විදේශීය චිත්‍රපට සිංහල උපසිරැසි සමඟ දේශීය සිනමා ශාලාවල පෙන්විය යුතුද?

සැප්තැම්බර් 29, 2022

මේ පැනය කාලයක් තිස්සේ වරින් වර කතාබහට ලක්වුණත් අළුයට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මෑතකදී නැවත කතාබහට ලක් වුණා. විවිධ පර්ශ්වයන්ගෙ විවිධ අදහස් ඒ පිළිබඳ ලැබෙනවිට සරසවිය ඒ අදහස් ඔබට ගෙනෙන්න හිතුවා. ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර, සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්, ප්‍රවීණ රංගන ශිල්පිනි සංගීතා වීරරත්න, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති බෙනට් රත්නායක, චිත්‍රපට නිෂ්පාදක අනූෂ සංජීව එදිරිමුණි, චිත්‍රපට බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති අනුරාධ රැකව යන අයගෙන් ඒ පිළිබඳ සරසවිය අප කළ අදහස් දැනගැනීමයි මේ.

 

තමන්ගේ නිර්මාණ ගැන විශ්වාස නම්... එච්චරයි

අනුරාධ රැකව - චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ සභාපති

 

චිත්‍රපට ශාලාවලට ප්‍රේක්ෂකයා ආකර්ෂණය කර ගැනීම මූලික කාරණය. එහිදි චිත්‍රපට ශාලා හිමියන් වශයෙන් චිත්‍රපටය කුමන වර්ගයේද කියන එක අපිට තෝරගන්න අවස්ථාව තිබෙනවා. එහිදි දැනට පවතින නීතිය අනූව චිත්‍රපටයක් මුදා හැරලා දින 14 ක් යනතෙක් 60% ක කාලය රඳවා ගත යුතුයි. දින 14න් පසුව එම සිංහල චිත්‍රපටයේ ආකර්ෂණය වැඩිනම් එම චිත්‍රපටය දිගටම ප්‍රදර්ශනය කරනවා. චිත්‍රපට ශාලාවට ප්‍රේක්ෂකයා එනවානම් ඒ චිත්‍රපට කවදාවත් අතර මැදදී ප්‍රදර්ශනය නතර කරන්නේ නෑ. දින14 න් පසුව ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු වුණාම චිත්‍රපට ශාලාව කරගෙන යාමට ආදායම ලැබෙන ගණනය කරන ක්‍රමය තුළ ආදායම පහළ අගයක් ගන්නවානම් ඒ චිත්‍රපටය වෙනුවට වෙනත් චිත්‍රපටයක් ආදේශ කරන්න හැකියාව තිබෙනවා. ඒ ආකාරයටයි අපි කටයුතු කරන්නේ. කිසිම අවස්ථාවක දින දාහතරෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශනයෙන් ඉවත් කරන්නේ නැහැ. අවුරුදු 2ක් චිත්‍රපට ප්‍රදර්ශනය වුණේ නැහැ. ඔබට උදාහරණයක් කියන්නම් ගේම් චිත්‍රපටය අද වන විට දින සියය සමරනවා. ඒ වගේ අවස්ථා අපි දෙනවා. චිත්‍රපට ශාලා හිමියන් සිංහල චිත්‍රපට අවතක්සේරු කරගෙන අඩු වශයෙන් දුවන්න ලෑස්ති නැහැ එහෙම දුවන්නෙත් නැහැ.චිත්‍රපටයේ තිබෙන අන්තර්ගතය අනූව ප්‍රේක්ෂකයා ආකර්ෂණය වනවානම් අනිවාර්යයෙන්ම එකතුවනවා. විදේශීය චිත්‍රපටවලට සිංහල උපසිරැසි යොදා ප්‍රදර්ශනය කිරීම යන කාරණයේදීත් අපි බලන්න ඕන ආයෙම පවතින තත්ත්වය එක්ක ප්‍රේක්ෂකයා කොහොමද චිත්‍රපට ශාලාවට ආකර්ෂණය කරගන්නේ කියලා. නීතියට අනුව චිත්‍රපට හඬ කැවීම කළ නොහැකි වුණත් උපසිරැසි යෙදවීමක් ගැන එම නීතියේ සඳහන් වීමක් නැහැ. ඒ අනූව මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. මේ මොනවා වුණත් අපි තේරුම් ගන්න ඕන රූපවාහිනිය ඉදිරියේ ඉඳගත්තම දවසකට චිත්‍රපට කීයක් මාධ්‍ය නාලිකා උපසිරැසි සමඟ වෙනත් භාෂාවල චිත්‍රපට පෙන්වනවාද? අපේ රසිකයෝ ඒ චිත්‍රපට රස විඳීනවා. චිත්‍රපට ශාලාවට ප්‍රේක්ෂකයා ආකර්ෂණය වන යම් නිෂ්පාදනයක් වේද එය පෙන්විය යුතුයි. මේ වෙලාව මම අවස්ථාවක් කරගෙන කියන්න කැමැතියි ශ්‍රී ලංකාවේ නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට තමන්ගේ නිර්මාණය ප්‍රේක්ෂකයාට ආකර්ෂණය වන ආකාරයට නිර්මාණය කරන්න කියලා. එවිට කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කරන්න පුළුවන්. තමන්ට තමන්ගේ නිර්මාණය ගැන විශ්වාසයක් තිබෙනවානම් නිර්මාණාත්මක ගුණයෙන් අනූන නම් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කළ හැකි නිර්මාණයක් නම් ප්‍රදර්ශනයට අවස්ථාව තිබෙනවා.

