ආකර්ෂණීයම ආසියාතික නිළියන් දස දෙනා

නොවැම්බර් 18, 2021

වඩාත් සුන්දර පෙනුම විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් නිමක් නොමැතිව ආකර්ෂණය කරයි. ආසියානු කාන්තාවන් සතු සියුම් රූපලාවණ්‍ය උපක්‍රම මෙන්ම ඔවුන්ගේ සුවිශේෂ ජීවන රටාව වසර දහස් ගණනක් පැරැණි සම්ප්‍රදායන්ගෙන් උරුම වූ සුන්දරත්වයක් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. මෙහිදී ආසියාතිකයන්ගේ සමේ පැහැය, ඇස් සහ හිසකෙස් වර්ණය විශේෂ අවධානයට ලක්වන්නකි. මේ සුන්දරත්වය ආසියාතික කාන්තාවන්ගේ චමත්කාරය ලොව පුරා සිටින විවිධ ජනකොටස් ආකර්ෂණයට ලක් කිරීමට සමත් වී ඇත. මෙලෙසින් ලොව ඉහළම ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූ ජනප්‍රියම ආසියාතික නිළියන් දස දෙනා දෙස බලමු.

 

 

ඓශ්වර්යා රායි බච්චන්

ඓශ්වර්යා රායි බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන නිළියන් අතර ප්‍රමුඛ පෙළේ නිළියක බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. බොලිවුඩ් නළු අභිෂේක් බච්චන්ගේ ආදරණීය බිරිය මෙන්ම බච්චන් පවුලේ ලේළිය ලෙසත් ආරාධ්‍යා දියණියගේ මව ලෙසත් වගකීම් දරා සිටින ඇය මේ වන විට 47 වියැති වුවද ඇයගේ සුන්දරත්වයේ අඩුවක් නම් නොපෙනේ. 1994 වසරේදී ලෝක රූ රැජන කිරුළ දිනූ ඇය ඇයගේ රංගන දිවිය තුළින් බොලිවුඩයේ සාර්ථකම කාන්තාවක ලෙසින් ද නම් දරා සිටින්නීය. ෆිල්ම්ෆෙයාර් සම්මාන දෙකක් ඇතුළුව සම්මාන රැසකට හිමිකම් කියන ඇය 2009 වසරේදී ඉන්දීය රජය විසින් පුදනු ලබන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. බොහෝ මාධ්‍ය ඇය හඳුන්වන්නේ "ලොව සුන්දරතම කාන්තාව" ලෙසිනි.

2007 වසරේදී නළු අභිෂේක් බච්චන් සමඟ විවාහ වූ ඓශ්වර්යා හට දියණියක් සිටී. ඇයගේ තිරයෙන් පිටත භූමිකා ලෙස පුණ්‍ය සංවිධාන සහ ව්‍යාපාර කිහිපයක සන්නාම තානාපතිවරියක ලෙස කටයුතු කරන්නීය. ඇය ඒඩ්ස් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඒකාබද්ධ වැඩසටහනේ (UNAIDS)  තානාපතිවරියකි. 2003 වසරේදී, ඇය කාන් සිනමා උලෙළේ ජූරි සභිකයෙකු වූ අතර ඒ සඳහා සහභාගි වූ පළමු ඉන්දියානු නිළිය වන්නේද ඇයයි.

 

 

ප්‍රියංකා චොප්රා

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ද මේ වන විට බොලිවුඩයේ පමණක් නොව හොලිවුඩයේත් තම අනන්‍යතාව රඳවා ගැනීමට සමත් වී සිටී.

2000 වසරේදී ලෝක රූ රැජන කිරුළ දිනා ගත් ඇය 'බර්ෆි', 'මේරි කොම්', 'බජිරාඕ මස්තානි' සේම වාණිජ අතින් ඉහළ සාර්ථකත්වයත් ලද 'ඩොන් 2', 'ක්‍රිෂ් 3' ඇතුළුව බොලිවුඩ් චිත්‍රපට රැසකට සිය දායකත්වය ලබා දුන් නිළියකි. ඇය හොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් වූයේ, 'ක්වෙන්ටිකෝ' ටෙලිනාට්‍ය මාලාවෙන් සහ 'වෙන්ටිලේටර්', 'බේවොච්', 'අ කිඩ් ලයික් ජේක්' යන හොලිවුඩ් සිනමාපටවල රංගනයෙනි.

බොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන රංගන ශිල්පිනියන් අතර රැඳී සිටින ඇයගේ නම 2016 වසරේ ටයිම් සඟරාව පළ කළ 'ලොව වැඩිම බලපෑමක් එල්ල කළ හැකි පුද්ගලයන් 100' අතර මෙන්ම 2017 වසරේ ෆෝබ්ස් සඟරාව පළ කළ 'ලොව බලවත්ම කාන්තාවන් 100' අතර ද සටහන් වී තිබුණි. ප්‍රියංකා චොප්රා අමෙරිකානු ගායක නික් ජොනාස් සමඟින් විවාහ ගිවිස ගත් අතර වයස් පරතරය හේතුවෙන් එම විවාහය ලොව පුරා කතාබහට ලක්වූවක් විය.

 

 

ෆ්‍රීඩා පින්ටෝ

ෆ්‍රීඩා පින්ටෝ ජනප්‍රිය වූයේ 'ස්ලම්ඩෝග් මිලියනයර්' චිත්‍රපටයේ රංගනය සමඟිනි. එය ඇයගේ පළමු සිනමා රංගනය වීමද විශේෂත්වයකි. මුම්බායිහි ඉපදී හැදී වැඩුණු ඇය නිළියක වීමට තරුණ වියේදීම තීරණය කළාය. මුම්බායි හි ශාන්ත සේවියර් විද්‍යාලයේ ශිෂ්‍යාවක් ලෙස ඇය ආධුනික නාට්‍යවලට සහභාගි වූවාය. උපාධිය ලැබීමෙන් පසු ඇය කෙටි කලක් නිරූපිකාවක ලෙසත් පසුව රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් කටයුතු කළාය.

ප්‍රධාන වශයෙන් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය චිත්‍රපටවල පෙනී සිටියත් ඉන්දියානු නිර්මාණවල ඇය දක්නට ලැබෙන්නේ අඩුවශයෙනි. කෙසේ නමුත් ඉන්දීය මාධ්‍ය ඇය පිළිබඳ හැඳීන්වීමේදී, විදේශීය චිත්‍රපටවල ඉන්දියානු කාන්තාවගේ ඒකාකාරී ප්‍රතිරූපය බිඳ දැමීම සම්බන්ධයෙන් කෘතවේදීවත්වය පළ කර සිටී. සිනමා ජීවිතයට අමතරව ෆ්‍රීඩා මානුෂීය හේතුන් ප්‍රවර්ධනය කිරීම මෙන්ම කාන්තා සවිබල ගැන්වීම පිළිබඳවද ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට උරදෙන්නීය. 'ස්ල්ම්ඩෝග් මිලියනර්' චිත්‍රපටයේ ප්‍රධාන නළු දේව් පටෙල් සමඟ වූ වසර හයක ආදර කතාව අවසානයේ කොරී ට්‍රෙන් නම් ඡායාරූප ශිල්පියා සමඟ විවාහපත් වූ ඇය මේ වසරේ ජූනි මස සිය කුලුඳුල් දරු උපත පිළිබඳ නිවේදනය කළාය.

 

ක්ලෝඩියා ලින්ක්ස්

ක්ලෝඩියා යනු ඉරාන - පර්සියානු සම්භවයක් සහිත නිරූපිකාවක මෙන්ම නිළියකි. විශේෂයෙන්ම ඉරානයේ සහ මැදපෙරදිග රටවල ඇය ෂගයේග් යන අන්වර්ථ නාමයෙන් ගායිකාවක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සාර්ථක වූවාය. එපමණක් නොව ක්ලෝඩියා උපභාෂා පුහුණුකාරිණියක, නිරූපිකාවක, සහ වෘත්තීය පරිවර්තකයෙක්ද වන්නීය. 1982 වසරේදි ඉරානයේ ටෙහෙරාන් හි උපත ලැබූ ඇය, ඇගේ පවුලේ සාමාජිකයන් සමඟ නෝර්වේ ඔස්ලෝ වෙත පදිංචියට ගිය අතර ළදරු නිෂ්පාදන සඳහා රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වල ඇය පෙනී සිටියේ අවුරුදු 3 දී පටන්ය.

