කලාකරුවන්ට රසික උපහාර දැක්වීමයි අපේ අරමුණ

ආනන්දනීය සිනමා සංසදයේ සභාපති ආනන්ද ගමගේ
සැප්තැම්බර් 8, 2022

 

සිනමාව වෙනුවෙන් වැඩ කරන්න ලංකාවේ බොහෝ ආයතන සංවිධාන තිබෙද්දි කිසිදු මූල්‍ය අරමුණක් නොමැතිව සිනමාව ගැන ලියන්න කියන්න පමණක් නොව සිනමාව වෙනුවෙන් දිවිය කැප කළ මිනිසුන්ට උපහාර වගේම උපකාර කරන්නත් ඔහු නොපැකිළිව ඉදිපත් වෙන්නේ සිනමාවට ඇති ආදරය,කැමැත්ත නිසාමයි. ඔබ මුහුණු පොතේ සැරිසරනවිට 'ආනන්දනීය සිංහල සිනමාව' පිටුව දැකලා තිබෙනවා නම් මම මේ කියන දේ ඔබටත් සපථ වේවී. නමින් ඔහු ආනන්ද ගමගේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සිය වෘත්තීය කරගත් ආනන්ද ඔහුගේ ආනන්දනීය සිනමාව ෆේස්බුක් පිටුවේ සරසවිය අපේ ලිපි පාඨක ඔබ සමඟ බෙදාගන්න ද අමතක කරන්නේ නැහැ. ආනන්ද ගමගේ සරසවිය අප සමඟ ආනන්දනීය සිංහල සිනමාව ගැන කතා කළේ මේ විදිහට.

 

'ආනන්දනීය සිංහල සිනමාව ' ආරම්භය ගැන කතා කරමු?

සිංහල සිනමාව පිළිබඳ අප සතු ආකල්ප දැනුම අන් අය සමඟ බෙදාගන්න හදාගත් සංසදයක් මෙය. ඇත්තටම එය මගේ අදහසක්. එදා සිටම මම සිංහල සිනමාවට බොහොම කැමැතියි. විජය කුමාරතුංග සහ ජීවන් කුමාරතුංග සිටින පෙරළිකාරයෝ චිත්‍රපටයේ ඡායාරූපයක් 2017 මැයි මාසෙදි ආනන්දනීය සිංහල සිනමාව ෆේස්බුක් පිටුවට එක්කළා. ඒ ඡායාරූපය සමඟ මම ප්‍රශ්න කිහිපයකුත් යොමු කළා. එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. එයින් පසුව දිගටම අපේ සිංහල චිත්‍රපටවල පින්තූර යොමු කරමින් චිත්‍රපටය ගැන ප්‍රශ්න අහන්න පටන් ගත්තා.මෙහෙම කාලයක් යනවිට අපේ ෆේස්බුක් පිටුව වටා බොහෝ පිරිසක් එකතු වුණා. එහිදී මට තේරුණු දෙයක් තමයි මම වගේම අපේ සිංහල සිනමාවට බොහෝ පිරිසක් ආදරයක් ගෞරවයක් දක්වනවා කියලා.

ඔබ සහ ඔබේ සංසදය සිනමාව ගැන වගේම කලාකරුවන්ගේ දුක-සැපත් හොයලා බලනවා. කොහොමද මේ කාර්යය පටන් ගත්තේ?

2018 වසරෙදි ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු කලාකරුවගේ ලිපියක් පළවෙලා තිබුණා සරසවිය පත්තරේ. ඒ ලිපියේ තිබුණා 'අපි දැන් වයස නිසා අපිව බලන්න කවුරුත් එන්නේ නෑ' කියලා. ඒ ලිපිය දුටු විගස මම තීරණය කළා ඇලෙක්සැන්ඩර් මහත්මයා බලන්න යන්න. අනෙක් අතට මම තනියම යනවට වඩා ආනන්දනීය සිංහල සිනමාව වටා එකතු වී ඉන්න පිරිසත් මේ ගමනට එකතු කරගන්න මම හිතුවා. පසුව මම ඒ පිළිබඳ ෆේස්බුක් පිටුවේ සටහනක් තැබුවා. ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු මහතා බලන්න යනවා කැමැති අය සහභාගි වෙන්න කියලා. ඒ ගමනට 10 දෙනෙක් පමණ එකතු වුණා. අපි ගිහින් ඔහුට සමරු ඵලකයක්,ඔහුගේ පින්තූරයක් වගේම මුදල් පරිත්‍යාගක් කළා. පසුව එය දිගින් දිගටම විවිධ කලාකරුවන් වෙනුවෙන් කළා.

 

කවුද ඒ කලාකරුවෝ?