 

දේශීය සිනමාව වෙනුවෙන් අපි විරුද්ධයි

බෙනට් රත්නායක - ප්‍රවීණ අධ්‍යක්ෂ, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති

 

මම ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ සභාපති. අපිට ආරංචි වුණා සැප්තැම්බර් 09 වැනිදා වනවිට බ්‍රහ්මාස්ත්‍ර කියන චිත්‍රපටය සිංහල උපසිරැසි දාලා සෑම සිනමා ශාලාවකම ප්‍රදර්ශනය කරන්න යනවා කියලා. නිළි නොලත් ආරංචියක් ආවා විදේශීය චිත්‍රපට හඬ කවලා ප්‍රදර්ශනය කරන්න හදනවා කියලා. ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට විධායක සභාවක් තිබෙනවා. මේ ආරංචියෙන් පසුව සියලු දෙනාම මේ ගැන කැලඹීමකට පත් වෙලා අපි දුරකථනයෙන් සාකච්ඡා කළා මෙයට මොකද්ද කරන්නේ කියලා. එතැන දි බහුතරයකගේ මතය වුණේ මෙයට විරුද්ධ විය යුතුයි කියලා. බහුතරයක් විරුද්ධ වුණාම අපිට සංගමයක් ලෙස අපේ මතය ප්‍රකාශ කරන්න වෙනවනේ. අපේ මතය වුණේ දේශීය සිනමාවට ප්‍රදර්ශනය වන තිර කාලය 60% ක් තිබිය යුතුයි කියන නීතිය ස්ථාවරව තියෙන්න ඕන කියලා. නමුත් පහුගිය කාලයේ අපේ ප්‍රදර්ශකයන් කිසිම සැලකීමක් නැතිව මේ විදේශීය චිත්‍රපට පෙන්වනවා. මෙය දේශීය සිනමාවේ අවස්ථාවන් අහිමි වීමක් වෙනවා. ඒ නිසයි අපි විරුද්ධ වුණේ උපසිරැසි යොදලා පෙන්වනවට. 1972 ජාතික චිත්‍රපට සංස්ථා පනත නිර්මාණය කරනවිට දෙබස් කැවීම තහනම් කියන පාඨය ඇතුළත් කළාට උපසිරැසි තහනම් කියලා ඇතුළත් කරලා තිබුණේ නැහැ. අදට අවුරුදු පනහකට ඉස්සර සිංහල උපසිරැසි චිත්‍රපටයකට යොදනවා කියන්නේ විශාල බාරදූර කාර්යයක්. එය කරන්න බැහැ. එවැනි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙන් උපසිරැසි යොදන්න පුළුවන් වුණා ඒයත් ඉන්දියාවේ. ඒ නිසා වෙන්න ඇති උපසිරැසි භාවිතය පිළිබඳ කතා නොකර තිබුණේ සහ එම පාඨය නොදමන්නට ඇත්තේ. උපසිරැසි කියවන්න බැරි අය ඉන්නවා ඕනෑ තරම් ලංකාවේ. ඒ නිසා චිත්‍රපට හඬකවලා ප්‍රදර්ශනය කරන්න ඕන කියලා තර්ක කරන්න පුළුවන්. දේශීය සිනමාව රැකිය යුතුයි කියන තැන ඉන්නවා ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය. වැදගත්ම කාරණය නම් අපි කිසිම වෙලාවක කියන්නේ නෑ දේශීය චිත්‍රපට පමණක් පෙන්වන්න කියලා. 40% ක් විදේශීය චිත්‍රපටවලට අවස්ථාව දීලා තිබෙනවා. එය භාවිත කරන්න. නිදහස් වෙළඳපොළක් තිබෙනවා කියලා කියද්දිම ඕනෑම එකක් පෙන්වන්න පුළුවන් කියන අදහස එතැන තියෙනවා. එහෙනම් විදේශීය චිත්‍රපටම පෙන්වයි මේ කියන විදිහට. මම හිතන්නේ නිදහස් වෙළඳපොලට වඩා සාධාරණ වෙළඳපොළක් තිබිය යුතුයි කියලා. අපේ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරමින් විදේශීය නිෂ්පාදනවලට අවස්ථාව දීම. එය උල්ලංඝනය කරලා සම්පූර්ණයෙන් ආධිපත්‍යය ගැනීම තුළින් කිහිපදෙනකුට වාසියක් වෙන්න පුළුවන්. ඒ කිහිප දෙනකුගේ වාසිය වෙනුවෙන් දේශීය සිනමා කර්මාන්තය වැටෙන්න දෙන්න බැහැ.

