ඉතින් යන්නට ගියේ ඇයි ඔබ?

දෙසැම්බරයක වෙන්ව ගිය දයාබර ගීතා වෙනුවෙන් බුද්ධදාස ගලප්පත්ති ලියූ ගීතය
දෙසැම්බර් 30, 2021

මේ දෙදෙනා අතර තිබුණු ආදරය කෙතරම් ද කියලා දැනෙන්නේ මේ ගීතයේ දෙවැනි පද ටිකෙන්.

පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක්. බැඳීම්වල පවතින ආදරණීයත්වයේ ප්‍රබල බවත් එක්ක මේ වෙන්වීම් දරාගැනීම වෙහෙසකරයි. එවන් සෙනෙහෙබර බැඳීමක විප්‍රයෝගයෙන් රිදුණ හදවතක උපන් අතිශය හැඟීම්බර ගීතයක් පසුගිය දිනක අහන්නට ලැබුණා. ගීතය ගායනා කරන්නේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

ඔබ ඉතින් යන්නට ගියා
මඟ බලන් මම ඉන්නවා
මලක සුවඳක් දැනෙනවා
දුකට කඳුළක් ගලනවා

මලක් නොව මල් වැලක් ඔබ මට
ගඟක් නොව මහ සයුර ඔබ මට
නෙතක් නොව නෙතු දහස ඔබ මට
ඉතින් යන්නට ගියේ ඇයි ඔබ

නොගොස් යළි ඔබ එන්නේ කොහොමද
මඟ බලන් මම ඉන්නේ...
හෙට උදෙත් මම බලන් ඉන්නද
ඒත් ඔබ නෑ මං විතරම ද

හදවතට ආදරේ පුරවපු, ජීවිතේ එකට බෙදා හදා ගන්න කෙනෙක් යළිත් නොඑන්නට යන්න ගියාම ඒ අතීත මතක සැමරුම් සමඟ තනි වූ කෙනා ජීවිතය විඳවනවා. හැබැයි ගෙවන හැම තත්පරයකම බලාපොරොත්තුවේ සේයාවකුත් සමඟ. හිත දැනගත්තට ඇය යන්නට ගිය බව යටිහිත ඇය කොයි මොහොතක හෝ පැමිණේවි යන අපේක්ෂාවෙන් සිටිනවා. එහෙත් ඔහුම දන්නවා ඇය කෙදිනකවත් නොපැමිණෙන බව.

මේ දෙදෙනා අතර තිබුණු ආදරය කෙතරම් ද කියලා දැනෙන්නේ මේ ගීතයේ දෙවැනි පද ටිකෙන්. ඇය ඔහුට මලක් නොව මල් වැලක්. ගංගාවක් නොව ගංගා සියල්ල එකට එකතු වන මහ සයුරක් නෙතක් නොව නෙතු දහසක්. එතරම්ම වටිනාකමක් තිබුණ ද ඇය නික්ම ගොස්ය.

මේ ගීතයේ අරුත තව තවත් තීව්‍රව දැනෙමින් හද රිදවන්නේ මේ කතාව සත්‍ය සිදුවීමක් බව දැන ගත්තම. ගීතයේ අයිතිකරුවා, ගීත රචකයා වන්නේ ප්‍රවීණ ගී පද රචකයෙකු, කවියෙකු මෙන්ම මාධ්‍යවේදියකු ද වන බුද්ධදාස ගලප්පත්තිය. ඔහුගේ ආදරණීය බිරිය ගීතා සදහටම මෙලොවින් සමු අරන් මේ දෙසැම්බර් 24 වැනිදාට වසර 15ක් සපිරෙනවා. ඔහු ජීවිතේ ලැබු දුක්බරම අත්දැකීමයි, ගීතයට පසුබිම් වෙන්නේ.

කලකට ඉහත ගීතා සමඟ ප්‍රේමයෙන් වෙලී සිටියයදී බුද්ධි ලියූ සංගීත් නිපුන් සනත් නන්දසිරි ගැයූ ගීතා දයාබර ගීතා ගීතයත් අපට සිහිපත් වෙනවා.

