වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
ඔහු ගේ සිහින ලොවේ සිටි පෙම්වතිය ඇයම ය

බොලිවුඩය යනු මගුල් සක්වලකි. ඒ මගුල් සක්වලේ සෙලියුලොයිඩ් පටයේ පෙම්වතා, පෙම්වතිය ලෙස චරිත ජීවමාන කරන්නන් පෙන්වන්නේ නම් තිරසර පෙමක මහිම ය. පෙමට දිවි පරදුවට තබන්නන්, පෙමට දිවි දෙන්නන් වීරයන් වන අතර චපල පෙම්වතුන් දුෂ්ඨයන් හා කළු චරිත ය. දර්ශන තලයෙන් බැහැරව යද්දී තිරයේදී බැදි පෙම තම කුටුම්භයේ පෙමට වඩා මිහිරි අත්දැකීමක් කරගන්නන්ට එය තමන් සතුකර ගැනීමට වෙර දරන්නන්ට උදාහරණ එදා මෙදා තුර හමුවෙයි. මතුදාට ද එය වෙනස් නො වෙයි. රසිකයන්ට පරමාදර්ශී තරු අඹුසැමියන්වූ අමිතාබ් බච්චන් සහ ජයා බච්චන් විවාහයට රේඛා නම් කළු පැල්ලම එක්වීම අදට ද අමිහිරි මතකයකි.
මේ වසරේ ඔක්තෝබර් 11 වැනිදා අමිතාබ් බච්චන් අසූ වැනි දශකයට මුල පිරුවේ ය. ජයා බහදූරි හෙවත් ජයා බච්චන් මේ පසු කරමින් සිටින්නේ ජීවන ගමනේ හැත්තැ හතර වැනි සැතපුම් කණුව ය.
මීට 48 වසරකට පෙර බොලිවුඩයේ කෝපකාර යෞවනයා අමිතාබ් මිලියන ගණනක් වූ තරුණියන් ගේ හදවත් බිඳ දමා ජයා බහදූරි නම් දක්ෂ ජනප්‍රිය තාරකාව ගේ අත ගත්තේ ය. දැන් ඔවුන් සිටින්නේ පනස් වැනි විවාහ සංවත්සරය අභිමුවේ ය. එහෙත් මේ කාලසීමාවේ ඔවුන ගේ ආදරය පරීක්ෂාවට ලක්වූ අවස්ථාවක් තිබෙයි. ඒ පරීක්ෂාවට මුල පිරුවේ රේඛා ය.
ජයාට පෙම් බැඳ ඇය විවාහකරගත් අමිතාබ් යම් කලකට හෝ චපල සැමියකු විය.
අම්තාබ්ට ජයා මුණ ගැසෙන්නේ 1970 මුලදී ය. පූනේ සිනමා ආයතනයේ දී සුප්‍රසිද්ධ සිනමා නිර්මාණකරු කේ. අබ්බාස් සහ නළු නිළියන් කණ්ඩායමක් අතර මොවුන් දෙදෙනා ද සිටිය හ. උස, කඩවසම් හාදයා ජයා බහදූරි ගේ අවධානයට ලක් විය. ඒ වන විට ජයා බහදූරි යනු රට පිළිගත් සුපිරි තාරකාවකි. එහෙත් අමිතාබ් නළුවකු ලෙස ස්ථාවර වීමට විශාල වෑයමක යෙදී සිටියේ ය.