 

 

තරගෙට බය අය විරුද්ධ වෙලා

දිනේෂ් ප්‍රියසාද් - සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ

 

අපේ චිත්‍රපටවලට උපසිරැසි දාලා හඬ කවලා පිටරට ගිහින් පෙන්වන්න පුළුවන් නම් ඇයි මෙහෙ පෙන්වන්න බැරි. විදෙස් චිත්‍රපට සඳහා උපසිරැසි නොවෙයි හොලිවුඩ්, බොලිවුඩ්, කොලිවුඩ් සියලු චිත්‍රපට ලංකාවේ පෙන්වනවානම් සිංහල දෙබස් කවලා පෙන්වන්න ඕන. නැත්නම් මේ සිනමාව ගොඩගන්න වෙන්නේ නෑ. සිංහල සිනමාව නැත්තටම නැති වෙලා තිබෙන්නේ. සිංහල කතානාද සිනමාව අතෑරලා ගිහින් තිබෙන්නේ. ප්‍රේක්ෂකයා නැවත සිනමා ශාලාවට ගෙන්වන්න නම් සිංහල කතා කරන ශාරුක් ඛාන්ලා, කාජල්ලා,රැජිනි කාන්ත්ලා සූර්යාලා සිංහලෙන් කතා කරොත් අපේ සිනමා ශාලාවල ප්‍රේක්ෂකයා ඇදිලා එනවා එතැනට. බයවෙලා කෑ ගහනවා ඩ්‍රැකියුලා චිත්‍රපටයක් දැක්කා වගේ. චිත්‍රපටයක් කරනවානම් අපිට තරගයක් තිබෙන්න ඕන. ඉන්දියාවේ ප්‍රාන්ත අතර චිත්‍රපට පෙන්වන්නේත් හඬ කවලා. ඒවා පෙන්වද්දි ඉන්දියන්කාරයෝ බයවෙලා කෑ ගැහුවේ නෑ අපි වගේ. අපි හරියට චිත්‍රපටයක් හදන්න දන්නේ නැතිව කෑ ගහනවා. ඉන්දියාවේ ප්‍රාන්ත අතර වෙනත් චිත්‍රපට පෙන්වද්දි ඒ තරගයට ඉන්දියාවෙත් හොඳ චිත්‍රපට බිහි වුණා. ඒකෙන් ඒ සිනමාව දියුණු වුණා. දැන් සිංහල උපසිරැසි දාන්න එපා කිවුවට 1963 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම්පෙරළිය චිත්‍රපටය දිල්ලි සිනමා උලෙළේ පෙන්වූවා. ඒ චිත්‍රපටය සඳහා රණමයුර සම්මානය ලැබුණා. කොහොමද ගම්පෙරළිය දිල්ලියේ පෙන්වූවේ ඉංග්‍රීසි උපසිරැසි දාලා. නැත්නම් ඒ සම්මානය ලැබෙන්නේ නැහැ. මොනවද කියන්නේ කියලා දන්නේ නැහැ නැත්නම්. අනෙක් අතට වෙනත් රටක චිත්‍රපට මෙහෙ පෙන්වුවාම ආණ්ඩුවටත් එහි ප්‍රතිලාභ ලැබෙනවා.එකසිය ගණනක් තියෙනවා කියනවා පෙන්වන්න ලංකාවේ චිත්‍රපට. කරන්න තියෙන්නේ ඒ චිත්‍රපට අරගෙන ඇමෙරිකාවේ, ඉන්දියාවේ පෙන්වූවානම් හරි. එවිට ඒ අය ඉගෙන ගනියි ලංකාවෙන් චිත්‍රපට හදන්න (උපහාසාත්මකව සිනහවෙමින්). රේස් එකට අශ්වයෝ තිබ්බම අනෙක් අශ්වයන්ගේ කකුළ කඩලා මම විතරක් දුවලා හරියනවද? බියගුලු වෙලා පුළුවන්ද කර්මාන්තයක් ගොඩගන්න. 1969 දිත් මෙවැනි ප්‍රශ්නයක් ආවා එම්.