සුබ උපන් දිනක් මාලිනී

අප්‍රේල් 28, 2022

1964 නොවැම්බර් 18 බදාදා සරසවිය පුවත්පතේ මුල්පිටුව සැරසුණේ මාලිනි ෆොන්සේකාගේ ඡායාරූපයකිනි. මේ එම මුල් පිටුවයි. ඒ වෙනුවෙන් ලියැවුණු කවරයේ කතාව සටහන පසෙකින් දැක්වේ.

ඈ වේදිකා නිළියක්, නැගී එන නළඟනක්, සුරුබුහුටි තරුණියක්, දක්ෂ ක්‍රීඩිකාවක්, පාසැල් ශිෂ්‍යාවක්, පත පොතට රුචිකත්වයක් දක්වන්නීයක්. ඇගේ නම මාලිනී ෆොන්සේකායි.

පෑලියගොඩ ගුරුකුල මහා විද්‍යාලයේ ‘විද්‍යා අංශයේ’ ඉගෙනුම ලබන මාලීනි විද්‍යාව තුළින් කලාවට ඇදී ආ තරුණියක්. විද්‍යාවත් කලාවත් අතර ලොකු වෙනසකි. විද්‍යාවට පි‍්‍රය කරන මාලිනී කලාවට ආශාවක් දක්වන්නේ ඇයිදැයි මම විමසුවෙමි.

සූසැට කලාවන් අතුරෙන් නාට්‍යකලාව උසස් කලාවක් නොවේදැයි මාලිනීගේ පිළිතුර විය. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ මෙහෙයීමෙන් පැවති ‘නොරතරත’ ගීත නාට්‍යකයේ ප්‍රධාන නිළි චරිතය රඟපෑ මාලිනී විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවති ‘ගුත්තිල නාට්‍යයේ, මනහර නැටුම් දර්ශන කීපයක් ඉදිරිපත් කළාය.

සිනමා තරුවක් වෙන්න මාලිනී තුළ යටසිතේ තිබෙන ලොකු ආශාව කෙලින්ම එළිදරව් කරන්න ඉදිරිපත් නූණේ ඈ ළඟම ඇගේ මව සිටි නිසාය. අම්මා සතුටු නම් චිත්‍රපටයක රඟපාන්න මම ආසයි මාලිනී මව දෙස බලමින් කීවාය.

චිත්‍රපටවල රඟපාන්න යැව්වොත් මෙයාගේ අධ්‍යපනයට බාධාවක් වෙයි කියලා මට ලොකු බියක් ඇත්තේ, ජානකී කුරුකුලසූරිය ගේ මව එදා කීව් කථාව මට මතකයට ආවේ මාලිනී ගේ මවගේ කථාව ඇසීමෙනි.

මාලිනී අනාගතයේ දී සිනමා නිළියක් ද? වෛද්‍යවරියක් ද? පිළිතුරු ඇයට දෛවය විසින් සපයනු ඇතැයි මට සිතේ.

-ඇම්.ඊ.පී.

උපන්දිනට පින්කමක්

සිංහල සිනමාවේ සිටින්නේ එකම එක නිළි රාජිනියි. ඇය වෙන කිසිවෙකු නොව මාලිනී ෆොන්සේකායි. සිංහල සිනමාව එකලු කළ ඇය මෙම අප්‍රේල් මස 30 වැනි දින තම ජන්ම දිනය සමරනු ලබන්නීය. ඒ මහඟු පුණ්‍ය කර්මයක්ද කරමිනි. මාලිනී තම ජන්ම දින සමරනු වස් වාද්දුව දෙල්දූව පුරාණ රජ මහා විහාරයේ දී කුල දරුවකු පැවිදි කරමින් සියක් නමක් උදෙසා දානමය, පුණ්‍ය කර්මයක් කිරීමට සියල්ල සූදානම් කොට තිබේ. බෞද්ධ කාන්තාවක ලෙස තමාගෙන් ශාසනයට ඉටු විය යුතු කාර්යයක් සපුරාලීමට හැකි වීම පිළිබඳව මාලිනිය ඉතා සතුටින් පසුවන්නීය. 30 වැනි දින උදෑසන 9 ට ආරම්භ වන මේ පුණ්‍ය කටයුත්ත අවසන් වන්නේ දහවල් දානය පිළිගැන්වීමෙන් අනතුරුවයි. මේ සියලු කටයුතු විහාරාධිකාරී කිතලගම නන්දසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බව වැඩිදුරටත් මාලිනී අප හා පැවසුවාය.