අර්බුදය අද නොවේ හෙට

ජූලි 30 සරසවිය සිකුරාදා මධුර භාෂණයෙනි
අගෝස්තු 5, 2021

 

සරසවිය සිකුරාදා මධුර භාෂණයේ තෙවැනි සංවාදය පසුගිය 30 වැනිදා පැවැත්වූයේ “අර්බුදය අද නොවේ හෙට” මැයෙනි. මෙවර අදහස් දැක්වීමට සම්මානනීය සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක, ස්කෝප් සිනමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී කළමනාකාර අධ්‍යක්ෂ තුෂාන් මීමනගේ සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, රැඟුම් පාලක මණ්ඩල සාමාජික, සම්මානනීය ටෙලි නාට්‍ය නිෂ්පාදක ආචාර්ය ධම්මික දිසානායක යන ප්‍රාමාණිකයෝ සහභාගී වූහ.

 

ආචාර්ය සෝමරත්න දිසානායක

 

ලාංකේය සිනමාවේ තිබෙන්නේ කොරෝනාව නිසාම ඇති වූ අර්බුදයක් නොවේ. අද පවතින අර්බුදය කොටස් කීපයකට බෙදන්න මම කැමැතියි. ප්‍රධාන අර්බුදය ලෙස ලංකාවේ නිර්මාණය වන චිත්‍රපට මාලාව ගත්තොත් සමස්තයක් ලෙස චිත්‍රපට 20-25ක් පමණ මුදා හැරෙනවා. ඒ අතරින් රසිකයන් සිනමා ශාලාවට ගිහින් කැමැත්තෙන් නරඹන, ප්‍රේක්ෂක ආකර්ෂණය ඇති චිත්‍රපට කීයක් තිබෙනවාද? සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් එන්නේ නැතිව අපි මොන තරම් විදේශීය සම්මාන ලැබුවත්, මොන උසස් තාක්ෂණය භාවිත කළත්, මොන විදිහේ විජ්ජා දැම්මත් වැඩක් නෑ. ඒ කලාව, කර්මාන්තය පවතින්නේ නැහැ. හැබැයි මම එයින් කියන්නේ නෑ අපි සියල්ලෝම තැනිය යුත්තේ ප්‍රේක්ෂක ආකර්ෂණය ඇති චිත්‍රපට පමණයි කියලා. ඒ්ත් සිනමා කර්මාන්තයේ පැවැත්ම සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය ප්‍රධානම සාධකයක් වනවා. ඇතැම් විට ප්‍රේක්ෂක ආකර්ෂණය අඩු වුවත් එය සිනමාත්මක හා කලාත්මක අතින් යම් වැදගත් කමක් තිබේ නම් ඒවාත් බිහි විය යුතුයි. හැබැයි කාලයක් යද්දි ඒ කලාත්මකබවට, සිනමාරූපීබවට ප්‍රේක්ෂකයාත් හැඩ ගැසෙනවා. අපි 47-50 දශකවල විඳී සිනමා රසය නෙවෙයිනේ 21වැනි සියවසේදී විඳීන්නේ. ඒ නිසා කලාත්මක සිනමාව වගේම ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කරන සිනමාවත් යන දෙවර්ගයම අවශ්‍යයි. ඒත් හැදෙන කෘති සංඛ්‍යාවෙන් ආකර්ෂණය හෝ සිනමාත්මකබව කියන ගුණයන් එකක්වත් ප්‍රේක්ෂකයාට නොදෙන චිත්‍රපට කොපමණද බැලුවොත් ඒ සංඛ්‍යාව වැඩියි. එවැනි වැදගැම්මකට නැති චිත්‍රපට නොවන චිත්‍රපටවලින් ක්ෂේත්‍රය පිරී තිබීම තමයි අපේ සිනමාවේ තිබෙන ප්‍රධාන අර්බුදය.