ජේ.ආර්. ගේ දෙමළ චිත්‍රපට තහනම් කරනු කියලා. එම් ජේ ආර්ගේ පෝස්ටර්වල තාර ගෑව. බයට කළ දේවල්. තමන්ට චිත්‍රපටයක් හදාගන්න බෑ එම් ජේ ආර්ගේ ඒවාට ප්‍රේක්ෂකයෝ වැඩියි. ඉතින් ඊරිසියයි. මම කියන්නේ උපසිරැසි නොවෙයි සිංහලෙන් හඬ කවන්න කියලා. අපේ දක්ෂ නළු නිළියෝ ඉන්නවා ඒ අය හඬකවයි. ලංකාවේ තමයි හොඳම හඬ කැවීම් ශිල්පීන් ඉන්නේ. සිංහල චිත්‍රපටයක රඟපානවට වඩා ලොකු ආදායමක් හඬකැවීමෙන් හොයන්න පුළුවන්. ඔය සිංහල උපසිරැසි එපා කියන අය අන්තර්ජාතික සිනමා උලෙළ සඳහා ඔවුන්ගේ චිත්‍රපට අරගෙන යන්නෙත් ඉංග්‍රීසි උපසිරැසි දාලා. මෙක මානව අයිතිවාසිකමක්. මම සහ රාජ් රණසිංහ මානව හිමිකම් කොමිෂන් සභාවේ නඩුවක් දාලා තියෙනවා 1972 රාජ්‍ය චිත්‍රපට සංස්ථා පාර්ලිමේන්තු පනතේ සඳහන් වන විදෙස් චිත්‍රපට දෙබස් කැවීම තහනම් කියන වගන්තිය ඉල්ලා අස්කර ගන්නා ලෙස. වෙනත් චිත්‍රපට සිංහලෙන් හඬ කවලා අපේ සිංහල ජනතාවට පෙන්විය යුතුයි කියලා. ඒ නඩුව තාමත් තිබෙනවා. ආගම්ක් වේවා, ධර්මයක් වේවා, යම්කිසි පොතක් වේවා ශේක්ස්පියර්ගේ නාට්‍ය අපි ඉංග්‍රීසියෙන් නොවෙයි බලන්නේ ඒකයි අපිට හොඳීන් තේරෙන්නේ. ද අවුට් සයිඩර් පොත අපි කියවන්නේ ආගන්තුකයා කියලා. මේක සෙල්ලමක් නොවෙයි. මේක තහනම් කරන්න කිවුවත් කරන්න ඕන මේක ක්‍රියාත්මක කරන එක. මටනම් මේක කොමඩියක් වෙලා තිබෙන්නේ.

 

 

පසුම්බිය ගැන හිතලා කලාව අගාධයට දාන්න එපා

සංගීතා වීරරත්න - ප්‍රවීණ රංගන ශිල්පිනි

 

මම කලාවට ආදරෙයි. සංගීතා වීරරත්න කියලා මේ රටම දැනගත්තේ චිත්‍රපට නිසා. ශ්‍රී ලාංකේය චිත්‍රපට රැකෙන්න ඕන. ජනප්‍රියත්වය හා මුදල මූලික කරගෙන විදේශ චිත්‍රපට මෙරටට ගෙන්වා සිංහල උපසිරැසි සමඟ පෙන්වීමට මම විරුද්ධයි. චිත්‍රපට රජයෙන් පෙන්වනවා හෝ බෙදා හරිනවා නොවෙයිනේ. ප්‍රදර්ශන පෞද්ගලිකයි. විදේශ චිත්‍රපට ගෙන්වීමද පෞද්ගලිකයි. මූල්‍යමය හේතූන් මත පමණක් පදනම්ව කලාව කරන්නේ නම් එතැන කොයින්ද කලාවක්. කිහිප දෙනෙකුගේ පසුම්බිය සරු කරගන්න සමස්ත චිත්‍රපට කලාවම අගාධයට දැමිය යුතුද?

