වර්ෂ 2023 ක්වූ December 05 වැනිදා Tuesday
රන්බීර් කපූර් සමඟ රඟපාන්න ලැබුණා

දැන් බිහිවන නිර්මාණ ගොඩක් මෙගා ටෙලි නාට්‍ය බවට පරිවර්තනය වී හමාරයි
සමහර නාලිකාවල තේරීම් මණ්ඩලයෙන් අනුමත වුණු ටෙලි නාට්‍යවලටත් ඉඩක් ගන්න බැරිව ඉන්නවා
මැය රූපයට පමණක් නොදෙවැනි වී තම සහජ දක්ෂතාවයන් විවිධ පරාසයන් තුළ මතු කර පෙන්වන්නියකි. ඕ වේදිකාව, ටෙලිනාට්‍ය, සිනමාව යන ත්‍රිත්වයෙන්ම එක ලෙස රංගනයෙන් දායකත්වය දක්වා ඇත. බොලිවුඩ් සිනමාවට ද රංගනයෙන් දායකත්වය සැපයූ අතර ඒ ඕධථඡචර මඥතමඥබ සිනමා පටයටයි. විවිධ පරාසයන්ගේන් ඇගේ මධුර ගී ස්වරය ද තාල රිද්මයට නර්තනයෙන්ද රඟා ගයන ඇය මේ දිනවල කාගෙත් කතාබහට ලක්වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන බන්ධනා ටෙලිනාට්‍යයේ බන්ධනාගේ යෙහෙළිය ලෙස රඟපාන ලක්මීගේ චරිතය නිසයි. ලක්මිගේ චරිතයට පණ පොවන ඇය ගයා ක්‍රිෂාණියි. මේ ඇගේ අලුත්ම තොරතුරුයි.
ඔබේ පවුල් පසුබිම කොහොමද?
මගේ පියා සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ග්‍රන්ථ කර්තෘවරයෙක්. ඒ වගේම සංගීතය පිළිබඳ කථිකාචාර්වරයෙක්. ඔහු ඩබ්ලිව්. ප්‍රේමරත්න සොයිසා. මගේ මව නර්තනය පිළිබඳ කථිකාචාර්යවරියක්. ගෙදර පසුබිම තමයි මම කලාවට ඇදගෙන යන්නේ. මට සහෝදරයකු සිටිනවා. මගේ ස්වාමි පුරුෂයා මට හොඳ සහයෝගයක් දෙනවා. ඒක මට ලොකු ශක්තියක්. මේ සියලු දෙනාම ඇරුණාම මගේ පණ වගේ මට දුවකු හා පුතෙකුත් ඉන්නවා. මේ සියලු දෙනාම මගේ ගමනට හොඳ සහයෝගයක් ලබා දෙනවා.
ඔබේ ගමන ආරම්භ වන්නේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියෙන් නේද?
මගේ ගමන ආරම්භ කරන්නේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියෙන්. නැවුම් මිහිර සංගීත වැඩසටහන තමයි මගේ මුල්ම වැඩසටහන වෙන්නේ. ඉන්පස්සෙ මම ජාතික රූපවාහිනියෙ ජූනියර් වාදක කණ්ඩායමෙි වයලින් වාදනය කරනවා. මේ අතරතුර කාලයේ පාසල් වේදිකාවෙත් මම රංගනයෙන් දායක වුණා. මම පාසල් යන කාලයේ ගායනයට තමයි වැඩි දක්ෂතාවයක් දැක්වූයේ. ඒත් මම නාට්‍යකරණය නර්තනය යන දෙකටත් යම් දක්ෂතාවයන් දැක්වූවා. මගේ පවුල් පසුබිමත් මේකට මට ගොඩක් පිටිවහලක් වුණා. පාසල් කලා කටයුත්තකටම මාව නැතුවම බැරි තැනට පත් වුණා. ඒකත් මම ලබපු වාසනාවක්. මේ විදියට මගේ කලා කටයුතු ආරම්භයේදී ම සිදුවී ගෙන ඇවිත් අද මම හොඳ තැනක ඉන්නවා කියලා මට හිතෙනවා. මේ ආපු ගමන ගැන මගේ ජීවිතයේ පෙර පිනක් කියලත් හිතෙනවා. බාධක කම්කටොලු මැඩගෙන තමයි මේ ගමන ආවේ. සුන්දර දේවල් මෙන්ම අසුන්දර ද දේවල්ද අරමුණ කරා යන ගමනේදී නොවෙනවා කිව්වොත් පුදුමයක්. මගේ එකම අධිෂ්ඨානය වුණේ අරමුණ කරා යාමයි. හැරවුම් ලක්ෂ්‍යයක් තියෙනවා නම් තමන්ට ඒ ඉලක්කය කොතැනද කියලා සොයා ගත යුතුයි.