ඊළඟ අර්බුදය වන්නේ අනෙක් කර්මාන්ත සියල්ල තාක්ෂණයෙන් දියුණු වද්දී අපේ සිනමා ශාලා පමණක් යාවත්කාලීන නොවීමයි. ප්‍රේක්ෂකයා තමයි අපේ පාරිභෝගිකයා. ඔහුට අප දිය යුතුයි තාක්ෂණයෙන් දියුණු නවීන පහසුකම්. අපේ රටේ සිනමා ශාලා කීයක් ඒ තත්ත්වයෙන් තිබෙනවාද? කියන්න කනගාටුයි 1947දි කඩවුණු පොරොන්දුව පෙන්වූ තත්ත්වයේ තාක්ෂණයෙන් යුතුවයි සමහර සිනමාශාලා තවමත් තිබෙන්නේ. වාසනාවකට වගේ අපට නවීන සිනමා ශාලා පද්ධතියකුත් ඇති වී තිබෙනවා. උදාහරණයකට අද සංවාදයට සහභාගීවන තුෂාන් මීමනගේ මහතා නියෝජනය කරන ස්කෝප් සිනමාස් වැනි ආයතන ගත හැකියි. මම කියන්නේ නෑ ලංකාවේ සියලුම සිනමා ශාලා තරු පහේ මට්ටමට යාවත්කාලීන විය යුතුයි කියලා. ඒත් නිෂ්පාදකයන් සහ සිනමා අධ්‍යක්ෂවරුන් වෙහෙස මහන්සියෙන් මුදල් වැය කරලා තාක්ෂණය මුසු කර තනන චිත්‍රපටය රසිකයාට ඒ තාක්ෂණය සමඟ නැරඹීමට හැකි වන අයුරින් පිළිගත හැකි මට්ටමක සිනමා ශාලා තිබිය යුතුයි. ලංකාවේ බොහෝ සිනමා ශාලා එසේ යාවත්කාලීන වෙලා නෑ. ඒ තමයි දෙවැනි අර්බුදය.

බොහෝ දෙනකු කියන්න පුළුවන් රූපවාහිනිය සහ අන්තර්ජාලය සිනමාවට තර්ජනයක් කියලා. මම එය පිළිගන්නේ නෑ. යහපත් ලෙස සිනමාව යාවත්කාලීන වෙලා ප්‍රේක්ෂකයන්ට යහපත් දේ දෙනවා නම් මම හිතන්නේ නෑ රූපවාහිනිය සහ අන්තර්ජාලය මඟින් සිනමාව බිඳවට්ටන්න පුළුවන් කියලා. බටහිර ලෝකයේ වගේම අපේ අල්ලපු රට වන ඉන්දියාවත් එයට හොඳ උදාහරණ ලෙස කියන්න පුළුවන්. මම හිතන විදිහට සමහර විට මේ මාධ්‍ය අපට ආශීර්වාදයක් වන්නත් පුළුවන් ප්‍රචාරය ලබා ගැනීම වැනි කටයුතු සඳහා.

අපේ දේශීය සිනමාව ගත් විට තුන්වැනි අර්බුදය ලෙස පවතින්නේ යහපත් අන්දමේ බෙදා හැරීමේ ක්‍රමවේදයක් නොමැති වීමයි. දැනට අපේ බෙදාහැරීමේ මණ්ඩල පහක කාලාන්තරයක් තිස්සේ පවතින අවිධිමත් ක්‍රමවේදය නිසා ඒ මණ්ඩල පහම අසාර්ථකයි. නිෂ්පාදකයාට, අධ්‍යක්ෂවරයාට සහ ප්‍රේක්ෂකයා කියන පාර්ශ්ව තුනටම සාධාරණයක් ඉටු නොවන බෙදාහැරීමේ මණ්ඩලවලට පමණක් වාසිදායක වන ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ.

අනෙක් අර්බුදය රාජ්‍ය මැදිහත් වීමේ ඇති අවිධිමත් සහ අසාර්ථක ක්‍රමවේදය. ඉහතින් කියූ කාරණා සියල්ලටම රජයේ වගකීමක් තිබෙනවා. දේශීය සිනමාකරුවන්ගෙන් යහපත් සිනමා කෘති බිහි නොවන්නේ ඇයි කියන කාරණයේදී යහපත් සිනමාකෘති බිහිකරන සිනමාකරුවන් රජය මඟින් දිරිමත් නොකරන්නේ ඇයි කියන ගැටලුව තිබෙනවා. අනෙක අවිධිමත් බෙදාහැරීමේ ක්‍රමවේදය විධිමත් කිරීමට රාජ්‍ය මැදිහත් වීමක් නැත්තේ ඇයි කියන කරුණ තිබෙනවා. යම් යම් සාකච්ඡා පැවැත්වුවත් සිනමාකරුවන්ට තිබෙන ප්‍රශ්න පිළිබඳ වමසා ඒවා විසඳන්න රාජ්‍ය මැදිහත්වීම මදි. ඒත් ඒවා යහපත් මට්ටමකට ඉටු වෙනවාද? අදාළ ප්‍රශ්න ආමන්ත්‍රණය වෙනවාද යන ප්‍රශ්න තමයි අද තිබෙන්නෙ.

