වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
75 වසරක සිනමා සංගීතය එදා අද සහ හෙට

ලාංකේය කථානාද සිනමාවට 75 වසරක් සපිරෙන මොහොතේ එදා මෙදා සිනමා සංගීතය අරභයා ප්‍රත්‍යවලෝකනය කිරීමද වැදගත් වේ. එහිදී ආරම්භයේ සිට අද්‍යතනය දක්වා සිනමාවට දායක වූ සංගීතවේදීන් පිළිබඳ ක්‍රමානුකූල පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදු කිරීමට මෙහිදී ඉඩකඩ නොලැබේ.එය දිගු කාලයක් වැයකොට සිදු කළ යුතු ශාස්ත්‍රීය කර්තව්‍යයකි. මෙහිදී මවිසින් ප්‍රයත්න දරනු ලබන්නේ එදා මෙදා තුර සිනමා සංගීතයෙහි ප්‍රබල මුද්‍රාවක් තැබූ සංගීතවේදීන් අරභයා සංක්ෂේපයෙන් එනම් "අමාවතුර" ශෛලියෙන් සිහිපත්කොට වත්මන් සිනමා සංගීතය පිළිබඳ මගේ මතවාදය දක්වමින් මේ ලිපිය හමාර කිරීමය. අනෙක් අතට මේ ලිපියෙහි මගේ විග්‍රහයට ලක් වනුයේ සිනමා සංගීතවේදීන් පමණක් බැව් සැලකිය යුතුය. එනම් ගේය කාව්‍ය රචකයන් සහ ගායක, ගායිකාවන්ගේ කාර්යසාධනය මීට ඇතුළත් නොවේ.
සිනමා සංගීතය අරභයා වරක් මහගම සේකරයෝ මෙසේ පැවසූහ.
"චිත්‍රපටයක ගීත අවශ්‍යමද කියලා සමහරු අහනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. ගීත අවශ්‍ය වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් චිත්‍රපටයක් ජනප්‍රිය වීමට ගීත අවශ්‍යමය යන කල්පනාව පිට චිත්‍රපටයකට ගීත වැඩි ගණනක් රිංගවා ගැනීමට වෑයම් කිරීම වැරැදියි. චිත්‍රපටයක හෝ සංවාද නාට්‍යයකට ගීත අවශ්‍ය දෙබස්වලින් හෝ ඉරියව්වලින් ප්‍රකාශ කිරීමට බැරි තරම් හැඟීම් උත්සන්න වූ අවස්ථාවලදීයි."
සිනමා සංගීතය වූ කලී සිනමාව නමැති අන්‍යතර මාධ්‍යයක ප්‍රකාශන ශක්තිය, තීව්‍රතාව සඳහා සංගීතය ව්‍යවහාරික මට්ටමෙන් (Applied Art) උපයුක්ත කොට ගැනීමයි.මෙහිදී ශුද්ධ සංගීතයෙහි (pure Music) ගුණරුව සෙවීම අසීරු වේ.
ලාංකේය ප්‍රථම කථානාද චිත්‍රපටය වූ "කඩවුණු පොරොන්දුව" (1947) හී සංගීත අධ්‍යක්ෂවරයා ඉන්දියානු ජාතික නාරායන් අයියර්ය. ඉන්දියානු අනුකාරක සංගීතය ඔහු මඟින් මෙරට සිනමාවට පිවිසිණ. සිනමා සංගීතය අරභයා විමසීමේ දී අපට වැදගත් පළමුවන සංගීතඥයා මොහොමඩ් ගවුස් ලෙස හැඳීන්වීම සහේතුකය."අශෝකමාලා" චිත්‍රපටයෙන් ස්වාධීන ගී තනු චිත්‍රපට උදෙසා තැනීමේ ආදර්ශය ලබා දුන් පුරෝගාමී සංගීතවේදියා ගවුස් මාස්ටර්ය.අනෙක් අතට මේ චිත්‍රපටයෙන් ඩබ්ලිව්.ඩී.ඇල්බට් පෙරේරා හෙවත් අමරදේවයන් සිනමා සංගීතයට හඳුන්වාදීමේ ගෞරවය ඔහුට හිමි වේ. මෙරට කථානාද චිත්‍රපටයක සංගීතය සැපයූ ප්‍රථම ලාංකිකයා ලෙසද මොහොමඩ් ගවුස් මාස්ටර් ඉතිහාසගත වෙයි.