පාසලෙන් නැවතුණු ගමන වේදිකාවෙන් ආරම්භ කළාද?
මාතෘ, සඳමඬල, සිකුරා, සාරංගා නැවෙන් ඇවිත්, මාර හොරු, ලෝක විනාසය යන නාට්‍යවල රඟපෑවා. මේ අතර මාර හෝරු නාට්‍ය රාජ්‍ය සම්මාන අවසාන වටයට තේරුණා. වේදිකාවෙන් ලැබුණු පන්නරය මට රංගන ජීවිතයේ හොඳම අවස්ථාව කියලා මම සලකනවා. රඟපානවා නම් නළුවකු හෝ නිළියක වේදිකාව ස්පර්ශ කළ යුතුමයි. වේදිකාවේ තියෙන සුවඳ වටහා ගත යුතුයි.කතාවකට කියන්නේ තුන් කොන පැගිය යුතුයි කියලා. ඒ පාගපු ත්‍රිකෝණය නිසා අපිට ලොකු ගමනක් එන්න ලැබුණා කියල මම හිතනවා. ප්‍රවීණ ගුරුවරුන්ගෙන් වේදිකාවෙන් ලබපු ගුරුහරුකම් නිසා මට ඉදිරියට එන්න හැකිවුණා. නළුවකුට හෝ නිළියකට එතන පුංචි පාසලක් කිව්වොත් නිවැරදියි. මගේ අත්තිවාරම එතැනින් තමයි හොඳටම වැටුණේ.
සුදර්ශියේ දී ඇති වුණු අලුත් බැඳීම මොකක්ද?
සුදර්ශියේදී තමයි අපි වේදිකා නාට්‍ය පෙර පුහුණුවීම් කටයුතු කරන්නේ. කොහොමහරි මේ පුහුණුවීම් කටයුතුවල නිරත වෙලා ඉන්න විට සිවගුරුනාදන් කියන අධ්‍යක්ෂකවරයා මගේ අලුත් වැඩක් තියෙනවා එන්න කැමතිද කියල ඇහුවා. එදා තමයි මම සිවගුරුනාදන් මුලින්ම දැක්කේ කොහොම නමුත් වටින් පිටින් අහල බැලුවාම හැමෝම මට මේ දෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කිව්වා. " සික්කා " කියන විකට ටෙලි නාට්‍යය තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය. එදා වගේම අදටත් මාව ටෙලි නාට්‍ය කලාවට හඳුන්වාදුන් සිවගුරුනාදන්ට ස්තුතියි කියනවා. ඔහු දුන්න "සික්කා " නිසා මට ටෙලිනාට්‍ය තිහකට හතළිහකට වගේ සංඛ්‍යාවක රගපාන්න ලැබුණා. ජීවිතේ ලැබිම් තියෙනවා. ඒ වගේම නොලැබීම් ද තියෙනවා. මට හැමදාම ලැබීම් වැඩියි. ඒ නිසා මට මෙච්චර ටෙලි නාට්‍ය සංඛ්‍යාවක රඟපාන්න ලැබීම සතුටක්. සිටු මැදුර, අම්මාවරුනේ, අහස් ගව්ව, ටී ටුවෙන්ටි, වස්සාන සිහිනය, සුජාතා, ගඟ අද්දර, පිපෙන මල්, පවන සේ ඇවිදින්,ආදරේ අහස තරම්, යකඩ පහන්තිර, සංසාරේ පිය සටහන්, මතු සම්බන්ධයි යන නාට්‍ය කාගෙත් හිත්වල තාමත් රැව් පිළිරැව් දෙනවා. සතුට දුක වේදනාව සන්තාපය සොම්නස, සියලු දේවල් මේ නාට්‍ය තුළ ඇති වුණා. එකිනෙකට වෙනස් චරිත නිරූපණයක් කරන්න ලැබීමත් මට ලොකු සතුටක් වුණා.