සිනමා සගරාවල කවරය ජයා ගේ සුරූපි රුවින් සැරසෙද්දී අමිතාබ් ගේ දෑස් ඒ සිනමාකවරවලින් ඉවතට ගැනීමට නො හැකි විය. ඔහු ගේ සිහින ලොවේ සිටි පෙම්වතිය ඇයම ය. ජයාට තිබුණේ ‘කඩා හැළෙන’ ලස්සනක් නො වෙයි. එහෙත් ඇය ගේ රුවෙහි කොතැනක හෝ කිසිදු අඩුවක් නො තිබිණි. ඇයට ඇත්තේ හින්දුස්ථාන කාන්තාවක සතුවිය යුතු ම රූ සපුවකි. විශේෂයෙන් ඇය ගේ දෑසට ඔහු ප්‍රිය කළේ ය. මේ අතර රිෂිකේෂ් මුඛර්ජි ‘ගුඩ්ඩි’ සිනමා පටයට අමිතාබ් හා ජයා තෝරා ගත්තේ ය. එය ඉබ්බා දියේ දැමූ විට ඇන්නාවේ කියන්නාක් හා සමාන විය. අමිතාබ් එය බලාපොරොත්තුවෙන් සිටි අවස්ථාවකි. බෙංගාල බ්‍රාහ්මන වංශික සුරූපිනිය ජයාට ද ඔහු ගැන මනාපයක් ඇති විය. ඔහු විශිෂ්ට කවියකුවූ හරිවන්ෂ් රායි බච්චන් ගේ පුතෙකි. ජයා ගේ පියා ද කවියකි. අමිතාබ් බොලිවුඩ් තිරයේ සාම්ප්‍රදායික වීරයාට වඩා වෙනස් වීරයකු වන බව ඇයට ඉවෙන් මෙන් දැනිණි. මේ පැහැදීම නිසා ජයා ගේ සිතෙහි ද කඩවසම් තරුණයා කෙරෙහි පැහැදීමක් ඇති විය. ඒක් නසාර් / Ek Nazar දෙදෙනා ගේ මංගල මණ්ඩපය විය. මේ සම්බන්ධය එවකට භාරත රිදී තිරයේ සුපිරි වීරයා වූ රාජේශ් ඛන්නා ගේ ඇසට කටු අනින්නාක් මෙන් විය. එකල රාජේශ් සහ ජයා හොඳ මිතුරන් විය. ‘අර උස හාදයා එක්ක ඇගෑලුම්කම් පවත්වන්න යන්න එපා. එයාට අනාගතයක් නැහැ. ‘රාජේශ් පැවසී ය. නිතර බවර්චි සිනමා පටයේ දර්ශන තලයට පැමිණ ජයා සමග කතා බහ කරන අමිතාබ් ගැන ඔහු දැක්වූ අදහසින් ජයා දිනක් කෝපයට පත්විය. ‘කවරදා හරි එයා බොලිවුඩය අතට ගනීවි. ඔයාට වඩා එයා ජනප්‍රිය වෙනවා. ’ ඇය වරක් පැවසුවා ය.
ඔවුන ගේ ආදරයට ශක්තිමත් පදනමක් වැටෙන්නේ සන්ජීර් / Zanjeer (1973) සිනමා පටයෙනි. සිනමා පටය සාර්ථක වුවහොත් ලන්ඩන් යාමට සියල්ලන් ම කතා කරගත්තේ ය. එහෙත් විවාහයට පෙර විවාහ වීමට සිටින තරුණිය සමග එසේ පිටත් වීම බච්චන් ගේ මාපියෝ ප්‍රතික්ෂේප කළහ. අමිතාබ්ට මෙය අශ්වයාට තටු දීමක් හා සමාන විය. ඔහු කළ විවාහ යෝජනාවට ජයා දෙවරක් නො සිතා එකග විය. 1973 ජූනි 3 වැනිදා ඇය අමිතාබ් ගේ අත ගත්තාය. අදට ද සෑම විවාහ සංවත්සරයකදී ම බච්චන් මංගල ඇල්බමයේ නො දුටු ඡායාරූප එකින් එක සමාජ ජාලා හරහා ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්නේ ය. අති දක්ෂ සම්මානනීය සිනමා තාරකාවක වූ ජයා බහදූරි විවාහයෙන් පසුව රංගනයේ කූටප්‍රාප්තියේ සිටියදී ම රංගනයෙන් සමුගෙන පූර්ණ කාලීන ගෘහණියක වූවා ය. ජයා එසේ රංගනය වෙනුවට බිරිය ගේ භූමිකාව තෝරා ගැනීම අගය කරමින් අමිතාබ් මාධ්‍යයට කිහිප වරක් ම අදහස් දක්වා තිබිණි. තමන් ඇය ගේ රංගනයට එරෙහි නො වුණ ද රංගනයෙන් සමු ගැනීමට ඇය ම තීරණය කිරීම ගැන බච්චන් සිටියේ සතුටිනි. ‘ලම්බුජි’ ජයා අමිතාබ්ව හැදින්වූ සුරතල් නාමය ය. විවාහ වී තෙවසරකට පසු ජයා-අමිතාබ් ගේ කැදැල්ලට ගිනි පුපුරක් පතිත විය. ඇය රේඛාය. සීනත් ආමන්, පර්වීන් බාබි ඇතුළු නිළියන් ගණනාවක් සමග බච්චන් ගේ නම සම්බන්ධ කර තිබුණ ද රේඛා සමග පවතිනවා යැයි කියන සම්බන්ධය මාධ්‍ය කැලඹී ය. හැත්තෑව දශකය අවසානය වන විට අමිතාබ් - රේඛා ප්‍රේම පුරාවෘතය සගරා, පුවත්පත්වලට රසබර මාතෘකා සැපයී ය. එපමණක් නොව අමිතාබ් රේඛා සමඟ එක්ව කාලය ගතකරනු ජයා ගේ අතට ම හසුවුණු බව ද කියවෙයි. ඇය කෝපයට පත්වී ඇත්තේ ඉන්පසුව ය.