 

හෙට සිදුවන්නේ මොකක්ද කියන ප්‍රශ්නය බැලුවොත් තුවාලය තවත් උඩුදුවන එකයි වන්නේ. දැනට අසාධ්‍ය ලෙස ඉන්න ලෙඩා මියැදෙන්නත් පුළුවන්. මොකද ඖෂධ, ඔක්සිජන් ලැබෙනවද කියන ප්‍රශ්නය තිබෙන නිසා. මෙයට රජයෙන් විසඳුමක් නැති බව අප දැනගෙන සිටියා. රජයේ ආයතනය ලෙස තිබෙන චිත්‍රපට සංස්ථාවෙන් අවස්ථාවක් නැති නිසා සිනමාකරුවන් ලෙස අප ඉදිරපත් කළා ක්‍රමවේදයක්. එය ක්‍රියාත්මක කිරීම සඳහා වුවත් රජයෙන් සාධාරණ මැදිහත්වීමක් තිබුණේ නැහැ. අප විෂයය භාර ඇමැතිවරයා වන අගමැතිතුමා සමඟත් සාකච්ඡාවක් කළා. ඒ මොහොතේ එතුමා අපට පොරොන්දු වුවත් ඒවා ඉටු කරනවා කියලා තවමත් ඒවා එකක්වත් ඉටුවෙලා නෑ. චිත්‍රපට සංස්ථාව සක්‍රීයව ප්‍රශ්නය දෙස බලලා නෑ. සිනමාව වෙනුවෙන් අපට තිබෙන රාජ්‍ය ආයතනය වන චිත්‍රපට සංස්ථාව සහ සංස්කෘතික අමාත්‍යාංශය අතරත් ගැටුමක් තිබෙනවා. එය බලපාන්නෙත් අපට. ඒ නිසා අප දැනට මුහුණ දෙන මේ අර්බුද හෙට වන විට මීට වඩා ලොකු අර්බුදයක් බවට පත්වෙන්න පුළුවන්. මොකද සිනමාකරුවන් නිර්මාණකරණයෙන් බැහැරවීමට, නිෂ්පාදකයන් වෙනත් දේවලට ආයෝජනය කිරීමට, සිනමාශාලා හිමියන් තමන්ගේ ශාලා වසා දැමීම හෝ වෙනත් දේවලට යෙදවීමට පුළුවන්. මොකද මේ කිසිවක් රජයට අයිති නැහැ. නිෂ්පාදකයන් ආයෝජනය කරන්නේ පෞද්ගලික මුදල්, අධ්‍යක්ෂවරුන් තමන්ගේ පෞද්ගලික වත්කම්, ශාලා හිමියන් ප්‍රදේශයේ තමන් සතු හොඳම භූමිය ඒ සඳහා භාවිත කරන්නේ. ඒසේ රජයේ මැදිහත් වීමක් නැතිව පෞද්ගලික අංශය කරන ආයෝජනයකට රජය කිසිම ආයෝජනයක් නොකර මහදැනමුත්තෝ වගේ නීති රීති යොදලා අතහැරීමක් කරන තත්ත්ය වෙනස් කර සාධනීය මැදිහත් වීමක් සහ දිරිගැන්වීමක්, නියාමනයක් නොකළොත් සිනමාවේ හෙට දවස අඳුරුයි කියන එක පැහැදිලියි. තවමත් පොඩි එළියක් තිබෙන මේ කර්මාන්තයට තෙල් බිඳක් යොදලා ආරක්ෂා කර නොගත්තොත් සිනමාවේ අර්බුදය අදට වැඩිය හෙට දරුණු වෙයි.

 

සිනමාව නිදහස් කිරීමට ඇති ප්‍රශ්නය කුමක්ද? රජයෙන් චිත්‍රපට හෝ සිනමා ශාලා හදන්නේ නැත්නම් සදාචාරාත්මක අයිතිය කුමක්ද පෞද්ගලික අංශය කරන කර්මාන්තයකට නීති රීති දාන්න.

කලාවේ අනෙක් මාධ්‍යයන් වන සංගීතය, නර්ථනය, වේදිකාව හෝ සාහිත්‍යය සඳහා සංස්ථා නැහැනේ. ඒත් ඒවා යහපත් ලෙස ගමන් කරනවා. කැමැති විදිහට ඒ ඒ කලාවන්හි යෙදෙමින් නිර්මාණ කරනවා. ප්‍රවීණ වගේම නවීන පිරිසට අතදීමක් නෑ. නවකයන් භීතියට පත් කරන බදු ආදිය තිබෙනවා. සමහර පළාත් පාලන ආයතන සියයට 25ක් අය කරනවා. ඒවා අසාධාරණයි. විදුලි බිල කර්මාන්තවල මිලට සැකසීම තවම නැහැ. මිලියන 35 බදු සහන තවම නෑ. රජයට බලයක් තිබේ නම් තුනෙන් දෙකෙ ඡන්දෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇයි සිනමාවට සහන දිය නොහැක්කේ. මට තේරෙන විදිහට රජයට වුවමනාවක් නැහැ. කලාව ගණන් ගන්නේ නෑ. දේශපාලනඥයන්ට කලාකරුවන් අවශ්‍ය වන්නේ මැතිවරණ සමයේ දේශපාලන වේදිකා සරසන මල්පෝච්චි ලෙස පමණයි. සිනමාවට මීට වඩා අවධානයක් රජයට තිබිය යුතුයි. සිනමාවේ නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය නිදහස් කළ යුතුයි.

