වර්ෂ 2023 ක්වූ September 28 වැනිදා Thursday
රන්ජන්ට ජනපති සමාව දිය යුතුද? නැද්ද?

මෙරට අධිකරණ පද්ධතියේ බොහෝ විනිසුරුවරුන් දූෂිත බව ජනමාධ්‍ය හරහා පවසමින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් වන නඩු විභාගයට අනුව 2021 ජනවාරි මස 12 වැනිදා රංගන ශිල්පී රන්ජන් රාමනායකට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. රන්ජන් රාමනායක සිරගත කොට මේ වන විට සත් මසක් පසුව වී ඇත. පසුගිය සමයේ කලාශිල්පීහු ඒකරාශීව රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ අතර මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඊට අදාළ හේතු කාරණා දැක්වූහ. එම නිසා රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදිය යුතුද නැද්ද යන්න කලා ලොවෙන් විමසුවෙමු.
රන්ජන් සමහර තැන්වල වැරැදියි.
සමහර තැන්වල නිවැරැදියි
-මහේන්ද්‍ර පෙරේරා-
මම හිතන්නේ රන්ජන්ට ජනාධිපති සමාව දිය යුතුයි කියලා. ඔහු හිරේ ඇතුළේ ඉන්න ඕන හාදයෙක් නෙමෙයි. එහෙම බැලුවොත් හිරේ ඇතුළෙ ඉන්න ඕන හාදයෝ ඕනතරම් එළියේ නිදහසේ ඉන්නවා. මොකද රන්ජන් මිනී මරල හොරකම් කරලා අපරාධ කරපු කෙනෙක් නෙමෙයි. ඔහු රැඩිකල් චරිතයක්. ඒ වගේ චරිතයකට සමාජයේ ජීවත් වෙන්න බැරිද? ඔහුගේ දේශපාලනය ගැන නම් මම කතා කරන්න කැමති නැහැ. මම ඔහුට කියලා තියෙනවා දේශපාලනය කරන්න එපා කියලා. ඔහුව දේශපාලනයට වඩා වටින්නේ අපේ වාණිජ සිනමාවට. රන්ජන්ට මම කිව්වේ සිනමාවට කාලය වැය කරන්න කියලා. ඒත් ඔහු ඒ කාලේ ඉඳන්ම දේශපාලනයට උනන්දුවක් දැක්වුවා. රන්ජන් එහෙම සිරගත කරලා තියාගන්න ඕනේ කෙනෙක් නෙමෙයි. ඒත් නීතියට අපිට පිටුපාන්න බැහැ. ඔහුට චෝදනා රාශියක් තියෙනවා. ඒත් කලාකරුවෙක් ලෙසවත් ඔහුට කලා කටයුතු ටික කරගෙන යන්න අවාථාව දීලා ජනාධිපති සමාව ලබාදෙනවා නම් හොඳයි. සමහර තැන්වල ඔහු වැරැදියි. සමහර තැන්වල ඔහු නිවැරැදියි. ජනාධිපතිතුමාට පුළුවන් නම් රන්ජන් කියන කලාකරුවා ගැන හිතලා සමාව දෙන්න ඒක අපේ සතුටට කාරණයක්.
...........................................................................
රන්ජන්ව නිදහස් කරනවා නම් ඒකේ වරදක් නැහැ
-උදයකාන්ත වර්ණසූරිය-
රන්ජන්ව සිරගත කළේ අධිකරණයට අපහාස කළා කියන වරදට. නීතියට අභියෝග කරන්න කාටවත් බැහැ. ඒත් පසුගිය කාලයේ ජනාධිපති සමාව කීපදෙනෙකුටම ලබාදුන්නා. රන්ජන් කියන්නේ අපරාධකරුවෙක්වත් නෙමෙයි. ඔහු සාධාරණ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරපු කෙනෙක්. ඒ නිසා රන්ජන් නිදහස් කරනවා නම් ඒකේ වරදක් මම දකින්නේ නැහැ. දැනටමත් මාස ගණනාවක් ඔහු සිරගත වෙලා ඉඳලා තියෙනවා නීතියට පටහැනිව කරපු සුළු වදන් පෙළක් නිසා. රන්ජන්ව ළඟින් ඇසුරු කරපු අය විදිහට අපි දන්නවා ඔහු ගැන. කාටවත් අපහාස කරන කවුරුවත් තලාපෙළා ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ කාරණාවලට මට එකඟ වෙන්න බැහැ. ඔහුගේ පෞද්ගලිකත්වය අපිට අදාළත් නැහැ. ඒත් වසර හතරක් තිස්සේ සිරගත කරලා ප්‍රජා අයිතිය අහෝසි කරන්න තරම් බරපතළ වරදක් ඔහු කරලා නැහැ. නිදහස් වුණොත් නීතියට ගරු කරලා ජීවත් වෙන්න ඔහු වගබලාගන්න ඕනේ. මීට වඩා රන්ජන්ට ජනතාවට සහ කලාවට සේවය කරන්න පුළුවන්.