වයස අවුරුදු 5 දී කැනඩාවේ ටොරොන්ටෝ වෙත ගොස් ළමා නිළියක් ලෙස කටයුතු කිරීමට ආරම්භ කළ ඇය වයස අවුරුදු 15 දී වෘත්තීය නිරූපිකාවක බවට පත් වූවාය. ලොව ප්‍රකට ඇමරිකානු ඇඳුම් සන්නාමයක් වන 'ලෙවීස්' සඳහා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටි ඇය 'ලේඩි මැග්ඩලීන්' (2008), 'ද වෙස්ට් වින්ග්' (1999) සහ 'ද සික්ස්ත්' (2011) හි රංගනයෙන් ප්‍රසිද්ධියට පත් වූවාය.

 

 

සොෆියා බූටෙල්ලා

39 හැවිරිදි සොෆියා බූටෙල්ලා ඇල්ජීරියානු නිළියක, නිරූපිකාවක සහ නර්තන ශිල්පිනියක වෙයි. සෝෆියා කලා ක්ෂේත්‍රයට පැමිණෙන්නේ කුඩා වියේදීයි. ඇල්ජීරියානු සංගීතඥ සැෆී බූටෙල්ලා නම් පියා ඇතුළු ඇගේ පවුලේ අයගේ දිරිගැන්වීම් ඇතිව සොෆියා ඇයට වයස අවුරුදු පහේදී ශාස්ත්‍රීය නර්තනය හැදෑරීම ආරම්භ කළාය. 1992 වසරේදී ඇයගේ වයස අවුරුදු 10 වන විටදී, ඇල්ජීරියානු සිවිල් යුද්ධය මධ්‍යයේ ඇය සිය පවුල සමඟ ඇල්ජීරියාව අතහැර ප්‍රංශයට සංක්‍රමණය වූවාය. ඇය වයස අවුරුදු 18 වනවිට රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩාව සමඟ ප්‍රංශ ජාතික කණ්ඩායමට එක් වූවාය. මයිකල් ජැක්සන්ගේ ගේ මරණින් පසු 'මයිකල්' ඇල්බමයට ඇතුළත් කළ "හොලිවුඩ් ටුනයිට්" සංගීත වීඩියෝවේ ප්‍රධාන චරිතය වූයේද ඇයයි. 'කිංග්ස්මන් : ද සීක්‍රට් සර්විස්', 'ස්ටාර් ට්‍රෙක් බියොන්ඩ්', 'ද මමි' සොෆියා දායක වූ චිත්‍රපට අතුරින් කිහිපයකි.

 

 

හයිෆා වෙහ්බේ

ලෙබනනයේ සුරූපි ගායිකාවක මෙන්ම නිළියක වන හයිෆා වෙහ්බේ චිත්‍රාගාර ඇල්බම හතක් නිකුත් කර ඇත. 2008 පෙප්සි ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද 'සී ඔෆ් ස්ටාර්ස්' චිත්‍රපටයෙන් ඇය සිය රංගනය ආරම්භ කළාය. 2006 වසරේදී හයිෆා පීපල් මැගසින් හි සුන්දරතම පුද්ගලයන් 50 දෙනාගේ ලැයිස්තුවේ විය. මේ වන විට 49 වැනි වියේ පසුවන හයිෆා වයස අවුරුදු දහසයේදී දකුණු ලෙබනනයේ රූ රැජින කිරුළ දිනා ගත් අතර මිස් ලෙබනන් තරගයේ අනුශූරිය වූවාය. එහෙත් පසුව ඇය විවාහ වී දරුවකු සිටින මවක බව හෙළිවීමත් සමඟ එම කිරුළ අවලංගු කරන ලදී. හයිෆා තවත් වරෙක ඇයගේ වයස හෙළි කිරීම සම්බන්ධව ගැටලුවක් ඇති කර ගත්තාය. එහිදී ඇය කියා සිටියේ තමා 1976 වසරේදී උපත ලැබූ බවයි. නමුත් ඇයගේ අර්ධ සොහොයුරිය වන රොලා යමුත් විසින් ඇය 1972 දී උපත ලැබූ බව දැක්වෙන ලේඛනයක් පළ කළාය.

 

සැන්ග් සියි

චීන නිළියක සහ නිරූපිකාවක වන සැන්ග් සියිගේ පළමු ප්‍රධාන චරිතය නිරූපණය 'ද රෝඩ් හෝම්' (1999) චිත්‍රපටය ඔස්සේ ඉදිරිපත් කළාය. 'රෂ් අවර් 2' (2001), 'හීරෝ' (2002) සහ 'හවුස් ඔෆ් ෆ්ලයින් ඩැගර්ස්' (2004) චිත්‍රපටවල පෙනී සිටි ඇයගේ විවේචනාත්මක කෘතිය වන්නේ 'මෙමරීස් ඔෆ් අ ගෙයිෂා' (2005) චිත්‍රපටයයි. එහි රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සඳහා වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වූවාය.