 

තුෂාන් මීමනගේ - ස්කෝප් සිනමාස් කළමනාකාර අධ්‍යක්ෂ

සියයට සියයක් සෝමරත්න දිසානායක මහතාගේ කතාවට මම එකඟයි. මේ සිනමා කර්මාන්තයේ අවදානම ගන්නන් දෙපිරිසයි ඉන්නේ. එක් පාර්ශ්වයක් සිනමා ශාලා හිමියන්. අනෙක් පාර්ශ්වය සිනමා ශාලාවලට චිත්‍රපට සපයන පිරිස. ඔවුන් දේශීය චිත්‍රපට සපයන්නන් සහ ආනයනකරුන් ලෙස දෙකොටසකට බෙදෙනවා. ඒත් අපේ සිනමාවේ ප්‍රධාන තීරණ ගන්නේ මේ අවදානම දරන්නන් නොවේ. හැම විටම තුන්වැනි පාර්ශ්වයක් මැදිහත් වෙනවා. මම හිතන විදිහට නිදහස් සිනමා කර්මාන්තය ගැන කතා කිරීමේදී සිනමාවේ බෙදාහැරීම සම්පූර්ණයෙන් නිදහස් විය යුතුයි. උදාහරණ ලෙස ඉතා කුඩා රටවල් වන මාලදිවයින්, නේපාලය, මියැන්මාරය, භූතානය වගේම විශාල රටවල් වන ඉන්දියාව, ඇමෙරිකාව සහ සියලු යුරෝපා රටවල් ඇතුළු සාර්ථක සිනමා කර්මාන්තයක් සහිත රටවල් සියල්ල ක්‍රියාත්මක කරන්නේ මේ ක්‍රමයයි.

එය තවදුරටත් විස්තර කළොත් සෝමරත්න දිසානායක වැනි දක්ෂ නිෂ්පාදකවරුන් දිගු කාලීනව සිනමා කර්මාන්තයේ යෙදෙමින් සිටින විට ඔවුන්ට හැකියාව තිබිය යුතුයි තමන්ගේ චිත්‍රපටය සිනමා ශාලා සමඟ එකඟතාවන්ට එලැඹ මුදාහැර ඒ මුදල් ලබා ගන්න. අලුතෙන් එන නිෂ්පාදකවරයාට ඒ පිළිබඳ අත්දැකීමක් නැත්නම්, බෙදාහරින්නකු සමඟ එකඟතා ගිවිසුමකට එලඹිලා ඒ ඔස්සේ කටයුතු කරන්න පුළුවන්. උදාහරණ ලෙස හිරු, සිරස, දෙරණ වැනි නාළිකා චිත්‍රපට කර්මාන්තයට ප්‍රවේශ වී තිබෙනවා. ඒවැනි අය ඉදිරියේදී බෙදාහැරීමටත් එකතු වෙයි. අපි හැමදාම කර්මාන්තය කුඩාවට සිතන්න ගියොත් එන්න එන්නම අභාවයට යනවා. කර්මාන්තය විශාල වන්නේ අලුතෙන් පිරිස් එයට එක් වන විටයි. එවිට හොඳම බෙදාහරින්නන් පමණක් කර්මාන්තයේ ඉතිරි වෙයි. හරි සේවයක් නොකරන අයට ඉවත් වෙන්න සිදුවෙයි.

රූපවාහිනී ආයතනවලට මේ නිදහස තිබෙනවා. රජයේ නාළිකා දෙක පමණක් තිබුණා නම් මේ තත්ත්වය උදාවන්නේ නැහැ. සුපිරි වෙළෙඳසැල් පවා තරගකාරීව තේරීමක් ඇතිව තිබෙන නිසා තමයි සේවාව හොඳීන් සිදුවන්නේ. කලාවේත් ඒ නිදහස අවශ්‍යයි කැමැති කෙනෙකු සමඟ කටයුතු කරන්න. සීමා කරලා නීති පනවලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කලාව. හැබැයි අපේ ජාතික චිත්‍රපට සංස්ථාව තිබිය යුතුයි යම් යම් අසාධාරණකම් සිදු වෙනවා නම් ඒවා නවත්වමින් නියාමනයක යෙදෙන්න. ශාලාවකින් අදාළ නිෂ්පාදකයන්ට මුදල් නොගෙනවනවා නම් හෝ ශාලාවකට බෙදාහරින්නන් චිත්‍රපටයක් අසාධාරණ ලෙස නොදී හරිනවා නම් සංස්ථාව මැදිහත් වී ඒ කටයුතු විසඳාලිය යුතුයි. එසේ නොකොට චිත්‍රපට බෙදාහැරීම චිත්‍රපට සංස්ථාව අතට ගැනීම සම්පූර්ණයෙන් වැරැදියි.