මම චිත්‍රපට රංගන ශිල්පිනියක් විදිහට අපෙන් පසු පරම්පරාවට නිර්මාණ කරන්න නිර්මාණවලට දායක වෙන්න පසුබිම හදලා තියන්න ඕන කියන තැන ඉන්නේ. අපේ රටේ ඉතා දක්ෂ නිර්මාණකරුවෝ චිත්‍රපට නිර්මාණය කරලා පෙන්වගන්න ක්‍රමයක් නැතිව අවුරුදු ගණනක් බලන් ඉන්නවා. ඔබට මතකද හෝ ගානා පොකුණ චිත්‍රපටය ඒ අධ්‍යක්ෂවරයා අවුරුදු ගණනක් බලන් ඉඳලා එය ප්‍රදර්ශනය කළේ. ඒ චිත්‍රපටය කොයිතරම් ලස්සනද? අපි අපේ දේට මුල් තැන දෙන්න ඕන. චිත්‍රපට පෙන්වීමේ ක්‍රමවේදය නිර්මාණය කළ යුතුයි. අනෙක් අතට විදෙස් චිත්‍රපටයක් බලන්න සිනමාශාලාවටම යන්න අවශ්‍ය නැහැ. රූපවාහිනී නාලිකාවල සමාජ මාධ්‍ය හා බැඳුණු මාධ්‍යවල විවිධ ප්ලැට්ෆෝම්වල චිත්‍රපට පෙන්වනවනේ. බෙදාහරින්නන්ට ලොකු වගකීමක් තිබෙනවා මේ සම්බන්ධව. අපි අපේ කලාව බිමට දැම්මම මේ තරුණ පරපුර අපේ කියලා දෙයක් ලෝකෙට අරගෙන යන්නේ කොහොමද? අපිට අනන්‍යතාවක් තියෙනවා. අපේ දේශීය කලාවට අනන්‍යතාවක් තිබෙනවා. එය ඉස්මතු කර පෙන්වීම එය ලෝකෙට ගෙනයාම එය ජනගත කිරීම අපි හැමෝගෙම වගකීම. වෙනසක් දකින්න ඕන වෙනස්කම් කරන්න ඕන අපේ කම රැකගෙන. සිංහල උපසිරැසි යොදා ගැනීම වගේම හඬ කැවීමටත් මා දැඩිව විරුද්ධයි. විදේශීය දේ විකුණා මුදල් ඉපැයීම වෙනුවට අපේ දේට අපි අගය එකතු කළ යුතුයි.

 

 

