උසම නිළිය ලෙස මතක පොත හැඩකළ විශාඛා සිරිවර්ධන දිවි රඟමඬලෙන් බැසයයි

ඔක්තෝබර් 28, 2021

 

ජනප්‍රිය රංගන ශිල්පිනී විශාඛා සිරිවර්ධන ජීවන රඟමඬලින් සමුගත් බව ඔබ මේ වනවිටත් දන්නා පුවතකි. ශ්‍යාමා අල්ගමට පසු ලංකාවේ උසම නිළිය ලෙස අබිසෙස් ලැබූ ඇය මියයන තෙක්ම ඒ කිරුළ හිස මත රුවා සිටියාය.

විශාඛා සිරිවර්ධන පිළිබඳ ලියන්නට සැරසෙන මේ සටහන එලෙස ආරම්භ කළද ඇයගේ පෞද්ගලික ජීවිතයට එබී බැලූ කල අපට හමුවන්නේ අප්‍රතිහත ධෛර්යයක් තිබුණු කාන්තාවකි. තමන්ගේ ජීවිතයේ කොතෙක් කම්කටොළු ගැටලුකාරී තත්ත්වයන් තිබුණද ඒ සියල්ලම ඇය මඳකට හෝ යටපත් කර ගත්තේ කලාව නිසාය. විශාඛා යුග දිවියට ඇතුළත් වන්නට සූදානමින් සිටියේ ජනප්‍රියත්වයේ හිණිපෙත්තේහිම සිටියදීය. එවකට ඇගේ පෙම්වතා, පසුකාලීනව ඇගේ සැමියාවූ දයා ධර්මසිරිවර්ධන හදිස්සි අනතුරකට භාජනය වූයේ නොසිතූ විරූ මොහොතකය. ඒ හේතුවෙන් ඔහුගේ පාදයක් ඉවත් කිරීමටද සිදුවිය. තමන්ගෙන් වෙන්ව ගොස් වෙනත් අයෙකු සමග විවාහ වී යහපත් යුග දිවියක් ගත කරන්නට යැයි දයා කිහිප සැරයක්ම විශාඛාට කිව්වත් ඇය එක හෙළාම එය ප්‍රතික්ෂේප කළාය. දයාවම විවාහ කරගන්න තීරණයක ඇය සිටියාය. මේ හේතුවෙන් එම වකවානුවේදී ඇයට චිත්‍රපට ගණනාවක්ද අහිමි විය. එහෙත් ඒ සියල්ල අත් හරිනු ලැබූවේ තමන්ගේ පවුල වෙනුවෙන් කියා ඇය සිත සනසා ගත්තීය. මේ දිරිය ගැහැනිය රංගන ශිල්පිනියක් විදිහට මිනිසුන් අතරේ ඉතා ඉහළ ජනප්‍රසාදයක් ලැබීය. විවිධ චරිත ඇයට හිමි වීම ඊට ප්‍රධානම හේතුව විය. විශාඛා සිරිවර්ධන රංගනයට පිවිසෙන්නේ සිතේ උපන් ආසාවක් නිසාය. ඇගේ උපන් ගම වන කුරුණෑගල කටුපොත ප්‍රදේශයෙහි සිනමාපටයක් රූපගත කරන වගට ඇයට ආරංචි විය. තම මිතුරු පිරිසක් සමඟ එතැනට ගිය ඇයට දැකගන්නට ලැබුණේ අප නිළි රැජන මාලිනී ෆොන්සේකා ඇතුළු චිත්‍රපටයේ කණ්ඩායමයි. සුරූපී මාලනී දෙව්දුවක් ලෙස ඇය දුටුවාය. එම චිත්‍රපටය වසන්තයේ දවසක් නම් විය. එදින ගෙදර ගිය ඇයට මාලිනී ෆොන්සේකාගේ රුව නිතර මැවී පෙනෙන්නට පටන්ගත්තේය. විශාඛා සිහින ලොවක තනි විය. අනේ මටත් රඟපාන්න ඇත්නම් කියා අමුතු සිතුවිල්ලක් සිතේ උපන්නේය. චිත්‍රපට අධ්‍යක්ෂ නැසීගිය සිරි කුලරත්නගේ සොයුරා විශාඛාගේ පංති සගයෙකි. තම මිතුරියගේ සිහිනය හඳුනාගත් ඔහු එය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් වෙහෙස වී සිය සොයුරාට විශාඛාව හඳුන්වා දුන්නේය. සිරි කුලරත්න තම නවතම සිනමාපටය වන "අනුරාධා"සඳහා විශාඛාව තෝරා ගත්තේය. ඇයට එම සිනමාපටයේ රඟපාන්නට තිබෙන්නේ නිළි රැජින මාලිනී ෆොන්සේකා සමඟ බව දැනගත් ඇය තව තවත් සතුටින් ඉපිළ ගියාය. විශාඛා අනුරාධා සිනමාපටයෙන් පසුව තවත් නිර්මාණ කිහිපයකටම රඟපෑම සඳහා භාග්‍යය ලැබීය. ඇගේ ඊළඟ සිනමාපටය වූයේ "සනසන්න,මා"ය. මාලිනී ෆොන්සේකා ජීවිතයට සමීප වීමත් සමඟ ඇයට තවත් වැඩ කටයුතු කරගෙන යාමට පහසුවක් විය. මාලිනීගේ සසර චේතනා සිනමාපටයේ උප ප්‍රධාන චරිතය සඳහා විශාඛාව තෝරා ගත්තේ ඒ මිත්‍රකම නිසාය. එහි රංගනය වෙනුවෙන් විශාඛාට හොඳම සහ නැඟී එන නිළිය ලෙසට සරසවිය සම්මානයට පාත්‍ර වන්නට වරම් හිමිවිය. අභාග්‍යයකට ඇය තමන්ට සම්මානයක් ලැබෙන බව නොදත් නිසා එදින උලෙළට සහභාගි වූයේ නැත. තමන්ට සම්මානයක් තිබුණු බව දැනගත් ඇය පහුවැනිදාම ලේක්හවුස් ආයතනයට පැමිණ එවකට සභාපති රණපාල බෝධිනාගොඩ මහතා අතින් එම සම්මානය ලබාගත්තේය. අනතුරුව දිගින් දිගටම සිනමාපට සඳහා ආරාධනා ලැබුවද තම පෙම්වතාගේ හදිසි අනතුර නිසා ඇයට ඒවාට දායකත්වය ලබා දීමට මනස සන්සුන් කර ගැනීමට නොහැකි විය. ඒ සංක්‍රාන්ති සමයෙන් අනතුරුව ඇය නැවතත් සිනමාවට පිවිසෙන්නේ සඳමඬල සිනමාපටයනි. ඊට පසුව නින්ජා ශ්‍රී ලංකා ඇතුළු සිනමාපට රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නීය. ඉසුරු ගිර ටෙලි සිතුවමේ රතු අක්කාගේ චරිතය ඔබට මතක ඇතුවාට කිසිදු සැකයක් නැත. ඇය එකල එම චරිතයෙන් ඉතා ජනප්‍රියත්වයට පත්විය. බිම්මල් ඉල්ලම, බඹා කෙටූ හැටි, භාවනා, වසූදා ඇතුළු නාට්‍ය ගණනාවකට විශාඛාට රංගන දායකත්වය ලබා දෙන්නට හැකි විය.

