වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
අපට සමාජයේ ජීවත්වෙන්න අපේ තාත්තා ලොකු ගෞරවයක් ලබා දී තියෙනවා

“අපේ තාත්තා ගෞරවයක් ආඩම්බරයක් ඇතිව අපට සමාජයේ ජීවත්වන්නට වාසනාව හිමි කර දුන් උතුම් පීතෘ රත්නයක්. මනුස්සකමින් පිරි යහපත් ගති පැවතුම් ඇති රොබින් ප්‍රනාන්දු අපේ තාත්තා ඇත්තටම අපට ආඩම්බරයක්”
අපේ ආදරණීය සොඳුරු කතා නායකයා සිනමා රසික හදවතට වඩාත් සමීපය. සිනමා තාරකා යනු ජනාදරය සේම නිසඟ කුසලතාවද එකසේ රඳවා පසුවන පිරිසකට කියැවෙන පර්යාය නාමයක් වුවද එය දිවි සිනමාවෙන් සමුගන්නා තෙක් රඳවා තබාගැනීම එක්තරා අන්දමක වාසනා මහිමයකි. නොඑසේනම් විරල ගණයේ කුසලතාවයකි.
එවන් අතළොස්සක් දෙනා අතුරින් රොබින් ප්‍රනාන්දු නම් සුවිශේෂී රංගවේදියාණෝ එලෙසින් සිය කීර්තිය ද ගෞරවය ද එකසේ රඳවාගන්නට සමත් වූ විශිෂ්ට ගණයේ අයෙකි.
එතුමාගේ පුත්‍ර රත්නය චන්න ප්‍රනාන්දු මහතා මා අසුනේ දකුණු පැත්තේය. පසෙක සිනා මුසු මුහුණින් යුතුව මදෙස බලා පසුවන්නේ එතුමාගේ ආදරණීය බිරිඳ වයලට් ප්‍රනාන්දු මහත්මියය.
මම චන්න දෙස බලමි. ඔහු ප්‍රියමනාප සිනාවකින් මුහුණ සරසා ගත්තේය.
“ඇත්තටම නැසීගිය අපේ කලාකරුවන් ගැන මෙහෙම කතාබහක් තැබීම ගැන සරසවිය පත්තරේට ස්තූතිවන්ත වෙනවා. හිටපු අය ගැන කතාබහක් දැන් නැති තරම්නෙ. මං කලින් කිව්වා වගේම කලාලොවේ අහන්න දකින්න ලැබෙන දේවල් අනුව අපේ තාත්තා ඒ අතින් විශිෂ්ට චරිතයක්. අපට දරුවන් හැටියට අපේ තාත්තා ගැන ලොකු ආඩම්බරයක් හිතේ තියෙන්නෙ.’
“අනේ ඔව්. ‘ඒ කීවේ බිරිඳ වයලට් මහත්මිය. මට රොබින් යහපත් ස්වාමි පුරුෂයෙක් වුණා වගේම අපේ දුවටයි පුතාටත් හොඳ තාත්තා කෙනෙක්.
එතුමාගේ සම්පූර්ණ නම රොබින් ස්ටීවන් ප්‍රනාන්දුය. උපන් ගම කොටහේනය. පදිංචිව සිටියේ කොටහේනේ පාසල පාෙර්ය. එතුමාගේ පියාණන් වුයේ සිරිල් ප්‍රනාන්දුය. මව ලීලා ප්‍රනාන්දුය. එම මවුපිය දෙපළට දූ පුතුන් සය දෙනෙකු වූ අතර අපේ කතානායකයා තුන්වැන්නාය. නොඑසේ නම් අක්කලා දෙදෙනකුටත් මල්ලිලා තුන්දෙනකුටත් මැදිව උපන් පුතාය. කුඩා වියෙහි සිටම ක්‍රියාශිලී දරුවකුව පසු වූ එතුමා අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේය. බුදුදහමට වඩාත් බැති සිතකින් පසු වූ හෙතෙම වැඩිහිටියකු බවට පත්වෙද්දී ද ඒ බුදු බැති සිත වඩාත් ඉස්මතුව පෙනිණි. ඔහුගේ ජීවිතයේ අංක එක වුයේ ක්‍රීඩාවය. පාසලේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වුයේ ද ක්‍රීඩා හපන්කම් නිසාමය.
‘අපේ තාත්තා ගිනි වළලු අස්සෙන් පනින්න සූරයි.’ පුතු ඡන්න කියයි.
එවර කටහඩ අවදි කළේ අපේ වයලට් මහත්මියය.