...........................................................................
ඔහු දේවල් සමාජගත කරපු විදිහ වැරදියි
-දමිතා අබේරත්න-
මම කතා කරන්නේ කිසිම දේශපාලන මතයකින් තොරව. සෑම ආණ්ඩුවකදීම නීතියෙන් වැරදිකරුවන් වෙන අයව නිදොස් කොට නිදහස් වෙනවා අපි දැක්කා. ඒක කුමන රජයකදීත් සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක්. මේ මොහොතේ අපි කලාකරුවන් ලෙස රන්ජන් නිදහස් විය යුතුයි කියලා කියනවා. ඔහුගේ දේශපාලන පසුබිම සහ දේශපාලන මතය අපට වැඩක් නැහැ. රන්ජන් අතින් ඇත්තටම වරදක් වෙලා ඇති. ඔහු වැරදිකරුවෙක් ලෙස සාක්ෂි ඇතිව ඔප්පු වුණා. ඒත් සහෝදර කලා ශිල්පියෙක් ලෙස රන්ජන් තුළ මම දැක්කා මිනිසුන්ට පිහිට වෙන හොඳ මනුස්සයෙක්. ඔහුගේ මානව හිතවාදී ගුණය මම අගය කරනවා. රන්ජන්ට දැන් දේශපාලනය කරන්න අයිතියක් නැහැ. ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙන්නෙ. ඒ නිසා නිදහස් වුණා කියලා ඔහු දේශපාලනය කරන එකක් නැහැ. ඔහුව නිදහස් කළොත් ඔහුගේ කලා කටයුතුත් කරගෙන මානවහිතවාදී වැඩ කටයුතුත් කරගෙන මේ රටේ සාමාන්‍ය කලාකරුවෙක් ලෙස ජීවත් වෙයි කියලා හිතනවා. ඒ නිසයි අපි කලාකරුවන් ලෙස හැමෝම ඉල්ලා සිටින්නේ රන්ජන්ට ජනාධිපති සමාව ලබාදෙන්න කියලා. මම දන්නේ නැහැ ජනාධිපතිවරයාට ඒක කරන්න පුළුවන්ද නැද්ද කියලා. ඒත් පුළුවන් කමක් තියෙනවා නම් මම අයැද සිටිනවා ඔහුට නිදහස ලබාදෙන්න කියලා. ඒ වගේම රන්ජන් යන්න ඕනේ ක්‍රමය වෙනස් කරගත්තා නම් හොඳයි කියලා මම හිතනවා. ඔහු දේවල් සමාජගත කරපු විදිහේ වරදක් මම දකිනවා. ඒවායේ ප්‍රතිඵලය තමයි ඔහු අද භුක්ති විඳීන්නේ. ඔහු දේශපාලනඥයෙක් විදිහට බොහොම ඉවසීමෙන් ක්‍රමයක් ඇතිව කටයුතු කළා නම් දේශපාලනයත් කරගෙන කලාවත් කරගෙන නිදහස් කෙනෙක් ලෙස ඉන්න තිබුණා.
..........................................................................
අධිකරණයෙන් සමාව නොගත් රන්ජන් ජනපති සමාවක් බලාපොරොත්තු වෙයිද?