විල්සන් කරු, සුමින්ද සිරිසේන , ටෙනිසන් කුරේ, ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු, කුමාර රණපුර, සුමිත් මුදන්නායක, ජයසේකර අපෝන්සු, සුනිල් සෝම පීරිස්, සමන්ති ලැනරෝයි, කපිල සිගේරා වගේ පහළොස් දෙනෙකු පමණ අපි බලන්න ගිහින් තිබෙනවා. රංගන ශිල්පීන්ට පමණක් නොවෙයි කාර්මික ශිල්පීන් වෙනුවෙනුත් අපිට කළ හැකි දේ කරනවා. මොකද මේ සියලු දෙනාම සේවය ලබා දුන්නේ අපේ කලාවට. මම තනි තීරණයට මේ කාර්යය කරන්නේ නෑ. අප වටා සිටින සියලු දෙනාගේම අදහස් එක්කයි ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ සද්කාර්යය ආරම්භ කරන්නේ 2017 සැප්තැම්බර් 24 වැනිදා. එළැඹෙන 24 වැනිදාට අවුරුදු පහක්. ඒ වෙනුවෙන් මේ මාසේ 24 වැනිදා සිනමා ශිල්පීන් දෙදෙනෙකුව අපි බලන්න යන්න සූදානම්. ශබ්ද පරිපාලන ශිල්පී ජෝර්ජ් මනතුංග ඔහු චිත්‍රපට 250 කට පමණ ශබ්ද පරිපාලනයෙන් දායක වී තිබෙනවා සහ අනෙක් කලාකරුවා බුද්ධි වික්‍රම. මේ පිළිබඳ දැනුම්වත් කිරීම සුමාන දෙකකට කලින් ෆේස්බුක් පිටුව හරහා සිඳු කරනවා.

 

මේ සද්කාර්යයන් කරන ඔබ වෘත්තීයෙන් කලාකරුවෙක් නොවෙයි?

මම කලාවට සම්බන්ධ නෑ. අපි කලා රසිකයෝනේ. ආනන්දනීය සිංහල සිනමාව වටා එකතු වී ඉන්නෙත් කලා රසික පිරිසක්. ඒ අතර කලාකරුවොත් ඉන්නවා. මම වෘත්තීයයෙන් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු භාර නිලධාරියෙක් ලෙස කටයුතු කරනවා.

 

උදව් උපකාර,සමාජ සද්කාර්ය ඔබේ රැකියාවෙන් එකතු වූවක්ද? මම හිතන්නේ මේ කටයුතු කරන්න එයත් ඔබට බලපෑමක් වෙන්න ඇති?

ඔව්. තවත් කෙනෙකුට උදව් කිරීම මගේ ඇගේම තිබුණු දෙයක්. මා මේ රැකියාව තෝරා ගත්තෙත් ඒ නිසයි. රැකියාවට එහා ගිය පුණ්‍යකර්මයක් මෙය. රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් අසරණයි. මගේ අම්මත් හෙදියක්. මමත් තීරණය කළා ඒ රැකියාවම කරන්න. අධ්‍යාපනය, විභාග මේ නිසා රැකියාව ලැබුණත් එය කරන්නේ මුළු හදවතින්මයි. අපි අද මේ උපහාර කරන කලාකරුවෝ ඒ කාලේ අති දක්ෂ ශිල්පීන්. අපි හැමෝටම වෙනවා වගේ යම් යම් වෙලාවලදි ඔවුනුත් අසරණවෙනවා. ඔවුන්ටත් පිහිට අවශ්‍ය වෙනවා. එවැනි මොහොතක අපි ඔවුන් ළඟට ගොස් ඔවුන්ව සතුටු කිරීම, හැකි අයුරින් උපකාර හා උපහාර කිරීම කොතරම් වටිනවද?

(මා ඇසු පැනයට පිළිතුරු දී ඔහු එය නිමා කළේ මගෙන් පැනයක් අසමිනි. මාද එය ඉතා කැමැත්තෙන් ස්තිර කළෙමි.)

 

මේ සංසදයේ කොපමණ පිරිසක් ඉන්නවාද?

මම මෙහි නිර්මාතෘ වගේම සභාපති විදිහට කටයුතු කරනවා. ලේකම්, භාණ්ඩාගාරික දෙපළක්, සංවිධායක කෙනෙක්. ඒ වගේම සක්‍රීයව 250 ක් 300 ක් පමණ පිරිසක් සිටිනවා. ඒ අය අප සමඟ එකතු වී කටයුතු කරනවා. ෆේස්බුක් පිටුව වටා 5000 ක පමණ පිරිසක් සිටිනවා.

 

ආනන්දනීය සිංහල සිනමාව පිටුව කරගෙන යන්න සංසදයේ සිටින සාමාජිකයන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද?