“එළිසබෙත් රැජින ලංකාවට ආව දවසේ එතුමිය පිළිගන්නට සංදර්ශන පැවැත්වුණානෙ. ඉතින් මගේ මහත්මයා ඉගෙනගත්ත බෙනඩික්ට් විදුහලින් කණ්ඩායමක් ඉදිරිපත් වුණා. මගෙ මහත්තයා ජිම්නාස්ටික් කරාටේ එහෙම හොඳට ප්‍රගුණ කරලා සම්මාන සහතික ලබපු කෙනෙක්නෙ. ඉතින් එදා ගිනි වළලු සංදර්ශනයේදි ගිනි වළලු මැද්දෙ පැන්නෙත් ඒ කණ්ඩායමේ නායකයා හැටියට හිටපු මගෙ මහත්තයා තමයි“ ඕ සතුටින් සිනාසෙන්නීය.
ගමේ දීපදුත්තාරාම විහාරස්ථානයේ දහම් පාසලේ සිසුවකු ද වූ අපේ රොබින් වයසින් අවුරුදු 12 දී වාර්ෂික පෙරහැරේ දේව දූතයකු ලෙස අලියක් පිට වීදි සංචාරය කළ දවස මහත් සොම්නස් හිතකින් යුතුව නිතර සිහිපත් කරමින් කීවේය. එදවස තම ජීවිතයේ උතුම් දවසක් ම ලෙස සලකා සිටියේය. එහිදී දොරකඩ අස්න කියවීමට ලද අතිශය දුර්ලභ අවස්ථාවක් ඔහු මතකයේ ඉහළින්ම රැඳුණේය. ඉගෙනුම ලද ශාන්ත බෙන්ඩික්ට් විද්‍යාලයේ ඔහුට පහළ පන්තිවල පසු වූ විජය කුමාරණතුංග, රවීන්ද්‍ර රන්දෙණිය වැන්නන් ඔහු පාසලේ ගිනි වළලු හතරකින් පනින අයුරු බලා සිටියහ. පාසලේ ජිම්නාස්ටික්වලට වර්ණ ලද දවස් ද ඔහු මතකයේ සැමදා නිදන් ව තිබිණී.
“ අපේ තාත්තා ශාන්ත බෙනඩික්ට් විදුහලේ ජිම්නාස්ටික් කණ්ඩායමේ නායකයා. ලංකාවේ හොඳම ජිම්නාස්ටික් කණ්ඩායම බවට ගෞරවය පාසලට ලබාදෙන්නට අපේ තාත්තා සමත් වුණා කීවොත් එය නිවැරදියි. ඒ වගේම ගිනි වළලු හතරක් මැදින් පැනීමේ වාර්තාව පාසලේ තැබු වර්තාව අදටත් එහෙමමයි’ චන්න කියන්නේය.
ඉතා කඩවසම් ගැටවරයකු වූ අපේ කතා නායකයා කෙතරම් එඩිතර සටන්කාමියකු වුවද පාසලේ සැම දෙනකුගෙන් ම ඔහුට හිමිවුයේ නොමඳ ගෞරවයකි. කෙදිනකවත් තමන් සිනමා නළුවකු වන්නේ යැයි සිත් අහලකවත් නොතිබුණි ද සිනමා ලෝලියකුව සිටියේය. ඔහු ඉන් වඩාත් ආසාවෙන් නැරඹුවේ සටන් දර්ශන ඇතුළත් චිත්‍රපටය.
එතුමාගේ පළමු රස්සාව වුයේ කොළඹ මැක්වුඩ්ස් ආයතනයේය. නිවස සමීපයේම පදිංචිව සිටියේ ආරියරත්න කහවිටයන්ය. මේ හැඩකාර යෞවනයා දැකීමෙන් බලාපොරොත්තුවක් තබාගත් ආරියරත්නයන් ඔහු මුණ ගැසුණේය. ඒ වනවිට ගාමිණී ෆොන්සේකා රඟන ‘ටයිටස් තොටවන්තයන්ගේ’ ‘චණ්ඩියා’ චිත්‍රපටයට සටන් දර්ශන පෙළක් වෙනුවෙන් නළුවකු සොයමින් සිටියේය.
“ඔයා කැමති ද ගාමිණී එක්ක රඟපාන්න තියෙන චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න. අපේ කතා නායකයා ඒ මොහොතේදීම සිය කැමැත්ත දුන්නේය. ඒ අනුව හෙතෙම ටයිටස් තොටවත්තයනට බාර කෙරිණි. එම රංගනය එතෙක් මෙතෙක් සිනමා පේ‍්‍රක්ෂකයාට සදාකාලික සිහිවටනයක් ම විය.
