මඩුගල්ල වලව්වේ ගී කියන කෝකිලාව

-නිල්මිණී වැලිවිට
ඔක්තෝබර් 28, 2021

 

 

 

 

මඩුගල්ලේ දිසාවේ ගැන නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මහනුවර යුගයේ රාජාණ්ඩු සමයේ විසූ රදල ප්‍රභූවරයකු ලෙස මඩුගල්ලේ දිසාවේ ප්‍රකටය. අපගේ කතානායිකාව ඔහුගේ හය වැනි පරම්පරාව නියෝජනය කරන්නීය. මාතලේ පිහිටි මඩුගල්ල වලව්වේ වර්තමාන හිමිකාරිනිය වන්නේ වන්නේද ඇයයි. ඇය නිල්මිණී වැලිවිට නම් වේ. මේ කතාව සප්ත ස්වරය සමඟ නිල්මිණී වැලිවිට නම් ඇයට ඇති ගනුදෙනුව ගැනයි. ඇය ගායන ශිල්පිනියක් බවට පත් වුණු කතාව ගැනයි.

 

ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ සුන්දර මතකයන් වැඩිමනක් ඇත්තේ කුඩා කලය. ඇය ඉපදුණේ කන්ද උඩරටය. නිල්මිණීගේ කුඩා කල මතකයන් ද එවැනිය. මහනුවර ප්‍රදේශයේ සුන්දර පරිසරය සමඟ මතකයන් රැසක් ඇගේ කුඩා කල සමඟ බැඳී ඇති බව ඈ අප හා පැවසුවාය. ඇගේ පියාගේ විනෝදාංශය වූයේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත ගැයීම සහ රසවිඳීමය. එහෙයින් එකල සිටම ඇගේ සවන් වැකී ඇත්තේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතය. අයනු ආයනු කියන වයසේ සිට ඈ උච්චාරණය කරන්නට උත්සාහ කළේ අමරදේවයන්ගේ ගීතවල වචනය. අත්පුඩි ගසා තාලය අල්ලන්නට හුරු වූයේ ඒ ගීතවලටය. ඇය සිප් සතර හදාරන්නට ඇතුළු වන්නේ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයටය. කුඩා අවධියේ පටන් හොඳීන් ගී ගැයීමට හැකි නිල්මිණී පාසලේ සංගීතය හා සබැඳී විවිධ බාහිර වැඩ කටයුතු කරන්නීය. පෙරදිග සංගීතය විෂයක් ලෙස හදාරන්නීය. සාමාන්‍ය පෙළින් සංගීත ගමනට ඈ තාවකාලිකව තිත තබන්නීය. ඒ ගැන ඈ පැවසුවේ මෙසේයි.

"අපේ ඉස්කෝලේ සංගීතය උගන්වන්න හිටියේ ගුරුවරයෙක්. ඒ සර් හරිම සැරයි. එයා ඒ තරම් හොඳ ගුරුවරයෙක් නෙමෙයි. ළමයින්ව හරියට එයා බය කරනවා. එතකොට අපිට ඉගෙන ගන්න එපා වෙනවා. එතැනින් එහාට මම සංගීතය ඉගෙන ගත්තේ නැහැ."

පියාගේ වියෝවෙන් පසුව අධ්‍යාපනය අතරමඟ නතර කළ ඇය වසර හතක් ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කළාය. අනතුරුව ඕස්ට්‍රේලියාවේ ටොයෝටා ආයතනයේ වසර පහළොවක් වෙළෙඳ කළමනාකාරවරියක් ලෙස සේවය කරන්නීය. විදේශයේදී නිතර ඇහෙන අපරදිග සංගීතයට ශ්‍රවණය කිරීමට සහ ගැයීමට නිල්මිණී එහිදී හුරු වූවාය. නැවත ලංකාවට පැමිණෙන ඇය සප්ත ස්වරය සමඟ වැඩි කලක් ගත කරන්නට පුරුදු වූවාය. මේ අතරවාරයේ නිල්මිණී තමා විසින්ම පටිගත කළ ගීතයක් සමාජජාලාවල පළ කළාය. එය ඇගේ සංගීත දිවියේ එක් හැරවුම් ලක්ෂ්‍යයකි.

"මම ලතා වල්පොල මහත්මියගේ සින්දුවක් රෙකෝඩ් කරලා ෆේස්බුක් එකට දැම්මා. ඒක ශෙයාර් වෙලා ලක්ෂ පහක් විතර බලලා තිබුණා. ඒ ගීතය සෑහෙන්න ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ ගොඩක් අය මගෙන් තවත් එහෙම සින්දු ඉල්ලා තිබුණා. ඒ වගේ තව ගීත කීපයක් ගායනා කරලා ෆේස්බුක් එකට දැම්මා."

මියුරු හඬක් හිමි නිල්මිණීගේ ගායනයන් ටිකෙන් ටික සමාජජාලාවල ජනප්‍රිය වන විට ඇයට ජ්‍යෙෂ්ඨ සංගීත අධ්‍යක්ෂවරයකු වන අර්නස්ට් සොයිසාගෙන් ගීතයක් කිරීම සඳහා ආරාධනාවකි.