සිනමාවට සම්බන්ධ වන්නේ කොතැනින්ද?
අප අතරින් දැයෙන් සමුගෙන ගොස් සිටින ප්‍රවීණ රංගවේදී බන්දුල විතානගේ ගේ පුතා නාලක විතානගේ මට කියා සිටියා සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා රඟපාන්න කැමතිද කියලා. මම එක පයින්ම කැමති වුණා. මම ගොඩක්ම සිනමාවට කැමති නිසා අවස්ථාව ලැබුණු නිසාත් මට අනිත්‍යා කියන සිනමාපටයේ සාමාන්‍ය චරිතයක් රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා වුණා. මේ සිනමා පටයෙන් පස්සේ කොස්තාපල් පුඤ්ඤසෝම, වීර පුතා, සිද්ධාර්ථ ගෞතම, ඕධථඡචර මඥතමඥබ මගේ ජීවිතේ සංධිස්ථාන කියලා මම සලකනවා.
රන්බීර් කපූර්ගේ අසල්වැසියෙක් වෙනවා කියන්නේ ඇත්තද ?
ඇත්තටම ඔව්. මම අසල්වැසියෙක් වෙනවා. ඡධථඡචර මඥතමඥබ සිනමාපටයේ රන්බීර් කපූර්ගේ අසල්වැසියෙක් ලෙස තමයි එතැනදි මම රංගනයේ යෙදෙන්නේ. බොලිවුඩ් සිනමාවේ සහ කොලිවුඩ් සිනමාවේ මෙවැනි තරුත් එක්ක රංගනයේ යෙදීමට ලැබීමත් ලොකු සතුටක්. එතැනින් පස්සෙ මට සිනමාපට ගොඩක් ලැබුණා. මේ සිනමාපටය රඟපාන්න එන්න මාස තුන හතරක් වර්ක්ෂොප් තිබ්බා. තිර පරීක්ෂණ කළා. මේ සියලු දේවල්වලට මුහුණ දීලා කොහොමහරි ඕධථඡචර මඥතමඥබ රඟපාන්න චාන්ස් එක ලැබුණා. මේ සිනමා පටයෙන් පස්සේ මම ටිකක් නිහඬ වෙලා ඉන්නට වුණා. ඒ මගේ අධ්‍යාපන කටයුතු සඳහායි.
Bomby velvet සිනමාපටයෙන් පසු ඉන්දියාව බලා පිටත්ව යන්නේ ඇයි?
මගේ ඊළඟ සංගීත නිපුන් අධ්‍යාපන කටයුතු සඳහා තමයි මම ඉන්දියාව බලා පිටත්ව යන්නේ. කොහොම නමුත් මම වසර දෙකකට වැඩි කාලයක් ඒ වෙනුවෙන් මම ඉන්දියාවේ රැඳී සිට මගේ සංගීත නිපුන් අධ්‍යාපන කටයුතු අවසන් කරලයි ශ්‍රී ලංකාවට නැවත එන්නේ. ඇවිල්ලත් මම කෙටි කාලයක් මගේ නිවහනේ රැඳී සිටිමින් සංගීතමය කටයුතුවල නිරත වුණා. ඒ ඉන්න අතරතුරේ මට දුරකථන ඇමතුමක් දෙනවා මගේ යෙහෙළියක්. එහිදී මට කියන්නේ මම අලුත් වැඩක් පටන් ගන්න යනවා. ඔයා මං මේකට සම්බන්ධ කර ගන්නම්. කැමතිද කියලා. මම ටික දවසක් ගිහිල්ලා ඒ මිතුරිය බුද්ධිනි ජයවර්ධනට ඇමතුමක් දීලා කීවා මම කැමතිය වැඩේට කියලා.
කැමති වුණ අලුත් වැඩේ මොකක්ද?