ගාමිණී සමඟ සටනකි. පිහිනුම් තටාකයක ලෑල්ල මත සිට කෙරුණු මෙම සටන අතිශයින් ත්‍රාසජනකය. චණ්ඩියා චිත්‍රපටයේ චුට්ටේ ගාමිණී ෆොන්සේකාගෙන් අන්තිම පහර කා පිහිනුම් තටාකයේ ලෑල්ල මත සිට පහළ තටාකයට ඇද වැටෙන දර්ශනය අදටත් කිසිවකුට හෝ අමතක නැත. පිහිනුම් තටාකයේ ඉහළ ලෑල්ල මත සිට පිහිණුම් තටාකයට දුර අඩි හතළිහකට වැඩිය. කිසිදු උපද්‍රව්‍යයකින් තොරව අපේ රොබින් පහළට ඇද වැටුණේය. එම චණ්ඩියා චිත්‍රපටයට පෙර ඔහු ‘ධීවරයෝ’ චිත්‍රපටයේ රඟපෑවද එය පේ‍්‍රක්ෂකයාගේ අවධානයට යොමු නොවූවද චණ්ඩියා චිත්‍රපටයෙන් පසු ඔහු කාර්ය බහුල නළුවකු බවට නිතැතින්ම පත්වූයේ රොබින් ප්‍රනාන්දු කීර්ති නාමයද ඉහළටම නැඟෙමිනි. එතැන් සිට චිත්‍රපට සටන් කලාව නව දිශානතියකට යොමු වූ අතර තමන්ට ලැබෙන චරිතය කිසිදු පැකිළීමකින් තොරව බාර ගැනීමත් ඕනෑම ත්‍රාසජනක ජවනිකාවකදී වුව ආදේශක නළුවකු නොමැතිව තමන්ට පැවරෙන කාරිය නිර්භීතව හරිහැටි උපරිමයෙන් ඉටු කරන්නට අපේ කතා නායකයා සැදී පැහැදී සිටියේය.
මම ඡන්න දෙස බලා සිටියෙමි. ඔහු තම පියාණන් සමඟ අතීතයට වැද ඇති බව දිස්වෙයි. මුහුණ මත පෙර තිබූ සතුටු සිනාව ද මැකී ගොස් ඇතිවා මෙනි. ඒ හඬ බිඳුණු ස්වරයකි.
“අහන දකින අයට අපේ තාත්තා රඟපාන චරිත අනුව දඩබ්බර මනුස්සයෙක් කියලා හිතෙනව ඇති. විවිධ සටන් ප්‍රගුණ කරපු කෙනෙක් නිසා පොඩ්ඩ ඇත්නම් දබරයට සූදානම් කියල හිතලත් ඇති. අනේ ඇත්තටම මගෙ තාත්තා හින්දා කියනවත් නෙවි, තාත්තාව ආශ්‍රය කරපු ඕන කෙනෙක් කියන දෙයක් අපෙ තාත්තා කවදාවත්, මනුස්සයෙකුට අතක් උස්සලා නැහැ. මානූෂීය ගති පැවතුම් ඉහ වහා ගිය හිත උණුවෙන කෙනෙක්. කවදාවත් අපෙ අම්මාගෙවත් හිත රිදවලා නැහැ. කවදාවත් අපට අතක් උස්සලා පහරක් ගහල නැහැ. ආගම දහමට නැඹුරු වෙච්ච යහපත් ගතිගුණ පිරිච්ච උතුම් මනුස්සයෙක්. කාටද පිහිට වෙන්න ඕනා - ඒ අවස්ථාවට තාත්තා හිත කැමැත්තෙන් ජීවත්වුණේ.”
චන්න වහලය දෙස බලාගත්වනමය. ඒ දෑස නැඟි කඳුළක් මාගෙන් වසන්කොට තබන්නට ගත් වෑයමක් සේ මට හැඟේ.
අපේ කතා නායකයාගේ ජීවන සහකාරිය වූයේ මා සමීපයේ ම පසුවන වයලට් මහත්මියය. ඒ 1963 වසරේදීය. අපේ ආදරණීය රොබින් දෙදරු පියකු විය. දියණිය එරන්තිකාය. පුතු ඡන්නය. එරන්තිකා දියණියට පුතුන් ම දෙදෙනෙකි. ඉන් කනීෂ පුතු කැනඩාවේය. පුතු චරිත් සංගීතයට නැඹුරු වූ දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙකි.