රේඛා සහ අමිතාබ් සමඟ එක්ව රගපෑ රන්ජීත් නම් රංගන ශිල්පියා වරක් ප්‍රකාශ කළේ රේඛා සහ අමිතාබ් රේඛා ගේ මිතුරියක ගේ බංගලාවකදී මුණ ගැසුණු බව ය. ඇතැම් දිනවල ඇය රංගන කාල සටහන අමිතාබ් හමුවීම සදහා වෙනස්කර ගෙන තිබෙයි. බොහෝ විට සවස් වරුවේ කරන රූ ගත කිරීම් උදේ වරුවට යොදා ගැනීමට ඇය සෙසු නළු නිළියන් සමග කතා බහ කර ගෙන තිබෙයි. දෙදෙනා හමු වූයේ ‘දෝ අන්ජානේ’ දර්ශන තලයේදී ය. වරක් ‘ගංගා කේ සෞගන්ධ්’ රූගත කිරීමකදී රේඛා සමඟ අවිනීත ලෙසින් හැසිරුණු නළුවකුට ඔහු කෝපයෙන් බැණ වැදුණේ ය.
රේඛා ගේ පෙම ගැන බච්චන්ගෙන් මාධ්‍ය විමසන සැම විට ම ඔහු මුනිවත රැක්කේ ය. එහෙත් රේඛා දෙදෙනා ගේ සබඳතාව ගැන වරින් වර අදහස් පළකර තිබෙයි. දෙන්නා අවසන් වරට එකට රගපෑ මුඛාදර් කා සිකන්දර් / Muqaddar Ka Sikandar සිනමා පටය නැරැඹීමට පැමිණි ජයා, අමිතාබ් ගේ සහ රේඛා ගේ ආදර ජවනිකාවකදී කදුළු සැළූ බව වරක් රේඛා පවසා තිබිණි. ඒ සිදුවීමෙන් පසු ඇය මිතුරු මිතුරියන් සමඟ පවසා සිටියේ නැවත තමන්ට අමිතාබ් සමඟ රගපෑමට සිදු නො වන බව ය. රේඛා සහ ජයා මේ සිදුවීම්වලට පෙර හොඳ මිතුරියන් විය. එහෙත් මාධ්‍ය මේ මිතුදම කුණාටුවක් මෙන් පාකර හැරියේ ය. 1981 දී යාෂ් චොප්රා ගේ සිල්සිලා සිනමා පටයට ජයා සහ අමිතාබ් සමග රේඛා ද රංගනයෙන් දායක විය. ඒ ගැන අමිතාබ් ගේ මනාපය ද හිමිවිය. එහෙත් මුලින් යාෂ් චොප්රා තෝරාගෙන තිබුණේ ස්මිතා පටෙල් සහ පර්වින් බාබි ය. ජයා ගේ චරිතයට ස්මිතා පටෙල් ද රේඛා ගේ චරිතයට පර්වින්වත් යොදා ගෙන තිබිණි. ඔවුන් සමඟ ගිවිසුම අස්සන්කර තිබියදී රේඛා සහ ජයා යොදාගෙන රූගත කිරීම් සිදුවිය. රංගනයට පිවිසීමට පෙර පැරැණි කතා ගැන නො කර කතා වැඩ කළ යුතු බවට යාෂ් දෙන්නාට ම දැන්වී ය. එපමණක් නොව අමිතාබ්ට ද ඒ අණම පනවන ලදී. ඊට දෙදෙනාම එකඟ වූහ. කතාවෙන් කියවෙන්නේ අනියම් පෙමක පැටලෙන සැමියකු බිරිය ළගට නැවත පැමිණෙන කතාවකි. එබැවින් ජයා ඒ සිනමා පටයේ රගපෑමට එකඟ වූ බව බොහෝ දෙනා ගේ අදහස ය. කෙසේ වුවත් එය බොලිවුඩ් ඉතිහාසයේ ඉතා දුලබ එක් වීමකි.