මානව අයිතියක් නැති කරන්න එපා

අනූෂ සංජීව - සුප්‍රකට චිත්‍රපට නිෂ්පාදක,

ඊ.ඒ.පී ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් සමාගමේ උපදේශක

මම හිතන්නේ අපිට සිංහල සිනමාව ආරක්ෂා කර ගැනීමේ අර්බුදය තිබෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් චිත්‍රපටවලින් නොවෙයි. අපේ චිත්‍රපටවල කොයිතරම් දුරට චිත්‍රපට ගුණය තිබෙනවාද? අපි කොයිතරම් සන්තුෂ්ටියට උද්‍යෝගයට පත් කරනවාද? අපි කොයි නළුවා බලන්නද සිනමා ශාලාවට යන්නේ? මොන නළුවාගේ චිත්‍රපටයක් එනකම්ද අපි බලාගෙන ඉන්නේ? චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයා හදන අභිප්‍රේරණය කොපමණද? එහෙම අභිප්‍රේරණයක් පසුගිය කාලය තුළ ලැබුණද? චිත්‍රපට හදන හැමෝම හිතන් ඉන්නේ එයාලා හදන චිත්‍රපට ඔක්කොම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෝ සහෘද සිතින් වැලඳගන්න ඕන කියලා. සිංහල සිනමාව කියන කණ්ණාඩි දෙක පමණක් දාගෙන චිත්‍රපට බලන්න ඕන කියන මානසිකත්වය තියෙන්නේ. ලෝකය විවෘත වෙලා තියෙන්නේ ඇඟිලි තුඩු දෙකට මෙහෙයවන්න පුළුවන් ආකාරයට ළංවෙලා තෙබෙන්නේ සිනමාව. ඔක්කොම බැරියස් කැඩිලා බිඳීලා කුඩුවෙලා ගිහින් ඉවරයි. මේ සියල්ල එක්ක අපිට හිරවෙලා ඉන්න බැහැ. අනෙක් අතට මේක අයිතිවාසිකමක්. මට දෙමළ පොතක් දුන්නොත් කියවන්න මට පොතේ අන්තර්ගතය ග්‍රහණය වෙන්නේ නැහැනේ. පින්තූර පමණක් බලයි. උපසිරැසිවලින් අපිට නිර්මාණයක් රසවිඳීම පහසු කරනවා. මට පහසු භාෂාව සිංහල නම් සිංහලෙන් තිබුණොත් වඩාත් ලේසියිනේ. සිංහල පමණක් නොවෙයි ඕනෑම නිර්මාණයක් වැඩිදුර රසවිඳීන්න නම් ඒ මව් භාෂාවට ඒ නිර්මාණය පරිවර්තනය වෙන්න ඕන. උපසිරැසි කියන්නේ ඒ මාවත ළං කරවන එක මෙවලමක් පමණයි. උපසිරැසි චිත්‍රපට ශාලාවට පමණයිනේ තහනම් වෙලා තිබෙන්නේ. 1972 දී විදේශ චිත්‍රපට සිංහලෙන් හඬ කවන්න එපා කියලා කිව්වේ ඒ කාලයේ සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් වෙන්න පුළුවන් ඒත් අදට ඒක කොයිතරම් දුරට ගැළපෙනවද? මෙ නීති යාවත්කාලීන වෙන්න ඕන. ඒ කාලේ උපසිරැසි යොදනවා කියන්නේ ඉතාම අසීරු කාර්යයක්. ලෝකෙත් වෙනස්වෙලා කාලෙත් වෙනස්වෙලා තාලෙත් වෙනස්වෙලා තියෙන්නේ.විදේශීය චිත්‍රපට නිසා සිංහල සිනමාව නැතිවෙනවා කියනවානම් ඒක බොරු මිථ්‍යාමතයක්. උපසිරැසි තිබුණා කියලා යම් චිත්‍රපටයක් හොඳ නැත්නම් අපි ඒක බලන්නේ නෑ. දේශීය චිත්‍රපට පෙන්වීමට තිර කාලය 60% ක් තිබෙනවා. ඒක වෙනස්වෙලා නෑ. ඔය උපසිරැසි එපා කියන දෙතුන් දෙනා නිසා සමස්ත ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය වෙන්න බෑ. ඒක රසවින්දනයට බාධාවක්. තුවක්කුවක් ඔළුවට තියලා කියන්න බැහැනේ සිංහල චිත්‍රපට පමණක් බලන්න කියලා. මේ චිත්‍රපට බලන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා මෙය ව්‍යාපෘතියක් බවට පත්කරලා ප්‍රේක්ෂකයා දැනුම්වත් කරලා එයින් චිත්‍රපට බලන්න උත්තේජනයක් ඇති කරලා ප්‍රේක්ෂකයා සිනමාශාලාවට ගෙන්වාගන්න එකයි වෙන්න ඕන. එහෙම නැතිව අපි චිත්‍රපට හදලා කවුරුත් දන්නේ නැතිව ළඟ තියන් හිටියට වැඩක් නෑ. ඉන්දියාවේ මේ වෙද්දි එකම පෝස්ටර් එකක්වත් පාරේ ගහන්නේ නෑ චිත්‍රපට ප්‍රවර්ධනයට. මිනිස්සු අන්තර්ජාලය හරහා දැනුම්වත්. විදේශීය චිත්‍රපට උපසිරැසි සමඟ පෙන්වීම කවුරුහරි කියනවානම් වැරදියි කියලා මම විශ්වාස කරන්නේ නෑ ඒක. අනු ගණන්වල අපි හින්දි සිනමාව වැලඳගත්තේ. ඒ ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් සිංහල උපසිරැසි එක්ක අපිට ඒ චිත්‍රපට පෙන්වපු නිසා. අපි ඒ චිත්‍රපට රස වින්දා. අපි සල්මන් ඛාන්ට ආදරය කළා. ඒක වුණේ අපි සිංහලත් එක්ක ඒ චිත්‍රපට බැලූ නිසා. අදවනවිට නාලිකා සියල්ලේම පාහේ විදේශීය චිත්‍රපට විකාශය කෙරෙනවා උපසිරැසි එක්ක. ඒවට කට පියන් ඉන්න අය පොකට් එකෙන් සල්ලි වියදම් කරලා සිනමාශාලාවට ගිහින් බලන චිත්‍රපටයට සිංහල උපසිරැසි එපා කියනවා. සිනමා සංස්කෘතියක් ආරක්ෂා කරනවා කියලානම් මේ දේවල් කරන්නේ මම කියන්නේ මිථ්‍යාවෙන් මිදෙන්න කියලා. ඇත්ත දැක දැක බොරුව වෙනුවෙන් පෙනී හිටිනවා. ඒක කරුණාකරලා කරන්න එපා. මේ රටේ අහිංසක මිනිස්සුන්ට සතුටු වෙන්න තිබෙන්නේ සිනමාශාලාවක් නාට්‍යාගාරයක් ඇතුළේ විතරයි. සැබෑ ජීවිතයේ දී අපේ මිනිස්සු අනන්ත දුක් විඳීනවා. ඒ නිසා මම කියනවා තමන්ගේ භාෂාවෙන් චිත්‍රපටයක් රසවිඳීන්න තියෙන අයිතිය නැති කරන්න එපා කියලා.