මා සමීපයේ ම පසුවන අපේ චන්නට දියණියන්ම දෙදෙනෙකි. දියණිය ෂෙනෙල් නීතිඥවරියකි. උපාධිධාරිණියක වන දියණීය ජිනාෂි මෝස්තර නිර්මාණයෙහි හපනියකි.
“අපට පාරෙ බැහැලා යන්න පුළුවන් විදිහට අපේ තාත්තා ජීවත් වුණේ. ඒ ගැන ඇත්තෙ අපට තාත්තා ගැන ලොකු ගෞරවයක්. ආඩම්බරයක්.
බුදුදහම කෙරෙහිම පහදවා ගත් සිතින් කුඩාවියේ සිට ම උදෑසන මල් පහන් පුදා බුදුන් නැමදීම මඟ හැරී ගියේ නම් ඒ නිවසින් බැහැරව සිටි දවස්වල පමණි. නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ පිහිටි විහාරස්ථානයේ තම ධන පරිත්‍යාගයෙන් අඩි 15ක් උසැති බුද්ධ මන්දිරයක් තනවා පූජා කළේය. එය නිරාවරණය වන අවස්ථාව පසෙකට වී පහන් සිතින් නිරාමිස සතුටකට හිමිකම් කියමින් හෙතෙම බලා සිටියේය. විහාර භූමියේ අපේ කතා නායකයා ස්මාරකයක් තම ධනය වැය කර තනවා එහි සඳහන් කර තිබුණේ ඔහුගේ නම නොවේ.
“නැසීගිය සියලුම සහෝදර කලාකරුවනට පින් පිණිසයි.”
‘සරසවිය’ පත්තරෙන් කියලා ඔබ දැන් අපේ ගෙදරට ආවා ම මට මගේ මහත්තයා ජීවත් ව උන්න කාලය මතක් වුණා. ඒ දවස්වල පත්තරෙන් එනවා කියලා දැනුම් දුන්නම අපේ මහත්තයා කල් ඇතිවම එන අයට සත්කාර සංග්‍රහ සූදානම් කරනවා මාත් එක්කල එකතු වෙලා” වයලට් මහත්මිය සිනාසෙන්නීය.
බොහෝ වේලාවකට පසුව චන්නගේ මුවින් සිනාවක් දුටුවෙමි.
“හාරලක්ෂෙ චිත්‍රපටය බලන්න ගිය දවසේ අපෙ තාත්තත් එහි රඟපෑවනෙ - ඒකෙ පිහි ඇනුම් දර්ශනයක් දැකලා මං මරහඩ දීලා කෑගැහුවා. එතකොට මට වයස අවුරුදු හයක් විතර ඇති.
අපි ඒ කාලෙ උන්නෙ ඇන්ඩර්සන් පාරේ තට්ටු නිවාසවල. ඔයාට මතකනෙ 83 ජාතිවාදී කලබල ඇතිවුන හැටි. අපේ ෆ්ලැට් එකේ දෙමළ අයත් හිටියා. අපේ තාත්තාට හිතට අමාරුයි ඒ අහිංසක මිනිස්සුන්ට හිරිහැර කරාවි කියලා. එහා පැත්තෙන් අපේ අන්කල් කෙනෙක් ලෑස්ති වෙලා උන්නා ෆ්ලැට් එකේ ආරක්ෂාවට. මෙහා පැත්තෙන් අපේ තාත්තා ලෑස්තිව උන්නා. ඇත්තම කියනවානම් ඒ මිනිස්සු දැන් ඉන්නෙ පිටරටවල. ඒත් ලංකාවට ආවම නොවරදවාම අපේ ගෙදරට ඇවිත් එදා ඒ සිද්ධි මතක් කර කර තාත්තාට පින් දෙනවා.”
“අපේ අම්මත් ආගන්තුක සත්කාරයට එක සිතින්මයි. විජය මහත්තයා නිතර එනවා වයලට් අක්කගෙන් ආප්පයක් නොකා යන්න බැහැනෙ කියලා. නිතර කලාවට සම්බන්ධ අය අපේ ගෙදර එනවා. ඉතින් තාත්තා කියනවා එන අයට සංග්‍රහ කරන්න ඕනා කියලා - අපේ අම්මත් බොහොම කැමැත්තෙන් සංග්‍රහ කරනවා.“
එය අනුමත කරන්නාසේ වයලට් මහත්මිය කීවේ “අනේ ඔව්. මහ රෑටත් කෝල්ස් දීලා කට්ටිය එනවා. ඉතින් මං උයලා දෙනවා.“
ජිම්නාස්ටික් කරාටේ ඇතුළු විවිධ සටන් ක්‍රම ප්‍රගුණ කර විවිධ සම්මානයට පාත්‍ර වූ හෙතෙම තරුණ පිරිසට එම සටන් ශිල්ප උගන්වන්නට දැක්වූයේ මහත් සතුටකි. මෙහිදී මට ද යම් සිදුවීමක් පිළිබඳව මතකයට නැගෙයි. එක් දිනෙක රාති‍්‍රයේ පිරිසක් පැමිණ එතුමාගේ වසා තිබූ දොරට තට්ටු කළහ. දොර විවර කළේ අපේ රොබින්ය.