හදවතේ කතාවෙන් පස්සේ බුද්ධිනී ජයවර්ධන තිර රචනය කර නිෂ්පාදනය කරන බන්ධනා ටෙලි නාට්‍යයේ ලක්මිගේ යෙහෙලිය ලෙස රඟපාන්නට මට අවස්ථාව උදා වුණා. ඇත්තටම මේ චරිතය මට ලැබෙන්නෙ බුද්ධිනි හා මගේ අතර තියෙන සම්බන්ධතාවය නිසා කිව්වොත් නිවැරදියි. මාව තෝරා ගත්තාට බුද්ධිනීට ගොඩක් ස්තුතියි කියන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. දැන් මේ බන්ධනා කාගේ අතරත් කතා කරන ටෙලි නාට්‍යයක් බවට පත්වී හමාරයි. දිගු කාලයක් නිහඬ වෙලා සිටි මට නව පණක් දුන්න වගේ මේ නාට්‍යය මට දැනෙනවා. මේ වෙනකොට හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. ජීවිතේ නැවතුණත් අලුත් විදිහට නැවත පටන් ගන්නා විට ඒ ගමන අපිට සාර්ථකව යන්න පුළුවන් බාධක මැඩගෙන. හැමදාම දැක්ක හීනයත් ඒකමයි. හීනවලට පණ දෙන්න පුළුවන් දවසක් එනවා. එදා වෙනකම් අපේ ගමන යන්නට ඕන.
ගයාගේ චරිතය සැබෑ ජීවිතයේත් මේ වගේමද?
ඇත්තටම ඔව්. මගේ ස්වාමිපුරුෂයාට ආදරේ කරන ඔහුට ගෞරව කරමින් සියලු දෙනාට උදව් උපකාර කරන චරිතයක්. මේ චරිතය මගේ ජීවිතයයි. සමහර වෙලාවට මට හිතෙනවා මටම ලියපු කතාවක් ද මේක කියලාත්. පියගැටපෙළක් නගින විට හිමිහිට නැඟීම හා රිද්මයානුකූලව නැඟීම මට නම් දැනෙන්නේ හදවතට කියනවා වගේ මේ ගමනේ අවසානයේ දක්වා රිද්මයානුකූලව ම යා යුතු බව.
රිද්මයානුකූලව යන්න ගිය ගමන සියලු පැතිකඩවලින් නැවතිලාද?
කෝවිඩ් එක්ක අපේ සියලුම දේවල් ගමන් නැවතුණා. වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව ප්‍රසංග වේදිකාව කියන සියලුම අංශවල නිරත වන සියලු දෙනාටම බොහෝම අමාරුවෙන් රිද්මයානුකූලව නැඟපු පඩිපෙළවල් ටික එක පාරටම කඩා වැටුණා. මම දකින විදියට ඒක බුද්ධ දර්ශනයේ සඳහන් කරලා තියෙනවා. ඒ සියලු දේවල්වලට මුහුණ දෙන්නත් ඒ තුළින් නැඟී සිටින්නේ කොහොමද කියන එකත් අවබෝධයෙන් කටයුතු කළොත් නැවත අපි ගිය ගමන ඒ ආකාරයෙන්ම යන්න පුළුවන් වෙනවා. ඒ නිසා දැන් ක්‍රමයෙන් ටික ටික පියවරවල් තබන්නයි අපි සූදානම්. අපි වැටුණා කියලා ඉවර වෙලා නැඟිටින්න බැරි වුණොත් අපි එතැනම තමයි හැමදාම. මට නම් කියන්න තියෙන්නේ අපි කොහොම හරි නැඟිටින්න ඕනේ කියන එකයි. හැම නැඟිටීමත් පිටුපසම කලාව බද්ධ වෙලයි තියෙන්නෙ. ඒ බද්ධ වීම තුළ ජීවිතයක් තියෙනවා.
මේ ගමන්මඟේ ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?
මම ඇත්තටම ආසා කරන්නේ වේදිකාවටයි. ඒකට හේතුව තමයි අපි සජීවිකරණය තුළින් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉතාම ඉහළයි. මම අර ඉස්සෙල්ලා කිව්ව වගේ වේදිකාව තමයි අපට නව පණක් දෙන්නේ අන්න ඒ නිසයි මම ගොඩක් කැමති. වේදිකාව තුළ රංගනයේ යෙදෙන විට මට ලැබෙන භූමිකාව මා නිවැරැදිව කළ යුතුයි. ප්‍රේක්ෂකයා සහ මා අතර ඇති බැඳීම කැඩී ගියොත් සියලු දේම කැඩී යනවා. ඒ බැඳීම ආරක්ෂා කරගෙන අපි සියලු අභිනයන් තුළින් ප්‍රේක්ෂකයාව ග්‍රහණයට ගැනීමෙන් සහ අපි ප්‍රකාශ කරන්න යන දේ වටහා දීම නිවැරැදිව කිරීම තමයි අපේ අරමුණ විය යුත්තේ. මේ සියලු දේ මේ වේදිකාව තුළ තිබෙන නිසා හරි අවබෝධයකින් එන සියලුදෙනාම ආදරය කරන්නේ වේදිකාවටයි.