1970 දශකය තමයි සිනමා කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස සලකන්නේ. සිනමා ශාලා 365 ක් අපට තිබුණා. 1971 පනතෙන් 1976 වසරේ තමයි ජාතික චිත්‍රපට සංස්ථාව සම්පූර්ණයෙන් අත්පත් කරගන්නේ. ඒ. ජේ. ගුණවර්ධන කොමිෂන් වාර්තාව අනුව 1985 වසරේ තමයි සිනමාව දැඩි අර්බුදයකට ලක්වන්නේ. 1991 අම්බලවාන කමිටු වාර්තාව මෙන්ම 1997 සේනක බණ්ඩාරනායක කමිටු වාර්තාව අපට මේ පිළිබඳ තොරතුරු සපයනවා. එහි කාරණා 12ක් සපයනවා චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදාහැරීම කරන්න ගිය විට සිදු වන දේ පිළිබඳව. එනිසා චිත්‍රපට බෙදාහැරීම සම්පූර්ණ නිදහස් විය යුතුයි.

දැන් කෙටිකාලීනව අපේ තිබෙන අර්බුදය තමයි විශාල ශාලා සංඛ්‍යාවක් වැසී යෑම. උදාහරණයකට උතුරු සුළඟ චිත්‍රපටය නිදහස් කිරීමට යෑමේදී සිංහල චිත්‍රපට වෙනුවෙන් තිබුණු ශාලා 50න් අද බොහොම අමාරුවෙන් තමයි ශාලා තිහක් තිස්පහක් පමණ සොයා ගන්න වෙලා තිබෙන්නේ. එය විශාල ප්‍රශ්නයක්. සෝමරත්න මහත්මයා, උදයකාන්ත මහත්මයා වැනි දැවැන්ත චිත්‍රපට නිෂ්පාදනය කරන්නකු ශාලා තිහක තිස්පහක චිත්‍රපටයක් පෙන්වලා අදාළ පිරිවැය ආවරණය කරගන්නේ කොහොමද? නිෂ්පාදකයකු ලාභයක් ලබන්නත් ඕනේ. එසේ නොකර කර්මාන්තයක් පවතින්න බැහැ. අද මේ නිෂ්පාදකවරු විවිධ ණයබරවලින් මිරිකිලා ඉන්නවා මේ ප්‍රශ්නය නිසා.

ඒ සඳහා රජයෙන් ණය සහන වැනි යම් වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නිෂ්පාදකයන් රැකගන්න ඕනෙ. මේ කොවිඩ් වසංගතය නිසා නිෂ්පාදකයන් චිත්‍රපට නිදහස් කරන්න විදිහක් නැතිව ණයවල වැල්පොළී ගෙවමින් ඉන්නවා. එයට රජයෙන් යම් සහන වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඊට අමතරව මධ්‍ය හා දිගුකාලීන ණය ලබා ගන්නා අයට බදු සහන ලබා දිය යුතුයි. මීට පෙර ලබා දුන් බදු සහන අපට නැවත ලබා දෙනවාද යන්න තවම සියයට සියයක් පැහැදිලි වෙලා නැහැ. අනෙක මෙය කර්මාන්තයක් ලෙස පිළිගන්න ඕනෙ. අපි තවමත් විදුලිය බිල ගෙවන්නේ කර්මාන්ත සඳහා වන ඒකක මිලට නෙවෙයි. ඒ සඳහා යම් සහනයක් අත්‍යාවශ්‍යයි. නිෂ්පාදකයන්ගේ දෙගුණයක් බදු නිදහස් කිරීම අනෙක් කරුණයි. මම කතා කරන්නේ කෙටි කාලීනව මේ සහන ලබා දුන්නොත් ඉන්න ටික දෙනා හෝ උනන්දු කර මේ කර්මාන්තයේ රඳවාගන්න පුළුවන් ක්‍රමයයි.