“තමුසෙව හම්බුවෙන්ඩයි ආවේ. එළියට එනවා. අපිත් එක්ක චැලෙන්ජ් එක බාර ගන්නවද?“ ඔහු සුපුරුදු පි‍්‍රයමනාප සිනාව පා යළි දොර වසා දැම්මේය. මේ සිදුවීම කන වැකුණු මාධ්‍යවේදියකු කළ විමසුමකදී එතුමා මෙසේ කීවේලු.
“දැන් ඉස්සර වගේ අතින් පයින් සටන් කරන අය නැහැනෙ. පස්සෙ අත් බෝම්බයක් හරි ගෙට දමා ගසාවි.“
“තාත්තා මට කී දෙයක් මතක් වෙනවා. කවදාවත් කාටවත් අතක් උස්සන්න එපා. පහරදෙන්න එපා. පුළුවන් තරම් එතැනින් මඟ ඇරලයන්න.“
ඒ තාත්තා ඡන්න පුතුට දුන් තවත් ඔවදනකි.
අපේ කතා නායකයා තවත් සටන් නළුවකු වන විල්සන් කරූට දැක්වූයේ පේ‍්‍රමණීය මිතුදමකි. කරූ ද එලෙසමය. චිත්‍රපට සංස්ථාවේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂකවරයකු වූ ජයන්ත ධර්මදාස මහතා සහ අපේ රොබින් අතර පැවතියේද සමීපතම කුලුපගතාවකි. එක්කෝ ජයන්ත ධර්මදාස මහතා එතුමා සොයා නිවසට එයි. එසේ නැතිනම් ජයන්ත මහතා බැහැදැකුමට යයි. එතරම් ඒ දෙදෙනාගේ මිතුදම් සවිමත් ය.
“කවුරුහරි නළුවෙක් හෝ නිළියක් අසනීප වුවහොත් අපෙ තාත්තා එයාගෙ අතින්ම මල් කඩාගෙන පන්සලට ගිහින් බෝධිපූජා තියෙනවා. අසනීප කෙනා සුවපත් වෙන්න කියලා. එක වෙලාවකට මට හරි පුදුමත් හිතෙනවා, තාත්තාගෙ ගුණයහපත්කම් දැක්කාම.“
වයලට් මහත්මියට යමක් මතක් වූවාසේය.
“ ඇයි පුතාට මතකද - දුප්පත් පවුලක කෙනෙක් ඇවිත් අඬ අඬ කිව්ව අනේ මගෙ රත්තරන් බඩු ටික සින්න වෙන්න යනවා. ඒ රන් බඩු මහත්තයා මට බේරල දීල මහත්තයා ළඟ තියාගන්න - පුළුවන් පුළුවන් විදිහට මහත්තයට ඒ සල්ලි මං දීලා ගන්නම් කියලා. මහත්තයා ඒ රන් බඩු සින්න වෙන්න නොදී බේරලා දුන්නා. ඒ රන් බඩු තිබුණෙ මහත්තයා ළඟ. පස්සෙ මට කිව්වා ඔය රන් බඩු අපට මොටද - ඒ මනුස්සයට ම අපි දීලා දාමූ කියල ඒ මනුස්සයට එන්න කියල රන් බඩු ටික දීල දැම්මා. සල්ලි එපා. මේවා අරන් යන්න කියලා.“
පුතු චන්න මුහුණ බිමට යොමාගෙනමය.