ලාංකේය සිනමාවට ඉන්දියානු සංගීතවේදීන්ගෙන් ලැබුණු දායකත්වය පෙර කී ලෙස නාරායන් අයියර්ගෙන් ඇරඹේ.එතැන් සිට සී.පාණ්ඩුරංගන්, පද්මනාභ ශාස්ත්‍රී, එස්. එස්. වේදා, එස්.දක්ෂිණමූර්ති, ටී.ආර්.පාපා, ආර්. සුදර්ශනම්, පී.එස්.දිවාකර්, එස්.එම්.සුබ්බයියා නායිදු, සජාඩ් හුසේන්, වී.ක්‍රිෂ්ණමුර්ති, රාජන් , නාගේන්ද්‍ර යනාදීහු මීට සනිදර්ශන වෙත්. 1962 වසරේ අමරදේවයන් සංගීත අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ට වීමට ඉහත, සිනමාවේ දක්නට ලැබුණු සංගීතවේදීන් 28 දෙනාගෙන් 13 දෙනකු ඉන්දියානු ජාතිකයන් බැව් පෙනේ.දාරක සමයේ මෙරට සිනමා සංගීතය ග්‍රහණය කොටගත් ඉන්දියානු ආධිපත්‍යයෙහි තරම මින් වැටහේ.මොහොමඩ් ගවුස් හා ආර්. මුත්තුසාමි ඉන්දියානු සම්භවයක් ඇත්තන් වුවත් ඔවුහු පසුව ලාංකික සංගීතඥයෝ බවට පත්වූහ. මහාචාර්ය සුනිල් ආරියරත්න පෙන්වා දුන් පරිදි ලාංකේය කථානාද චිත්‍රපටයක සංගීතය සැපයූ පළමු සිංහලයා ලෙස ඉතිහාසගත වනුයේ බී. එස් .පෙරේරාය.ඒ "වැරදුණු කුරුමානම"(1948) චිත්‍රපටයෙහි සම සංගීත අධ්‍යක්ෂවරයා ලෙසිනි. ඒ අනුව විදේශීය චිත්‍රාගාරයක (ඉන්දියාවේ) විදේශීය (ඉන්දියානු) වාද්‍ය වෘන්දයක් මෙහෙය වූ ප්‍රථම සිංහල සංගීතවේදීයාද ඔහු වේ. ගවුස් මාස්ටර්ට පසුව මුළුමනින්ම ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කිරීමට උත්සුක වූ ලාංකේය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයා එන්.කේ.කාරියවසම්ය.(ගම්බද සුන්දරී - 1950) මෙරට චිත්‍රපටයක ස්වතන්ත්‍ර ගී තනු හැදූ ප්‍රථම සිංහල ජාතිකයා එන්.කේ.කාරියවසම් බව මගේ මතවාදය වේ. ලාංකේය සුභාවිත ස්වතන්ත්‍ර ගීතයේ ප්‍රණේතෘවරයා වූ ආනන්ද සමරකෝන්ද චිත්‍රපට ද්වයකට (සුජාතා -1953, සැඩසුළං - 1955) ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණයෙන් දායක වූ බව අප අමතක නොකළ යුතුය.
මෙරට කලාත්මක චිත්‍රපට ධාරාවට මඟ පෑදූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ "රේඛාව" එක් අතකින් මෙරට සිනමා සංගීතය නව මඟකට ප්‍රවිෂ්ට කළ වෙසෙස් සන්ධිස්ථානයක් බවට පත්විය.මුළුමනින්ම දේශීයත්වය කුළුගැන්වූ සුනිල් සාන්තයන්ගේ ගී තනු නිර්මාණයත්, බී.එස්.පෙරේරාගේ සංගීත සංයෝජනයත්, කේ.ඒ. දයාරත්නගේ ඇතැම් සංගීත ඛණ්ඩත් මෙහි සංගීත අංශයේ උද්දීප්ත්තිය විදාරණය කළේය. කෘතහස්ත කලාකරු, විචාරක ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ මතයට අනුව මෙරට සිනමා සංගීතය සැබැවින්ම ආරම්භ වූයේ "රේඛාව" චිත්‍රපටයෙනි.රූපාවලියට පිටුපසින් යපටක් සේ දිවෙන අරුත කුළුගන්වන තේමා වාදන මුලින්ම රැගත් සිංහල චිත්‍රපටය "රේඛාව" වේ. දැනට දිවමන්ව සිටින ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා වූ ෂෙල්ටන් ප්‍රේමරත්න (එකමත් එක රටක - 1958) , එඩ්වින් සමරදිවාකර (දස්කම - 1958) සහ සජාඩ් හුසේන් (දෛවයෝගය - 1959) ස්වතන්ත්‍ර ගී තනු හැදූ සංගීතඥයෝ වෙත්. ලාංකේය චිත්‍රපටයක් උදෙසා මුළුමනින්ම ස්වතන්ත්‍ර ගී තනු නිර්මාණය කළ එකම ඉන්දීය සංගීතඥයා සජාඩ් හුසේන්ය.