 

 

විවෘත ලෝකයට ඇයි මේ වාරණ

 

විමුක්ති ජයසුන්දර - ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ

 

 

ප්‍රේක්ෂකයා චිත්‍රපට ශාලාවට ගියාම එයාට නරඹන චිත්‍රපටයේ භාෂාව සමහරවිට පුළුවන්. සමහරවිට බෑ. ඔය දෙකනේ වෙන්න පුළුවන්. එහෙම නොතේරෙනවානම් අපි ඔය කියන උපසිරැසි යොදනවා. ඒක තමයි දැනට පවතින සම්මත විදිහ. ලෝකයේ මොන රටක වුණත් පෙන්වන චිත්‍රපටයේ භාෂාව වෙනස්නම් ඒ රටේ මිනිස්සු දන්න භාෂාවෙන් උපසිරැසි යොදනවා. ඒකම තමයි රූපවාහිනී නාලිකාවලත් වෙන්නේ. ඔය උපසිරැසි ආරම්භ කළේ ටයිටස් තොටවත්ත. ඔහුත් සිංහල භාෂාව ඉතාම විශිෂ්ට තැනක තියලයි මේ සිංහල උපසිරැසි ආරම්භ කළේ. සිංහල පමණක් කතා කරන ජනතාවට කරන නිගරුවක් ඒ අයට නොතේරෙන දෙයක් පෙන්වීම. කොහොමද අපි ඒ අයට කියන්නේ බලන්න. අපි සාමාන්‍යයෙන් දන්න දෙයක් තමයි හින්දි චිත්‍රපටයක් හෝ දෙමළ චිත්‍රපටයක් බලද්දි තේරෙනවා කියන එක. නමුත් ඒක භාෂාව නොමැතිව කොයිතරම් තේරෙනෙවද? අපේ ප්‍රේක්ෂකයාට කරන අගෞරවයක් සහ හිංසාවක්ද ඒ අයගේ තේරෙන භාෂාවෙන් නිර්මාණයක් රසවිඳීමට නොහැකිවීම. තමන්ගේ රටේ බලන චිත්‍රපටයක් තමන්ට ළබැඳී මව් භාෂාවෙන් නරඹන්නට නොතිබීම කියන්නේ මානව හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක්. කවුරුහරි හිතනවානම් මේ හරහා සිංහල චිත්‍රපට නරඹන්නේ නැති වෙයි කියලා ඒක කොයිතරම් ගුණමකු අදහසක්ද? ඔබට උදාහරණයක් කියන්නම් එකම පත්තර කන්තෝරුවක හගන සිංහල පත්තරේ බොරු කියලා ඉංග්‍රීසි පත්තරේ ඇත්ත කියනවා. කලාන්තරයක් තිස්සේ සිංහල මිනිස්සු කෙරෙහි ඉතාම නරක ප්‍රතිපත්තියක් අනුගමනය වෙලා තියෙනවා. කලාකරුවාද, ජනමාධ්‍යවේදීන්ද, මාධ්‍ය නාලිකාද, ඉංග්‍රීසි කතා කරන ජනයාට ඕනෑම තොරතුරක් දෙන්න පුළුවන්. සිංහල ජනයා අසරණ, පොඩි දේකින් කුලප්පු වෙන වගේ අදහසක් මේ අයට තිබෙනවා. ඒක ඉතාම වැරැදි අදහසක්. මම හිතන්නේ ඒක නැති කරන්න ඕන. භාෂාව නිසා මිනිසුන්ට ලැබෙන්න ඕන දේ නොලැබෙනවානම් එය අසාධාරණයක්. ඒ නිසා මම මේකට විරුද්ධයි. සිංහල භාෂාවෙන් ඉංග්‍රීසියෙන් කියන දේම පරිවර්තනය වෙන්න ඕන කියන එකයි මගේ අදහස. අනෙක් කාරණය