කෞශල්‍යා සමරසිංහට ප්‍රහාරයක්...

ඔක්තෝබර් 7, 2021

 

කෙනෙකුගේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන අය ඕනෑතරම් ඉන්නවා. ඒත් සමහර අයට නම් තව අයෙක් වාහනයක් එහෙම මිලට ගෙන සමාජයේ යම් තැනකට එන්න උත්සාහ කරද්දී ඇහැට කටු අනිනවා වගේ. බොහෝ විට ඒ මිනිස්සු කිසිම දියුණුවක් නොලද උදවිය. ඔවුන් දියුණුව කරා යන්නෙත් නැහැ අනිත් අයට දියුණු වෙන්න දෙන්නෙත් නැහැ. එහෙම මිනිසුන් කොට්ටාසයක් අතරේ තමයි අපි මේ ජීවිතය ගෙවන්නේ. මෙලෙස ප්‍රවේශයක් ගත්තේ අපේ නව පරපුරේ රංගන ශිල්පිනියක් මුහුණ දුන් අත්දැකීමක් පිළිබඳ විස්තරයක් ඔබ වෙත ගෙන එන්න. සමාජයේ වෙසෙන කුහක මිනිසුන්ගේ කුහකත්වයට ඇය බරපතළ අන්දමින් මුහුණ දුන්නා. මේ රංගන ශිල්පිනිය කෞශල්‍යා සමරසිංහ. ගිරිකුළ, ගිරි දේවි, අඩෝ, මුතු කුඩ වැනි නාට්‍ය ගණනාවකින් ඔබ හමුවට පැමිණි ඇය සම්මාන උලෙළ කිහිපයකදිම හොඳම නැඟී එන නිළිය සම්මානයටත් නිර්දේශ වුණා. කෞශල්‍යාගේ උපන් ගම අනුරාධපුරය. ඇය වත්මනෙහිද ජීවිතය ගෙවන්නේ ඒ ප්‍රදේශයේමයි. තෝරාබේරාගෙන නිර්මාණවලට දායක වන කෞශල්‍යා ෂූටිං තිබුණොත් තමයි කොළඹ එන්නේ. ඉතින් ඇය මුහුණ දුන් අත්දැකීම ඇයගේම වචනවලින් අපි දැන් සවන් දෙමු...

 

අනුරාධපුරය මම උපන් ගමේ තමයි තවමත් ජීවත් වෙන්නේ. අප ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු දන්නවා මම රඟපාන්නේ තෝරා බේරා ගෙන කියලා. ඒ වගේම මම රඟපෑමේ කටයුත්තකට ගියත් මගේ පාඩුවේ ඉඳලා කාටත් කරදරයක් නැතිව වැඩේ නිමා කරලා මම අනුරාධපුර එනවා. හැම දෙනාම මම ගැන දන්නවා. පසුගිය දවස්වල වැඩිය රඟපෑමේ කටයුතු තිබුණේ නැති හින්දා මම ගෙදර හිටියේ අයියාගේ දරුවොත් එක්ක. ඔය අතරේ මට හිතුණා මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. මට හොඳ රසට උයන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් කෑමක් ඉව්වාම අහල පහළ ගෙවල්වලට දෙනවා. ඔවුන් නිතරම කියනවා මම උයන කෑම හරිම රහයි කියලා. ඒකත් එක්ක කෑම සම්බන්ධ ව්‍යාපාරයක් තමයි පටන් ගත්තේ. ඒකෙ නම බන්ටි ෆුඩ්ස්. මම ඒ කෑමවලට රසකාරක දැම්මේ නැහැ. මේ නිසා සහ මගේ කෑමවල රසවත් භාවය නිසාම ඉතා ඉක්මනින් මිනිස්සු අතරේ ප්‍රචලිත වුණා මගේ ව්‍යාපාරය ගැන. ඒ නිසා නිරන්තරයෙන්ම ඕඩර්ස් ආවා. සමහර දවස්වල පාන්දර දෙකයි නිදාගනිද්දි. ආයෙ උදෙන්ම නැගිටලා ඕඩර්ස්වලට කෑම හදන්න පටන් ගන්නවා.