"අර්නස්ට් සොයිසා මහත්මයා මට ඇමතුමක් අරගෙන ගීතයක් කියන්න ආරාධනා කළා. මට හොඳ කටහඬක් තියෙනවා කියලා ඔහු කිව්වා. ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ ගීතයක් තියෙනවා, ඒක හැමෝටම කියන්න බැහැ. ඒ ගීතය මම ඔයාට දෙන්න කැමතියි කියලා ඔහු කිව්වා."

පසුව ඇයට එක් ගීයක් නොව ගීත කීපයක් අර්නස්ට් සොයිසා විසින් නිර්මාණය කර දී ඇත. අර්නස්ට් සොයිසාගේ සංගීතයෙන් රොහාන් රූපසිංහගේ පදවැල්වලින් නිල්මිණී වැලිවිටගේ ගායනයෙන් හැඩ වුණු ගීත කීපයක් නිර්මාණය විණි. "සීත සැන්දෑවේ", "මුවමඬල සිනාවෙන්" යන ගීත ජනප්‍රිය විය. මේ අතරින් "මුවමඬල සිනාවෙන්" ගීතය නිල්මිණී ගයන්නේ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමඟය. ඇය ගායනා කළ "සීත සැන්දෑවේ" ගීතයට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර රැසක් ලැබුණු වග ඇය පැවසුවාය. එහෙත් වර්තමාන විද්‍යුත් මාධ්‍ය ඇගේ එම ගීතයට ඒ තරම් හොඳ ප්‍රතිචාර දක්වා තිබුණේ නැත.

"මගේ සීත සැන්දෑවේ ගීතය ශාස්ත්‍රීය ගීයක්. දැන් තරුණ අය කියනවා වගේ මල් සින්දුවක් නෙමෙයි ඒක. චැනලවලට සින්දුව දුන්නම එයාලා කියන්නේ මල් සින්දුවක් නම් අපි ගන්නවා කියලා. අපි කිව්වේ ලතා වල්පොල මහත්මියගේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත. ඒ ආභාසය තමයි මට තියෙන්නේ. ඒත් දැන් ඒ සින්දුවලට තැනක් නැහැ."

එසේ වූවා යැයි ඈ සැලුණේ නැත. සංගීතයට ඇති ඇල්ම ද වෙනස් වූයේ නැත. ඇය තවත් සංගීතයට නැඹුරු වූවාය. ගී ගයන්නට පෙලඹුණාය. ඉන්පසුව ඈ ගැයුවේ බොදු බැති ගීයකි. ශාන්ත ජයරත්න පදරචනා කළ සුනෙත් කැළුම් සංගීත අධ්‍යක්ෂණය කළ "උතුම් සිරිපද" නම් මේ ගීතය රූපවාහිනී නාළිකා රැසකම විකාශය වුණු බව ඈ පැවසුවාය. එමෙන්ම අනෙක් ගීතවකට වඩා එය බොහෝ සෙයින් ජනප්‍රිය විය. ඉන් නොනැවතුණු නිල්මිණී ඇය විසින්ම රචනා කොට සංගීතය සැපයූ ගීතයක් නිර්මාණය කළාය.

"මට හිතුණා මම විසින්ම ගීතයක් නිර්මාණය කරන්න. ඒක ඉංග්‍රීසි ගීතයක්. මගේ ඔළුවට ආවෙ ඉංග්‍රීසි වචන. ඒ නිසා එහෙන්මම ඒක ලිව්වා. මම සත්ත්ව සුබසාධන ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරනවා. සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම පෙනී ඉන්නවා. සත්තු දඩයම් කරනවාට, ඔවුන්ට හිරිහැර කරනවාට විරුද්ධයි. මේ ගීතයේ නම "ර්චථච ජධථඥ ඡචජඬ". ඒ සින්දුවේ කතාව හරිම ලස්සනයි. පුංචි මුව පැටියෙක් එයාගේ අම්මා එක්ක සතුටින් කාලය ගත කරමින් ඉන්නවා. එයාගේ අම්මාව දඩයම්කරුවෝ මරනවා. ඒ පුංචි මුවපැටියාට මිනිසා ගැන දැනෙන දේ තමයි මම මේ සින්දුවෙන් ලිව්වේ."

එපමණක්ද නොව. නිල්මිණී වැලිවිට සහ ලක්ෂ්මන් හිල්මි විසින් ගයන යුග ගීයක් මෙම සතියේ එළිදැක්වීමට නියමිතය. මෙම ගීතයේ පද රචනය සහ සංගීතයද ලක්ෂ්මන් හිල්මි විසින් නිර්මාණය කරන ඇත.

නිල්මිණී වැලිවිට මේ වන විට සංගීතයට අමතරව සත්ත්ව සුබසාධනය වෙනුවෙන්ද ඇගේ කාලය කැප කරන්නීය. සතුන් සමඟ වැඩි කාලයක් ගත කරන්නීය. සප්ත ස්වරය කිසිදා ඇයට අමතක කළ නොහැකිය. අවිවාහක ඇයගේ ජීවිතය වඩා සැහැල්ලු කරන්නේද පාළුව කාන්සිය මකන්නේද සප්ත ස්වරයයි. ඉදිරියටත් ඇගේ සුමියුරු නදින් ගීත බොහෝමයක් ගැයෙන බව ඇය අප සමඟ පැවසුවාය.