කුරුණෑගල කටුපොත ග්‍රාමයේ උපත ලැබූ විශාඛා සිරිවර්ධන නම දෙනෙකුගෙන් යුතු පවුලක අටවැන්නාය. දෝන ලිසී සිරිවර්ධන විශාඛාගේ මවය. ඩේෂායි සරත් සිරිවර්ධන ඇගේ පියාය. කටුපොත තිස්ස මහා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ විශාඛා පුංචි සන්දියේ සිටම දඟකාර චරිතයකි. ඇගේ හැසිරීම කොල්ලෙකු බඳු යැයි ඇය අවස්ථා ගණනාවකදීම පුවත්පත්වලට කියා තිබිණි. විශාඛාගේ මුල්ම ලිපිය පළවන්නේද සරසවිය පුවත්පතේය. එය සුනිල් හොරේෂස් විසින් ලියන ලද්දකි. සරසවිය පුවත්පත ඇගේ රංගන ජීවිතයට මහත් වූ පිටිවහලක් ලබා දුන් බවට නිර්ලෝභීව කියන්නට තරම් විශාඛා නිහතමානී චරිතයක් විය. 1956 අගෝස්තු මස 28 වැනිදා උපත ලැබූ විශාඛා මිය ගියේ වයස අවුරුදු හැට හයක් ආයු ලබමිනි. උස අඩි 5යි අඟල් නවයක් වූ ඇය ලංකාවේ උසම නිළිය ලෙස මිය ගියාය. දිගු කලක් අසනීපෙන් පීඩා විඳී විශාකා මෑතක් වන වන තුරුම රංගන චාරිකාවේ නියැළුණාය. එමෙන්ම ඇයට හොඳ මිත්‍ර සමාගමක්ද තිබිණි. විශාඛාගේ අවසන් කටයුතු පසුගියදා කුරුණෑගලදී සිදු වුණේ කලා සහෘදයන් රැසකගේ සෝසුසුම් මධ්‍යයේය. ඇයට අපිද නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

සේයාරූ - දයාන් විතාරණ