එඩී ජූනියර්, හියුගෝ ප්‍රනාන්දු, ආර්.ඒ.චන්ද්‍රසේන, පී .එල්. ඒ.සෝමපාල, ටී
එෆ්.ලතීෆ්, එම්.ජී.සුගතදාස, එම්. කේ රොක්සාමි , මොහොමඩ් සාලි වැනි සංගීතවේදීහුද මෙරට කථානාද සිනමාවේ මුල් දශක ද්වය අතර කැපී පෙනුණාහ. සිනමා සංගීතයට දායක වූ බොහෝ දක්ෂ සංගීතවේදීන් තත්කාලීනව පැවැති හින්දි, දෙමළ අනුකාරක තනුවල ග්‍රහණයට නතු වූ බැව් පෙනේ.එහෙත් ඉඩ ලැබෙන අවස්ථාවලදී ඔවුහු ස්වාධීන මධුර තනු තැනූහ. චිත්‍රපට සංගීතයේ දී හුදෙක් ගීත නිර්මාණයෙන් ඔබ්බට යමින් අවස්ථෝචිත පසුබිම් සංගීතයක් හා තේමා සංගීතයක් පිළිබඳ පුරෝගාමී පූර්වාදර්ශ සපයා දුන්නේ පණ්ඩිත් අමරදේවයන්ය. මෙරට සිනමා සංගීතය ඇරැඹුණේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීතයෙන් "රන්මුතු දූව" (1962) චිත්‍රපටයෙන් බව මහාචාර්ය සුනිල් ආරියරත්න පැවසූවේ තේමා සංගීතයක් මුල්වරට ඊට එක්වීමේ සුවිශේෂත්වය හේතුකොටගෙනය. ඉන්පසුව "ගම්පෙරළිය" (1963) (ගීත නොමැති ප්‍රථම සිංහල චිත්‍රපටය) සහ "දෙලොවක් අතර" (1966) ඈ චිත්‍රපට ඔස්සේ අමරදේවයෝ තේමා සංගීතය (ඊඩඥචථ ර්භඵඪජ) පිළිබඳ ප්‍රබල පූර්වාදර්ශ සපයා දුන්හ.
සැබෑ සිනමා සංගීතයක තිබිය යුතු ත්‍රිලක්ෂණ මේය.
1.වෛෂයික සංගීතය (Theam Music)
2.අන්තරීක්ෂ සංගීතය (Atmospheric Music)
3.ප්‍රාසංගික සංගීතය (Incidental Music)
1.කාලය හා අවකාශය පිළිබඳ විශ්වාසය ප්‍රේක්ෂකයා තුළ ගොඩනැංවීම.
2.චිත්‍රපටයෙහි අසූචනීය සිද්ධීන් හෝ මනෝභාවයන් අර්ථදැක්වීම.
3.ස්වාභාවික පරිසරයෙහි රික්තයන් නොතැබීම.
4.අඛණ්ඩතාව පවත්වාගෙන යෑම.
5.කිසියම් දර්ශනයක පරිසමාප්තිය සලකුණු කිරීම.
ගීත නිර්මාණයෙන් ඔබ්බට යමින් චිත්‍රපටයක තේමාව ප්‍රාබල්‍යයෙන් කුළුගැන්වූ සංගීතවේදීන් පසුගිය 75 වසර පුරාම හමුවනුයේ ඉතා අල්පයකි. ගීත නිර්මාණයට දක්ෂතා පළ කළ ඇතැම් සංගීත අධ්‍යක්ෂකවරු තේමා සංගීත නිර්මාණයේදී එතරම් සාර්ථක නොවූහ. එසේම දක්ෂ ලෙස තේමා සංගීතය නිර්මාණය කළ ඇතැම් සංගීත අධ්‍යක්ෂවරු ගීත නිර්මාණයේදී ඒ දක්ෂතාව පළ නොකළහ.