අමිතාබ් පරණ තාලයේ මිනිසකු බව රේඛා වරින් වර පැවසුවා ය. ඇය නො කියා පැවසූවේ තමන් සමග පැවැති සබදතාව ගැන කිසිවක් නො පවසන්නේ එක්ව රගපෑම ප්‍රතික්ෂේප කළේ ඔහු සාම්ප්‍රදායිකව සිතන්නකු නිසා බව ය.
අමිතාබ් බච්චන් දැවැන්ත අනතුරකට ලක් වූයේ රේඛා ඔහු සමඟ පෙමින් වෙළී සිටින කාලයේදී ය. කූලී රූගත කරමින් සිටියදී සිදුවූ අනතුරකින් මාරාන්තික තුවාල ලැබී ය. සැත්කම් ගණනාවකට ලක්වුණු ඔහු ජීවිතයක් මරණයක් අතර සටනක නිරත විය. ජයාට අමිතාබ් ගේ රෝගී තත්ත්වය ගැන සොයා බැලීම වගේ ම රේඛා අමිතාබ්ව බැලීමට රෝහලට ඒම නතර කිරීමට ද වැදගත් විය. ඇය කළේ රේඛා ඔහු වෙත යාම වැළැක්වීම සදහා රෝහලේකාමරයට ඇතුළු වන දොරටුවේ මුරකාවල් යෙදවීම ය. රේඛා ද උත්සාහය අත්හැරියේ නැත. ඇය උදෑසනින්ම සුදු සාරියක් ඇද මල් කලඹක් රැගෙන පැමිණියා ය. ඇය දුරින් සිට අමිතාබ් අනතුරුදායක අවස්ථාවෙන් මිදී ඇති බව දැන ආපසු ගොස් තිබෙයි. ඇය පැමිණ යන තුරුම ඒ පැමිණියේ රේඛා බව ආරක්ෂක භටයන්ට හදුනා ගත නො හැකි විය. මේ නිසා ජයා ගේ වෑයම අසාර්ථක විය. කෙසේ වෙතත් නුවණක්කාර අමිතාබ් පිරිමි සිය සරාගී රුවින් ළං කරගන්නා රේඛා වෙනුවට චරිතවත් ජයා තෝරා ගත්තේ ය. ජයා යනු ඉතා වැදගත් බ්‍රාහ්මණ පවුලක දියණියකි. සිනමාවට සම්බන්ධ වූ පසුව ද පෙර ද ඇය ගේ නම සමග එක් පෙම්වතකු ගේ නමක් හෝ සම්බන්ධ වී තිබුණේ නැත. රේඛා යනු සුජාත දියණියක නො වෙයි. ස්ත්‍රී සොඬකු වූ ජෙමිනි ගනේෂන් වසර ගණනාවක් යනතුරු ඇය දියණියක ලෙසින් පිළි ගත්තේ ද නැත. ඇය පිරිමින් සෝරා ගන්නකු ලෙස සිනමා ක්ෂේත්‍රයට පැමිණි පසු ප්‍රකට වූවා ය. ඇය සමග පෙම් සබදතා පැවැත්වූවන් ගණනාවකි. ඇය සමීප වන සෑම පිරිමියාට ම අවාසනාවන්ත ඉරණමකට මුහුණ පාන්නට සිදුවන බවට ද රාවයක් පැවතිණි. විනෝද් මේරා, මුකේශ් අග්‍රවාල් දෙදෙනාම රේඛාට පෙම්බැදි අතර කෙටි කලකින් මරුමුවට පත්විය. ඇයට අමිතාබ් තුවාල ලබා අසාධ්‍ය වී රෝහල් ගතවී සිටින විට පැමිණීමට ඉඩ නො දුන්නේ ඇය ගේ දෛවය සමඟ ලියැවී ඇති අවාසනාව නිසා බව ද කියවෙයි. දිනක් ජයාප්‍රදා රේඛාට දිවා ආහාරයට ආරාධනා කර කුමන දේ සිදු වුවත් සැමියා අත්හැර නො යන බව පැවසූ වගක් ද කියවෙයි.
අමිතාබ් ගේ ජයා හැර නො යාමේ තීරණයත් ජයා ගේ අමිතාබ් හැර නො යාමේ පිළිවෙතත් හේතුවෙන් පරමාදර්ශී පනස් වැනි විවාහ සංවත්සරය ලබන වසරේ දරු මුනුබුරන් වටකර ගෙන උත්කර්ෂවත් ලෙසින් පැවැත් වීමට වාසනාව ලැබී ඇත.