය 1953 දී ‘ප්‍රේම තරගය‘ චිත්‍රපටයට ධර්මදාස වල්පොල සමඟ ගැයූ ‘හොඳ හොඳම වේය ලොව‘ ගීතයත් සමඟය. එතැන් සිට ඔවුන් දෙදෙනා මෙන්ම ලතා තනිවද ගැයූ ගීත මෙරට සිනමාව එකලු කළේය. අද මේ මොහොත වන විටත්, වර්තමාන තරුණ පරම්පරාව පවා ක්ෂේත්‍රයට පැමිණීමට ගායනා කරනුයේ එදා අතිශය ජනප්‍රිය වූ ලතා ගැයූ ඒ ගීතය. සිංහල චිත්‍රපට ගීත ක්ෂේත්‍රය තුළ ලතා මෙතරම් දුරට ස්ථාපිත වීම එක්තරා අන්දමකින් අභියෝගාත්මක කාරණාවකි. ඇය සිනමාවට පැමිණෙන යුගය වනවිට මෙරට සිනමා කර්මාන්තය අරක් ගෙන සිටියේ ඉන්දියානුවෝය. සිංහල චිත්‍රපට ගීත වුවත් , ඒවා පටිගත කරනු ලැබුවේ ඉන්දීය ශබ්දාගාර තුළය. සංගීත අධ්‍යක්ෂවරු , ශබ්ද පරිපාලකවරු, වාද්‍ය ශිල්පීන් ඇතුළු මෙකී නොකී සියලු පිරිස් ඉන්දියානුවෝය. එසේම මේ කාලය තුළ සිංහල ගීත ගායනා කරන්නට ඉන්දිය ගායිකාවෝ ඉදිරිපත් වි සිටියහ. ඒ අතර කේ. රාණි, ජමුනා රාණි, ජික්කි වැනි ගායිකාවන් විය. ලතාට තරග කරන්නට සිදුවූයේ මේ අයත් සමඟය. සිංහල සිනමාව ආක්‍රමණය කරන්න නම් මේ පිරිසට සම දක්ෂතාවයන් හෝ ඊට වැඩි දක්ෂතාවයක් දැක්විය යුතුය. ලතාට මේ කාරණාව අභියෝගයක් වූයේ නැත.

මේ සියලු දෙනාගේ ගායන හැකියාවන් අතික්‍රමණය කළ හැකි තරමේ දක්ෂතාවයක් ලතා ප්‍රකට කළාය. ඒ අනුව එතෙක් ඉන්දීය ගායිකාවන් ගැයූ සිංහල චිත්‍රපට ගීත ක්‍රමයෙන් යටපත් වී ඒ තැන ලතා වල්පොල පහසුවෙන්ම අත්පත් කර ගත්තාය. ඇය කෙතරම් තම ආධිපත්‍යය පැතුරුවේද යත් , ‘‘ මාතලන්‘‘ චිත්‍රපටය වෙනුවෙන් ගීත අටක්ම ගායනා කළාය.

මේ පිළිබඳ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් . ඩි අමර

දේවයන් සටහනක් තබමින් මෙසේ පවසන්නේය.‘‘සිංහල සිනමාවේ දකුණු ඉන්දීය උච්චාරණය සහිත සිංහල ගී ඇසුණු අවධිය කෙළවර කරමින් පැමිණි ලතා සිංහල සිනමා ගීයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළාය. සැබෑ සිංහල උච්චාරණයක් මනා ලෙස ස්වරස්ථාන පිහිටුවීමත්, නිසා ලතා ගේ ගායනය සිංහල සිනමාවට සැරසිල්ලක් විය‘‘