“අපේ තාත්තා අපට මෙහෙමයි කියල කිසිම දේකින් අඩුවක් කරල නැහැ. ඇඳුම් වුණත් ඕනෑවටත් වඩා අරන් දුන්නා. ඉල්ලුවොත් දෙයක් නැහැ - බැහැ වචන තාත්තා ළඟ නැහැ. තාත්තෙ ලක්ෂයක් දෙනවද ඇහුවාම තාත්තා ඒ වෙලාවෙම ඒක ප්‍රතික්ෂේප කරල තියෙනවා. පස්සේ අතටම ගෙනැත් දෙනවා. තාත්තා සහ මා අතර මහා පුදුම බැඳීමක් තිබුණේ. අදටත් හිතාගන්න බැහැ. මම එයාට නිතර පේන්න ඉන්න ඕනෑ. මං මගේ රස්සාවත් අතහරින තැනටම වුණා. තාත්තාගෙ සතුට වෙනුවෙන්. ඒ කියන්නෙ අපෙ තාත්තා දේශපාලනයට නම් කිසිම උනන්දුවක් නැහැ. තාත්තා කනගාටු වූ අවස්ථාත් තියෙනවා. බලයට ආපු අයට අහක උන්න අය ළංවෙලා තාත්තාව කපාපු අවස්ථාවල තාත්තා හරියට කනගාටු වුණා. හැබැයි අපෙ තාත්තා කවරදාකවත් කාගෙන්වත් මොනම දෙයක්වත් ඉල්ලාගෙන ගිහින් නම් නැහැ. සත පහක් අනුන්ට ණය නැති ජීවිතයක් තාත්තා ගත කළේ. තමන් ළඟ ඇති දෙයක් අනුනට දීලා සතුටුවෙනවා මිසක් කාගෙන්වත් දෙයක් ලබාගන්න නම් තාත්තා කැමතිම නැහැ. අපෙ තාත්තා අපට කීවෙත් උඹලගෙ ශක්තියෙන් නැගිටනව මිසක් කා ළඟටවත් ගිහින් ඉල්ලන්න ඕන නැහැමයි කියලා.”
“තාත්තගෙ නම කීවාම අපට ඕනෑම තැනෙක ඕනම කෙනෙක් අපට සලකනවා. ඒ තරම් අදටත් ඒ නමට ගරු කරනවා.”
එතුමා නිදහසට පේ‍්‍රම කළා සේ ම තම දරුවන්ගේ නිදහසට ද කිසිවිටෙක බාධා ගෙන දුන්නේ නැත. දියණිය විවාහ වූයේ දෙමළ ජාතික මහත්මයෙකු සමඟිනි. ඊට මනුස්සකමින් පිරි හදවතකින් යුතු අපේ ආදරණීය කතා නායකයා තම ආශිර්වාදය මුළු හදින් ම පිරිනැමුවේය. තම පුතු චන්න විවාහ වූයේ බර්ගර් ජාතික තරුණියක සමඟිනි. එතැනදී ද එතුමා පුතුටත්, ලේළියටත් එකසේ සුභාශිංසනය කළේය. ඇති නැතිකම්, උස් පහත්කම්, ජාති ආගම් කුල භේද කිසිත් නොතැකූ අපේ සොඳුරු කතා නායකයාණෝ සිය ජීවිතයේ පෙරටුව තබා සිටියේ සැබෑ මනුස්සකමය.
“ දවසක් මෙහෙමත් වුණානෙ. මං කලිනුත් කීවනෙ තාත්තාට මාව නොදැක ඉන්න බැරි කෙනෙක්ය කියලා. ඔන්න ඉතින් මම ලකී ඩයස් එක්ක විදේශ ගමනක් යන්න සූදානම් වුණා, කියමුකො. ඉතින් අපි ගමන ගෙදරින් පිටත් වුණාය කියමුකො. මෙන්න වදේ තාත්තා මට ආපසු එන්න, එන්න කියල කිව්වනෙ, ඉතින් කටුනායක එයාර්පෝට් එක ළඟට ගිහින් ගමන නොගිහින් ආපසු ගෙදරට ආවා.“
“ අනේ ඔව් - එයාට පුතාව නොදැක මොහොතක්වත් ඉන්න බැහැ තමයි“ ඒ ටික කීවේ පුතුගේ අම්මා ය.
“ ඔය පාසල් යන කාලෙ මං බස් එකක ගිහින් ඇති. ඒත් බස්වල ගමන් මට එහෙමට හුරු නැහැ. වාහනයෙන්මයි ගමන් බිමන්, ඒ තමයි අපේ තාත්තා අපට දුන්න ආදරය. සතේකින් තාත්තා අඩුවක් කරල නැහැ.“ කියාගන්නට අමාරු ස්වරයකින් මෙන් චන්න පුතු කියන්නේය.
එතුමා ජනපි‍්‍රය කාර්ය බහුල නළුවෙකි.
