දරුවනට අකුරු නොව සාරධර්ම කියා දෙන්න

රංගන දිවියේ පනස් වසර සමරන මෙලනි අසෝකා
අගෝස්තු 12, 2021

 

වේදිකාවෙන් රංගනයට පිවිසි ඇගේ රංගන දිවියට මේ වනවිට දශක පහක් පිරී ගොස්‍ ය. ටෙලිනාට්‍ය ආරම්භක නිළියක වන ඇය දක්ෂ හඬකැවීම් ශිල්පිනියකද වෙයි. සිනමාව තුළද තම දක්ෂතාව මැනවින් ශපථ කළ ඇය ක්‍රියාකාරී සමාජ ක්‍රියාකාරිණියකි. කාලෙන් කාලයට වෙනස්ම චරිත ඔස්සේ යමින් සිය රංගන ප්‍රතිභාව මනාව පෙන්නුම් කරන ඇය මෙලනි අශෝකාය. මේ දිනවල නිර්මාණ ද්විත්වයකින් වෙනස්ම චරිත ඔස්සේ ප්‍රේක්ෂක ඔබට ආමන්ත්‍රණය කරන ඇය සමඟ සරසවිය අප මෙසේ කතා කළෙමු.

 

ඔබ ඔෂීන් ඇතුළු ලංකාවේ විකාශය වූ විශ්වීය නිර්මාණ ‍රැසකට හඬ දායකත්වය ලබාදුන් මේ කාර්යයේ ආරම්භක සාමාජිකාවක්. ඒ අත්දැකීම කොහොමද?

අතුල රන්සිරිලාල්ගෙන් මම ටයි මහත්තයා ( ටයිටස් තොටවත්ත) හඳුනා ගන්නවා. ඔහු තමයි හඬකැවීම් තුළින් කළ නිර්මාණ සන්නිවේදන මාධ්‍යයක් ලෙස ලංකාවේ ප්‍රචලිත කළේ. ඒ ඒ රටවල නිර්මාණය වු විශ්ව නිර්මාණ ලංකාවට ගෙනැල්ලා ඒ නිර්මාණ තුළින් ඔවුන්ගේ ආචාරධර්ම සිරිත්විරිත් ලාංකේය සමාජයට දැන ගැනීමට සැලැස්සුවේ ටයි මහත්තයා. මට හඬක් තිබුණා නම් ප්‍රේක්ෂකයාට ඒ හඬ හඳුනාගන්න මගේ හඬ ඔපමට්ටම් කරලා ගන්නේ එතුමන්ලා.

 

ඔබේ හඬ දායකත්වය ලබාදුන් නිර්මාණ අතර අතිශය ජනප්‍රියත්වයට පත්වූ චරිත මොනවාද?

ඒ කාලයේ ප්‍රේක්ෂකයා බොහොම ආදරයෙන් වැලඳගත් චරිතයක් රොබින්සන් අන්දරයේ එළිසෙබත්ගේ චරිතය. අතුල රන්සිරිලාල් කළ ඔකවැන්ගෝ නම් නිර්මාණයේ ජෙසිකා මැකන්සිගේ චරිතය එහි ප්‍රධාන චරිතය. මම එයට මගේ හඬ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ වසන්තය නිමා විය නම් ජපන් කතාවේ මේරි මැකන්සිගේ චරිතය නිරූපණය කළා. ඒ නිසාම ඒ කාලයේ මැකන්සි නම ඉතා ජනප්‍රිය වුණා. එදා සිට අද දක්වා එක දිගට හඬ කැවිම් කරනවා.

 

මේ වනවිට චිත්‍රපට ටෙලිනාට්‍ය වේදිකා නාට්‍ය කොයිතරම් ප්‍රමාණයකට දායකත්වය ලබා දී තිබෙනවාද?

චිත්‍රපට විස්සකට වගේ රංගන දායකත්වය ලබා දී තිබෙනවා. ටෙලිනාට්‍ය දෙසීයකට ආසන්න සංඛ්‍යාවකට වගේම 1975 රෝයි ජයවර්ධනගේ සෙලීනා නාට්‍යයෙන් ආරම්භ කර කතරගම රූමතිය, ලයනල් රන්වලයන්ගේ බීරී අලි වේදිකා නාට්‍ය ඇතුළුව විශාල ප්‍රමාණයකට ශිල්පීය දායකත්වය ලබා දී තිබෙනවා.

 

කාලයක් ඔබ නිහඬ වෙලා ඉඳලා පසුව ඔබ නැවත පුංචිතිරයට ඇවිත්?

පසුගිය අවුරුදු පහක හයක කාලයේ මට හරි නිර්මාණයකට දායක වෙන්න ලැබුණේ නෑ. ඒත් හඬ කැවීම් දිගටම කළා. මෑතක ආයෙත් මට විවිධ චරිත කිහිපයක් ලැබුණා. නිමල් රත්නායකගේ මැටිකඩුලු හි ශීලා කියන ගඩොල් කපන කාන්තාවගේ චරිතය කළා. එය නිමයි. එයට හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ වනවිට සිරස නාළිකාවේ විකාශය වන තරුණ අධ්‍යක්ෂවරයෙක් වන ධනුෂ්ක රත්නායකගේ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ චිට්ටි ආච්චි නමින් ප්‍රහසන රංගනයක් කරනවා. එය ප්‍රේක්ෂකයන් ඉතාම ආදරෙන් වැලඳගෙන තිබෙනවා. ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වන මහවිරු පණ්ඩුහි රංගනයෙන් දායකවනවා.