ඇය අපේ සිනමාව වෙනුවෙන් ගැයූ බොහෝ ගීත අතුරින් කිහිපයක් සිහිපත් කරතොත්

මේ ගායන ලතාවේ විවිධත්වය කෙතරම් දැයි පැහැදිලි වේ. ‘‘ පෙරදිග මුතු ඇටයයි‘‘ ගීතය ඇය ගායනා කරනුයේ ‘‘ඩිංගිරිමැණිකා‘‘ චිත්‍රපටයට ය. එසේම ‘ ගැටවරයෝ‘‘ චිත්‍රපටයට ඇය ගැයූ ‘සිහින හතක් මැද‘‘ ගීතය සඳහා ඇය හොඳම ගායිකාව ලෙසින් සරසවිය සම්මානයට පාත්‍ර වූවාය. ‘ධීවරයෝ” චිත්‍රපටයට ගැයූ ‘‘සතුට සෝකේ ජය පරාජය ‘‘ ,‘‘වසන්තයේ දවසක් ‘‘ චිත්‍රපටයට ගැයූ ‘ දේදුන්නෙන් එන සමනළුනේ‘‘

‘යටගිය දවස‘‘ චිත්‍රපටයට ගැයූ ‘‘ ගඟ යන්නේ කොහෙද ගලා‘‘ , ‘එදත් සූරයා අදත් සූරයා සඳහා ගැයූ ‘‘‘මේ සුබ උපන්දිනේ, ‘‘රජගෙදර පරවියෝ ‘ චිත්‍රපටයට ගැයූ ‘ හිනැහෙන්න රෝමියෝ මමයි‘‘ ‘ ආවා සොයා ආදරේ’ චිත්‍රපටයට ගැයූ ‘ පාවෙලා නිල්වලා , මාතලන් චිත්‍රපටයට ගැයූ දිනිදා උදය‘, ‘උතුම් ස්ත්‍රිය ‘ චිත්‍රපටයට ගැයූ

‘‘යුරෝපයේ හිම වැටෙනා‘ , අහිංසක ප්‍රයෝගය‘ චිත්‍රපටයට ගැයූ ‘ මේ රාත්‍රියේ මෙ යාමේ‘‘, ‘ සූරසේන චිත්‍රපටයට ගැයූ ‘‘ආනන්ද ශ්‍රීය වෑහෙයි‘ , ‘චණ්ඩි පුතා ‘ චිත්‍රපටයට ගැයූ ‘‘ අම්මලා දුක් ගන්නේ ‘ , සන්දේශය චිත්‍රපටයට ගැයූ ‘‘රෑන ගිරා, සුදට සුදේ වලා පෙළයි, අක්කා නගෝ චිත්‍රපටයට ගැයූ ‘‘ ගලනා සීත ජලේ, ප්‍රේම තරගයට ගැයූ ‘හොඳ හොඳම වේය ලොව, උන්නත් දාහයි මළත් දාහයි චිත්‍රපටයට ගැයූ ‘ නිල්මිණි සැංගි පාවී, වාසනා චිත්‍රපටයට ගැයූ ‘‘පොකුරු පොකුරු මල් සැණකෙළි‘‘ , කුරුලු බැද්ද චිත්‍රපටයට ගැයූ ‘ ඔය බැල්ම ඔය කැල්ම, රේඛාව චිත්‍රපටයට ගැයූ ‘සීගිරි ළඳකගේ‘ , සැනසුම කොතැනද චිත්‍රපටයට ගැයූ ‘ ආදරයේ රන් විමනේ ‘ ජනක සහ මංජු චිත්‍රපටයට ගැයූ ‘ ලෝකේ ජිවත් වන්නට‘, ‘චිට්ටී’ චිත්‍රපටයට ගැයූ ‘‘ සියුමැලී‘ , කේසර සිංහයෝ චිත්‍රපටයට ගැයූ ‘‘කිත්සිරි රැන්දූ ‘ , හතර මහා නිධානය චිත්‍රපටයට ගැයූ “මාතා”, වැනි ගීත අදත් අප අසනුයේ හී ගඩු පිපුණු හදවතින්ය.