ගෙදරට පය තබන්නේද මාස දෙක තුනකට වරකි. දෙවරකි. එහෙත් ඒ ආවද ගෙදර කෑමක් බීමක් පිළියෙල වන්නේ එතුමා අතිනි. රසට කෑම හදන්නට ද හේ සමතෙකි. බිරිඳගේ වුව සහයක් නොලබාම මුළුතැන්ගෙට වැදී පවුලටම ආහාර පිළියෙල කරන එතුමා තමන් අතින් පිසූ අහර මේසයෙහි තබා පවුලේ සැමට ම ආරාධනා කරන්නේය.
ඔහු අතින් යමෙකුට උපකාරයක් පිළිගැන්වීද එය ආපසු තමන්ට ලබාගැනීමේ සිතක් ද ඔහුට නැත. එතරම් පරිත්‍යාගශීලිය.
රොබින් ප්‍රනාන්දු නම් අසහාය රංගන ශිල්පියා තවත් පියවරක් ඉදිරියට තබමින් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. ඒ සුර දූතියෝ සහ නින්ජා ශ්‍රී ලංකා සිනමා සිත්තම් තුළිනි.
“දැන් තියෙන්නෙ ෆිල්ම්ස්වල බොරු ෆයිට්ස්. විල්සන් කරූව තමයි තාත්තා ෆයිටින්වලට ගන්නෙ. ඉතින් ඒ කාලේ ඒ චිත්‍රපටවල තිබුණු තේමාවන් තමා මේ කාලෙ රටේ සිද්ධවන්නෙ. එදා රසිකයා ඒව පිළිගන්නට සූදානම් වූයේ නැති නිසා වෙන්නැති. නිෂ්පාදකවරුන්ගෙ වියදම විතරක් ඒ චිත්‍රපට වලින් ලැබුණා. තාත්තා හදපු ඒ චිත්‍රපටවලට එදා රසිකයාට අගයක් තිබුනෙ නැහැ.
“අනාගතයේ සිනමාවක් කියා දෙයක් නැති ව යනවා කියන දේ තාත්තා දුකකින් නිතර කීවා. තාත්තාට සම්මාන නැතිවීම ගැනත් යම් කණගාටුවක් තිබුණා. සිනමාවට ඉදිරි පරම්පරාවක් සිටිය යුතුයි කියන දේ තාත්තා නිතර කීව කතාවක්. තාත්තා එදා කීවා වගේම අද සිනමා කලාවක් නැහැනෙ.“ චන්න පුතු කියන්නේය.
“අපේ මහත්තයා දුම් පානයට තදින් ඇබ්බැහි වී උන්නා. ඒ හින්දම වෙන්නැති එයාට පනස් අටක් විතර වයස වෙද්දි හෘදයාබාධයක් ආවා. ඉන්පස්සෙ දුම්පානය අත්හැර දැම්මා.”
“ඔව් අපේ තාත්තා ඩ්රින්ක්ස් වලට නම් එහෙමට කැමැත්තක් තිබුණෙ නැහැ. පාටියකට ගියත් චුට්ටක් තොල ගගා ඉන්න එක එයාට හොඳටම ඇති. කවදාවත් බීලා වෙරි වුණ චරිතයක් නම් නෙමෙයි. බොන්න බැරිකමකුත් නැහැ. ඒ එයාගෙ හැටි. කොහේ හරි පාටියකදී සණ්ඩු සරුවල් වුණා කියමු. තාත්තා කරන්නෙ බලා ඉන්න එක. තාත්තා ඒවාට යන්නෙ නැහැ. හැබැයි තමන්ගෙ කවුරුවත් එතැන ඉන්නව නම් තාත්තා මැදිහත් වෙලා බේරාගෙන එනවා.“
අපේ ආදරණීය සොඳුරු කතා නායකයාණෝ රොබින් ප්‍රනාන්දු නම් රූපණවේදියා අසනීප වන්නට ගත් මුලදී අත් දෙක වෙව්ලන්නට පටන් ගත්තේය. ඊට ප්‍රතිකාර කිරීමෙන් සුව අතර හැරුණි ද නැවත නැවත අසනීප විණි. දෙඅත් වෙවුලන රෝගයකට බඳුන්වීමත් සමඟ හෙතෙම සුපුරුදු ලෙසින් නිවසින් බැහැර ව යාම ප්‍රතික්ෂේප කළේය.