අපේ ලේඛකතුමන්ලා කිහිපදෙනෙක් ඉන්නවා. උදාහරණයක් කිව්වොත් රණවීර කත්තොට මහත්මයා අපේ සිනමාවේ වංශකතාව ගැන ලියනවා. සිංහල සිනමාවේ පළමුවැනි සිනමාපටයේ සිට අද තිරගත වන චිත්‍රපටය දක්වාම සම්පුර්ණ තොරතුරු පිටුව හරහා සෑම ඉරිදාම පළවෙනවා. අනිල් වීරසිංහ මහත්මයා සිනමා නළු නිළියන්නේ සම්මුඛ සාකච්ඡාවක් ගන්නවා. එයත් සතියකට සැරයක් කෙරෙනවා. පැරණි චිත්‍රපට ගීත ඒ ඒ චිත්‍රපටවල තොරතුරු එක්කම පිටුවට එකතු කරනවා. විනෝදාස්වාදය වගේම මේ පිටුව බලන කෙනෙකුට දැනුමත් ලබාගන්න පුළුවන්. චිත්‍රපට ගීත බොහෝ වෙලාවට දිනේෂ් ප්‍රියසාද්, රණ්වීර කත්තොට, වගේ මහත්වරු ලබාදෙනවා. විනෝදාස්වාදය සඳහාම පමණයි මේ සියල්ලම කරන්නේ. සරසවිය පත්තරය ඥ-නචනඥප එක පිටුවෙන් පිටුවට විස්තර සමඟ එකතු කරනවා. චිත්‍රපට ප්‍රවර්ධන වැඩසටහන් අපි කරනවා. ළඟදීම කළ වැඩසටහන ද ගේම් චිත්‍රපටය බලන්න අපේ සාමාජිකයෝ අනූවක් සමඟ සහභාගි වුණා. ඒ වගේම අපි මම සේවය කරන රෝහලට සහ අපේක්ෂා රෝහලට දානමාන දෙනවා. එවැනි පුණ්‍ය කටයුතුත් කරනවා.

 

කෙනෙකුට චෝදනාවක් තියෙන්න පුළුවන් මෙවැනි සංසද හදාගෙන පිරිස එකතුකර ගනිමින් මුදල් හොයනවා කියලා. මේ සංසදය රජයේ ලියාපදිංචි වූවක්ද?

මේ වන තෙක් ඉතාම සාමාන්‍ය විදිහට විනිවිද භාවයකින් යුතුව පවත්වාගෙන ආවේ. නමුත් අපි හිතුවා මෙය ලියාපදිංචි කළ යුතුයි කියලා. මේ වනවිට ලියාපදිංචියට යොමු කරලයි තිබෙන්නේ. ඒ මුදල් බලාපොරොත්තුවෙන් නොවෙයි. තවත් කෙනෙකුට අවිනිශ්චිතතාවයකින් තොරව අප හා එක්වී මේ කරන කාර්යයන්ට උදව් කළ හැකියිනේ.

 

ඔබගේ පවුලේ තොරතුරු ගැනත් දැනගන්න කැමැතිවෙයි අපේ පාඨක පිරිස?

මම පවුලේ වැඩිමලා. මට බාල සහෝදරයෝ දෙදෙනෙක් සහ සහෝදරියක් ඉන්නවා. තාත්තා ජීවතුන් අතර නැහැ. අම්මා නම් ඉන්නවා. මගේ බිරිඳත් සේවය කරන රෝහලේම හෙදියක්. අපිට පුතෙක් ඉන්නවා. ඔහු ධනුජ දිල්සර. පුතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබනවා.

 

කෙනෙක් කැමතිනම් ආනන්දනීය සිංහල සිනමා සංසදයට එකතු වෙන්න කොහොමද ඒක කරන්න පුළුවන්?

සාමාජිකත්වයක් ගන්න නම් අපේ වැඩසටහන්වලට සම්බන්ධ වෙන්න ඕන. යම් තොරතුරක් ලබාගන්නට අවශ්‍ය නම් මට මැසේන්ජර් පණිවුඩයක් එවන්න පුළුවන්.

 

මේ හැමදේම කරන්නේ ෆේස්බුක් හරහා. සමාජ මාධ්‍ය මේ ආකාරයට ප්‍රයෝජනයට ගන්නත් පිළිවන්?

ඔව්. අපි මේ සියලු කාර්යයන් කරන්නේ ෆේස්බුක් හරහා. හරියට භාවිත කරනවානම් මේ තරම් වටින සන්නිවේදන මෙවලමක් තවත් නැහැ. බලන්න අපේ සංසදයෙන් කලා ශිල්පීන්ට වන සේවය. අපි මේ සියලු සන්නිවේදන කටයුතු කරන්නේ මේ හරහානේ.

 

කලාව වෙනුවෙන් මේ තරම් දේ කරන ඔබට රඟපාන්න අදහසක් නැද්ද?

(සිනහා වෙමින්) නෑ නෑ මට එහෙම අදහසක් නෑ. කලාවේ නියැළෙන්න බලාපොරොත්තුවක් නෑ. නියැළෙන අයට උදව් කරන්නයි මගේ බලාපොරොත්තුව.