-කමල් අද්දරආරච්චි-
රන්ජන්ට ජනාධිපති සමාව දිය යුතුයිද කියලා මුලින්ම තීරණය කරන්න ඕන ජනාධිපතිවරයා. රන්ජන් සිරගත වුණේ මිනී මරලා, වංචා කරලා සාපරාධී අපරාධයක් කරලා නෙමෙයි. මනුෂ්‍යයෙක් හැටියට ඔහු අතින් යම් කිසි අත්වැරැද්දක් වුණා, ඔහු කට වරද්ද ගත්තා. ඒකට හේතුව ඔහු ඉක්මන් වීම සහ දුරදිග නොබැලීම. ජනතාව වෙනුවෙන් යම් යම් ප්‍රකාශ නිකුත් කරන විට ඒවා කිව යුතු තැන් තියනවා. ඒත් සමාජය තුළට ඇවිත් අධිකරණයට අපහාස වන ප්‍රකාශ නිකුත් කිරීම නීතියෙන් වරදක්. අධිකරණය කරුණු කාරණා ඉදිරිපත් කරලා හේතු සහිතව ඔහුට දඬුවම් දුන්නේ. රන්ජන් දැඩි මතයක හිටියා කරපු ප්‍රකාශය පිළිබඳව ඔහු කාගෙන්වත් සමාව ඉල්ලන්න ඕනේ නැහැ කියලා. එහෙම ස්ථාවරයක ඉන්න කෙනෙක් සමාවක් අරගෙන දඬුවමින් නිදහස් වෙන්න කැමති වෙයිද කියලා මට මෙතනදි ගැටලුවක් තියනවා. මම කැමතියි රංජන්ගෙන්ම අහන්න එහෙම සමාව අරහෙන නිදහස් වෙන්න කැමතියිද? කියලා. දඬුවමින් නිදහස් වුණත් ඔහුගේ ප්‍රජා අයිතිය වසර ගණනාවකට අහිමි වීමත් ප්‍රශ්නයක්. තමන්ට ජනාධිපති සමාව අවශ්‍ය බව රන්ජන් කියනවා නම් මම තමයි පළවෙනියටම ඒ වෙනුවෙන් කතා කරන්නේ. ඒත් ඔහු සමාව අනවශ්‍යයි කියන මතයේ ඉන්නවා නම් ඔහු වෙනුවෙන් ජනාධිපති සමාව ඉල්ලලා ඔහුව හෑල්ලුවට ලක් කරන්න බැහැ. ජනාධිපතිවරයාමයි තීරණය කරන්න ඕනේ රන්ජන් අතින් සිදුවුණු වරද සමාව දිය හැකි වරදක්ද නැතිද කියලා. මම නම් හිතන්නේ ඔහුට සමාව ලැබෙනවා නම් වඩා හොඳයි කියලා.
............................................................................
රන්ජන් කරපු හැම ක්‍රියාවක්ම සාධාරණීකරණය කරන්නේ නැහැ
-අනුෂා දමයන්ති-
මම හිතනවා රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දෙනවා නම් ඒක ඉතාමත් සුදුසුයි කියලා. මම ඔහුගේ දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේම ඔහු කරපු හැම ක්‍රියාවක්ම සාධාරණීකරණය කරන්නේ නැහැ. අපි ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ඔහු මේ දඬුවම් විදින්නේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අධිකරණය විසින් ලබා දීපු තීන්දු තීරණ ගැන අපට කතා කරන්නත් බැහැ. ඒත් අපට රන්ජන් රාමනායක කියන රංගන ශිල්පියා සහ කලාකරුවෙක් ලෙස ඔහු ජනතාවට කරපු සේවය ගැන සලකා බලලා ඔහුට ජනාධිපති සමාව දීම සුදුසුයි කියලා මම හිතනවා. පක්ෂ භේදයකින් තොරව ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් සමස්තයේ මතය ඔහුට ජනාධිපති සමාව ලබා දිය යුතුයි කියන එක. ඒ නිසා ඔහුට සමාව දීම ගැන ජනතා විරෝධයක් මතුවෙන්නෙත් නැහැ. ඔහු මේ වනවිට සෞඛ්‍ය අතින් පිරිහිලා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් ඉන්නේ. ඒ ගැනත් සලකා බලලා දශක තුනක් තිස්සේ කලාව වෙනුවෙන් යම් සේවාවක් කළ කෙනෙක් නිසාත් ඔහු අතින් වෙනත් සාපරාධී වැරදි සිදුවී නැති නිසාත් ජනාධිපති සමාව ලබාදිය යුතුයි කියලා හිතනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු සමාව ගත්තා නම් ඔහුට මේ දඬුවම ලැබෙන්නේ නැහැ. ඔහුගේ හිතුවක්කාරකම නිසායි මේ දඬුවම ලැබෙන්නේ. ඔහු දැන් ඒකට දඬුවම් විඳීනවා. ඒත් මේ මොහොතේ මානුෂීය පැත්තෙන් හිතලා ඔහු ගැන සලකා බලනවා නම් හොඳයි.