ක්ෂේත්‍රයේ ඉදිරියට බලාපොරොත්තුවක් තැබිය හැකියි කියලා හිතනවාද?
ක්ෂේත්‍රයට අලුතෙන් එන පරම්පරාව වැඩියි. මෙ ඉන්න පිරිස අතරේ දක්ෂ අදක්ෂ දෙපිරිසම ඉන්නවා. මේ එන පිරිස හරි ගමනක් ගියොත් ක්ෂේත්‍රයේ පැවැත්මක් තියෙයි කියලා මම හිතනවා. දැන් ගොඩක් ප්‍රවීණයන්ගේ පාඨමාලා පවත්වාගෙන යනවා. සියලු දෙනාගෙන් ගුරුහරුකම් ගන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙන්නෙ. ඒදාට වැඩිය අද පහසුකම් වැඩියි. ඒ තුළින් ඉදිරි පරම්පරාවට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි. එදා තිබුණාට වැඩිය නාළිකා ගොඩායි. අධ්‍යක්ෂකවරු ගොඩක් ඉන්නවා. ඒත් සමහර නාලිකාවල තේරීම් මණ්ඩලයෙන් අනුමත වුණු ටෙලි නාට්‍යවලටත් අධ්‍යක්ෂකවරයාට හා නිෂ්පාදකවරයාට බෙල්ට් එකක් ගන්න බැරිව ගොඩක් ලත වෙන කාලේකුත් තියෙනවා. කොහොම නමුත් හොඳ නිර්මාණයක් කළොත් නාලිකාවන් මිලදී ගැනීම සිදු කරනවා. ඒ ඒ නාලිකාවල තියෙන ප්‍රමිතිකරණයට අනුවයි. මේ සියලු නිර්මාණවලට එළි දැක්වීමට අවස්ථාවක් ලැබෙනවා නම් හොඳ නිර්මාණ බිහි වෙයි කියලා මම හිතනවා.එකිනෙකා පරයා නොයන නිසා තමයි හොඳ නිර්මාණ බිහි නොවෙන්නේ කියලා මගේ අදහස. එහෙම වුණා නම් හොඳ නිර්මාණ ගොඩක් අද එළියට ඇවිල්ල තියෙන්නේ. පිටපත් රචනය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය සහ තිරය පිටුපස සහ ඉදිරිපස සියලු කර්තව්‍යයන් ක්‍රමානුකූලව සිදු වුණොත් මේ ක්ෂේත්‍රයේ ජයකෙහෙලි නැංවිය හැකියි.
ගුණාත්මක හා ගුණාත්මක බවින් තොර නිර්මාණ කියලා ඔබ සලකන්නේ මොනවාද?
දැන් බිහිවන නිර්මාණ ගොඩක් මෙගා නාට්‍ය බවට පරිවර්තනය වී හමාරයි. ඒත් පීරියඩ් එකක් තුළ කතා කරන්න නාට්‍ය තුළ ගුණාත්මකභාවයක් දැකිය හැකියි. මේගා නාට්‍ය කලාව තුළ ගුණාත්මක භාවයට වඩා දක්නට ලැබෙන්නේ තමන්ගේ පැවැත්ම උදෙසා කරන විලාසයක් පමණයි. මේ කරන මෙගා නාට්‍ය සියල්ලම ගුණාත්මක බවින් තොරයි කියලා මම කියන්නේ නෑ.ප්‍රේක්ෂකයාට රස වින්දනයක් අවශ්‍ය යි. ගොඩක් නිර්මාණවල දර්ශන තල කොටු වෙලා තියෙන්නෙ කොළඹ එවිට ගුණාත්මක බවක් දක්නට බැහැ. දර්ශන තලයේ එකම තැනක දැකපුවාම මම නම් දකින්නේ පල් වෙච්ච ස්වභාවයක් පමණයි. අනික දැන් මේ තියෙන වාතාවරණයත් එක්ක මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අපි හැම වෙලේම විවිධ දර්ශනතලවල රූ ගත කරනවා නම් හොඳ නිර්මාණ ප්‍රේක්ෂකයාට දිය හැකියි.