සමහරු කතා කරනවා නෙට්ෆ්ලික්ස් ගැන. ඒවායේ හදන සමහර චිත්‍රපටවලට වඩා අපේ චිත්‍රපට හොඳයි. ඒ නිසා හොඳ චිත්‍රපට හැදෙනවා නම් නෙට්ෆ්ලික්ස් වැනි ඒවා අපට ප්‍රශ්නයක් වන්නේ නැහැ. ගෙදරදි ලබා ගන්න බැරි අත්දැකීමක් හොඳ සිනමා ශාලාවකින් ලැබෙනවා නම් ප්‍රේක්ෂකයන් අනිවාර්යයෙන්ම සිනමා ශාලාවට එනවා. ඒ ගැන කිසිම සැකයක් නෑ. අපේ මාධ්‍ය ආයතන නිතරම කතා කරන්නේ කොවිඩ් ගැන. ඒ නිසා ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වෙත ඒමට මැළිකමක් දක්වනවා. මම දන්නේ නැහැ කොහොමද මේකට ආමන්ත්‍රණය කළ යුත්තේ කියලා. ඒත් අපට 2025 වනතුරු පමණම මේ කොවිඩ් වසංගතය සමඟ නව සාමාන්‍යය යටතේ ජීවත් වන්න සිදු වනවා. කොවිඩ් පිළිබඳ ඍණාත්මකව කතාකරන්න ගියොත් නම් අපේ කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වෙයි. ඇත්ත කතාව නම් අද සිනමා ශාලාවකට යන එක සුපිරි වෙළෙඳ සැලකට යනවාට වඩා ආරක්ෂිතයි. මොකද සෑම චිත්‍රපටයකටම පසු විෂබීජහරණය කරනවා, සෑම ප්‍රේක්ෂකයකුම දෙවරක් පරීක්ෂාවට ලක් කරනවා. මේ දේවල් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. එය සිදුවන බවක් පේන්න නැහැ. ඒ නිසා අපි සියලු දෙනා රණ්ඩු නොවී එකතු වුණොත් අපට පුළුවන් සිනමාව දියුණු කරන්න බලපෑමක් කරන්න.

රටවල් තමන්ගේ සංස්කෘතිය ලෝකයට පෙන්වන්නේ සිනමාව ඔස්සේ. ඒ නිසා රජය මීට වඩා අවධානයක් සිනමාවට යොමු කළ යුතුයි. ඒ නිසා අප එකතු වී රජයට ඉල්ලීමක් කළ යුතුයි. බදු සහන ලබා දිය යුතුයි. ඉස්සර විනෝද බද්ද යෙදුවේ සිනමා පට ගිනි ගන්නා සුලු නිසා ඒ වෙනුවෙන් ගිනි නිවන සෙබළෙකු යෙදවීම වෙනුවෙන්. ඒත් දැන් ඩිජිටල් පිටපත් ගිනි ගන්නේම නැති නිසා ඒ බද්ද අය කිරීම අසාධාරණයි.

සිනමා ආනයනයත් වැදගත්. මොකද විවිධත්වයක් ලැබෙන්නේ එයින්.

අලුතෙන් එන අයට පුහුණු ආයතනයක් නෑ. තිර රචනා සංචිතයක් නෑ. වෙන රටවල් සමඟ බද්ධ නිෂ්පාදන කරන්නේ නෑ. තායිලන්තය ලෝකයට යන්නේ ඔන්බත් කියන චිත්‍රපටයෙන්. අපටත් එදා වේල ටුවර්ස් වගේ විසඳුම් නැතිව හොඳ සැලැස්මක් තිබුණොත් ලෝකය ජය ගන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාවේ ඇතැම් නිලධාරීන් සිතන්නෙ සියයට 10 බද්ද අය කර සංස්ථාව පවත්වාගෙන යන්නේ කොහොමද යන්න පමණයි. ඒත් අප සිතිය යුත්තේ කර්මාන්තය මින් ඉහළ පියවරක් තබන්නේ කෙසේද කියායි. අලුතෙන් එන අයට අවස්ථාව දීමත් වැදගත්. මෛත්‍රීපාල ජනාධිපතිතුමා යටතේ අපි කමිටුවකින් වාර්තාවක් හැදුවා. එයින් කියන්නේත් සිනමාව නිදහස් කළ යුතු බවයි. එයවත් ක්‍රියාත්මක නොකර අපි තවදුරටත් එකම දේ සාකච්ඡා පමණක් කරමින් ඉන්නේ ඇයි. දැන් කතා නවත්වා ක්‍රියා කළ යුතු කාලයයි එලඹ තිබෙන්නේ.

 

ආචාර්ය ධම්මික දිසානායක

මම චිත්‍රපට සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වශයෙන් කටයුතු කළත් මෙහිදී මම පවතින ප්‍රශ්නය යථාර්ථවාදීව දකිමින් මගේ ස්වාධීන මතය ඉදිරිපත් කිරීමට කැමැති කෙනකු ලෙස ඉහත දෙපළම ඉදිරිපත් කළ කරුණු බොහෝමයක් සත්‍ය බව මුලින්ම කිව යුතුයි.