............................................................................
එවැනි චරිතයක් සිරගත කිරීම සිනමා කර්මාන්තයට විශාල පාඩුවක්
- සුරංග ද අල්විස්-
වර්තමානයේ කලාකරුවන් රැසක් ඒකරාශී වෙලා රන්ජන් රාමනායකට ජනාධිපති සමාව දීම ගැන කතා කරනවා. මමත් ඔවුන් සමඟ ඔහු වෙනුවෙන් කතා කළා. රන්ජන් රාමනායක කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ වසර 35 කට අධික කාලයක් ලොකු සේවයක් කරපු කෙනෙක්. නිෂ්පාදකයන් අනුමාන කරන විදිහට ඔහු සිනමාවේ සල්ලි උල්පතක්. ඔහුගේ චිත්‍රපට බලන්න ප්‍රේක්ෂකයන් පොර කනවා. ඒ වගේ චරිතයක් සිරගත කොට තැබීම සිනමා කර්මාන්තයට විශාල පාඩුවක්. පහුගිය වකවානුවේ තිරගත වුණු ඔහුගේ චිත්‍රපට අතර ලීඩර්, ජීවිතේ ලස්සනයි, රංජා, මායා වගේ හැම චිත්‍රපටයක්ම ලක්ෂදාහස අබිබවා තිරගත වෙලා තියෙනවා. ඔහු සිනමා කර්මාන්තයට වටින පුද්ගලයෙක්. ඒ නිසයි අපි ඉල්ලා සිටින්නේ ඔහුට ජනාධිපති සමාව ලබාදෙන්න කියලා. රන්ජන් කරපු වරද බරපතළයි. ඒකට ඔහු දඬුවම් විඳීන්න ඕනෙ. ඒත් ඔහුගේ දඬුවම් සීමාවේ ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉල්ලා සිටිනවා ඔහුට අවස්ථාවක් ලබාදෙන්න කියලා. ඔහු මේ රටට අවශ්‍ය කෙනෙක්. සල්මන් ඛාන්, සංජය දත් වගේ රංගන ශිල්පීන්ට සිරගත වෙලා ඉද්දිත් ආරක්ෂක නිලධාරීන් සමඟ රූපගත කිරීම්වලට එන්න අවස්ථාව ලබා ලබා දී තිබුණා. ඒත් විවිධ රටවල නීතිය විවිධයි. අපේ රටේ නීති මාලාවෙ එවැනි නීතියක් නැතුව ඇති. අපි කරන්නේ එවැනි ඉල්ලීමක් නෙමෙයි. මේ වෙද්දි රන්ජන් සිරගත වෙලා මාස හයකට වැඩියි. ඔහු වගේ කෙනෙකුට ඒ දඬුවම ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඔහු සාපරාධී වැරදි කරපු කෙනෙක් නෙමෙයි. බරපතළ වාචික ප්‍රකාශයක් නිසයි දඬුවම් විඳීන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා ඔහුට ජනාධිපති සමාව දෙන්න කියලා.
...........................................................................