නම් ලංකාවේ සිනමාශාලාවට ප්‍රේක්ෂකයා එන්නේ නැති ප්‍රශ්නය තිබෙන්නේ. එහෙනම් ටීවී එකෙ සමාජ මාධ්‍ය තුළ හැම දේකම උපසිරැසි භාවිත නොවි තිබෙන්න ඕන. ඒ මුකුත් නැතිව සිනමාවට පමණක් ඇයි එහෙම කරන්නේ. අද ලෝකය විවෘතයි. ඒ විවෘතභාවය තුළ අපි සූදානම් වෙන්න ඕන සියලු අභියෝග ජයගෙන ඉදිරියට යන්න. අපි දන්නවානේ ඉන්දියාවේ දෙමළ චිත්‍රපටයක් ලංකාවේ දෙමළ ජනතාව බලන ආකාරය. අපි විවෘත වෙළදපොළේ තරඟ කරන්න ඕන. ඕනෑම දෙයක් ගුණාත්මක නම් ඒකට වෙළඳපොළක් නිර්මාණයවෙනවා. අද සිනමාහල් වැහිලා තිබෙන්නේ ප්‍රේක්ෂකයා එන්නේ නැති නිසයි. මුලින්ම කරන්න ඕන මිනිස්සු එන තැනක් විදිහට මේක හදන්න ඕන. සිංහල චිත්‍රපට පමණක් පෙන්නලා ඒක කරන්න බැහැ. කරන්න පුළුවන් නම් මේ වෙද්දි වෙන්න එපැයි. ඔය කියන ඔක්කොම වාරණ දාගෙන අපේ අය කළාද? විවෘත වෙළපොළ එක්ක අපි තරඟ කරන්න ඕන. ලෝකයේ අපි තරම් හොඳ තේ හදන්නේ නැහැනේ කවුරුත් ඒක ප්‍රශ්නයක් වෙලා තිබෙනවාද කොහේවත්? තේ හොඳ නිසා අපි මොකක් හරි තේ එකක් හදලා හරියන්නේ නෑ. ඒ වගේ ලෝකයේ නිර්මාණ කරන මිනිස්සු එක්ක ඒ හා යන නිර්මාණ කරන්න අපි වගබලා ගන්න ඕන. ඒවා සිංහලෙන් කරනවිට අපේ ප්‍රේක්ෂකයා තමන්ගේ මව්බසින් කතා කරන නිසා අනිවාර්යයෙන්ම බලයි. නිර්මාණාත්මකව දුර්වල වූ පිරිසක් ලෝකයෙන් එන නිර්මාණවලට බයේ ඒක හංගගෙන අපේ නිර්මාණ පෙන්වන්න කියලා කියනවා. මොනතරම් ගෝත්‍රිකද? මම වාණිජ චිත්‍රපට කරන කෙනෙක් නොවුණත් මම වාණිජව කරන චිත්‍රපටවලට කැමැතියි. වෙනයම් චිත්‍රපටයක් හොඳනම් එය ප්‍රේක්ෂකයා වැඩි වශයෙන් බලනවානම් අපේ අයත් පොලඹවන්න පුළුවන් ඒ වගේ චිත්‍රපට හදන්න. ලෝකයේ කිසිම රටක මෙහෙම නීතියක් නෑ. ඉතාලියට ගියොත් ඉතාලි භාෂාවට හඬ කවලා බලන්නේ. ප්‍රංශෙදිත් එහෙමයි. අපිට ළඟම තියෙන කර්මාන්තය මේක. ඉන්දියාවේ අයට මෙහෙ ආයෝජනය කරන්න හිතෙන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රේක්ෂකාගාරය හකුළාගත් එකක්. මේවා නිදහස් කරන්න ඕන. කලාව කියන්නේ හකුළන් කරන්න පුළුවන් එකක්ද? උතිරු කොරියාව වගේ වහගන්න හදන්නේ ඇයි?

මේක විහිළුවක්.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න