“තාත්තා නිතර නිතර අසනීප වන්නට වුණා. ඒත් එක්කම අපෙ තාත්තා මානසිකව වැටුණා කියලත් මට හිතෙනවා. තාත්තා ඔහේ නිහඬව පාඩුවේ ගෙදරට ම වී ඉන්නයි බැලුවෙ - අම්මයි තාත්තයි සම වයසේ - ඒත් තාත්තා අසනීප වුණා. එහෙම අසනීප වන්න හේතුව හැටියට අපි හිතන්නෙ තාත්තා කුඩා කාලෙ පටන් කරපු වෙහෙසවීම් වෙන්නැති කියලා.“
“ අවුරුදු 78 වෙද්දි අපෙ තාත්තා ලෙඩ ඇඳට ම වැටුණා. දැන් අපෙ අම්මා අද මාව නිතර හොයනවා වගේ එදත් තාත්තා මාව සොයනවා. පේන්න ඉන්න කියනවා.“
“ ඔව් මගේ මහත්තයට කෑම ගැනීම පවා ඕන නැති වුණා වගේ. කොහොමට හිටපු කෙනෙක්ද? ගහක් ගලක් වගේ උන්න කෙනෙක්. එහෙමට අසනීප වේවි කියලවත් අපි හිතුවෙවත් නැහැ.“ ඇයගේ හඬ දුක්බරය.
අපේ ආදරණීය රොබින්ගේ කඩවසම් පෙනුමැති රුව අතුරුදන්ය. දැන් හිස රැවුල සුදු පැහැගැන්වී අවසන්ය. සවිමත් සිරුරද දුබලය. කටහඬ ද දුබලය.
එතුමා දැන් ලෙඩ ඇඳේමය. ඇතැමුන් එතුමා සෝදා පිරිසිදු කරවන්නට - ඇඳුම් මාරු කරවන්නට අත්වැසුම් සොයමින් සිටියදී අපේ ආදරණීය කතා නායකයාගේ එකම පුතු ඡන්නගේ ජිනාෂි දියණිය තම සීයා වෙනුවෙන් කැප වූ තරම ඇයගේ තාත්තා වන චන්නට ඇත්තේ මහත් සතුටක්මය. ආඩම්බරයක්මය.
“මගෙ පොඩි කෙල්ල - මගේ ජිනාෂි දුව මගෙ තාත්තා වෙනුවෙන් හැම පැයකම උන්නා - ජිනාෂි දුව එයාගෙ සීයාට ඉහළින්ම සැලකුවා - සීයාව උස්සල රෝද පුටුවෙන් තියන්න තරම් ජිනාෂි දුව සවිමත් වුණා.“
අපේ රොබින්ගේ පැරණිම මිතුරා මහින්ද රාමනායක ද අසලමය.
“මහත්තයාට උවමනා හැමදේම පුතා ගෙනැත් දෙනවා. අනේ ඒත් මගෙ මහත්තයගෙ කෑමක් නැහැ. සමහර වෙලාවට මහත්තයා ආසා දෙයක් ඉල්ලනවා. පුතා ඒවා ගෙනැත් දෙනවා. ඒත් මහත්තයාට ඒව පස්සේ එපා වෙනවා.’ චන්නගේ ෂෙනෙල් දියණිය ද ජිනාෂි සමඟය. සීයාගේ තත්ත්වය නරක යැයි සිතෙන්නට ද ඇත.
අපේ සොඳුරු සිතැත්තා එලොව මෙලොවය. මේ වෙද්දී සීයාට සැලකුම් වෙනුවෙන් මිනිබිරිය රැකියාවෙන් ද සමුගෙනය. ඕ සියා සමීපයේමය.
පිටිකිරි හැන්දක්, සුප් කැටයක් සාදා මිනිපිරිය සීයාට පොවන්නට තැත් කරන්නීය.
සීයාට කැස්සක් හට ගත්තේය. සීයාට මොකද්ද වී යැයි ඇයට බිය දැනිණි. මිනිබිරිය ජිනාෂී මහ හඬින් කෑ ගසන්නට වූවාය.
‘තාත්තේ ... තාත්තේ එන්නකෝ.. සීයාට මොකද්ද වෙලා’
1937 ක් වූ ජුනි මස 15 වන දින උපත ලබා කීර්තිමත් සිසුවකුව දිවි මඟ පැමිණ ඉහළම ජනපි‍්‍රයත්වයේ කිරුළකට හිිමිකම් කියමින් හෙළ සිනමාවේ සිනමා සිත්තම් රැසකට ද දායක වෙමින් යහපත් මානව ගුණයෙන් පිරිපුන් ‘හොඳ මනුස්සයෙකු’ ලෙසින් කාගේත් ගෞරව බහුමානයට පාත්‍ර වූ අපේ සොඳුරුතම කතා නායකයා වයසින් අවුරුදු 85ක් ආයු වළදා, 2022 ක් වූ ජනවාරි මස 08 වන දා හිමිදිිරියේ සියල්ලනටම සමුදෙමින් යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය.
සේයාරූ - දයාන් විතාරණ