 

ඉදිරියේදී ඔබ පුංචිතිරයේ දිගටම දකින්න ලැබෙයිද?

මේ දිනවල රූගත කිරීම් කරන නාට්‍ය කිහිපයක් තියෙනවා. මංජුල මොරහගගේ ගුඩ් නිව්ස්, ගයාන් කහවත්තගේ නිහඩ ගිර, රොෂාන් රවීන්ද්‍රගේ කටුරෝදය වැනි නිර්මාණ ඉදිරියේදී දකින්න පුළුවන්.

 

ඔබ රංගනයට අමතරව සමාජ ක්‍රියාකාරිණියක් වෙලා?

ඔව්. කඩුවෙල සංස්කෘතික බලමණ්ඩලයේ ලේකම්. ප්‍රදේශයේ කලාකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් මට කළ හැකි දේ මා කරනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සංස්කෘතික බල මණ්ඩලයේ භාණ්ඩාගාරික. කොවිඩ් හේතුවෙන් සැලසුම් කළ සියල්ල කිරීමට නොහැකි වුණත් කළ හැකි දේ ඉටු කරනවා නොපැකිලව. කලාකරුවන් වෙනුවෙන් සේවය කරන්න මට ලැබිලා තියෙනවා. මේ සියල්ල ම මම ස්වේච්ඡාවෙන් කරන දේවල්. එයින් මම සතුටක් ලබනවා.

 

දශක පහක් කියන්නේ ඉතා දිගු කාලයක්. කලා ක්ෂේත්‍රයේ එදා සහ අද පිළිබඳ ඔබට බොහෝ දේ ඇති කියන්න?

එදා මේ තරම් නළු නිළියන් පිරිසක් හිටියේ නෑ. ඒ වගේම එදා මේ තරම් නිර්මාණ බිහිවුණෙත් නෑ. එදා බොහොම අතළොස්සක් වූ නිර්මාණ බිහි කළා හොඳට කාලය අරන්. ඒ කාලේ මේ තරම් තාක්ෂණික පහසුකම් තිබුණේ නෑ. පෝස්ට්කාඩ් එකෙන් තමයි රිහසල් දිනය බලාගන්නෙත්. අද හැමදේම අත ළඟට ඇවිත්. ඒත් එක්ක බලද්දි අද ව්‍යාප්ත වීම වැඩියි එදාට වඩා. එදා සහ අද සන්සන්දනය කරීම කළ නොහැකියි. ඒත් අපි සතුටුවෙන්න ඕනෑ ආයෙමත් නැඹුරුවක් තියෙනවා අපේ දේ සමඟ නිර්මාණ කරන්න. අපේ දේ රැකගෙන ඉදිරියට යන නිර්මාණ බිහි කරන නිර්මාණකරුවෝ අලුත් පරම්පරාවෙත් ඉන්නවා.

 

ඔබ රංගනයට අමතරව හොඳ ලේඛිකාවක්?

ඔව්. ලේඛිකාවක් විදිහට මම තරගවලට ලියූ කෙටිකතා එකතුවක් සිංහල නෑයා කෙටිකතා සංග්‍රහය. එයට කඩුවෙල ජාතික සාහිත්‍ය උත්සවයේ ප්‍රථම ස්ථානය ලැබුණා. සෙබළෙකු සහ ගැහැනියක් නවකතාව නිර්මාණය කළා. මගේ අලුත්ම නවකතාව සමනල බැද්ද සෝදුපත් බලමින් ඉන්නවා මේ දිනවල. තවත් කෙටිකතා දහයකින් යුත් කෙටිකතා සංග්‍රහයකුත් නිර්මාණය කරලා තියෙනවා. ඒ දෙකම එකට එළිදක්වන්නයි බලාපොරොත්තුව.

 

දශක පහක කාලය තුළ සිදු වූ සමාජීය වෙනස්කම සමාජ ක්‍රියාකාරිණියක් රංගන ශිල්පිනියක් විදිහට ඔබට දැනුණේ කොහොමද?

ලෝකයේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් බිහිවුණේ මේ ආසියාතික රටවලින්. සංස්කෘතික මිනිසා බිහි වුණේ මේ නිජබිම්වල. ඒත් අද වන විට බටහිර රටවලට වඩා සාරධර්ම පිරිහිලා අපේ රටවල. මීට අවුරුදු ගණනාවකට පෙර මා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා ඉරිදා දවසේ දහම්පාසල් යැවීම අනිවාර්ය කරන්න. අමතර පංති ඉරිදා දවසේ තහනම් කරන්න කියලා. ඒ දවස්වල මගේ ඒ ප්‍රකාශයට ලොකු විරෝධයක් ආවත් අද එහි අනිටු ප්‍රතිඵල අප භුක්ති විඳීනවා. අද සමාජය තුළ සාරධර්ම ගුණධර්ම පිරිහිලා. කුඩා කලයේ සිටයි අප ඒවා දරුවන්ට ඉගැන්විය යුතු. ඒ වගේම මා ඉල්ලීමක් කරනවා මුල් අවුරුදු පහ තුළ දරුවන්ට අකුරු කියා නොදී සාරධර්ම ගුණධර්ම පුරුදු පුහුණු කරන්න කියලා.