කර්මාන්තයේ කඩා වැටීමට හේතු වූ අර්බුදය කුමක්ද යන්න පිළිබඳ අතීතය සොයා ගිය හොත් බොහෝ කරුණු කාරණා සොයාගන්න පුළුවන්. වැදගත් කරුණක් සෝමරත්න දිසානායක සඳහන් කළා ප්‍රෙක්ෂක ආකර්ෂණය යනු කර්මාන්තය දියුණු වීම යනුවෙන්. එය හරියටම හරි. අප පසුගිය කාලයේ තැනූ ඇතැම් චිත්‍රපට කලාත්මක හෝ විනෝදාත්මක යන දෙඅංශයටම අයත්ව තිබුණේ නෑ. මේ දෙකටම නැති චිත්‍රපට නිසා කර්මාන්තයට විශාල ප්‍රශ්නයක් ආවා. 1977 විවෘත ආර්ථිකයේ වෙනස් වීම, එයින් ඇති කළ බලපෑම, 1983 වර්ගවාදී අරගල, 88-89 කාලයේ ඇති වුණු තත්ත්වය මේ සියල්ල නිසා අපේ තිබුණු සිනමා සංස්කෘතිය ක්‍රමානුකූලව අහිමි වෙලා ගියා. අපි ඇත්තෙන්ම 9.30 චිත්‍රපට බැලූ පරපුරේ අය. රටේ ඇති වුණු තත්ත්වය නිසා අපට ඒ අවධිය සම්පූර්ණයෙන් නැතිව ගියා. ඒ වගේම දිගු කාලීනව වැඩි හරියක් චිත්‍රපට පරිපාලනයේ යෙදී සිටි ජාතික චිත්‍රපට සංස්ථාව අතිනුත් ඒ අතහැරීම නැතහොත් මඟහැරී යෑම සිදු වුණ බව අධ්‍යයනයේදී පෙනෙනවා. මේ සියල්ලේ එකතුවෙන් තමයි අර්බුදය බාලගිරි දෝෂය අද නොවේ හෙට තත්ත්තවයට පත්ව තිබෙන්නේ. මෙයට හොඳම යථාර්ථවාදී විසඳුමක් සොයා ගන්න නම් තුෂාන් මහත්මා කීවා වගේ අප සියලු දෙනා එකතු වී මේ ගැටලුවට මුහුණ දිය යුතුයි. ප්‍රධාන වශයෙන් නිර්මාණකරුවන්, නිෂ්පාදකවරු, බෙදාහරින්නන්, ප්‍රදර්ශකයන් සහ රජය නියෝජනය කරන චිත්‍රපට සංස්ථාව යන පාර්ශ්ව පහම එකට එකතු වුණොත් මේ ගැටලුවට අපට විසඳුමක් සොයාගගන්න පුළුවන් යන්නයි මගේ විශ්වාසය.

ජාතික චිත්‍රපට සංස්ථාව දෙසට හැරුණොත් මේ වන විට එමඟින් යම් යම් කරුණු කීපයක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබාගෙන තිබෙනවා. ඇතැම්වා සාකච්ඡා මට්ටමේත් තවත් ඒවා අමුතුවෙන් කිව යුතු නොවන රජය සමඟ ගනුදෙනු කිරීමේදී සහ රාජ්‍ය ආයතනවල සාම්ප්‍රදායික ආකල්ප සමඟ කල් ගත වෙමින් පවතිනවා. ඒවා අමතක කර බැලුවොත් මේ කාරණයේදී අප යහපත් මූලික ප්‍රවේශයක් ගෙන තිබෙනවා. සෝමරත්න මහත්මයාලාත් සම්බන්ධ කරගෙන කළ යෝජනාව. කොවිඩ් සමඟ සිනමාවට මුහුණ දෙන්නේ කොහොමද යන්න පිළිබඳ සාධනීය වැඩපිළිවෙළක් අගමැතිතුමන්ට ඉදිරිපත් කළා. එතැනදි එතුමාගේ අනුග්‍රහය ලැබුණා. ඒ සම්බන්ධව කටයුතු කරන මුදල් අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති වැනි ආයතනත් කැඳවා වටමේස සාකච්ඡාවක් පවත්වා මේ මොහොතේ තදින්ම බලපා ඇති ගැටලු කීපයකට විසඳුම් ලබාගන්නත් හැකි වුණා. උදාහරණයක් ලෙස, පළාත් පාලන ආයතන මඟින් සිනමා ශාලා සඳහා කාලයක් තිබුණු අවිධිමත් විනෝද බද්ද තනි අගයක් දක්වා අඩුකර ගන්නට හැකි වීම. විදුලි බිල කොටස් වශයෙන් ගෙවීමට සහ යම් සහන කාලයක් ලබා ගැනීම මෙන්ම දෙවැනි පියවරක් ලෙස කර්මාන්තවලට අයකරන මිල සිනමාශාලා සඳහා අය කිරීම දක්වාත් සාකච්ඡාව ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. ඒත් කනගාටුවෙන් හෝ කිව යුතුයි ඒවා ක්‍රියාත්මක වීමේදී සමහර රාජ්‍ය නිලධාරීන් අතින් යම් ප්‍රමාදයක් සිදුවන බව. අනෙක් කාරණය කාලයක් තිස්සේ විවිධ පුද්ගලයන්ගේ මතු වීම, ඔවුන් අත්දැකීමකින් තොරව කරන ප්‍රකාශ නිසා ක්ෂේත්‍රයේ එකමුතුව ඉදිරියට යා යුතු පිරිස් අතර යම් ඈත් වීමක් වෙලා තනි තනිව මේ සටනට අවතීර්ණ වී තිබෙනවා. මේ සඳහා හොඳම දේ අපට සිටින ජ්‍යෙෂ්ඨ කලාකරුවන් පිරිස සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පිරිසට අයත් සියලු දෙනා එක තැනක වාඩිවෙලා සාකච්ඡා කළ යුතුය යන්නයි මගේ අදහස. චෝදනා කිරීම්වලින් බැහැර වෙලා අවුරුදු දෙකේ යෝජනාව සමඟ බද්ද වෙලා ඉදිරියටත් වැඩකරගෙන යන්න කියලා යෝජනා කරන්න කැමැතියි. පසුගිය කාලයේ සිනමා ශාලා වසා තිබීම නිසා ඩිජිටල් උපකරණ යාවත්කාලීන කිරීමට දැනට මිලියනයක් දක්වා ණය මුදලක් සියයට 4ක වැනි පොළියට ලබා දීමට එකඟ වී තිබෙනවා. හොඳ දක්ෂයන්, පරිපාලකයන්, කලාකරුවන්, ආයෝජකයන් වගේම හොඳ අදහසුත් අප සතුයි. ඒ නිසා අපි එක්ව මෙයට විසඳුම් සෙව්වොත් අර්බුදය අද නැත්නම් හෙටවත් විසඳගන්න පුළුවන් වෙයි.