ඔබ ළමයින්ට ගුරුහරුකම් දෙන ගුරුවරියක් නේද?
මම ඉන්දියාවේ ගිහිල්ලා සංගීත නිපුන් උපාධිය ලබාගෙන ඇවිත් දැනට මගෙම කියලා සංගීත පාසලක් පවත්වාගෙන යනවා. මම සංගීතය පිළිබඳ ගුරුහරුකම් දෙන ගුරුවරියක්. රංගනයයි, සංගීතයයි දෙකම බැලන්ස් කරගෙන මම මේ දේවල් කරගෙන යනවා. අද මගෙන් ගොඩක් ළමයි ඉගෙන ගන්න එනවා. එක පැත්තකින් මං සතුටු වෙනවා මගේ දැනුම බෙදා දෙන්න පුළුවන් වෙන එක ගැන. ඒ එන සියලුම ළමයින් වෙනුවෙන් මම සංගීත විශාරද, සංගීත නිපුන් විභාගය දක්වා ඔවුන් රැගෙන යනවා. මේ සංගීතය විශාරද සහ සංගීත නිපුන් විභාගය දෙකම ඉන්දියාවේ ලක්නව්වලින් ලබා ගැනීම තමයි හොඳම දේ කියලා මම හිතන්නේ. එයට හොඳ පසුබිමක් ශ්‍රී ලංකාවෙ නැහැ කියලයි මම කියන්නේ. ඒ නිසා ඔවුන් ඉන්දියාවට යා යුතුමයි.
ඔබ අද වෘත්තිමය ගුරුවරියක් ද නිළියක් ද?
හැමදාමත් මම ගුරුවරියක් ලෙසයි කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. දෙවනුව තමයි මගේ රංගන ජීවිතේ තියෙන්නෙ. ඒ නිසා මම වෘත්තියක් හැටියට ගුරුවරියක් වීම තමයි හොඳම කියලා මම හිතන්නේ.
ඔබ සංගීත ක්ෂේත්‍රයේ පමණක් නිරත වෙනවා කියලා චෝදනාවක් තියෙනවා නේද?
ගොඩක් දෙනෙක් මම ඉන්දියාවේ ඉඳන් ආවට පස්සෙ මේ බව කියන්න ගත්තා. මම ඉන්දියාවේ ඉඳන් ඇවිත් ටික දවසක් නිහඬව හිටියා තමයි. ඒත් එහෙම දෙයක් මගේ නැහැ මම පුළුවන් හැම අයුරින්ම මම රංගනයේ නිරත වෙනවා. සමහරක් අය ඒ වගේ දේවල් ප්‍රකාශ කරන්නේ වෙනත් අරමුණු තියාගෙන වෙන්නත් පුළුවන් කියලා මම හිතනවා. රංගනය කරන අතරතුරේ මම ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්න යනවා. ඒ සියලු දේවල් මම කවදාවත් නතර කරන්නෙත් නෑ නතර වෙලාත් නැහැ .
ඔබේ පියාගේ ආශාව ඉටු කරන්නේ කවදාද?
මම සංගීත නිපුන් විභාගය ඉවර කරල ශ්‍රී ලංකාවට ආවට පස්සේ මගේ පියාගේ බලාපොරොත්තුවක් තිබුණා ඒක පුද්ගල ප්‍රසංගයක් පවත්වනවාට. මේ කොවිඩ් ප්‍රශ්නයත් එක්ක ඒත් ඒ සියලු දේවල් කැඩී බිඳී සුණු විසුනු වී ගියා. හැබැයි මම කොහොම හරි බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ප්‍රසංගය පවත්වනවා කියලායි. මේත් එක්කම නවරත්න ගමගේ සංගීතය කරන අලුත් නිර්මාණයකුත් මම කරගෙන යනවා. ඉදිරියේදී නිර්මාණ කිහිපයකටත් දායක වෙන්න කතා කරලා තියනවා. හැම කටයුත්තක්ම සැලසුම් සහගතව කරලා අනාගතයේ හොඳ නිර්මාණ කිහිපයක් එළියට දායාද කිරීම තමයි මගේ එකම බලාපොරොත්තු වෙලා තියෙන්නේ.