අමරදේවයන්ට අනුප්‍රාප්තිකව ගීත නිර්මාණයට මතුනොව තේමා සංගීත නිර්මාණයටත් එකසේ සුවිශිෂ්ට ධී ශක්තිය පෑ ගාන්ධර්වයා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ය. (ගොළු හදවත -1968, නිධානය -1972, තුන්වැනි යාමය -1983) සිනමා තේමා සංගීත නිර්මාණයෙන් කේමදාසයන් අතික්‍රමණය කළ සංගීතවේදියකු තවමත් මෙරට පහළ නොවුණි. ලාංකේය සිනමා සංගීතය උපත ලැබුවේ ආචාර්ය කේමදාසයන්ගේ "සැනසුම කොතනද" (1966) චිත්‍රපටයෙන් බව මහාචාර්ය සිරි ගුනසිංහයෝ පැවසූහ. සෝමදාස ඇල්විටිගල (සත්සමුදුර- 1967) සහ ලයනල් අල්ගම (පරසතු මල් - 1966) කේමදාසයන්ට සමකාලීන යුගයෙහි කැපී පෙනුණු ප්‍රශස්ත සිනමා සංගීතවේදීහු වෙත්. සිසිර සේනාරත්නගේ මධුර, ස්වතන්ත්‍ර තනුද 60 දශකයේ ජනප්‍රිය සිනමාව වර්ණවත් කළ බැව් පෙනේ. 70 දශකයේ ලාංකේය සිනමාවේ ස්වර්ණමය යුගයේදී එවක ජනප්‍රිය සිනමාවේ බහුලව දක්නා ලැබුණු අනුකාරක හින්දි , දෙමළ ගී රැල්ල හා කරට කර තරඟ වැදිය හැකි මධුර ගී තනු තැනූ ප්‍රමුඛ සංගීතවේදී සරත් දසනායකයන්ගේ නැඟීම "සදහටම ඔබ මගේ" (1973) චිත්‍රපටයෙන් සනිටුහන් වූයේය. ආචාර්ය වික්ටර් රත්නායක, ක්ලැරන්ස් විජේවර්ධන, ඩී. ආර්. පීරිස්, තිලක් කරුණාතිලක, සරත් බාලසූරිය,ගලගෙදර එම්.එම්.ඒ.හක්, ප්‍රේමදාස අතුකෝරල මීට සමකාලීන යුගයේ අමරණීය මංසලකුණු තැබූ සංගීතවේදීන් ලෙස මා හට සිහිපත් වෙයි. 80,90 දශකවල ලාංකේය සිනමා සංගීතයට ආචාර්ය රෝහණ වීරසිංහ තැබූ මුද්‍රාව ප්‍රබලව ඉස්මතු වූ බැව් පෙනේ. සරත් දසනායකයන්ගෙන් පසු ජනප්‍රිය සිනමාවේ 80 දශකයේ ප්‍රබල මංසලකුණු තැබූ සංගීතවේදියා සරත් ද අල්විස්ය.
අඛණ්ඩව දිවුණේ නැතත් මහාචාර්ය සනත් නන්දසිරි, සෝමපාල රත්නායක, හෙක්ටර් සොයිසා, පී.වී.නන්දසිරි, ජයතිස්ස අලහකෝන්, ලයනල් රන්වල, වික්ටර් දලුගම, ඩබ්ලිව්.බී.මකුලොලුව, දේවානන්ද වෛද්‍යසේකර, ෂෙල්ටන් පෙරේරා, ටෝනි වීරතුංග, ජේ.දොඩන්වෙල, එච්.එම්.ජයවර්ධන,
පැට්‍රික් දෙණිපිටිය, අර්නස්ට් සොයිසා, ග්‍රේෂන් ආනන්ද (සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස), සරත් වික්‍රම යන සංගීතවේදීන්ගේ දායකත්වයද මෙහිදී අමතක කළ නොහැකිය.