නව රජය යටතේත් කමිටු වාර්තාවක් හදා එහි ප්‍රතිඵලයක් ලෙස තමයි විනෝද බද්ද තනි අගයට අඩු කළේ. එහි ගැසට් පත්‍රය නිකුත් වීමට පමණයි තිබෙන්නේ.

මේ වන විට විශ්වවිද්‍යාලවල සිනමා විෂයය ඉගැන්වීමේ යම් ප්‍රවණතාවක් තිබුණත් එය මදි. 60-70 දශකයේ සිනමාව ගැන කියවීමට කොපමණ පුවත්පත් සඟරා තිබුණාද? අද සරසවිය පමණයි එයින් සුරැකී පවතින්නේ. මේ වන විට මම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. අමාත්‍යාංශයේ වත්මන් ලේකම් කපිල ගුණවර්ධන මහාචාර්යතුමා කොළ එළියක් දල්වා තිබෙනවා චිත්‍රපට සංස්ථාවේ සිනමා පාසලෙන් පවත්වාගෙන යන පාඨමාලාව උසස් ඩිප්ලෝමාවක් බවට පත් කරන්න. සංස්ථාවට බාහිරවත් අපට සහයෝගයක් දිය හැකි නම් එය වටිනවා. වැරැද්ද කාගෙද කියා සොයනවාට වඩා අපට ඉදිරියට යෑමට ඇති දුර අඩු නිසා අප සියලු දෙනා එක්ව දෑවුරුදු කථිකාව ඉක්මනින් ක්‍රියාත්මක කරගත්තොත් යහපත් හෙට දවසක් උදා වනු ඇති.

මෙහිදී සංවාදයට සහභාගී වූ සිනමාලෝලී මධුෂාන් මහතා විමසුවේ ප්‍රවීණයන් වශයෙන් නවකයන්ට මඟ පෙන්වීමට ක්‍රමවේදයක් තනා ගත යුතු නොවන්නේද යන්නයි. එහිදී සෝමරත්න දිසානායක මහතා පැවසුවේ මෙරට බොහෝ සිනමාකරුවන් ප්‍රායෝගිකව විෂයය උගත්තවුන් වන අතර කිහිපදෙනකු විදෙස්ගතව අධ්‍යයනය කළ අය බවයි. පාසල් විෂයය පද්ධතියේ සෞන්දර්ය විෂයයන් මෙන් සිනමා අධ්‍යයනයද එක් කළ යුතු බවය. ප්‍රවීණයන් නව පරපුරට දැනුම දීමට කැමැත්තෙන් සිටියද තමන්ගෙන් නිසි ලෙස වැඩ ගන්නට බලධාරී ආයතනවල උනන්දුවක් නැති බවයි.

 

 

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න