මේක උහුලගන්න බැරි වුණා අපේ පැත්තෙම හිටපු සමහර අයට. මට ඒක යම් යම් අවස්ථාවලදී තේරුණත් මෙච්චර බරපතළ විදිහට ඔවුන් මට ප්‍රතිචාර දක්වයි කියල මට හිතුණෙ නැහැ. පසුගිය ඉරිදා උදෑසන සුපුරුදු පරිදි මම නිවෙසින් එළියට එන්න හදද්දිම මට යම් වෙනසක් තේරුණා. මගේ වාහනේ පිටිපස්සෙ වීදුරුව එහෙම්පිටින්ම බිඳීලා ගිහිල්ලා. වාහනය පිටිපස්ස දොර තැලිලා. මට හිතුනා යම් කිසි හේතුවක් මත මේ වීදුරුව පුපුරලාද දන්නෙත් නැහැ කියලා. හැබැයි විමසිල්ලෙන් හොයලා බලද්දී ඒ වාහනය තුළ ලොකු ගලක් තිබුණා. කිසියම් හෝ කෙනෙකු මගේ දියුණුව ගැන ඊර්ෂ්‍යාවෙන් පෙළිලා කර කියා ගන්න දෙයක් නැති තැන මගේ වාහනයට ලොකු ගලක් අතහැරලා ගිහිල්ලා. ඇත්තටම මම ෂොක් වුණා.

මම හිතුවේ නෑ මේ වගේ අත්දැකීමකට මට මුහුණ දෙන්න වෙයි කියලා. මට ඒ වගේම බයත් හිතුනා. වාහනේට මෙහෙම හානියක් කරන්න පුළුවන් නම් මම තනියම එළියට බැහැලා යද්දි මගේ ජීවිතයට වුණත් හානි කරන්න ඒ මිනිස්සු පෙලඹෙයි කියල හිතුණා. ඒ නිසා වහාම මම පොලිසිය මේ පිළිබඳ දැනුම්වත් කළා. තවමත් මම මේ සිද්ධිය නිසා ෂොක් වෙලා ඉන්නේ. ඒත් එක්කම මට මේ දිනවල ලැබුණු ඕඩර්ස් සියල්ලම කැන්සල් කරන්න වුණා. කෑමක් හදන්නවත් මට මානසිකත්වයක් නැහැ. ඇත්තටම ඇයි මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ.. මහා කුහක සමාජයක් මේක. කෙනෙක් දියුණු වෙලා ටිකක් ඉස්සරහට එද්දි ඒ මිනිස්සුන් නලියනවා. මං කියන්නේ අඩුම තරමේ තමන්ට දියුණු වෙන්න බැරි නම් දියුණු වෙන මිනිහෙකුට අකුල් හෙළන්නේවත් නැතුව ඉන්න. මේ සිද්ධිය නිසා හිත බිඳුණත් මේ කෙටි කාලේදිම මම හිත හදා ගත්තා. මගේ ගමන මම නවත්තන්නේ නැහැ. හැබැයි මගේ ආරක්ෂාව පිළිබඳ යම් කිසි බයක් මට තියනවා. සමහරු බයයි මම ලංකාවේ ලොකු ව්‍යාපාරිකාවක් වෙයි කියලා. ඇත්තටම මට එහෙම වෙන්න වුවමනාවක් නෙමේ තියෙන්නේ.

 

ඇත්තටම අර කට වචනෙට කියනවා වගේ මේ වෑයම රජ වෙන්න නෙමේ. මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගත්තා පමණයි. මගේ අවංකත්වයට මිනිස්සු මට ඕඩර්ස් දුන්නා.. ඉතින් මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ, කොයි වෙලාවකවත් මං මගේ ව්‍යාපාර වැඩකටයුතු නවත්තන්නෙත් නෑ. රංගනය නවත්තන්නෙත් නෑ.හැබැයි මේ මිනිස්සුත් එක්ක මම එල්ලි එල්ලි යන්නෙත් නැහැ. පොලිසියට මේ පිළිබඳ දැනුම්වත් කළානෙ. නීතිය පැත්තෙන් ඒ සියල්ල විසඳෙන කල් බලාගෙන ඉන්නවා.