ඕනෙම කෙනෙකුට පාඩමක් ඉගෙන ගන්න කාලය ලැබෙන්න ඕන
-දිල්හානි අශෝකමාලා-
කලාකරුවන් හැමෝම ටික දවසක ඉඳලා වෙහෙසෙනවා ඔහුට නිදහස ලබාදෙන්න. ඕනේ කෙනෙක් අතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඒත් අපි සහෝදර ශිල්පීන් හැටියට ඔහු වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් සමාව ඉල්ලා සිටියා. එක ලිඛිතව සහ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා ඉල්ලුවා. රන්ජන්ට සමාව දෙනවද නැද්ද කියන එක ජනාධිපතිතුමා අතේ තියෙන වැඩක්. ඔහුට විරුද්දව තියෙන චෝදනා ඔප්පු වෙලා දැන් ඒවාට ඔහු දඬුවම් විඳීනවා. රන්ජන් මහ විශාල වැරද්දක් කරලා නැහැ. සමාව දිය හැකි වරදක් ඔහු කරලා තියෙන්නෙ. මාස හයකට වඩා ඔහු දඬුවම් වින්දා. කලාකරුවෙක් ලෙස ඔහු සමාජයට යම් දෙයක් කරපු කෙනෙක්. ඒ නිසා සිරගත වනවාට වඩා නිදහස් වෙලා කලා කටයුතු කරගෙන යන එකයි හොඳ. මම හිතන්නේ නැහැ ඔහු පරණ වැරැදි නැවත කරයි කියලා. ඕනෙම කෙනෙකුට ජීවිතේ පාඩමක් ඉගෙන ගන්න කාලය ලැබෙන්න ඕන. රන්ජන්ට ඔහු අතින් සිදුවුණු අඩුපාඩුව මොකක්ද කියලා දැන් වැටහෙනවා ඇති. දේවල් කතා කරන්න ඕනේ තැන් තියෙනවා. ආවේගශීලී වෙලා කතා කළොත් මොකද වෙන්නෙ කියලා දැන් ඔහු දන්නවා. ඔහු නැවතත් ඒ වරදම කළොත් නැවත ඒ දඬුවම විඳීන්න වෙයි.
..........................................................................
පිට්ටනිය තියෙද්දි රන්ජන් මැච් එක ගැහුවේ පාරේ
-අර්ජුන කමලනාත්-
රංජන්ට සමාව දිය යුතුයි. අපි කලාකාරයෝ හැමෝම මේ දවස්වල මහන්සි වෙන්නේ ඒකට. අපි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලාත් මේ ගැන කතා කළා. රන්ජන් අතින් වරදක් වුණා. ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අධිකරණයට ප්‍රසිද්ධියේ අපහස කළා, විනිශ්චයකරුවන් එක්ක දුරකථනයෙන් සංවාද කළා, ඒවා පටිගත කළා. මේ ඔක්කොම වැරදියි. ඔහු අතින් වරදක් වුණා ඒකට දඬුවම් විඳීනවා. හැමදාම ඒක අල්ලගෙන දඟලන්න බැහැනේ. ඔහු දැන් ඒ කරපු වරද තේරුම් අරගෙන ඉන්නේ. ඒ ගැන පසුතැවෙනවා. රන්ජන් මිනී මරලා නැහැ. මත්‍ද්‍රව්‍ය විකුණලා නැහැ. දැන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් පිරිහිලා කියලා ආරංචියි. ඒ සියල්ල සලකා බලලා ජනාධිපතිතුමා ඔහු ගැන සානුකම්පිතව බැලුවා නම් හොඳයි. ඒත් ඔහුට සමාව දිය යුත්තේ කොන්දේසි සහිතව. ප්‍රජා අයිතිය අහෝසි කිරීම ආදී කොන්දේසි මාලාවක් දැම්මත් කමක් නැහැ. අපිට අවශ්‍ය මේ පුද්ගලයාව නිදහස් කරගෙන ඉතිරි කාලය ඔහුට කලා කටයුතු කරගෙන ඉන්න ඉඩ සලසන්න. ඔහු නිදහස් වෙලත් පරණ පුරුදු දේවල්ම කළොත් නීති කඩ කළොත් ඔහුට අපි කවුරුත් නැහැ. රැඩිකල් වුණත් හැමදේම කරන්න ඕනේ මොළයක් ඇතුව. මැච් එකක් ගහන්න ඕනේ පිට්ටනියේ මිසක් පාරේ නෙමෙයි. පාරේ මැච් එක ගහන්න ගිය නිසයි රන්ජන්ට මේ දේ වුණේ. මැච් එක ගහන්න පිට්ටනිය තියෙද්දි එයා මැච් එක ගැහුවෙ පාරේ. කොහොම වුණත් එයා උපදේශකවරු කියන දේවල් අහලා නැහැ. එහෙම නැත්නම් ඔහුට උපදේශකවරු ඉඳලා නැහැ. එහෙම නැත්නම් හිටපු අය හරි ෂෝක්. වෙච්ච දේවල් වුණා. දින දෙසිය ගණනක් දඬුවම් වින්දා. අපි හිතනවා ජනාධිපතිතුමා රංජන්ට "කලාකරුවෙක්" කියන එක සලකා බලලා සමාව දෙයි කියලා.