'ද ග්‍රෑන්ඩ්මාස්ටර්' (2013) චිත්‍රපටයේ රංගනය සඳහා ඇය සම්මාන උලෙළ රැසකදී හොඳම නිළියට හිමි සම්මාන 12ක් ලබමින් එක් චිත්‍රපටයක් සඳහා වැඩිම සම්මාන ගණනක් ලැබූ චීන නිළිය බවට පත්වූවාය. 42 හැවිරිදි සැන්ග් සියි චිත්‍රපට නිෂ්පාදිකාවකද වන්නීය.

 

 

සබා මුබාරක්

ජෝර්දාන නිළියක සහ නිෂ්පාදකවරියක වන සබා මුබාරක් සිය රංගන ජීවිතය ආරම්භ කළේ ජෝර්දාන රූපවාහිනී කතා මාලාවක් වන 'කමාර් වා සහාර්' හි රංගනය සමඟිනි. රංගනය සහ අධ්‍යක්ෂණය පිළිබඳ උපාධියක් හිමි ඇය රූපවාහිනී නාට්‍ය සහ චිත්‍රපට බොහොමයකට සිය රංගන දායකත්වය ලබා දී ඇත. මුබාරක් ජෝර්දාන මාධ්‍ය නිෂ්පාදන සමාගමක් වන 'පැන් ඊස්ට් මීඩියා' ආරම්භ කළාය. එම සමාගම 2013 වසරේ දී සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කළේ ඇයගේ රංගනයෙන් හැඩ වූ Zain සහ Tawq Al Asphalt  රූපවාහිනී කතා මාලාව හරහා ය. 45 හැවිරිදි සබා මුබාරක් බොක්සිං ක්‍රීඩාවේද දස්කම් දක්වන්නීය.

 

 

රව්ෂානා කුර්කෝවා

රව්ෂානා කුර්කෝවා උස්බෙකිස්තාන සහ රුසියානු සම්භවයක් ඇති නාට්‍ය සහ චිත්‍රපට නිළියකි. හඬකැවීමේ ශිල්පිනියකද වන ඇය උසස් අධ්‍යාපන ඩිප්ලෝමාවකින් පසු රූපවාහිනි සංස්කාරකවරියක්, සහය අධ්‍යක්ෂවරියක ලෙස සේවය කළාය. රව්ෂානා වේදිකා නාට්‍ය නිළියක ද වන්නීය. 2010 දී වේදිකා ගත වූ ඔලෙග් ග්ලූෂ්කොව්ගේ "උන්ජියර්ස්" වේදිකා නාට්‍ය ඇතුළුව "ප්‍රැක්ටිස්", "අන් බෙයාරබ්ලි ලෝග්න් එම්බ්‍රස්" සහ "ඉලුෂියන්" යන නාට්‍ය නිෂ්පාදනවල ප්‍රධාන භූමිකාවන් ඉටු කළාය. 41 හැවිරිදි රව්ෂානා මේ වන විට චිත්‍රපට 30 කට වැඩි ගණනකට රංගනයෙන් දායක වී ඇත.

 

 

සිරින් අබ්දෙල්නර්

ජනප්‍රිය ලෙබනන් ගායිකාවක්, නිළියක් සහ නිරූපිකාවක වන සිරින් අබ්දෙල්නර් ඇයගේ පළමු ඇල්බමය වන 'ලෙයිලා මින් ලයාලි' 2004 දී නිකුත් කරන ලදී. 2006 දී ඇයගේ දෙවැනි ඇල්බමය වන 'ඇලික් අයොඕනි' නිකුත් කළාය. ඇයගේ පළමු ගීතය වන "Law Bas Fe Aini"ලෙබනනයේ වඩාත්ම ජනප්‍රිය ගීතවලින් එකක් බවට පත් විය. අනූව දශකයේ අග භාගයේ සිට අරාබි රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපටවල ද රංගනයෙන් දායක වූ සිරින් හොඳම ලෙබනන් නිළිය සඳහා වන සම්මාන හතරකින් පිදුම් ලබා ඇත. 'ස්මෝක් විත්අවුට් ෆයර්' සහ 'ද ට්‍රැවලර්' 44 හැවිරිදි සිරින් අබ්දෙල්නර් දායක වූ චිත්‍රපට ද්විත්වයකි.