සිනමා සංගීත අධ්‍යක්ෂණයට පිවිසි ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාස ගත වූයේ (හරියට හරි - 1976) ආචාර්ය සුජාතා අත්තනායකය. සිනමා සංගීත අධ්‍යක්ෂණයට ලැබුණු කාන්තා දායකත්වය පිළිබඳ විමසීමේදී මීළඟට මා මතකයට නැඟෙනුයේ ආචාර්ය නන්දා මාලිනි (බඹා කෙටු හැටි -1981) හා නිරෝෂා විරාජිනි (සිනහව අතරින් - 2015) ය.
අපරදිග සංගීත සම්ප්‍රදායට අවිචාරයෙන් වහල් නොවී, එහි සරු තැන් පමණක් උකහා ගෙන සිනමා සංගීතය සුපෝෂණය කළ සංගීතවේදීන් අතර රංජිත් ලාල්, නිමල් මෙන්ඩිස්, සරත් ප්‍රනාන්දු, කාලෝ විජේසිරි, අර්නි පීරිස්, ජස්ටස් වොරින්ටන් අබේවර්ධන, ලක්ෂ්මන් ජෝශප් ද සේරම්, හර්ෂ මාකලන්ද, දිලුප් ගබඩාමුදලිගේ යනාදීහු වෙසෙසින් කැපී පෙනෙති.
2000 - 2022 යන විසි දෙවසරක කාලය ලාංකේය සිනමා සංගීතය අවරට ගමන් කළ කාල වකවානුවක් ලෙස මම දකිමි.ඊට හේතු කාරණා දෙකක් මෙසේය.
1.උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ශික්ෂණය ලැබූ, දේශීය අධ්‍යාත්මයෙන් හෙබි, සුමධුර, අමරණීය ගී තනු තැනිය හැකි ප්‍රතිභාපූර්ණ සංගීතවේදීන්ගේ හිඟය.
2.පෙර පරපුර මෙන් අපරදිග සංගීතයේ සාරය පමණක් උකහා ගෙන ලාංකේය අනන්‍යතාවයෙන් යුත් මිහිරි ගී තනු හැදීම වෙනුවට කර්ණකටුක , මනස දියුණු අයගේ නාදයට (Melody) නොව, මනස නොදියුණු අයගේ රිද්මයට (Rhythm) පමණක් අමතන, ඝෝෂාකාරී දුර්ගීත චිත්‍රපට සඳහා නිර්මාණය කිරීම. (වත්මන් චිත්‍රපටවල බහුලව ඇසෙන මෙබඳු දුර්ගීත ධාවනය වී අවසන් වන විට දියුණුකරගත් රසඥතාවයකින් හෙබි ප්‍රේක්ෂකයන්ගේ දෙසවනට පුදුමාකාර සහනයක් ලැබේ.) මෙබඳු දුර්ගී තනු හදන බහුතරයක් සංගීතවේදීන් විශාල් මුදල් අය කරන, පරිගණක සංගීතයට වහල් වී සිටන්නන් බැව් පෙනේ. අතීතයට වඩා කෙතරම් දියුණු තාක්ෂණයක්, ශබ්දාගාර පහසුකම් පැවතියද සුමධුර අමරණීය ගී තනු හැදිය හැකි උසස් ප්‍රතිභානයක් නොමැතිනම් තාක්ෂණයෙන් කවර ඵලද ? ප්‍රතිභාව වූ කලී සරස්වතී දේවියගේ වරදායක හස්තයෙන් හිමිවන දිව්‍යමය උරුමයකි.
ඉඳහිට ඇසෙන සුමධුර ගීතයක්, දෙකක් හැරුණු විට (මේ සුමධුර ගීතද බොහෝවිට නව පරපුරට වඩා පෙර පරපුරේ ප්‍රවීණ සංගීතඥයන්ගෙන්ම බිහි වන බැව් පෙනේ.) සිනමා සංගීතයෙහි මෙබඳු අවගමනයක්, පරිහානියක් දිස් වූ පසුබිමක එහි අනාගතය පිළිබඳ මා තුළ නැවතත් අපේක්ෂා දැල්වූ සංගීතවේදීන් සිව් දෙනෙකු සිහිපත් වේ. එනම්
1.නවරත්න ගමගේ
2.නදීක ගුරුගේ
3.දිනේෂ් සුබසිංහ
4.දර්ශන රුවන් දිසානායක
ඈ සංගීතවේදීහුය. දැනට දිස්වන මානයේ ලාංකේය සිනමා සංගීතයෙහි අනාගත දියුණුව මේ සිව්දෙනා අතෙහි රැඳී තිබෙන බැව් මම සිතමි.