“ගීතා නැතිවුණේ 2006 වසරේ දීය. මේ මාසේ දෙසැම්බර් 26 වැනිදා ඇය අප හැර ගිහින් වසර 15ක් ගතවෙනවා. ඇත්තටම මේ ගීතය මගේ අතින් ලියවෙන්නෙ ඈ පිළිබඳ මා තුළ ඇති සදා නොමියෙන මතකත් එක්ක. ගීතය ලියවුණාට පස්සේ මගේ හිත කිව්වේ දීපිකා පි‍්‍රයදර්ශනීට මේ ගීතය දුන්නොත් හොඳයි කියලයි. මට හිතුණා මේ සංවේදී කතාව කියන්න ඇගේ සංවේදී කටහඬ වඩාත් ගැලපෙනවා කියලා. මම හිතුවා වගේම දීපිකා මේ ගීතයට හරියටම සාධාරණය ඉෂ්ට කළා.

මේ ගීතයේ රූප රචනාව කළේ රවීන්ද්‍ර මුණසිංහයි. ඔහුගේ නිර්මාණශීලි රූප රචනය ගීතයේ අරුත තව තවත් සංවේදී කළා කියලා මට හිතෙනවා. රූප රචනයට පෙනී සිටින නිළිය සොයා ගත්තෙත් රවීන්ද්‍රමයි. මම මේ රූප රචනාවට පෙනී සිටිය යුතුයි කියන යෝජනාව අරගෙන ආවෙත් රවීන්ද්‍ර මුණසිංහමයි. අනිත් පැත්තෙන් මේ නිළිය මගේ බිරිඳ ගීතා වගේමයි. 

ගීතයේ තනු නිර්මාණය සහ සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ. දීපිකා වගේම රෝහණත් අපේ පවුලේ සමීපතම මිත්‍රයෝ. ගීතා ගැනත් ඔවුන් ඉතාම හොඳින් දන්නවා. අපි අතර තිබුණු බැඳීම්. අපි ජීවත් වුණු විදිය ඔවුන් හොඳින්ම දන්නවා. ඒ දැන හැඳුනුම්කමත් මේ නිර්මාණයේ සංවේදී බව වැඩි කරන්න හේතුවක් වෙන්නැති. මේ නිර්මාණය පසුගිය 24 වැනිදා තමයි ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ යූ.ටියුබ් නාලිකාවට නිදහස් කළේ. පළමු දවසේ විතරක් හත්දහසකට ආසන්න පිරිසක් නරඹලා තිබෙනවා. දැන් මේ වෙනකොට ලක්ෂයකට වැඩි පිරිසක් නරඹලා තිබෙනවා.’

ජීවිතේ තමන්ට ළඟා වූ අමිහිරි අත්දැකීමක කඳුළකින් සදාකාලික තැවෙන හදවතක සංවේදී කතාවක් දීපිකා ගේ ආදරණීය හඬ මිහිර හා ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ නාද රටාවට මුසුව ගීත ලෝලි අප සැමගේ නෙතට ද රැගෙන එන්නේ කඳුලක්. ඒ කඳුළේ බර තව තවත් වැඩිවෙන්නේ ඒ අත්දැකීම විඳි බුද්ධදාස ගලප්පත්ති ගී පද රචකයාණන්ට ගීතයේ රූප රචනාවට එක් වී සිටීම නිසයි.

නොයෙකුත් ආකාරයේ ගී පද රචනා, ගීත රූප රචනා බිහිවන යුගයක ආදරය පේ‍්‍රමය සමඟ වෙන්වීමේ අති භයානක පාළුව කාංසිය, තනිකම දනවන මේ ගීතය වෙනස් ආකාරයේ රසයක් ගීත ලෝලීන්ට රැගෙන එන බව නම් විශ්වාසයි.

 

නිශ්ශංක විජේරත්න