ඇයගේ චිත්‍රපට පසුබිම් ගායනයේ විවිධත්වය මෙවැනි ලිපියකින් ලඝු කොට ගත නොහැකිය. එය එක්තරා අන්දමකට මහා සාගරය සේ තෙරක් නොපෙනෙන්නකි. සාගර පතුලේ සැඟවුණු මිණි කැට වන්නේ ඇගේ ගීතය. මෙය ගැඹුරින් සාකච්ඡා කළ යුතු පර්යේෂණාත්මක මාතෘකාවකි.

ඇය විවිධ සංගීතඥයන් යටතේ ප්‍රකට කළ ගායන විධීන් එකිනෙකට වෙනස් ය. ඇය ‘ පෙරදිග මුතු ඇටයයි, පෙම් රාජ්‍යයේ වැනි ගීත ගායනා කරනුයේ එස්. එස්. වේදා වැනි සංගීතඥයකු යටතේය. සතුට සෝකේ, මේ සුබ උපන්දිනේ, වැනි ගීත ගයනුයේ එම්. කේ රොක්සාමි යටතේය. ‘ගඟ යන්නේ කොහෙද ගලා, දිනිදා උදය, හොඳ හොඳම වෙය වැනි ගිත ගයනුයේ ආර් . මුත්තුසාමි ගේ සංගීතයටය.

එස්.වේදා, රොක්සාමි, මුත්තුසාමි, ටී. ආර් පාපා, දක්ෂිණ මූර්ති, හේමන්ත් කුමාර් , එස්. එම්. සුබ්බයියා නායිදු, පී.එල්. ඒ. සෝමපාල, ප්‍රේමසිරි කේමදාස, සරත් දසනායක වැනි සංගීතඥයන් හමුවේ ගායන ලතාවේ විවිධත්වය ප්‍රකට කළ අයුරු සැබැවින්ම විමසිය යුතුය.

සිනමාවේ ආරම්භක යුගයේ නිළියන්ට පසුබිම් හඬ සැපයූ ඇය අද මේ මොහොතේ කරළියට එන අලුත්ම නිළියකට පසුබිම් හඬ සපයන්නට හැකිවන්නේද ඒ හඬේ ඇති විස්මිත බව නිසාමය. ඉතින් ඈ අපේ සංගීත ක්ෂේත්‍රයේ ඇති දැවැන්තම පුරාවෘත්තය නොවන්නේද?

මේ සියල්ලම අතරේ ඇය ආදරණීය බිරිඳක්ව සිය ස්වාමියාට යුතුකම් ඉටු කළාය. දරුවන් සිව් දෙනෙකු හදාවඩා ගනිමින්. ඔවුන්ට ආදරණීය මවක් වූවාය. වර්තමානයේ ඈ සිය දියණිය ධම්මිකාගේ සෙවණේ ආදරය ලබමින් ජීවත්වන්නීය. සිය එකම බෑණා මහින්ද බණ්ඩාරට ද ඈ දැක්වුයේ අමිත්, සුමිත්, චමින්ද සිය පුතුණුවරුන්ට දක්වන්නා වූ සෙනෙහසමය. දරු සෙනහසට එහා ගිය සෙනෙහසක් සිය මුණුපුරු මිනිපිරියන්ගෙන් ලබන්නට වාසනාවන්ත වූ මිත්තනිය වූවා සේම, මුණුපුරුන්ගේ දරුවන් වන මී මුණුපුරන් දකින්නට සමත් වූ ආදරණීය මී මිත්තණියක වීමට ද ඈ වාසනාවන්ත වූවාය.

ආදරණීය ලතා වෙනි, ඔබ සන්දේශයට ගැයුවා සේම “රැජින ඔබමය ඔබේ රාජ්‍යයේ ‘‘ඔබට සුබ සුබ උපන් දිනයක් සමඟ දීර්ඝායුෂ ලැබේවා!

 

 

[email protected]

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න